» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/08/2016 - දේශය
අමුතු සිතිවිලි ගෙනෙන මැල්කම් ග්ලැඩ්වෙල්

බ‍්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ හි දී 2016 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සමාප්ත විය. ජාතික ඔලිම්පික් කමිටු 207 ක් නියෝජනය කරමින් එකොලොස් දහසක් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ එයට සහභාගී වූහ. පලමු වතාවට අනාථ නියෝජිතයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ද සහභාගී වූ උළෙල වශයෙන් රියෝ ද ජෙනයිරෝ ඔලිම්පික් තරඟාවලිය ඉතිහාස ගතවීම කැපී පෙනෙන සිද්ධියකි. ඔලිම්පික් ලෝකයේ වඩාත් අවධානයට ලක්වන උළෙලකි. මෙවර තරඟාවලිය අවසන් වන විට අති විශාල සිද්ධි ප‍්‍රමාණයක් අමතක නොවන මතක සටහන් ගණනාවක් ඉතිහාසයට එකතු වී හමාරය.

ක‍්‍රිස්තු පූර්ව 776 දී ග‍්‍රීසියෙන් ඇරඹුණ ඔලිම්පික් දහ හත්වන සියවසේ දී වර්තමානයට ගැලපෙන පරිදි නවීකරණය වූ බව තොරතුරු දක්වයි. රියෝ ඔලිම්පික් අවසන් වනවිට මැල්කම් ග්ලැඞ්වෙල් ඉදිරිපත් කරන ලද අදහස ආන්දෝලනාත්මක එකක් බවට පත්ව තිබේ. කැනේඩියානුවෙකු වන හෙතෙම ජනමාධ්‍යවේදියෙකු, ගත් කතුවරයෙකු සහ ප‍්‍රසිද්ධ දේශන පවත්වන්නෙකි. ලෝකයේ හතර කොණෙන් සියලූම දෙනා එකම තැනකට එකතු වී ක‍්‍රීඩා තරඟාවලියක් පැවැත්විය යුතු ද ඔහු ප‍්‍රශ්න කරයි. එය සලකා බැලිය යුතු අදහසකි. ඔලිම්පික් තරගාවලිය පවත්වන විට තරග ඉසව් සඳහා ස්ථාන තිස් හතක් වෙන් කරන්නට බ‍්‍රසීලයට සිදුවිය. එය අති විශාල ධන ආයෝජනයකි. ලෝකයේ නන් දෙසින් පැමිණෙන තරඟකරුවන්, පුහුණුකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු අති විශාල පිරිසගේ ගමන් බිමන්, නවාතැන් සහ ප‍්‍රවාහන පහසුකම් හරියටම සංවිධානය කිරීම සංවිධායකයන්ට පැවරෙන භාරධූර කර්තව්‍යයකි. අනුග‍්‍රාහකයන් සම්බන්ධ කරගෙන දැවැන්ත මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරන නමුත් ඔලිම්පික් අවසන් වන විට එය සංවිධානය කරන ඕනෑම රටකට අවසානයේ දී දැනෙන්නේ තදබල පීඩාවකි. එය ආර්ථික සහ සමාජ අර්බුද ඇති නොකරන්නේ කලාතුරකින්ය. මැල්කම් ග්ලැඞ්වේල් මෙම ජන සහභාගීත්ව මහා ක‍්‍රීඩා සැනකෙළිය එක තැනකට සීමා නොකර ලෝකයේ නොයෙක් තැන එකවර පවත්වා නිසි සම්බන්ධීකරණයකින් විකාශය නොකරන්නේ මන්දැයි ප‍්‍රශ්න කරයි.

