» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
26/08/2018 - දේශය
ට‍්‍රම්ප් නිසා බැණුම් අහන මාධ්‍ය ප‍්‍රකාශිකාව

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගැන ජාත්‍යන්තරයේ පවතින ප‍්‍රතිරූපය පැහැපත් එකක් නොවේ. ලෝකයේ බලවත්ම නායකයා වශයෙන් ට‍්‍රම්ප් ගේ හැසිරීම හා ප‍්‍රකාශ ඉතා ආන්දෝලනාත්මකය. ඇතැම් අවස්ථාවල ධවල මන්දිරයේ නිල මාධ්‍යවේදීන්ගේ ආවරණ ප‍්‍රතික්ෂේප කරන අතර ඔහු නිකුත් කරන සමාජ මාධ්‍ය ප‍්‍රකාශ ලෝකය කළඹන්නට සමත්වෙයි. එයින් ඇති කරන නිසි හෝ අනිසි පලවිපාක නොසලකන ජනාධිපතිවරයා ගේ ගමන තුළ මාධ්‍ය ගැහැට අත්විඳින චරිතයක් සිටී. ඇය ධවල මන්දිරයේ මාධ්‍ය ප‍්‍රකාශිකා සේරා හකබි සැන්ඩ්‍රේස් ය.

සේරා හකබි දිනපතා පවත්වන පුවත් පත් සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් ගේ කෙළවරක් නැති ප‍්‍රශ්න වලට ගොදුරු වන්නීය. ඇයට නිවැරදි කරන්නට බොහෝ දේ ඇති නමුත් එවැනි උත්සාහයක් හෝ දැරීම මාධ්‍යවේදීන් අවුස්සන කාර්යයකි. නොදන්නා බව පෙන්වීම ද නිසි වගකීමක් සහිත තත්ත්වයක් නොවේ. අභ්‍යන්තරය හෙළිදරව් කිරීම කිසිසේත් කළ නොහැකිය. මාධ්‍ය ජාලා නිතිපතා ඇයගේ ප‍්‍රකාශිකා ධුරය ගැඹුරු සමච්චලයට ලක් කරයි. හැම පැත්තෙන්ම ‘‘චෙක් මේට්’’ වී ඇති නමුත් සේරා හකබි සිය වගකීම කෙරෙහි නොමඳ සැලකිල්ලකින් ක‍්‍රියාත්මක වන්නීය. එය විද්වත් විචාරක අවධානයට ලක් වූ කරුණකි.

සේරා හකබි, ප‍්‍රකට රිපබ්ලික් දේශපාලනඥයෙකු වන අර්කැන්සා ආණ්ඩුකාර ධුරය හෙබවූ මයික් හකබි ගේ දියණියයි. ඇයට සහෝදරයන් දෙදෙනෙකි. පියා සෙනෙට් මණ්ඩලය ද නියෝජනය කරන ලද හෙයින් දේශපාලන ව්‍යුහය ඇයට අලූත් ඒවා නොවේ. පාසල් අධ්‍යාපනයෙන් පසු අර්කැන්සා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබූ අතර ඉගෙනගන්නා කාලයේ දී එහි රිපබ්ලික් සංගමයේ ඡුන්දයෙන් පත්වූ සභාපතිනියව ක‍්‍රියා කළාය. බාල වියේ දී සිය පියාගේ ඡුන්ද ව්‍යාපාර වල නියැලි අත්දැකීම් සහිතව සිටි සේරා හකබි සිය නිවසේ මුළුතැන්ගෙයි ඇති ගුවන් විදුලියෙන් එවකට දේශපාලන විචාරකයන් කරන තියුණු අදහස් ගැන ඉවසිල්ලෙන් අසා සිටියාය. පසුව ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයාගේ කාලයේ දී ඇමරිකානු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කළ සේරා හකබි 2004 බුෂ් ජනාධිපතිවරණයේ ක්ෂේත‍්‍ර සම්බන්ධීකරණයක ද නියැලී ඇත.

ප‍්‍රකට දේශපාලනඥයන්ගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු මෙහෙයවා අත්දැකීම් ඇති සේරා හකබි ලෝකයේ දුප්පත්කම හා රෝග වලක්වා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තරව සංවිධානය කළ විශේෂ වැඩසටහනක මුල් තැන ඉසිලූවාය.

