» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/02/2016 - දේශය
ලෝකෙටම උපදෙස් දෙන එඩ්වඩ්

පවුලේ දෙන්නා දෙමහල්ලෝ විරසක විය. දෙදෙනාට වෙන්වෙන්නට උවමනා වූ අතර බරපතලම ගැටලූව වුයේ දරුවන්ගේ භාරකාරීත්වයයි. අම්මා තීරණය කළේ මේ සම්බන්ධයෙන් හොඳම උපදේශය ලබා ගැනීමටය. උපායශීලි අදහස් විශේෂඥයෙකු සොයා යන්නේ ඒ අනුවය. එඞ්වඞ් ලැට්වක් මුණ ගැසෙන්නේ ඒ අනුවය. එඞ්වඞ් ගේ පිහිට ලැබෙන්නේ එම දෙමාපියන්ට පමණක් නොවේ. මූලෝපායික ආකාරයට ප‍්‍රශ්නයකට විසඳුමක් අපේක්ෂා කරන ඕනෑම පාර්ශවයකට ඔහුගේ අදහස් සහ මගපෙන්වීම ලබා ගැනීමට හැකිය. එඞ්වඞ් සේවාව වෙනුවෙන් ගාස්තුවක් අය කරන අතර එය ආණ්ඩුවකට අයකරන මුදල වෙනස් එකක් වන අතර පුද්ගලයෙකුට වෙනස් එකක් වන තරමට සාධාරණ එකකි. සුප‍්‍රසිද්ධ අධ්‍යාපනඥයෙකු වන එඞ්වඞ් මේරිලන්ඞ් හි මැකියාවෙලි යනුවෙන් ප‍්‍රසිද්ධ වෙන්නේ ඒ නිසාය.

මැකියාවෙලි බටහිර දාර්ශණිකයෙකි. ඔහු ආණ්ඩු කරන ආකාරය ගැන උපදෙස් දෙන්නේය. කෞටිල්‍ය එවැනි දාර්ශණිකයෙකු බව පෙරදිග සාහිත්‍යයෙහි දී හමුවෙයි. මහෝෂධ හමුවෙන්නේ බෞද්ධ සාහිත්‍යයෙහිය. නමුත් එඞ්වඞ් ලැට්වක් උපදේශයක් අවශ්‍ය ඕනෑම තැනකට ප‍්‍රායෝගිකව උපදේශයක් දෙන්නට සමත් විද්වතෙකු හැටියට ජාත්‍යන්තරය තුළ නමක් දිනාගෙන තිබේ. හෙතෙමෙ මූලෝපායික විශේෂඥයෙකි. දේශපාලන විශේෂඥයෙකි. ඉතිහාසඥයෙකු වන අතර ආරක්ෂක හමුදා මෙහෙයුම් සම්බන්ධව ඔහුට ආවේනික ආකාරයකට ගවේශණය කරන්නෙකි. ඔහු විසින් ඉදිරිපත් කර ඇති අදහස් වලට අනුව ඓතිහාසික සිද්ධි නැවත සලකා බලන්නට සිදුව ඇති අතර එම මත සුවිශේෂී ඒවා සේ සලකන්නට විද්‍යාර්ථීන්ට සිදුවී තිබේ.

එඞ්වඞ් යුදෙව් සම්භවයක් ඇති පුද්ගලයෙකි. ඉගෙන ගන්නට බි‍්‍රතාන්‍යයට යන හෙතෙම වැඩිදුර අධ්‍යාපනය ලබා ගනී. ලන්ඩන් ඉකොනොමික්ස් ස්කූල් හි අධ්‍යාපනය හදාරන එඞ්වඞ් එහිදී විශ්ලේෂණාත්මක ආර්ථිකය සම්බන්ධයෙන් උපාධියකට හිමිකම් කියයි. පසුව ඇමරිකාවේ පදිංචියට යයි. එරට විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලබන ඔහු ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් උසුලන්නේය. ඒ අතරම ඔහු ඇමරිකානු ගුවන් සහ නාවික අංශ වල වෘත්තීය කටයුතු වල නිරත වෙයි. මේවායේ දී ඔහු ක‍්‍රියා කරන්නේ සුපරීක්ෂාකාරී ආකාරයකටය. එම කාර්යයන් හි දී ගැටුම් සහ අර්බුද නිරාකරණය සම්බන්ධයෙන් අත්දැකීම් සම්භාරයක් ලබා ගනී. එයින් ලැබූ ශක්තිය සහිතව අලූත් ක්ෂේත‍්‍රයකට ප‍්‍රවේශ වෙන හෙතෙම අද ජාත්‍යන්තරය තුළ නමක් දිනාගෙන ඇත්තේ අති විශිෂ්ට මූලෝපාය විශේෂඥයෙකු හැටියටය. 1968 අවුරුද්දේ හෙතෙම කෘතියක් සම්පාදනය කරයි. එය අත් පොතකි. ලෝකයේ බලය තහවුරු කරගන්නට තැත් දරන පාලකයෝ මෙම කෘතිය ඔවුන්ගේ පුද්ගලික පුස්තකාලයේ තබාගෙන පරිහරණය කරන බව අනාවරණය වී තිබේ. අරගල කරුවන් එය පරිහරණය කර තිබේ.

