පිලිප් බල්ඩියුස් නෙදර්ලන්ත රෙපරමාදු කතෝලික පියතුමෙකි. ලන්දේසි පාලන සමයේ දී බල්ඩියුස් පියතුමා ලංකාව පැමිණියේය. ලන්දේසි හමුදාව සිය පාලන කාලයේ දී ලංකාවට එන ලෙස කරන ලද ඇරයුම අනුව එකල එතුමා ජීවත් වූ නෙදර්ලන්තයේ ඩෙල්ෆ් ගම්මානයේ සිට යාපනයේ සේවයට පැමිණි බව සඳහන්ය. වසර 1657 සිට 1665 දක්වා ලංකාවේ ගත කර තිබේ. යුරෝපා ජාතිකයෙකු වූ ඒබ‍්‍රහම් රොජර්ස් ට පසු දෙමල ජනතාවගේ භාෂාව, සංස්කෘතිය සහ පැවැතුම් ගැන ලිඛිත සටහන් තබන ලද විශිෂ්ඨ පුද්ගලයෙකු සේ සම්භාවනාවට පත්වෙයි. එම සටහන් අලලා කෘතියක් නෙදර්ලන්තය සහ ජර්මනියේ ඇම්ස්ටඩ‍්‍රෑම් හි පළකර තිබේ. ඉතිහාසය පිරික්සන විට මෙම තොරතුරු පළ කෙරෙන්නේ රොබට් නොක්ස් ගේ එදා හෙළදිව කෘතියට කලින් බව සැලකිය යුතුය. 1960 වසරේ දී ලංකා දුම්රිය සේවාව බල්ඩියුස් ගේ ඉංගී‍්‍රසි කෘතිය මෙරට පළ කර ඇත. 1671 දී යාපනය, මන්නාරම හා ඒ අවට ජන ජීවිතය ලියා තබා මෙරට පුරාවෘතය ජාත්‍යන්තරයට ගෙන ගිය බල්ඩියුස් අධ්‍යයනය කළ යුතු චරිතයකි.
කතෝලික පියතුමෙකු වශයෙන් බල්ඩියුස් ලංකාවට එන වකවානුව ලන්දේසි ජාතිකයන් රටට පැමිණි කාලයි. මෙරට පවතින සම්පත් සහ ඒවා වෙළඳාම් කිරීමෙන් ලබාගත හැකි ධනය ගැන සිහින මැවූ ලන්දේසිහු රට යටත් කරගන්නට විවිධ ප‍්‍රයත්න දැරූහ. විවිධ සේනාංක රජතුමා ගේ රැකවලූන් සමග ගැටී ඇති අතර පහතරට ප‍්‍රදේශ හැර රට මැද කලාපය යටත් කර ගන්නට ලන්දේසි ජාතිකයන්ට කිසිසේත් හැකි වී නැත. මුහුදු බලය හා වෙඩි බෙහෙත් භාවිතා කිරීමේ ශක්තිය හෙයින් යුද ගැටුම් වල දී පැවැති අසමානතාවය ඉදිරියේ පසුව ස්වදේශිකයන් ඉංග‍්‍රීසීන්ගේ සහාය ගෙන ඇත. සම්පූර්ණයෙන්ම රට යටත් කර ගන්නේ ඉංගී‍්‍රසින්ය. ලන්දේසි නායකයන් මුහුදුබඩ ප‍්‍රදේශවල ජනතාව අවනත කරගනු සඳහා ආගමික සහාය ද ලබාගත් අතර බල්ඩියුස් කැඳවන්නේ එහි එක් පියවරක් වශයෙන් බව සැලකිය හැකිය. පියතුමා යාපා පටුන, මන්නාරම හා ගාල්ල වැනි ප‍්‍රදේශ වල සැරිසරමින් ආගමික මෙහෙවරෙහි යෙදී තිබේ.
