» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/05/2017 - දේශය
ෆෝර්ඞ් පවුලේ අලූත් තරුව

හෙන්රි ෆෝර්ඞ් මෝටර් රථයක් නිෂ්පාදනය කරන කාලයේ ඒ යුගයේ සිටි ජනතාව ඉල්ලා සිටියේ වේගයෙන් දුවන්නට හැකි අශ්වයෙකි. අශ්වයන් උපයෝගී කරගෙන ගමන් බිමන් යමින් සිටි සමාජය එයින් පරිබාහිරව සිදුවන දේ ගැන එපමණ අවධානට යොමු කළේ නැත. ඒ කාලයේ මිල එනම් 1903 දී පමණ එකල විසූ සාමාන්‍ය ජනතාවට කාර් එකක් ගන්නට වත්කමක් ද නොතිබුණි. හෙන්රි ෆෝර්ඞ් නිපදවූ කාර් එක සාමාන්‍ය ජනතාවගේ වාහනය බවට පත් කළ අතර කම්හලේ වැඩ කරන සේවකයන්ගේ වැටුප් දෙගුණයක් දක්වා නංවා ඇමරිකානු සමාජය පරිවර්තනයකට ලක් කළේය. දැන් ඔහුගේ මී මුණුබුරන්ගේ යුගයයි. ෆෝර්ඞ් පරපුරේ වත්මන් නියෝජනය වන බිල් ෆෝර්ඞ් ගේ උත්සාහය රියැදුරෙකු නැති ස්වයං පාලිත එසේම විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමය. එවැනි වාහන වල යම් යම් ලක්ෂණ සහිත නව නිපැයුම් බිහිවෙමින් තිබේ. ලෝකයේ තැනින් තැන විවිධ පර්යේෂකයන් වානිජ මට්ටමින් අලූත් වාහන ආකෘති ඉදිරිපත් කරන වකවානුවක බිල් ෆෝර්ඞ් උත්සාහ කරන්නේ පවතින සුපිරි මිල අඩු කර රියැදුරෙකු නැති වාහනයක් පොදු ජනතාවට අඩු මිලට දෙන්නටය. කලින් පරම්පරාව කළ වෙනස නැවතත් කරන්නට සමත්වුවහොත් ඇමරිකානු සමාජයේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද ගමනාගමනය ගැන දැනට පවතින ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් වනු නිසැකය.

අද වන විට ලෝකයේ ප‍්‍රකට සමාගම් ඉලෙක්ටි‍්‍රක් වාහන නිපදවීම ආරම්භ කර තිබේ. ඒවායේ මිල ගණන් ගැන විවිධ අදහස් ඇති අතර තවමත් සමාජය මෙම වාහන කෙරෙහි සම්පූර්ණ අවධානය දක්වා නැත. ඒ අතරවාරයේ රියැදුරෙකු රහිතව ස්වයං පාලිත මෝටර් රථයක් වෙළඳ පොලට එවීම ගැන සමාගම් අතර පර්යේෂණ නොනැවතී සිදුවෙයි. දැනට එය බොහෝදුරට සාර්ථක වී ඇති අතර තොරතුරු තාක්ෂණ සමාගම් හා වාහන නිපදවන සමාගම් අතර පවතින සම්බන්ධතා තරවුවහොත් එවැනි වාහන නොබෝ දිනකින් මහා මාර්ග වල ධාවනය වනු ඇත. සමහරවිට නීති සම රක්ෂණ අංශ මේ ගැන තවත් හිතා බලන්නට ඉඩ තිබේ. නමුත් ඉදිරි වසර විස්ස තුළ එන්ජිමක්, ස්ටීරියන් වීල් අවශ්‍ය නැති සැහැල්ලූ වාහනයක් වෙළඳ පොලට එනු ඇත. ඒ සඳහා පැවැතෙන තියුණු තරඟයෙහි ෆෝර්ඞ් සමාගම ඉදිරියෙන් ඉන්නා බව පර්යේෂකයන් දක්වන අතර ගමන් බිමන් වෙනුවෙන් වාහනයක් මිලදී ගත යුතු නැති, රියැදුරෙකු අනවශ්‍ය හා වාහන ගාල් කර තබන්නට ඉඩ කඩ වෙනුවෙන් මහන්සි විය යුතු නැති යුගයක් ෆෝර්ඞ් අලූත් පරම්පරාව නිර්මාණය කරනු ඇතැයි විශ්වාසයයි.

