» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/05/2018 - දේශය
ඉරාකයේ අදිසි හස්තය මුක්ටාදා අල් සාදර්

ඉරාක ජනරජයේ මහ මැතිවරණය පසුගියදා පැවැත්විණි. ප‍්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරය කැපී පෙනෙන ජන බලයක් අත් පත්කරගත් බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ. මුක්ටාදා අල් සාදර් පක්ෂ නායකයා වශයෙන් ක‍්‍රියා කරයි. හෙතෙම ඉරාක ජන සමාජයේ බෙහෙවින් ජනප‍්‍රිය චරිතයකි. අල් සාදර් ඇතුළු සන්ධානය වැඩි බලයක් අත් පත් කරගත් නමුත් සාදර් තනතුරු භාර ගැනීමේ කැමැත්තක් නැති බව අනාවරණය වෙයි. බලවත් චරිතයක් සේ වේදිකාව පිටුපස සිටින්නට ඔහු ප‍්‍රිය කරයි. තනතුරු වලට හිමි නිල බලය අභිබවා යන ජනකාන්ත අදිසි බලයක් අල් සාදර් සතුය. ඉරාකයේ ආණ්ඩුකරණය කෙසේ වෙතත් අල් සදාර් කි‍්‍රයාත්මක වන අන්දම නිරීක්ෂණය කිරීම බටහිර බලවතුන් ගේ උවමනාව වී තිබේ.

ඡන්ද ප‍්‍රතිඵලයට පසු ප‍්‍රකාශයක් කරන අල් සාදර් ‘‘ඔබ ගේ ඡන්ද වලින් ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය ජය අත් කරගෙන ඇතැයි’’ කියා සිටියේය. ඔබ ලබා දුන් ඡන්දය අපට ගෞරවයක් යැයි හෙතෙම වැඩි දුරටත් ප‍්‍රකාශ කර තිබේ.

අල් සාදර් ෂියා මුස්ලිම් ජන නායකයෙකි. සදාම් හුසේන් ගේ පාලන කාලයේ දී අල් සාදර් ඇතුළු පවුලේ අයට මරණය නියම වී තිබුණි. ඉරාකය ආක‍්‍රමණය කළ ඇමරිකාව එහි පාලනය වෙනස් කළේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමක් සේ ප‍්‍රකාශ විය. අල් සාදර් පසු පස හඹා එමින් තිබුණ අනතුර පහවුයේ නැත. ඇමරිකානු හමුදා දෙවතාවක් අල් සදාර් ඝාතනය කරන ප‍්‍රයත්න දරන ලද බව ජාත්‍යන්තරය පුරා පැතිරී ගිය බව එකල ඉතාමත් ප‍්‍රබල ආරංචියකි.

මුක්ටාදා අල් සාදර් ගේ දේශපාලන සන්ධානය ඉරාක කොමියුනිස්ට් පක්ෂය, ස්වාධින පක්ෂය හා ඔහුගේ ආගමික අනුගාමිකයන් ගෙන් ද සමන්විතය. අයිසිස් ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් ඉනික්බිතිව, රට නැවත ගොඩනැගිය යුතු අතර ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කළ හැකි බලවේගය අල් සාදර් බව ඉරාක වැසියෝ විශ්වාස කරති. කෙසේ නමුත් මෙවර මැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීම අඩු මටට්මක පැවැති බව වාර්තා වෙයි. රට ගැන ඇල්මක් සහිත ප‍්‍රජාව ඉදිරියට පැමිණ ඇති අතර එය ඇමරිකානු විරෝධී බලවේගයක් බව ද නිරීක්ෂණය කරන්නට හැකිය. අල් සාදර් එහි කේන්ද්‍රීය චරිතය වී ඇත. දේශපාලන නායකයෙකු පමණක් නොව රට වෙනුවෙන් කැපවූ විප්ලවීය ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගූ නායකයෙකු වශයෙන් හෙතෙම ඉරාක වැසියන්ගේ කැමැත්ත දිනාගෙන ඇත. ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර ප‍්‍රජාව ඉරාකයට එරෙහිව පීඩනය මතු කරන විට එයට එරෙහි ජනතා ව්‍යාපාරයක් හදන්නේ මුක්ටාදා අල් සාද් ගේ නායකත්වයෙනි. 2003 අවුරුද්දේ දී ඉරාක අනන්‍යතාවය ආරක්ෂා කරන්නට කැපවන ෂියා බලවේගය ගොඩනගන මුක්ටාදා අල් සාදර් ඉරාක ආණ්ඩුවේ කිසිම නිල තනතුරක් උසුලන්නේ නැත. නමුත් ඉතා පුලූල් බලපෑමක් කළ හැකි ආගමික නායකයෙකු වන අතර ඉතා ජනප‍්‍රිය චරිතයකි.

