» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/11/2016 - දේශය
සමාජ මාධ්‍ය නොනවතින රැල්ල

ජෝන් කෙරී වියට්නාම් යුද්ධයේ දී ඇමරිකාව වෙනුවෙන් නාවික ශක්තිය කොතරම් දැයි පෙන්වන්නට සමත් වූ ප‍්‍රබල නිලධාරියෙකි. නිර්භීත මෙහෙයුම් වෙනුවෙන් හෙතෙම වර්ණ දිනා ඇත. පසුව සෙනෙට් සාමාජිකයෙකු හා රාජ්‍ය ලේකම් ධුරයට පත් ඩිමොක‍්‍රටික් දේශපාලනයෙහි නිරත වූ කෙරී ගැන නොබෝදා සමාජ මාධ්‍ය තොරතුරක් කියා සිටියේ ඔහු යුද්ධයට ගිය නැති බවය. සටන් බිමට ගිය ඒ වෙනුවෙන් සම්මාන දිනූ ජෝන් කෙරී නම් මෙම රාජ්‍යතාන්ත‍්‍රිකයා යුද්ධයට නොගිය බව කිසිසේත් පිළිගත හැකි තොරතුරක් නොවේ. නමුත් සෑහෙන පිරිසක් එම ආරංචිය ඇත්ත එකක් සේ විශ්වාස කළේය. ඇත්ත නොපෙන්වන්නටත්, අසත්‍ය දේ තටු මවා ලෝකය පුරා විසුරුවන්නටත් සමාජ මාධ්‍ය සමත්ව තිබේ. මෙම සිද්ධිය එම පැත්ත පෙන්වන කදිම උදාහරණයකි. ලෝකයේ සියළු තැන්වල සිදුවන දේ ගැන සමාජ මාධ්‍ය පළකරන තොරතුරු හැබෑ ඒවා ද නැද්ද යන්න ගැන ගැටළු මතු කර තිබේ. සමාජ මාධ්‍යයෙහි බලය ගැන මහත් ආහ්ලාදයකින් වැළඳ ගත් ප‍්‍රජාව මේ ගැන හිතන්නට සූදානම්ය. ජගත් නායකයන් මෙම ස්වභාවය නරක බව තදින් කියන්නට පටන්ගෙන ඇත.

සමාජ මාධ්‍ය, සම්ප‍්‍රදායික මහා මාධ්‍යයේ රාමුවෙන් වෙනස් ව්‍යුහයකින් ක‍්‍රියාත්මකය. ඕනෑම කෙනෙකුට ප‍්‍රවෘත්තිය මවන්නට පුලූවන්කමක් තිබේ. ෆේස් බුක්, ට්විටර්, ඉන්ස්ටග‍්‍රෑම්, වට්ස් ඇප්, මැසෙන්ජර් හෝ ලින්ක්ඉන් ඇතුළු සමාජ මාධ්‍ය කෘත්‍ය මවන පුවත් හෙයින්ම ප‍්‍රබල විවේචනයකට පාත‍්‍ර වී තිබේ. මෙම සමාජ මාධ්‍ය වෙනුවෙන් ජනී ජනයා ලොල් වූයේ ක්ෂණයකින්ය. ඒවාට තොරතුරු ඇතුල් කිරීම පහසු වූ අතර භාවිත කරන පිරිස සම්බන්ධ වී ප‍්‍රවෘත්ති ජාලයක් නිර්මාණය විය. මේවායේ පළ වෙන තොරතරු සහ එයින් මතු කරන ආන්දෝලනය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නට නීතියට හැකියාවක් නැත. සමහර රටවල් සමාජ මාධ්‍ය වාරණය කළේය. චීනය සමාජ එරට වැසියන්ට මාධ්‍ය වලට ඇතුළු වෙන්නට ඉඩ දුන්නේ නැත. අලූත් වාර්තා කියන්නේ චීන තරුණ තරුණියන්ට ෆේස් බුක් ප‍්‍රවේශයට ඇති අවහිරතා මැඩ එහි ප‍්‍රවේශ වෙන්නට මෘදුකාංගයක් හදන්නට එම සමාගම උත්සාහ කරන බවය. එවැනි ප‍්‍රයත්නයක් නුසුදුසු අතර එය රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය සම්බන්ධ ගැටළු ඇති කරන්නට ඉඩ තිබෙන බවට අදහස් ද විද්වතුන් අතර සාකච්ඡුා වෙමින් තිබේ. මෙයින් දක්වන්නේ සමාජ මාධ්‍ය වටා ජනී ජනයා එකතු වන නමුත් ඒ හා සමාන වේගයකින් ඒවායේ පළවෙන තොරතුරු ගැන තද විවේචනයක් මතු වෙමින් පවතින බවය.