නූතනය තාක්ෂණ යුගයකි. සන්නිවේදනය ඉහළටම පැමිණ තිබේ. ලෝකයේ කොතැනක තරඟ තිබුණත් ක්ෂණයකින් සම්බන්ධ කර එක තැනෙක පැවැත්වෙන සේ විකාශය කරන්නට බාධාවක් නැත. රියෝ හි දී තරග ඉසව් තිස් හත් තැනක පවත්වන ලද නමුත් නරඹන්නන්ට එය එසේ දැනුණේ නැත. මැල්කම් අහන්නේ මේ සා විශාල උළෙල ලෝකය පුරා විමධ්‍යගත කළහොත් එය සාර්ථක කරගත නොහැකිද යන ප‍්‍රශ්නයයි. ඔලිම්පික් සංවිධානය කිරීම ලෝකයේ ඉතාම ධනවත් රටවලට පමණක් සීමා වී තිබේ. දියුණු වෙමින් පවතින රටවල් ඔලිම්පික් තරග සංවිධානය කරන කාර්යය තමන්ට කළ නොහැකි එකක් යැයි හිතන්නේ එයට වියදම්කළ යුතු මුදල් සම්භාරය හෙයින්ය. තවත් අවුරුදු හතරකින් තෝකියෝ හි දී ඔලිම්පික් පැවැත්වෙන විට එය මහ ඉහළින් පවත්වන්නට ජපානය සූදානම් වූයේ සෑහෙන තාලයකට කලින් සිට බව සඳහන් කළ යුතුය. තෝකියෝ තරඟාවලිය විකාශය කරන්නට ඩිජිටල් තාක්ෂණයටත් දියුණු ක‍්‍රමයක් සොයාගෙන යයි. රියැදුරන් රහිත වාහන වලින් ක‍්‍රීඩා ගම්මානයේ ප‍්‍රවාහන පහසුකම් සම්පාදනයට සූදානම් වෙයි. මෙවැනි සත්කාරයක් කරන්නට අපහසු රටකට ඔලිම්පික් සංවිධානය කිරීමේ අයිතිය සිහිනයක් විය යුතුද? අලූත් අදහස් ඉදිරිපත් කරන මැල්කම් කියන්නේ එය ආර්ථික ශක්තියෙන් කුඩා රටවල් වලට ද කළ හැකි බවය. තරඟයේ පිහිණුම් එක රටකට, වොලිබෝල් තවත් රටකට, පාපන්දු තවත් තැනකට සහ ජවන හා පිටිය තරග තවත් ස්ථානයක සංවිධානය කළ විට මුළු ලෝකයම ක‍්‍රීඩා සැනකෙළියක සිරි ගන්නට ඉඩ තිබේ. ඔහු කියා තිබේ. එක රටක් ඉතාම වැඩි අවධානයට ලක්වෙනු වෙනුවට එය සාධාරණ අවස්ථාවක් විය හැකිය.

මැල්කම් ග්ලැඞ්වෙල් අලූත් අදහස් දක්වන්නේ ඔලිම්පික් ගැන පමණක් නොවේ. හෙතෙම විකල්ප අන්දමට හිතන පුද්ගලයෙකි. එහෙයින් අවධානයට ලක්ව ඇති චරිතයකි. ටිපින් පොයින්ට් (The Tipping Point) යනුවෙන් හෙතෙම කෘතියක් සම්පාදනය කළේය. කුඩා සිදුවීම් වලින් විශාල වෙනසක් ඇති කරන්නේ කෙසේදැයි එහි සඳහන්ය. අවුට්ලයිනර්ස් (Outliers) ලියන ලද කෘති අතර තවත් එකකි. එහි කියන්නේ ලෝක ප‍්‍රකට පුද්ගලයන් එහෙම අති ප‍්‍රසිද්ධ වෙන්නට කරන ලද මෙහෙවර ගැන ඇතුලාන්තයෙන් කරන විග‍්‍රහයකි. මෙවැනි අමුතු අදහස් මතුකරන නිසා මැල්කම් ගැන ජගත් ප‍්‍රජාව බලන්නේ නැවුම් අදහස් මතු කරන්නෙකු හැටියටය.