සදාම් ගේ පාලනයෙන් වැසියන් මුදා ගෙන සාමකාමී තත්ත්වයක් ඇති කරන්නට ඇමරිකාව ප‍්‍රධාන බටහිර හමුදා සේනාංක ප‍්‍රවේශවන අතර එහි දී මතු කරන තත්ත්වය ජාත්‍යන්තරය තුළ දැඩි ආන්දෝලනයක් මතු කරයි. සදාම් ගේ පාලනය අවසන් කර පුරවැසියන් මුදා ගන්නා ඇමරිකානු ආක‍්‍රමණයට එක පැත්තකින් එරෙහි සහ අනෙක් අතට සාම හමුදාවක් වශයෙන් ස්වදේශිකයන් සංවිධානය වෙති. එයට නායකත්වය දෙන්නේ මුක්ටාදා අල් සාදර් ගේ බල ඇනියයි. බහුතරයක් වූ ෂියා ජන කොටස පාලනය කළ සුනී සුළුතරය අත තිබු ඉරාකයේ බලය වෙනස්කරන්නට සමත්වන අල් සාදර් පසුව දේශපාලන බලවේගයක් බවට එය හරවන ලද අතර ‘අල් සාදර් ව්‍යාපාරය’ වශයෙන් ප‍්‍රචලිත වෙයි. බටහිර මාධ්‍ය මුක්ටාදා අල් සාදර් දකින්නේ ඇමරිකානු විරෝධී රැඩිකල් නායකයෙකු වශයෙනි. නමුත් ඔහු ආගමික ස්ථාවරත්වය සහිත මධ්‍යස්ථ මතධාරී දිරිමත් තරුණයෙක් බවට ඉරාකය තුළ පිලිගැනීමක් ඇත.

මුක්ටාදා අල් සාදර් ඉරාක සහ ඉරාන යන රටවල් දෙකටම උරුමයක් ඇති චරිතයකි. ඔහු ගේ පරපුර ඒ තරමටම ඈතට විහිදෙයි. සාදර් ගේ ඉතිහාසය විමසන විට පියාගේ පැත්ත ඛේදවාචකයකි. පියා ගේ සීයා පුතුන් දෙදෙනෙකු සමග ඝාතනය වී ඇත. මුක්ටාදා අල් සාදර් ගේ මාමණ්ඩිය ද සදාම් හුසේන් ප‍්‍රමුඛ ඉරාක පාලනය හමුවේ ජීවිතයෙන් වන්දි ගෙවන ලද බව සහන්ය. එවැනි පරපුරක හතරවැනියා වශයෙන් උපත ලද සාදර් පළමුවෙන් ආගමික අධ්‍යාපනයක් ලබයි. අලූත් අදහස් ඇතිව තව දුරටත් දාර්ශනික අධ්‍යයනයක යෙදේ. සම්ප‍්‍රදායික අයොතොල්ලා ආගමික නායක ධුරයට ඉගෙනගන්නට ඔහුගේ කැමැත්තක් නැත. නමුත් පියාගේ අභාවයෙන් පසු ආගමික නායකයෙකු වශයෙන් නැගෙන්නට පටන් ගනී. ආගමික ව්‍යාපාරයේ කාර්යාලයක් ආරම්භ කරන නමුත් එය සදාම්ගේ උදහසට ලක්වෙයි. සදාම් ගේ ආරක්ෂකයන් එය වසා දමයි. ෂියා ආගමික පිරිස සාදර් ජීවත් වූ ප‍්‍රදේශය අල් සාද් නගරය බවට නම් කරයි. එහි ජීවත්වන්නේ ෂියා ජාතික පිරිස සහ ඔවුන්ගේ ආකල්ප, ඔවුන්ගේ නීතිය පමණක් නොව ඔවුන් ක‍්‍රියාකරන ආකාරයට අනුගත පිරිසකි. එය ආවේනික එකක් බවට පත්වෙයි. අධ්‍යාපනය, සමාජ සේවා කටයුතු සහ වෛද්‍ය ප‍්‍රතිකාර පවා ඒ අනුව හැඩගැසෙයි. සම්පූර්ණ අල් සාදර් නගරයක් බිහිවෙයි. මුක්ටාදා අල් සාදර් එහි ජීවත්වන්නන් ගැන සැලකිල්ලක් දැක්වීය. විනය ගොඩනගන මෙහෙවර ඇරඹීය. අනවශ්‍ය වීඩියෝ සහ මත්පැන් තහනම් කරන ලද අතර එය කඩකරන අයට ප‍්‍රසිද්ධියේ දඬුවම් නියම කරන්නට පියවර ගත්තේය. එය සමාජ නායකත්වයක් තනන ප‍්‍රයත්නයක් බවට පත්වෙයි. ෂියා ආගමික පිරිස එම අනන්‍යතාවය හැදෙන ආකාරයට කැමැති වෙති. මුක්ටාදා අල් සාදර් ජනතාවාදියෙකු බවට පත්වන ගමන ඇරඹෙන්නේ එතැනින්ය.