ඇමරිකානු මාධ්‍ය වල තෝරා ගැනීම වී තිබුණේ හිලරි ක්ලින්ටන්ය. නමුත් සමාජ මාධ්‍ය තුළ ජනාධිපති ට‍්‍රම්ප් ගේ අදහස් වලට මුල් තැනක් ලැබිණ. ට‍්‍රම්ප් අඩුම පිරිවැයකින් විශාල ප‍්‍රචාරයක් ලබාගත් අතර ඔහුගේ ජයග‍්‍රහණය තුළ ප‍්‍රබල හේතුවක් වූයේ සමාජ මාධ්‍ය වාර්තාකරණයට වෙන්වූ ඉඩ බව විචාරක මතයයි. ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ට‍්‍රම්ප් ගේ ආන්දෝලනාත්මක අදහස් වේගයෙන් ව්‍යාප්ත වූ අතර ඇත්ත නැත්ත සොයා නොබලන ක්ෂණික විහිදීම මත පදනම් කරගෙන හෙතෙම ආකර්ශණීය චරිතයක් බවට පත් කළේය. මෙම පැත්ත ඇමරිකානු ප‍්‍රජාව අතර පමණක් නොව ජාත්‍යන්තරය ඔස්සේ පවා සංවාදයට ලක්ව තිබේ.

සාමාන්‍යයෙන් ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය පාලනය කරන්නේ නගර ආශි‍්‍රත ප‍්‍රභූ පිරිසය. ඔවුහු මාධ්‍ය ජාලා අයිතිකරුවන් වන අතර සම්මත මාධ්‍ය යේ කර්තෘවරු ක‍්‍රියා කරන්නේ සම්ප‍්‍රදාය ගැන අවබෝධය ඇතිවය. නමුත් සමාජ මාධ්‍යයේ බහුතරය මෙම රාමුවෙන් එපිටය. ප‍්‍රභූ පැලැන්තියෙන් එපිට අස්සක් මුල්ලක් නෑර තොරතුරු පළ කරන සමාජ මාධ්‍ය මහ පොලවේ සියළු ඕපාදුප බාධාවකින් තොරව විසුරුවමින් සිටී. ඒවායේ කියන්නේ තහවුරු කළ නොහැකි අසත්‍යය තොරතුරුය. නමුත් ජනී ජනයා ඒවා කෙරෙහි නතුව තිබේ. කුතුහලය හෙයින් සමාජ මාධ්‍ය තොරතුරු කියවන අතර ඕනෑම ව්‍යාජෝක්තියක් විශ්වාස කරන පරපුරක් බිහිවී තිබේ. විශේෂයෙන් තරුණන් කරන්නේ එයයි. ජෝන් කෙරී ගේ පසුබිම නොදන්නා වත්මන් ඇමරිකාවේ සිදුවෙන්නේ එයයි. ඉතාලියේ ජනමත විචාරණයට බලපාන්නේ එම සාධකයයි. බි‍්‍රතාන්‍ය යුරෝපා කොමිසමෙන් ඉවත් විය යුතු ද යන තීරණයට බලපෑවේ සමාජ මාධ්‍ය ආන්දෝලනයයි. ටියුනීසියාවෙන් ආරම්භ වී මැද පෙරදිග රටවල් හරහා හමා ගිය අරාබි වසන්තයේ සිට අද ලෝක නායකයන් අර්බුදයට තල්ලූ කරන තැන දක්වා විශාල තර්ජනයක්ව ඇත්තේ සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීත්වයයි. සමාජ මාධ්‍ය මෙහෙයවන ව්‍යාපාරික සමාගම් වලට පවා වර්තමානයේ අනියමින් මෙම සිදුවන අයහපත් පැති ගැන විරෝධය නැගෙන්නට පටන්ගෙන තිබේ. සමාජ මාධ්‍යයෙහි පළකරන තොරතුරු අරභයා ඔවහු කරන තාක්ෂණික පාලනය නොගැලපෙන බව කියන්නට විද්වත් ප‍්‍රජාව ඉදිරියට පැමිණ තිබේ.