එඞ්වඞ් ගේ උපක‍්‍රමශීලී බව ගැන ලෝකය පුරා පැතිරෙන්නේ ඔහු ක‍්‍රියාකරන විස්මිත ආකාරය හෙයින්ය. ප‍්‍රශ්නයක් දෙස සෘජුව බලන ඔහු එයට ප‍්‍රායෝගිකව උත්තරයක් දෙයි. එය වෙනත් කෙනෙකු හිතන්නේ නැති ආකාරයට කරන නිර්දේශයකි. එම නිර්දේශ කරන විට ප‍්‍රශ්නය කොටස් කර හැම පැත්තෙන්ම අධ්‍යයනය කර සමුපූර්ණ විසඳුමක් වශයෙන් ඉදිරිපත් කරන්නේය. ඕනෑම ආණ්ඩුවකට පමණක් නොව පුද්ගලයෙකුට හෝ ආයතනයකට ඔහුගේ ඉතා ප‍්‍රායෝගික උපක‍්‍රම ගැන උපදෙස් ගන්නට හැකිය. ඒවා සාර්ථක වී තිබේ. එක් අවස්ථාවක ඊශ‍්‍රායලය ඔහුගේ උපදෙස් පතයි. තවත් අවස්ථාවක ඇමරිකාව ඔහු ප‍්‍රයෝජනයට ගනී. කසකස්තානයට ප‍්‍රශ්නයක් වූයේ එරට උතුරු බෝඩරයට එන සංක‍්‍රමණිකයන් කරදරයක් නැතිව අන් ප‍්‍රදේශයකට ඉටත් කිරීම ගැනය. ආසියානු රටක් එරට බුද්ධි අංශය ප‍්‍රතිශෝධනයකට එඞ්වඞ් ගේ උපායශීලී අදහස් මැනවින් ප‍්‍රයෝජනයට ගෙන තිබේ. ඉතාලියේ සමාගමක් ඔහුගේ පිහිට පතන්නේ ඇස්බැස්ටස් නිෂ්පාදන වලට එරෙහිව පැන නැගුණ නීති ප‍්‍රශ්නයකින් ගැලවෙන්නටය. ටොන්ගා රාජ්‍යයේ ධීවරයෝ එරට ඩොල්පින් සම්පතට ජපානයෙන් එල්ල වන බාධා ගැන උපදේශයක් ඉල්ලා සිටියේය. මේ සියලූම දෙනාට ගැලපෙන විසඳුම් ඔහුට තිබිණ. එහෙයින් ඔහු ජනතාන්ති‍්‍රකයෙකු බවට පත්ව වී සිටී. අලූත් ඉසව්වක් සොයා ගිය විද්වතෙකු හැටියට නමක් දිනාගෙන තිබේ.