ඉතිහාසගත වාර්තා පෙන්වන පරිදි යාපා පටුනේ පරිපාලන පහසුව සඳහා කොටස් හතරක් බෙදී තිබී ඇත. එහි විසූ දෙමල ජනතාව ආගමික උත්තේජනය මත පහසුවෙන් කතෝලික ආගම කෙරෙහි නැඹුරු වී ඇති බව දැක්වෙයි. බල්ඩියුස් තමන්ගේ ආගමික මෙහෙවර ඉදිරියට ගෙන යන අතරතුර ජේසුස් වහන්සේ ගේ දේශනාව දෙමල භාෂාවට පරිවර්තනය කර ඇත. එය සඳහා සිංහල දැනුම ඇති පාර්ශව ගණනාවකින් ද අදහස් ලබා ගෙන ඇත. එහි යම් යම් අඩු පාඩු තිබුණ බව අද කියැවෙන මතයකි. කෙසේ නමුත් දෙමල බසට හරවන ලද යාඥා යුරෝපයේ දී ඉන්දියානු භාෂාවකින් පළ කරන ලද පළමු ලියැවිල්ල සේ සැලකේ. දෙවියන් වහන්සේ ගේ පණිවුඩය තමන්ට අනන්‍ය භාෂාවෙන් කියැවෙන විට යාපා පටුනේ ජනතාවගේ ආකල්ප වෙනස් වු අන්දම අවබෝධ කරගැනීම අපහසු නැත. කෙටි කාලයක් ආගමික මෙහෙවර වෙනුවෙන් ලංකාවේ ජීවත් වූ බල්ඩියුස් පියතුමා තමන් ජීවත් වූ යාපාපටුන එහි දෙමල ජනතාව ගේ පැවැත්ම හා සංස්කෘතිය ගැන අනාවරණය කරන්නට කරන ලද කෘතිය විශාල ශාස්ත‍්‍රීය වටිනාකමක් ඇති එකක් සේ ඇගයෙයි. පවුලේ වැඩිමහල් දරුවා වූ බල්ඩියුස් පියතුමා ගේ මව හා පියා බාල කාලයේ දීම අහිමිවිය. අවුරුදු හතරක වයසැතිව සිටිය දී රැකබලාගන්නා මධ්‍යස්ථානයක ඇති දැඩි වී තිබේ. බාල සොහොයුරා අකල්හි මිය ගිය අතර මෙයින් තනි වූ ඔහුට ආගමික මෙහෙවර හැරෙන්නට අන් විකල්පයක් ඉතිරිව නොතිබුණ බව පෙනේ. රෙපරමාදු කතෝලික පියතුමකු වූ මුත්තනුවන් ගේ අඩි පාරේ යමින් ආගමික ජීවිතයට ඇතුළු වූ බල්ඩියුස් මූලික අධ්‍යාපනයෙන් පසු නෙදර්ලන්තයේ ගෝනිග්න් විශ්ව විද්‍යාලයෙන් දර්ශනය, තර්ක ශාස්ත‍්‍රය හා භාෂාව හැදෑරීය. අධ්‍යාපනය ලැබීමෙන් පසු ජීවත්වීම සඳහා තෝරා ගත්තේ නෙදර්ලන්තයේ ඩෙල්ෆ් ප‍්‍රදේශයයි. එය පැරණි නගරයක් වූ අතර විද්‍යාර්ථීන් විසූ විශ්ව විද්‍යාලයක් ද පිහිටි ප‍්‍රදේශයකි.
පෙරදිග ඉන්දියා සමාගමේ ඇරයුම අනුව පියතුමා නැව් නැග මලක්කාව හරහා ලංකාවට පැමිණ යාපා පටුනේ පදිංචි වී ඇති අතර පෘතුගීසි බලය සහ ලංකාවේ රජු හා ප‍්‍රාදේශීය නායකයන්ට එපිටින් යමින් ස්වකීය මෙහෙවර අරඹා තිබේ. 1660 ගණන් වල විට උඩරට පාලනයෙන් මුදවා ගත් ලන්දේසි පාලනයක් යාපනය සහ මන්නාරම අවට තිබී ඇති අතර එහිලා කතෝලික ආගම පැතිරවීමෙන් ලැබුණ පිටිවහල ද සෑහෙන එකක් යැයි තක්සේරු කිරීම වටී. පෘතුගීසින් යාපනයේ සිට පහලට විහිදුන වෙරළබඩ තිරය වසම් තිස් දෙකකට බෙදා දේවස්ථාන සහ ජෙසුයිට් පාසල් පිහිටුවා තිබිණ. පෘතුගීසි හා ලන්දේසි අතර සටන් වල දී මේවායෙන් කොටසකට හානි වූ අතර අනෙක් සියල්ලම පාහේ ලන්දේසි මධ්‍යස්ථාන බවට පත්වූ බව අධ්‍යයන වාර්තා පෙන්වයි.