මෙරට සමාජ මාධ්‍ය භාවිතාව තුළ, සමාජ පද්ධතිය හා නීතිය බරපතල ලෙස පෙළැඹවීම් වලට ගොදුරු වී ඇත. සම්ප‍්‍රදායික මාධ්‍ය ජාල පවා එහි පීඩනයට ලක්වන බව පෙනේ. ශ‍්‍රී ලංකාවේ පවා සමාජ මාධ්‍ය ප‍්‍රබලය. එහි තොරතුරු විහිදෙන ආකාරය අනුව විශාල වෙනස්කම් ඇතිවෙමින් තිබේ. ශ‍්‍රී ලංකාවේ අන්තර් ජාල භාවිතය ජනගහනයෙන් සියයට විසි හතරකි. සමස්ථ ජනගහනයෙන් සියයට දහ හතරක් පමණ සමාජ මාධ්‍ය නිති පතා සම්බන්ධවෙයි. නමුත් මෙම ප‍්‍රතිශතය සමස්ථ පැවැත්මට එල්ලකරන බලපෑම සියුම්ය. මෑත කාලය තුළ මහනුවර නගරයේ සිසුවෙකු පහර කෑමේ සිද්ධිය විශාල ආන්දෝලනයකට ලක් වෙන්නේ මහාජ මාධ්‍යයෙහි පළවීමෙන්ය. නැත්නම් එයට පැමිණිලි කරන නමුත් පොලිසිය පවා සලකන්නේ සුළු සිද්ධියක් වශයෙන්ය. එය යහපත් නමුත් ආණ්ඩුව, දේශපාලන පක්ෂ සහ සමස්ථ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය වෙත ඇඟිල්ල දිගු කරන ආකාරය වෙනස් එකකි. සමාජ මාධ්‍යයේ කියන දේ තුළ ඇත්තේ එක පසුබිමකි. එක පැත්තකි. එය එක්තරා ආකාරයක විරෝධාත්මක උගුලක් සේ දකින්නට ද හැකිය. මෙම උගුල තුළ මෙරට පැවැත්ම කෙබª විය හැකිද? අප පරීක්ෂාකාරී විය යුතු එය ගැනය.

ශ‍්‍රී ලංකාවේ ද මාධ්‍ය භාවිතාව, සමාජ මාධ්‍ය ව්‍යුහය ගැන කතාකරන්නට පටන්ගෙන තිබේ. සමස්ථ මාධ්‍යයේ ප‍්‍රමිති ගැන මහජන මත ඇති කරන්නට පටන්ගෙන ඇත. එයට හේතුව කුමක්ද? සමාජය අපේක්ෂා කරන දේ වෙනුවට පුද්ගල සිතැඟි, ආවේග සහ අදහස් පතුරවන අන්දම හෙයින්ය. යම් ආකාරයකට සංයමයක්, විශ්වාස කළ හැකි ස්වභාවයක් කෙරෙහි සමාජ මාධ්‍ය නැඹුරු විය යුතුය. ස්වයං විවේචනයකට ගමන්කරන්නට අවශ්‍යය. සමාජ උන්නතිය උදෙසා පුබුදුවන ලද සමාජ මාධ්‍ය පරිසරය සමාජය විසින්ම පාලනය කළ යුතු යැයි බලකරනු ලැබුවහොත් සිදුවිය හැක්කේ කුමක්ද? එය මනුෂ්‍ය පැවැත්මේ මේ දක්වා සිදුවිය හැකි විශාලතම වාරණය බවට පත්වනු ඇත. ලෝකය පුරා නායකයින් එය අවශ්‍ය බව කියන්නට පටන්ගෙන තිබේ. ජනහිතකාමී ව්‍යුහයක අවසානයේ දී අත්පත්වන්නට ඉඩ ඇති ඉරණම අර්බුදයකට යොමු නොකිරීම එය පරිහරනය කරන්නන්ගේ වගකීමකි. ජනයා විසින් ජනයා උදෙසා සන්නිවේදනය අර්ථකථනය, නිර්වචනය සඳහා සූදානම් විය යුතුව තිබේ. සමාජ ජාලා වල ප‍්‍රවේශය එහි පැතිරීම නොනැවැත්විය හැකි එකක්ද? එය නතරවනු ඇත්තේ කොතැනද යන්න සංවාදයකට යොමු විය යුතු බව පැහැදිලිය.