කැනඩාව මැල්කම් ග්ලැඞ්වෙල් එරට දෙවැනි ඉහළම පුරවැසි සම්මානය පිරිනමන්නේය. එයට හේතුව මෙම ලෝකය හැසිරෙන අන්දම දෙස විචාරශීලීව බලා ඉදිරිපත් කරන අදහස් හෙයින්ය. ඔහු මෙම අදහස් උදහස් ඇතුලත් කර මෙතෙක් ලියන ලද කෘති ගණන පහකි. නිව්යෝක් ටයිම්ස් සඟරාවේ ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ හොඳම අලෙවියක් ඇති පොත් වශයෙන් නම් කර තිබේ.

මැල්කම් උපත ලබන්නේ බි‍්‍රතාන්‍යයේය. බාල වියේදී ම දෙමව්පියන් ඔහු කැටුව කැනඩාවට යන අතර එහි ස්ථිර පදිංචිය තෝරා ගනී. හෙතෙම කුඩා අවදියේ දී සිය පියා සමග ඔහු උගන්වමින් සිටි විශ්ව විද්‍යාලයේ ගත කරන අතර වැඩිම උනන්දුවක් දක්වා ඇත්තේ පුස්තකාලයේ තිබූ තේරුම් ගන්නටත් අපහසු පොත් කියවන්නටය. වොෂින්ටන් හි දී ජනමාධ්‍යවේදය හදාරන හෙතෙම ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබයි. ඉගැන්වීමට කැමැති නොවූ හෙතෙම කැමැත්තක් දක්වන්නේ දැන්වීම්කරණයටය. නමුත් ඉල්ලූම් කරන ලද දැන්වීම් නියෝජිතායතන වලින් ඔහුට ප‍්‍රතිචාරයක් ලැබෙන්නේ නැත. මාධ්‍යකරණයට ප‍්‍රවේශ වෙන්නේ එයින් අනතුරුවය. එහි දී ද ඔහු කැමැත්තක් දක්වන්නේ ප‍්‍රවෘත්තියක ඇතුලාන්තය ලියන්නටය. එය සාර්ථක වෙයි. ප‍්‍රකට, ඉහළම අළෙවිය ඇති පුවත්පත් කිහිපයක සේවය කරන ලද අතර එයින් ලත් අත් දැකීම් නැවත ප‍්‍රජාවට ඉදිරිපත් කරන්නේ විකල්ප අදහස් වශයෙන්වීම ආකර්ශනයට හේතු වූ බව සඳහන්ය.

2005 අවුරුද්දේ දී නිව්යෝක් ටයිම් සඟරාව මැල්කම් ලෝකයට බලපෑමක් කළ හැකි පුද්ගලයන් සිය දෙනෙකු අතරින් එක් පුද්ගලයෙකු බවට නම් කළේය. ඇමරිකානු සමාජ විද්‍යාඥයින්ගේ සංගමය ද ඔහු සම්මානයෙන් පුදකර තිබේ. කීර්තිමත් විශ්ව විද්‍යාල දෙකක් ඔහුට සම්මාන උපාධි පිරිනමා ඇත. එයට පසුබිම ඔහු පෙන්වන දේ අමුතු බව දැනෙන නිසාය. පනස් දෙහැවිරිදි මැල්කම් ග්ලැඞ්වෙල් සිද්ධි දෙස බලන්නේ වෙනස් ආකාරයකටය. වෙනස් අදහස් මතු කරන විට ප‍්‍රතිපත්ති සම්පාදකයන් එම අදහස් දෙස බලන්නේ වැදගත් කාරණා එහි සංගෘහිත හෙයින්ය. එය ජාත්‍යන්තර තලයේ සිදුවෙමින් පවතින දේ වෙනස් කරන පෙළඹවීමකට හේතු වන බව නිරීක්ෂණය කළ හැකිය.