» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/01/2018 - දේශය
කිඹුලෙකු නොවේ යැයි කියන එමර්සන් මනන්ග්වා

එමර්සන් මනන්ග්වා සිම්බාබ්වේ හි අලූත් ජනාධිපතිවරයාය. ජනතාව ඔහු හදුන්වන්නේ අපේ ‘‘කිඹුලා’’ යන සුරතල් නමින්ය. ‘‘මම කිඹුලෙක් නෙවෙයි.’’ එමර්සන් තියුණු, තීරණාත්මක වචන වලින් කියයි. නමුත් හෙතෙම එම නමට අකමැති බව කියා නැත. ගොදුර තමන් අසලට එන තුරු නිහඞව, නිසොල්මන්ව සිටින කිඹුලා ඉතාම වේගයෙන් ක්ෂණිකව ගොදුර ඩැහැ ගනී. සිම්බාබ්වේ රාජ්‍යය තුළ නිහඞ ආක‍්‍රමණිකයෙකු විය හැකි නමුත් බලයට එන තුරු ඉවසිල්ලෙන් සිටි හෙයින් හෝ එරට කැරළි මැඩ පවත්වන්නට කි‍්‍රියා කරන ලද අන්දම හෙයින් හෝ ඔහු කිඹුලා යැයි කියන්ට වැසියෝ කැමැතිය.

රොබට් මුගාබේ තිස් හත් වසරක් සිම්බාබ්වේ පාලනය කරන ලද අතර වෙනත් නායකයෙකු වෙත ඉඩ නොදී සිය බිරිඳ ජනාධිපති ධුරයට පත් කරන්නට ක‍්‍රියා කරමින් සිටිය දී එරට හමුදාව බලය අල්ලා ගත්තේය. ඒ වන විට උප ජනාධිපති වශයෙන් සිටි එමර්සන් රටින් පලාගොස් සිටි අතර ඔහු කියා සිටියේ සිය ජීවිතාරක්ෂාව පතා රටින් පිටවූ බවය. මුගාබේ තමන් ඝාතනය කරන්නට සැලසුම් කළ බව චෝදනා කළේය. සිය බිරිඳ පක්ෂයේ ඉහළ තනතුරකට පත් කර පියවර කිහිපයකින් පසු සිම්බාබ්වේ ජනාධිපතිනිය තෙක් කැඳවීමට මුගාබේ කළ උත්සාහය පරාජය කරන ලද එරට හමුදාව රටින් බැහැරව සිටි උප ජනාධිපති එමර්සන් නැවත මව්බිමට කැඳවා ඔහුට ආණ්ඩුව බාර දුන්නේය. එමර්සන් මනන්ග්වා ජනාධිපති ධුරයට පත් වහා විනිවිද පෙනෙන පාලන ක‍්‍රමයකට අවතීර්ණ වූ අතර ජාත්‍යන්තරයට කතා කර තමන් සමග එකතු වන සේ ඉල්ලා සිටියේය. නොබෝදා හෙතෙම ප‍්‍රකාශයක් කරමින් නිදහස් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන අතර එය ජූලි මාසයට පෙර බලාපොරොත්තු වන සේ කියා තිබේ. ලෝක ආර්ථික සංසද සැසිවාරයකට සහභාගී වූ නව ජනාධිපති එමර්සන් සිම්බාවේ රට ආයෝජනයට විවෘත බව ද ප‍්‍රකාශ කළේය.

සිම්බාබ්වේ නිදහස වෙනුවෙන් කැපවූ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිපදෙනා අතරින් එමර්සන් ද අයෙකි. ඔහු ගැන රටවැසියන් තුළ ඇති ආකල්පය තරමක දරදඞු නායකයෙකු වශයෙනි. ඔහුගේ දරුවන් පවා කියන්නේ තම පියා තද අදහස් සහිත පුද්ගලයෙකු බවය.