ගමෙන් ගමට යමින් ජනතාව සමග ඇසුරු කර වෙහෙසෙමින් සිටි පිලිප් බල්ඩියුස් වැඩි සම්බන්ධකමක් පැවැති දෙමල ජනතාව ගැන පමණක් නොව සිංහල හා මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිය ද හදාරන ලද බව ඔහුගේ කෘතිය පෙන්වයි. එවකට ජන ජීවිතය, ඇදුම් පැළදුම්, ආහාර පාන පමණක් නොව කන බොන විලාශය ද විස්තරාත්මකව ලේඛනගත කර තිබේ. මේවා ඉතාමත් වටිනා ඓතිහාසික ලිපි බව සඳහන් කරන්නට අවශ්‍යය.
ලංකාවට පැමිණ එහි ස්වදේශිකයන් ආගමානුකූල කිරීම පිලිප් බල්ඩියුස් වෙත පැවැරුණ මූළික වගකීම බව පෙනේ. ඒ වෙනුවෙන් හෙතෙම කැපවී ක‍්‍රියා කරන ලද අතර දහස් ගණනක් දෙමල හා සිංහල දරුවන් රෙපරමාදුකරණය කර තිබේ. සිය අත්දැකීම් ලියා තබන්නේ එහි අතුරු ව්‍යායාමයක් වශයෙනි. ලංකාවේ චාරිත‍්‍ර වාරිත‍්‍ර, හින්දු හා බෞද්ධ ඇදහිලි ගැන සටහන් තබන්නේ හොඳ අධ්‍යයනයකට පසු බව විද්‍යාර්ථීහු එම ලේඛන උපුටා දක්වමින් පෙන්වා දී ඇත. බල්ඩියුස් ගේ පවුලේ තනිවීම, රෙපරමාදු කි‍්‍රස්තියානි පසුබිම සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය පෙරදිග රටක පැවැත්ම සියුම් ආකාරයකට විනිවිද දකින්නට මග පාදන්නට ඇතැයි කල්පනා කළ හැකිය.
1666 දී පිලිප් බල්ඩියුස් සිය මෙහෙවර අවසන් කර නැවත නෙදර්ලන්තය බලා පිටත්ව ගොස් ඇති බව පැරණි වාර්තා දක්වන අතර එයින් තෙවසරකට පසු ජීවිතක්ෂයට පත්ව තිබේ. නෙදර්ලන්ත රජයේ විදේශ දුත මෙහෙවර කිහිපයක ද හෙතෙම ජීවිතයේ අවසාන කාලයේ දී නිරත වී තිබේ. ලංකාවේ කටයුතු කරන ලද පෙරදිග ඉන්දියානු සමාගමේ ඇතැම් තීරණ ඔහුගේ නොසතුටට හේතු වූ බව පසු කාලයක ඔහුගේ ආණ්ඩුවට ලියා දන්වා ඇති බව කියැවෙයි. පිලිප් බල්ඩියුස් ගේ ජීවන අන්දරය, හැසිරීම සහ අනාගතය උදෙසා එකතු කරන ලද ඥාන සම්භාරය ඉතාමත් වටිනා බව ඔප්පු වී හමාරය. එවකට ලංකාවේ ජනවර්ග එකී ජනයා ගේ පැවැත්ම අද මෙරට පවතින සංකීර්ණ මතිමතාන්තර වලට අතුල් පහරක් බව සඳහන් නොකරනු නොහැකිය. පිලිප් බල්ඩියුස් අධ්‍යයනය කර ඔහුගේ කාර්යයන් මෙරට ජනතාවට අලූතින් කියවන්නට සැලැස්වීම ඉතා අගනා කාර්යයකි. ඉන්දියන් සාගරයේ ලංකාවට නුදුරින් ඇති සමහර දූපත් පෘතුගීසි හා ලන්දේසි නම් වලින් හැඳීන්වෙයි. ඩෙල්ෆ් දූපත එයට එක් උදාහරණයකි. පිලිප් බල්ඩියුස් පියතුමා සහ ඔහුගේ ඩෙල්ෆ් සම්බන්ධය ශ‍්‍රී ලංකාවට අයත් මෙම දුපත හා එකතු වෙන්නේ කෙසේදැයි අධ්‍යයනය කිරීම ද මෙහි දී වැදගත්ය.
|