» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/03/2016 - දේශය
මත් ජාවාරම්කාර එල්චාපෝ කියාදෙන පාඩම

එල්චාපෝ අන්වර්ථ නාමයකි. හෙතෙම ආන්දෝලනත්මක චරිතයකි. මෙක්සිකෝවේ ජීවත් වූ හෙතෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු වූ අතර ඔහුට රැකවරණය ලැබුණේ සාමාන්‍ය ජනතාවගෙන්ය. ඔහු ජීවත් වූ පරිසරය තුළ ජනතාව දිනාගත් හෙතෙම කල්පනා කළේ තමන් ගැනම චිත‍්‍රපටයක් හදා ලෝකයේ ප‍්‍රකට චරිතයක් වෙන්නටය. ජාවාරම්කාර චරිතයකට නොගැලපෙන ජනතාන්ත‍්‍රිකත්වය සොයා යන්නට ගිය හෙතෙම අද දරුණු අපරාධකරුවන් රඳවන බන්ධනාගාරයකය. චරිත අධ්‍යයනය කළ යුතු හොඳ නරක තෝරා ගන්නටය. තමන්ගේ තරම දැනගෙන ඉන්නට අසමත්වන චරිත සම්බන්ධයෙන් ද ඉතිහාසයේ ලියැවෙන අතර එය සමස්ථ ජන සමාජයට පාඩමකි.

ජොවකීන් ගුස්මාන් ඔහු උත්පත්තියෙන් ලබා ගත් නමයි. මැක්සිකෝවේ වයඹ පැත්තේ පිහිටි සිනලෝවා නගරයේ ජීවත් වූ හෙතෙම නිසි මූලික අධ්‍යාපනයක් ලබන්නේ නැත. කුඩා වියේ දීම දොඩම් විකුණයි. එයින් ලැබෙන ආදායම ප‍්‍රමාණවත් නොවෙන විට ඔහු කරන්නේ තහනම් මත් ද්‍රව්‍ය වෙළඳාමයි. මෙක්සිකෝවේ ඈත පලාත් වල පොපි වගා කිරීම සුලබ දෙයකි. එය කෙරෙන්නේ නීති විරෝධී වගාවක් වශයෙන් හොර රහසේය. පොපි ශාඛයෙන් අස්වැන්න නෙලා ගෙන ඒවා අතරමැදියන්ට විකුණමින් සිටි ජොවකින් ඔහුගේ පවුලේ අය ඇතුළු අසල්වැසියන් අතුරින් සුළුවෙන් ආරම්භ කර මහා පරිමානයෙන් එය ව්‍යාප්ත කරන්නට ඔහු පෙළැඹෙයි. තමන්ටම කියා අස්වැන්නක් උපයා ගත් හෙතෙම එය විකුණා ගෙදරට හයියක් වෙයි. ගෙදර පසුබිම එතරම් හොඳ එකක් නොවේ. පවුලේ නරක පසුබිම හොඳ චරිත බිහි කරන්නේ නැත. දෙමව්පියන් ඇසුරෙන් මිදෙන හෙතෙම අවුරුදු විස්ස එළැඹෙන විට ශක්තිමත් දේහයක් ඇති තරුණයෙකි. ගැටුමක් ඇති කරගෙන තමන්ගේ පවුලෙන් පන්නා දමන විට ඔහු එකතුවෙන්නේ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ කල්ලියකටය. එහිදී ඔහු නැවත උපදින්නේ එල්චාපෝ යන අන්වර්ථ නාමයෙනි.

එල්චාපෝ දරුණු මංකොල්ලකෑම් වලට සම්බන්ධවෙයි. කල්ලි වලට ප‍්‍රසිද්ධ චරිත ළඟින් ඇසුරු කරයි. මැක්සිකෝවේ ඒ වන විට තිබූ නරකම පසුබිම තුළ අති දක්ෂ අපරාධකාරයෙකු ලෙස හංවඩු ගැසේ. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු බවට පත්වන්නේ එතැනින්ය. මැක්සිකෝවේ වවන මත් ද්‍රව්‍ය වල අස්වැන්න එකතු කරගන්නා ඔහු ඒවා ඇමරිකාවට පටවයි. ඒවා යවන්නේ ගුවනින් සහ මහ මුහුදින්ය. ඉතා සංවිධානාත්මකව කරන මෙම ජාවාරම් වල දී තරඟයක් තිබේ. අතරමැදියන් බොහෝ දෙනෙකි. ජීවිතයක වටිනාකමක් නොතකන ජාවාරම්කාරයන්ට මත් ද්‍රව්‍ය ඕඩරයක් වෙනුවෙන් විනාශයක් කිරිම පහසු කාර්යයකි. නායකයන් ධනය සූරාකන අතර මැදිගන් ගහන, මත් ද්‍රව්‍ය ක්ෂේත‍්‍රය එකිනෙකා පරාජය කරන මහා දරුණු එකකි. එල්චාපෝ තමන්ගේ තරඟකරුවන් ඝාතනය කරයි. කෙලින්ම ජාත්‍යන්තරයට ප‍්‍රවේශවෙයි. එය නීති විරෝධී ලෝකයේ සාමකාමී බව අර්බුදයකට ලක් කරන මත්ද්‍රව්‍ය ජාවාරමේ අභ්‍යන්තරයේ ස්වභාවයයි.