මෙම පරිවර්තනය වෙනුවෙන් අලූත් අධිෂ්ඨානයකින් ක‍්‍රියා කරන බිල් ෆෝර්ඞ් ඇමරිකාවේ මිචිගන් හි ඩිට්‍රෝයි හි උපත ලබා ඉතිහාසය ගැන වැඩිපුර ඉගෙනගෙන කළමනාකරණය සම්බන්ධයෙන් ශාස්ත‍්‍රපති උපාධියක් ලබා ගෙන ඇත. ෆෝර්ඞ් ආයතනයේ සාමාන්‍ය තනතුරකින් සේවයට එකතුවන හෙතෙම එහි නවීකරණය සොයා බලන අතර පසුව ඔහුට පැවරෙන්නේ බර වාහන අංශයයි. එහි ඉන්ධන කාර්යක්ෂමතාව සියයට විසි පහකින් නංවන්නට බිල් ට හැකියාව ලැබේ. පියවරෙන් පියවර අත්දැකීම් සහිතව ඉදිරියට එන හෙතෙම පසුව ආයතනයේ ප‍්‍රධාන තනතුර භාරගන්නා අතර එය අලූත් පරිච්ෙඡ්දයක ආරම්භය සනිටුහන් කරයි. සමාගමේ දියුණුව පමණක් නොව ස්වාමි සේවක සබඳතා ද ඔහු අගය කරයි. සමාගමේ සේවකයන් එක්ව පාපන්දු කී‍්‍රඩා කරන හෙතෙම අන්තර් සමාජ තරග වල දී දස්කම් පෙන්වා තිබේ. ඔහු ඩිට්ට්‍රොයි සිංහ සමාජයේ පාපන්දු කණ්ඩායමේ නායකයාය. බිල් ෆෝඞ් නිර්මාංශිකයෙකි. හෙතෙම අද වන විට ආසියානු ආගම් කෙරෙහි වැඩිපුර අධ්‍යයනය කරන තත්ත්වයට ප‍්‍රවේශ වී ඇති බව සඳහන්ය. නිතිපතා භාවනා කරන බිල් ඒවා කරන්නේ නව තාක්ෂණය සම්බන්ධ කරගෙනය. නවීන තොරතුරු තාක්ෂණයෙහි ‘‘භාවනා ඇප්’’ ඇති අතර බිල් ෆෝර්ඞ් භාවිතා කරන්නේ ඒවාය.

බිල් ෆෝර්ඞ් පවතින ප‍්‍රවාහනයෙහි වෙනසක් තුළින් රාමුව වෙනස්කරන්නට තැත් කරන්නේ ඇයි? ඔහු කියන අන්දමට ඇමරිකානුවන් වසරක කාලයක් තුළ අඩුම තරමින් මාර්ග තදබදය නිසා සතියක පමණ කාලයක් සාමාන්‍යයෙන් මහ පාරට කාලය නාස්ති කරයි. එය කාලය අපතේ යැවීමකි. ඇමරිකානුවන්ට වඩා චීනය මහ මග කාලය නාස්ති කරන අතර ෆෝර්ඞ් කාර් තාක්ණයෙන් දියුණු කර හරිත බලශක්තිය යොදවන නමුත් එය ද ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට උත්තරයක් නොවේ. බිල් ෆෝර්ඞ් ‘‘හරිත වාහන හරිත වාහන තදබදයක් ඇති කරනු ඇති බව සඳහන් කරන්නේ එක්තරා උපහාසයක් ද සහිතවය.