එමර්සන් 1942 වසරේ සැප්තැම්බර් 15 වැනිදා උපත ලැබූ බව සඳහන්ය. එරට බහුතරට වන ෂෝනා ප‍්‍රජාවට අයත් අයෙකි. බලයේ සිටින ස්නූ පීඑෆ් පක්ෂයේ ප‍්‍රබල සාමාජිකයෙකු වන හෙතෙම 2014 වසරේ සිට මුගාබේ ගේ ආණ්ඩුවේ උප ජනාධිපතිවරයාව සිටියේය. දරුවන් හය දෙනෙකුගෙන් යුත් ගොවි පවුලක දරුවෙකු වූ එමර්සන් බාල වියේ දීම ඔහුගේ පියා ඇතුළු පවුලේ අය සුදු පාලකයන් පලවා හැර නිදහස දිනාගැනීමට කර ලද අරගල හෙයින් පන්නරය ලබන්නේය.

ඉතිහාසය දෙස බලන විට එමර්සන් මනන්ග්වා රොඬේෂියන් බුෂ් යුද කාලයේ දී ගරිල්ලා නායකයෙකි. ලිබරල් හමුදාවේ සේවය කළේය. ටැන්සානියාවේ ආරක්ෂක කඳවුරක පුහුණුව ලබමින් සිටි අවස්ථාවක එවකට ක‍්‍රියාකාරකම් විවේචනය කළ වරදට මරණ දඞුවම නියම වූ නමුත් වෙනත් නායකයන් දෙදෙනෙකු ගේ මැදිහත්වීමෙන් තීරණය වෙනස් කරගත හැකිවිය. පසුව එම දෙපොල සමග එකතු වී අලූත් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළේය. එම ව්‍යාපාරය වරින් වර පුහුණුව සඳහා සිය නායකයන් විදේශ ගත කළේය. ඒ අනුව එමර්සන් ඊජිප්තුවේ හා චීනයේ දී ඉගෙන ගෙන ඇත. බෙයිජිං හි ද්‍රෘෂ්ඨිවාදය ගැන උගන්වන කොමියුනිස්ට් පක්ෂ පාසලක අධ්‍යාපනය ලැබීම ඒ අතර වැදගත් එකකි.

මව්බිමට පැමිණි හෙතෙම ‘‘ක්‍රොකඩයිල් ගැංග්’’ යන කණ්ඩායමකට සම්බන්ධ වූ අතර එම බල ඇණිය සුදු පාලකයන්ට අයත් ගොවිපොල වලට පහරදීම අරමුණු කරගෙන ස්ථාපිත කර ඇත. කිඹුලා යන අන්වර්ථ නම පට බැඳෙන්නට එය ද එක හේතුවක් බව ප‍්‍රකාශ වෙයි. එන අවස්ථාවක සුදු පාලන ප‍්‍රදේශයක දුම්රියකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට විරුද්ධව පැවැති නඩු විභාගයක දී මරණ දඞුවම නියම වූ අතර එයින් ගැලවෙන්නේ ඔහුගේ නීතිඥයන් ගේ තර්ක අනුව හෙතෙම අවුරුදු විසි එකට අඩු බාලවයස්කාර දරුවෙකු බව ඔප්පු කිරීමෙන් අනතුරුවය. උපන් දිනය අනුව එය අසත්‍යයක් නමුත් අදටත් ඔහුගේ උපන් දිනය ගැන නියම විස්තරයක් පළ නොවීමට එය ද බලපා ඇත. දස වසරක සිරදඞුවමක් අඩු වයස් එමර්සන් මනන්ග්වා ට හිමි වූ බව දැක්වෙයි. මුගාබේ සමග මිත‍්‍රත්වය අරඹෙන්නේ සිරගෙදර දීය. සිර ගෙදර දී අධ්‍යාපනය අරඹන හෙතෙම මූලික අධ්‍යාපනයෙන් පසු නීතිය හදාරයි. දඞුවමෙන් නිදහස ලැබූ පසු අධ්‍යාපනයේ ඉතිරි කොටස් අවසන් කරන එමර්සන් සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගනී. පසුව බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාලයක ද ඉගෙනගන්නා හෙතෙම නීති කටයුතු වල නිරතව කෙටි කාලයකින් සිම්බාබ්වේ හි පළමු කලූ ජාතික විනිසුරුවරයා වශයෙන් ද පත්වීම් ලැබීය.