ඔහු මැක්සිකෝවේ නොයෙක් තැන් වල සිට ඇමරිකාවේ ඇරිසෝනා සහ කැලිෆෝනියා ප‍්‍රාන්ත වලට ජාවාරම කරගෙන ගියේය. ඒ වෙනුවෙන් අවි ආයුධ පිරිවරාගත් සේනාංක නඩත්තු කළ අතර ගුවනින් මුහුදින් ප‍්‍රවාහනය කරන්නට පමණක් නොව කිලෝ තුන් හාර දහසක් එකවර ගෙනයන විට ඒවා මෙහෙයැවෙන වරාය සහ ගුවන් තොටුපොල වල දී නිලධාරීහු මුදලට ගන්නට පවා සමත් විය. අත් අඩංගුවට ගන්නා විට පමණක්නොව නඩු පැවරෙන විට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු තමන්ගේ බහට අවනත කරගන්නට ද හෙතෙම සමත්විය. කුඩා කාලයේ දොඩම් අලෙවි කරන ලද වැඩි ඉගෙනුමක් නොලැබූ එල්චාපෝ තමන්ගේ අධිරාජ්‍ය හදාගත්තේ ඇමරිකාව මෙක්සිකෝව හොල්ලන ආකාරයටය. අති විශාල ධනස්කන්ධය උපයෝගී කරගෙන ජනතාව තමන්ගේ පැත්තට හරවා ගන්නට පමණක් නොව නීතිය අතට ගෙන ඒවා ඉදිරියේ සමච්චල් සහගත ලෙස නැගී සිටින්නට ද සමත්විය. මෙයින් පෙනෙන්නේ පුද්ගලයෙකු හැසිරෙන ආකාරයෙන් සහ තීරණගන්නා ආකාරය අනුව නරකට පවා ගමනක් තිබූ බවය. ජාත්‍යන්තර මාධ්‍ය අද වන විට එල්චාපෝ පැමිණි ගමන ගැන අහු මුලූ හොයන්නටත් ඔහු ගේ චරිතය ඔස්සේ කතාන්දරයක් ඇති බවත් පෙන්වන්නේ මේ හෙයින්ය.

1993 අවුරුදේ දී එල්චාපෝ අත්අඩංගුවට පත්වෙයි. මත්ද්‍රව්‍ය ජාවාරම, ඝාතන සහ අල්ලස් දීම ඇතුළු චෝදනා ගණනාවක් පදනම් කර දඬුවම් නියම කරයි. අවුරුදු විස්සකුත් මාස නමයක සිර දඬුවමකට යටත්වන අතර එය දැඩි ආරක්ෂක විධිවිධාන යටතේය. මෙම කාලය තුළ ඔහුගේ සහෝදරයා මත් ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ලද අතර මිනිසුන් දහස් ගණනින් ඝාතනය කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු මහා පරිමාන නායකයා සියලූ චෝදනා ඉදිරිපත් කරන ලද්දේ නම් ජීවිතාන්තය දක්වා හිර ගෙදර බව ආන්දෝලනයක් ඇතිවෙයි. නමුත් එල්චාපෝ හිර ගෙදරින් පැන යයි. දෙවැනි වතාවේ දී 2014 පෙබරවාරියේ දී සහ ඒ වතාවේ දී ද සිරගෙදරින් පැනගිය පසු නොබෝදා එනම් 2016 ජනවාරියේ දී ඔහු නැවතත් අත්අඩංගුව පත්වන විට ලෝකයේ වඩාත්ම අල්ලා ගත යුතු මැරයෙකු ලෙස නම් ලබා හමාරය. එහෙම නමුත් 2011 වන විට ඔහුගේ මූල්‍ය වාර්තා අනුව හෙතෙම මැක්සිකෝවේ දහවැනි විශාලතම ධනයක් හිමි පුද්ගලයා වූ අතර ලෝකයේ ධනවතුන් අතර 1140 වැනියා වූ බව සඳහන් වෙයි. මත් ද්‍රව්‍ය ජාවාරමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පතියෙකු වූ හෙතෙම මහා නීති විරෝධියෙකු නමුත් හැසිරෙන්නේ සෙල්ලක්කාර ආකාරයටය.