2014 වසරේ දී බිල් ෆෝර්ඞ් ගේ නායකත්වයෙන් සමාගම වඩාත් පරිසර හිතකාමී වාහන සමාගම ලෙස සම්මානයක් දිනා ගත්තේය. 2017 වසර දක්වා පිලිවෙලින් වසර හතක් ෆෝර්ඞ් සමාගම වඩා ප‍්‍රතිපත්ති ගරුක ලෙස ඉන්නා බවට ඇගයීමට ලක් කර ඇත. ෆෝර්ඞ් සමාගම දැනට අත්පත්කරගනෙ ඇති තත්ත්වය තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය සේ දකින හෙතෙම හරි දේ ගැන පවතින ජනතාවගේ විශ්වාසය හෙයින් පවුලේ සමාගමේ වත්මන් ජයග‍්‍රාහීත්වය හැර යමක් නැති බව බිල් කියා සිටී. 2005 වසරේ දී හෙතෙම ෆෝර්ඞ් සමාගම යටතේ මාර්ග ආරක්ෂාව සම්බන්ධ ස්වේච්ඡා බලකායක් පිහිටුවීය. අද වන විට එය රටවල් හතලිහක ව්‍යාපෘති 9,000 ක ස්වේච්ඡා සේවකයන් තිස් දහසක් කටයුතු කරන බව අනාවරණය වෙයි.

වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර බිල් ෆෝර්ඞ් හමුවූ අතර මුහුණට මුහුණ කරන ලද සාකච්ඡාව ඉතා අර්ථාන්විත වූ බව පසුව බිල් ප‍්‍රකාශ කළේය. නමුත් ෆෝඞ් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක් මෙක්සිකෝවේ ආයෝජනය කරන බව සඳහන් වූ විට දේශපාලන වේදිකාවේ දී ට‍්‍රම්ප් දෝෂාරෝපණයෙන් යුතුව කතාකළේය. නමුත් බිල් කියා සිටියේ එවැනි කතා ප‍්‍රශ්නයක් නැති අතර තමන් නිර්මාණය කරන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ වෙනස බව කියා සිටියේය. හෙන්රි ෆෝර්ඞ් ජනතාවගේ ගමන් බිමන් ගැන එතෙක් පැවැති ව්‍යුහය බිඳීන ලද අන්දමට අනාගතයේ දී ලෝකයේ බලශක්තිය වැය නොකරන අඩුම තරමින් එන්ජිමක් පවා නැති ප‍්‍රවාහන මෙවලමක් නිපදවන අභිලාශයක බිල් පසුවෙයි. එය වෙනුවෙන් කරන පර්යේෂණ හමුවේ ලෝකයේ සෙසු සියළුම සමාගම් සමග කරට කර ඉන්නා බව කියන හෙතෙම නියත වශයෙන්ම 2021 වනවිට එකී වාහන අලෙවිය සඳහා ඉදිරිපත් කරන බව වතාවක් මාධ්‍ය ප‍්‍රශ්න කරන අවස්ථාවේ දී සඳහන් කළේය. එය ඔහු සතු අධිශ්ධානයක තරම මැනවින් විදහා දක්වයි. දැනට කරගෙන යන නවතම පර්යේෂණ අනුව වාහන පදවන්නෙකු ගේ සහ මහ මග ගමන් කරන සෙසු අයගේ ආරක්ෂාව උදෙසා සුවිශේෂ තාක්ෂණික මෙවලම් කිහිපයක් නිර්මාණය කර ඇති අතර ඒවා ස්වයං කි‍්‍රයාකාරී රියැදුරෙකු රහිත වාහනයක් කරා යන ගමනේ සැලකිය යුතු සන්ධිස්ථාන සේ සැලකෙයි.

තමන්ගේ පරම්පරාවේ දරුවන් ඉදිරියේ දී ෆෝර්ඞ් ව්‍යාපාර කටයුතු වල නිතරව සිටිය හැකි බව කියන බිල් ඒ කෙසේ වෙතත් ප‍්‍රවාහනයේ විප්ලවයක් සිදුවනු ඇති බව දක්වයි. ලෝකයේ වෙනත් සමාගම් පවා රියැදුරෙකු රහිතව ධාවනය කළ හැකි වාහන නිපදවන අරමුණ ඇතිව මෙහෙයැවෙන අතර එකී අවස්ථා තර්ජනයක් නොව අප සියළු දෙනා මුහුණ දී සිටින්නේ අනාගත අභියෝගයට වන අතර සියළු දෙනා විසදුමක් වෙනුවෙන් හවුල්කරුවන් බව බිල් ෆෝර්ඞ් කියන්නේ අභිමානයකින්ය.