1980 දී සිම්බාබ්වේ රාජ්‍යය පිහිටවූ පසු ඉහළ තනතුරු ගණනාවක් ඉසිලූ අතර ජාතික ආරක්ෂක ධුරය ද ඒ අතර විය. ස්වදේශිකයන් මෙහෙයවන ලද කැරළි මර්දනය කිරීමේ දී ඔහුගේ අණ අනුව විසි දහසකට අධික පිරිසක් හමුදාව විසින් ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර වාර්තා පෙන්වයි. මැතිවරණ වල දී ජනාධිපති මුගාබේ ගේ ජය වෙනුවෙන් ඉවක් බවක් නැතිව මැතිවරණ ප‍්‍රචාරණ හා සංවිධාන කටයුතු වල නිරත වූ බව දැක්වෙන අතර ඉතාම සමීපව සේවය කරන ලද හෙයින් අධිකරණ, ආරක්ෂක සහ ග‍්‍රාමීය නිවාස වැනි විවිධ ඇමැති ධුර වල කටයුතු කරන්නට අවස්ථාව ලැබී ඇත.

මුගාබේ ගේ පාලන කාලයේ ඔහුගේ බලවත් හා සමීප නායකයෙකු වූ එමර්සන් මනන්ග්වා අද එම පැරණි සිද්ධි පැත්තකින් තබන්නට සූදානම්ය. එක්තරා මාධ්‍ය සාකච්ඡාවක් අවස්ථාවක සිවිල් ජනයා ඝාතනය කරන ලද මෙහෙයුම් වලට දායකවීම අමතක කරන්නැයි සිබ්බාබ්වේ නව ජනාධිපති එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියේය. පවතින තත්ත්වය අනුව හෙතෙම රටේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද වීරයෙකු සේ පෙනී සිටියි. ආර්ථිකය හා සමාජය ලෝකයට විවෘත කරන අතර ජාත්‍යන්තරය සමග සම්බන්ධ වන්නට තැත් කරන ස්වභාවයක් පෙන්වයි. රට තුළ නීතිය හා විධිවිධාන ස්ථාපිත කළ යුතු බව අවධාරණය කරමින් සිටී. විරුද්ධ දේශපාලන පක්ෂ නියෝජිතයන් එමර්සන් ද මුගාබේ පාලනයේ කොටසක් බව පෙන්වමින් සියළු වැරදි වල කොටස්කරුවෙකු බව අවධාරණය කරන නමුත් එමර්සන් තමන් දුරස්ථව සිටි අයෙකු බව පෙන්වන්නට තැත් කරමින් සිටී. අලූතින් පටන්ගමු යැයි කියන වන ජනාධිපතිවරයා සියළු ජාතීන් එක්සත්ව ඉදිරියට ගමන් කරන්නට අවශ්‍ය බව පෙන්වා දෙයි.

ණය බර අඩු කර ආර්ථිකය දියුණු කරන යෝජනා ඉදිරිපත් කරන නව ජනාධිපති එමර්සන් විනිමය අනුපාතිකය, මූල්‍ය අණ පණත් ඉඩම් නීති හා විසි වසරක් තිස්සේ පැවැති දේශපාලන කලබැගෑනිය ද ගැන ව්‍යාපාරික ප‍්‍රජාව කනස්සල්ලෙන් පසු වූ බව දන්නා බව ද කියා තිබේ. හිටපු ජනාධිපතිවරයා සමග දශක තුනක් එකට වැඩ කිරීමෙන් පසු දින පහලොවකට රටින් පලාගොස් සිටි එමර්සන් නැවත ආපසු පැමිණ බලයට පත් වූ අතර සිම්බාබ්වේ ව්‍යුහය වෙනස් කරන්නට ඔහුට අවශ්‍යව ඇත. සියල්ල අමතක කර අලූත් ගමනකට යෝජනා ගෙන එයි. මුගාබේ ගේ සම්බන්ධතා සහ දශක තුනකට වැඩි කාලයක් ඔහුගේ ආණ්ඩුවේ තනතුරු වලින් කළ කී දැ නොදන්නා සේ හැසිරෙයි. ජාත්‍යන්තරය සම්බන්ධ කරගෙන ඔහු ගමන් කරන්නේ කෙසේදැයි සියළු දෙනා බලා සිටිති.