විප්ලවීය අදහස් ඇති තරුණන් ඔහු වටා එකතුවෙයි. සිවිල් හමුදාවක් හදන්නේ එම තරුණ පිරිසගේ එකතුවෙනි. එය නිරායුධ හමුදාවක් බව කියන මුක්ටාදා එය ගොඩනගන්නේ ඉරාකය නැවත පුනර්ජීවනය කරන ප‍්‍රයත්නයක් වශයෙන් බව කියා සිටියේය. ඕනෑම මොහොතක මෙහෙයුමකට ඉදිරිපත් විය හැකි බලකායක් ලෙස එය හඳුන්වන්නට මැලි නොවූ හෙතෙම වැඩි දුරටත් කියා සිටියේ ඉදිරියට ගමන් කරන කාල බෝම්බයක් වශයෙන්ය. ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්නට කැමැති දිවි පූජා කරන කණ්ඩායමක් බව දක්වන ලද අතර වරක් මුක්ටාදා කියා සිටියේ ‘‘මා නැති කරන්නට පුලූවන් නමුත් අපේ අරමුණ සාක්ෂාත් වනතුරු ගමන නිමා නොවන’‘ බවය.

ඇමරිකානු ප‍්‍රධාන හමුදා ඉරාකයට පැමිණ සදාම් හුසේන්ට එරෙහිව ක‍්‍රියා කරන විට මුක්ටාදා විදේශික ආක‍්‍රමණයට පමණක් නොව සදාම්ගේ පාලනයටද එරෙහිව සටන් කරයි. ඔහුට එරෙහිව දෙපැත්තකින් සතුරන් පෙළ ගැසෙන විට රටින් පලා ගිය අතර එහි සිට ඔහුගේ ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයන් මෙහෙයවා අදහස් වපුරවන්නට හෙතෙම සමත්වෙයි. මර්දනය මැද නැගෙන ඔහුගේ බලය එක හෙලා කියා සිටියේ විජාතික හමුදා ආපසු යා යුතු බවය. 2011 ජනවාරියේ දී හෙතෙම ආපසු ඉරාකයට පැමිණෙයි. එහි දී ඉරාකයට නව පාලනයක් ගෙන එන්නට ජාත්‍යන්තරයට ප‍්‍රබලව දැනෙන මෙහෙයුමක් දියත් කරයි. ඇමරිකාව, ඊශ‍්‍රායලය හා බි‍්‍රතානය තමන්ගේ පොදු සතුරන් බව සෘජුව හුවා දක්වමින් ඉරාකයේ නජෆ් නගරයේ දී උද්වේගකර කතාවක් පවත්වන අල් සාදර් වටා ජනතාව පෙල ගැසෙයි. ඉරාකය අලූත් පරිච්ඡේදයක කරා මෙහෙයවන්නට සමත් බලය ඇති චරිතයක් වශයෙන් ඔහු පිළිගැනීමට ලක්වෙයි. ඇමරිකාව ප‍්‍රමුඛ විදෙස් බල ඇණි විශාල වශයෙන් ඉරාකයෙන් ඉවත් වන විට ඉරාක ආණ්ඩුව හදන බලවේගයේ ප‍්‍රධාන චරිතයක් බවට පත්වන්නේ මුක්ටාදා නමැති මෙම තරුණ ජවාධික පුද්ගලයාය. ආණ්ඩුව පිහිටුවන්නට උදව් දෙන නමුත් ඔහු ආණ්ඩුවේ කොටස්කාරයෙකු වෙන්නේ නැත. විශේෂත්වය එයයි.