ෙඑඞ්වඞ් ලැට්වක් නිතර අධ්‍යයනය කරයි. ලෝකයේ සිදුවන දේ ගැන අවධානයෙන් සිටියි. එක් එක් යුගවල සිදුවූ දේ දැඩි මතවාදී ආකාරයට විග‍්‍රහ කරයි. රෝමයේ සිදුවූ පමණක් නොව ඇමරිකාව කරන දේ ද ඔහුගේ දාර්ශනික විමර්ශණයට ලක්වන්නේ දැඩි පැතලි සාධක සහිතවය. එම සාධක වලින් අනාවරණය කරන්නේ මෙතෙක් අනාවරණය නොවූ පැත්තකි. හෙතෙම බුද්ධිමතෙකු පමණක් නොව උපායශීලියෙකු වෙන්නේ ඒ හෙයින්ය.'තීරණ වශයෙන් ගත යුතු හැමදෙනාම අහන්න කැමැති දේ නෙවෙයි. කළ යුතු දේ කියන්නට අවශ්‍යයි.' එඞ්වඞ් නිතර කියන කාරණයක් බවට පත්ව තිබේ. ව්‍යුහයෙන් පිට පැන ප‍්‍රශ්න දෙස බලන හෙයින් එඞ්වඞ් සපයන උපාය නැවුම් අත් දැකීම් බව ජාත්‍යන්තරය එකහෙලා පිළිගෙන තිබේ. එය සුවිශේෂී කාරණයකි.

එඞ්වඞ් ලැට්වක් කෘති විශාල ප‍්‍රමාණයක් ලියා තිබේ. යුද්ධය සහ සාමය සම්බන්ධ තාර්කිකත්වය ඉමහත් ආන්දෝලනයට ලක්විය. එය අති විශිෂ්ඨ කෘතියක් බව එකහෙලා පිලිගෙන තිබේ. තනි පුද්ගලයෙකු වශයෙන් ඉතා සුපරීක්ෂාකාරීව මත හැසිරවීම සහ කිසිසේත් නොසිතන පැති වලින් අර්බුදයක් සාකච්ඡා කිරීම ජාත්‍යන්තර ප‍්‍රජාව මිවිතකරන කාරණයක් බවට පත්ව ඇත. ඉකුත් වසර තිහ තුළ ඔහු කර ඇති අධ්‍යයන පිටුපස ඇති කතාන්දරය ගැන ජාත්‍යන්තර මාධ්‍ය නොයෙක් විග‍්‍රහ ඉදිරිපත් කර ඇති අතර ඒවා එකහෙලා කියන්නේ ඔහුගේ දර්ශනය, ගැටලූවක් දකින ආකාරය ලොව අසමාන පුද්ගලයන්ට පරමාදර්ශයක් වී ඇති බවය. ඒ අනුව සලකන විට ඔහු ඔවුන් අතර ද ඉහළින් සිටින චරිතයක් බව පැහැදිලිය.

මෙම සියලූ මූලෝපායික පෙන්වා දීම් හමුවේ අවුරුද්දකට ඇමරිකානු ඩොලර් මිලියනයක් පමණ උපයන බව අනාවරණය වෙයි. මැක්සිකෝවේ සංචාරකයන්ට මත තොට දී පාතාල කල්ලි වලින් සිදුවන හිරිහැර මඟ හැරවීමේ සිට දලයි ලාමා තුමාට චීනය සමග සම්බන්ධතා පවත්වාගැනීඹ දක්වා එකිනෙකට වෙනස් කාරණා ගැන උපදෙස් දෙන්නට, ඒ වෙනුවෙන් මෙහෙයැවෙන ආකාරය ගැන මූලෝපායික දේශනයක් පවත්වන්නට සමත්වීම ශූර සමත් භාවයක් බව ලෝකය එක හෙලා පිලිගෙන තිබේ. ඔහුගේ උපදෙස් නිසා ආණ්ඩු වල පාලන ස්ස්කෘතියේ වෙනස්කම් සිදු වී ඇත. එයින් වලකාගන්නා ලද බැරූරුම් අවස්ථා අති විශාලය. සමාගම් වලට ලබා දෙන උපදෙස් හෙයින් එම සමාගම් වල ලාභ නොසිතන ආකාරයට ඉහළ නැග තිබේ. එඞ්වඞ් වෙනස් ආකාරයට දකින දේ අත් විඳින්නට ජාත්‍යන්තර ප‍්‍රජාව කැමැතිය. ආණ්ඩු පමණක් නොවේ පුද්ගලික අංශය ද එහෙමය. එපමණක් නොව පුද්ගලයන් ද ඔහු වටා එකතු වෙයි. අලූත් දේ අලූත් ආකාරයට දකින්නට ඔහු අතීතය අධ්‍යයනය කරන අතර ඒ සිද්ධි දෙස බලන්නේ ද අලූත් නිර්වචනයක් සහිතවය. විශේෂත්වය එයයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.