ඔහු අන්තිමට අල්ලා ගන්නේ මෙම ජාවාරම් වලින් උපයා ගත් ධනයෙන් සමාජ සම්මතයට ඇතුළු වී ජනප‍්‍රියත්වය උපයා ගන්නට තැත් කරද්දීය. ඇමරිකාව සිය අංක එකේ සතුරා හැටියට සලකන ලද නමුත් ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව වතාවක් ලෝකයේ හතලිස් එක් වැනි බලවත් පුද්ගලයා සේ නම් කරයි. මෙහෙම නම් කරන විට ලෝකයට හොරෙන් සැඟවී ජීවත්වීම ජනතාන්ත‍්‍රිකත්වය නොවෙන බව ඔහුට තේරුම් යන්නට ඇත. ජනී ජනයා අතර කීර්තිය පතුරවා නැගී සිටින්නට ලොබ බඳින්නට ඇතුවා නිසැකය. එයට පසුබිම් වෙන්නේ එක්තරා චිත‍්‍රපටියක මත් ජාවාරම්කාරියක සේ රඟපාන නිළියක ගේ ට්විටර් පණිවුඩයක් අනුව මටත් එහෙම වෙන්න බැරිදැයි සිතිවිල්ලක් නැගුන හෙයින් බව පැහැදිලිව පෙනේ.

මත් ජාවාරම්කාරියක ලෙස රඟපාන නිළිය කුප‍්‍රකට එල්චාපෝ ගැන සඳහන් කර ඇගේ ට්විටර් ගිණුමේ සටහනක් තබන්නීය. එය ඇය හිතා මතා කළ දෙයක් නොවේ. එල්චාපෝ ආණ්ඩු වලට වඩා විශ්වාස කළ හැකි කෙනෙක්. මත් ද්‍රව්‍ය විකුණන්නේ නැතිව හොඳ කෙනෙක් වෙන්න බැරි ඇයි? කැස්ටිලෝ කියන මෙම නිළිය කළ පණිවුඩය අනුව හිරෙන් පැන ගොස් නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ඇමරිකාව විවෘත වරෙන්තු නිකුත් කර තිබූ එල්චාපෝ සිය අතරමැදියන් මාර්ගයෙන් කැස්ටිලෝ නිළිය සම්බන්ධීකරණය කරයි. ඔහු තම චරිතය වටා චිත‍්‍රපටියක් හදන අදහස ඉදිරියට යන විට ඒ ගැන තොරතුරු දැනගත් වාර්තාකරුවෙකු එල්චාපෝ ගැන මාධ්‍යයට ලියන්ට සූදානම් වෙයි. එය ද චිත‍්‍රපටයකට හා සමානය. මෙම සම්බන්ධතා ගැන ඉව අල්ලන ඇමරිකානු සහ මෙක්සිකෝ බලදාරීහු එල්චාපෝ අල්ලන්නට දැලක් එළයි. සම්මුඛ සාකච්ඡාවක් ගන්නා මාධ්‍යවේදියා හමුවේ තමන්ගේ පුරසාරම් කියමින් සබ්මැරීන් සහ ගුවන් යානා සහිතව මහා පරිමානයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බව කියමින් සිටි ඔහු ආරක්ෂක අංශ වැටලීමකට ගොදුරු වෙයි. ක්ෂණයකින් සිදු වූ එම වැටලීම අවසානයේ මැකිසිකෝ ජනාධිපතිවරයා තමන්ගේ ට්ටිටර් ගිණුමේ සටහනක් තබන්නේ මෙහෙයුම 'සම්පූර්ණයි. දැන් ඔහු අපේ භාරයේ.' කියමින්ය. එල්චාපෝ අත් අඩංගුවට ගැනීම එරට නීති ඇමැතිවරයා ද නිවේදනය කරයි. ජාත්‍යන්තර ප‍්‍රජාව එය දැන ගන්නේ ඇමරිකාව සහ මෙක්සිකෝව එකතු වී මෙම මහා ජාවාරම්කාරයා නැවත අත් අඩංගුවට ගත් බව සහ එයට මුල් වූයේ ඔහු ස්ව කැමැත්තෙන්ම කරන ලද සන්නිවේදනය බවය.

මෙය දීර්ඝ කතාන්දරයකි. කලූ චරිතයක් ජාත්‍යන්තරය තුළ හැසිරුණ ආකාරය සහ ඔහු නීතියේ රැහැනින් මිදී අති බලවත් ආකාරයකින් ජීවත් වූ ස්වභාවයයි. ඔහු අවනත වූයේ ජනප‍්‍රියතාවයටය. නමුත් නූතන තාක්ෂණයේ ප‍්‍රබල බව හමුවේ නැවත අත් අඩංගුවට පත්වන්නටය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.