සදාම්ගෙන් පසු හැදු ආන්ඩුව නිවැරදි මගට ගන්නට අල් සාදර් නොනැවතී අරගල කළේය. බැග්ඩෑග් හි ටාහීර් චතුරශ‍්‍රයේ පෙනී සිටි ඔහු ඉරාක අගමැතිවරයා පොරොන්දු වූ පරිදි ආර්ථික සහ සමාජ ප‍්‍රතිසංස්කරණ ගැන ප‍්‍රකාශයක් කළ යුතු බවට බල කළේය. ඇමරිකානු සහ අනෙක් හමුදා බලඇනි බැග්ඩෑග් නගරය වටා දැවැන්ත ආරක්ෂක අගලක් තනන ලද අතර පාලකයෝ ද එම පවුරෙන් වටවූ, බලධාරීන්ගේ ගී‍්‍රන් කලාපයේ සිට රට පාලනය කිරීම අල් සාදර් ගේ දැඩි නොසතුටට හේතු විය. අවිගත් ඉරාක හමුදාව ආරක්ෂාව යටතේ තිබුණ ප‍්‍රදේශයට තාප්පයෙන් පැන ඇතුළු වන ඔහුගේ බලකාය ඔහු සමග ගී‍්‍රන් කලාපයට ඇතුළුවී කූඩාරම් ඉදිකරගනී. ඔහු ප‍්‍රවේශ වන විට ඉරාක සෙබලූ ඔහු වැළඳ ගැනීම විශේෂත්වයකි. පාලකයන් ගෙන් සිදුවිය යුතු ප‍්‍රතිසංස්කරණ සඳහා බල කරන අල් අසාද් සතු බලය ආරක්ෂක සෙබලූ අවබෝධ කරගෙන සිටියේය.

දේශපාලනඥයන්ට බලය අත්පත් කර දුන් නමුත් එය රට හදන්නට බව අවධාරණය කරන ව්‍යාපාරයක් ගොඩනැගූ අල් සාදර් පාලනය නිසි මගට ගන්නට බල කරන චරිතයන් වශයෙන් පෙනී සිටියි. රජුන් තනන අතර ජනතා විරෝධී තීරණ වල දී පාලකයන්ට එළිපිට එරෙහිවන ජන නායකයෙකු වශයෙන් ප‍්‍රකටය. සදාම්ගෙන් නිදහස් කරගත් රට ගොඩනැගිය යුතු බව ඔහු අවධාරණය කළේය. දුෂණ නැති කරන ආකාරය ගැන ද, බලවත් මතයක් ඇති කර තිබේ. එය විශේෂ ආකාරයකට දකින්නට ඉරාක වැසියෝ සූදානම්ය. උවමනාවක් තිබුණි නම් අලූත් පාලනය සමග එකතු වී ඇමැතිකමක් හෝ එයටත් වඩා ඉහළ තනතුරක් පත්වෙන්නට හැකියාව තිබූ නමුත් ඔහු ගේ අනුගාමිකයන්ට පවා තනතුරු සම්බන්ධ නොවී කටයුතු කළ යුතු අන්දම ගැන හෙතෙම උපදෙස් දුන්නේය. ජනහිතකාමී ආකාරයට තීරණ ගන්නා නායකයෙකු වශයෙන් අල් අසාද් ඉරාකයේ සුවි‍ශේෂී චරිතයක් බවට පත් ව සිටියේය. ජනතාවට සාධාරණය ඉශ්ඨ කරන්න. මුක්ටාදා අල් සාදර් පාලකයන්ට නිතර කියන්නේ එයයි.

ඇමරිකානු හමුදාවට පමණක් නොව සදාම්ට ද විරුද්ධව රට තුළ ගෙන ගිය අරගලයෙන් බිහි වූ ආණ්ඩුව අසාර්ථක වූ අවස්ථාවේ දී නැවතත් ඉදිරියට පැමිණි අල් සාදර් වෙත ජන බලය එකතු වී තිබේ. ජනතාව ඔහු ඇතුළු සන්ධානයට ආණ්ඩුවක් පිහිිටුවන වරම පවරා ඇත. ආණ්ඩු බලය අල්ලා ගන්නට මහන්සි වන ජන නායකයෝ නතර වන්නේ ආණ්ඩුවේ වරප‍්‍රසාද සහිත ප‍්‍රාසාද වලය. මුක්ටාදා එවන් කෙනෙකු නොවේ. පාලකයන් ජීවත්වන කලාපයේ උස්තාප්පයෙන් පැන එහි කඳවුරු ලා ගෙන පොදු ජනතාවගේ අයිතිය දියව් කියන්නට ශක්තියක් තිබුණ මුක්ටාදා අල් සාදර් ඉරාකයේ පැවැත්ම වෙනුවෙන් ගන්නා තීරණය දෙස ජාත්‍යන්තරය බලා සිටී.