මතයක් ඇති චරිතයක් බව ක‍්‍රමයෙන් ඔප්පු කරමින් සිටි සේරා හකබි ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා බලයට පත් වීමෙන් පසු ධවල මන්දිරයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ධුරයට පත් වූවාය. එතැන් සිට පක්ෂපාතී මෙහෙයුමක කැපවීමෙන් නිරත වූ සේරා එලිසෙබත් හකබි සැන්ඩ්‍රේස් එවකට සිටි මාධ්‍ය ප‍්‍රකාශකවරයා අභියෝගයට ලක්වන විට නිතැතින්ම එයට සුදුසු තැනක පසු වූවාය. ඇමරිකානු ජනාධිපතිවරයා වරින් වර කියන ප‍්‍රකාශ වල දැකිය හැකි පරස්පරතා මාධ්‍යවේදීන්ගේ කෙළවරක් නැති ප‍්‍රශ්න වලට හේතු වූ අතර ඉතාමත් තදින් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින සේරා හකබි එකවරක් අවධාරණයෙන් කියා සිටියේ ‘‘ජනාධිපති කියන දේ බොරු නොවන අතර මාධ්‍ය ප‍්‍රශ්න කරන විලාසයෙන් එය බරපතල හිංසනයක්’’ බවය. තවත් අවස්ථාවක ඇය කෙලින්ම ‘‘මාධ්‍ය බොරු තොරතුරු පතුරවන’’ බව කියා සිටියාය. මෙවැනි ප‍්‍රකාශ තොරතුරු සොයන ප‍්‍රබල මාධ්‍යවේදීන්ගේ නොයිවසිල්ලට හේතු වූ අතර කෙළවරක් නැතිව සේරා හකබි උපහාසයට ලක් වීම සාමාන්‍ය සිද්ධියක් බවට පත් විය.

සේරා හකබි නොයෙක් අවස්ථාවාදී උපක‍්‍රම යොදමින් මාධ්‍ය දඩයම් වලින් ගැලවී ඇත. ඇමරිකානු ජනාධිපතිවරයා ගේ ප‍්‍රකාශ වලින් අනාවරණය වන පැති අල්ලාගෙන ඒවායෙන් තොරතුරු අවුස්සන්නට තැත් දරන සෑම අවස්ථාවක දීම සූක්ෂම වූවාය. ඇය මාධ්‍ය ප‍්‍රකාශිකාව සේ නිල වශයෙන් කියා සිටි දෙයක් වරද්දාගත් විට ‘‘ තමන් සතුව තිබුණ තොරතුරු එපමණයි’’ කියා ගැලවුණ වාර තිබුණ අතර ඇතැම් අවස්ථාවල ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශ ‘‘විකල්ප ඇත්ත’’ බව ඔප්පු කරන්නට ද සේරා මහන්සි වූවාය. එය කෙසේවත් පහසු කාර්යයක් වූයේ නැති අතර ජාත්‍යන්තර මාධ්‍ය සේරා හකබි වෙහෙස කරවමින් කටින් වචනයක් උදුරා ගන්නට බලවත් ප‍්‍රයත්නයක නිරත වන අවස්ථා සෑහෙන තරම් වාර්තා වී තිබුණි. නමුත් ධෛර්යය සම්පන්න භාවයෙන් යුක්තව භාර දෙන ලද අභියෝගය ඉටු කරන්නට ඇය කැපවන බව ඉතාමත් පැහැදිලිව පෙන්නුම් කළාය. එය ඇගේ චරිත ස්වභාවයෙන් දැක්වුණ විශේෂ දක්ෂතාවයකි.

ඇය අපහසුතාවයට පත් කරන්නට වෑයම් කරන මාධ්‍ය ඇතැම් අවස්ථාවල නොයෙක් තොරතුරු පළ කරන අතර එයින් ප‍්‍රකට එකක් වූයේ ‘‘ධවල මන්දිර නිල මාධ්‍ය ප‍්‍රකාශිකා ධුරය හැර දමා එයින් ඉවත්ව යන්නට සූදානමක් ඇති ’‘ බවය. එය දැනගත්ෙවහා උපහාසයෙන් පිලිතුරු දුන් සේරා කියා සිටියේ ‘‘ සමහර මාධ්‍ය, මම නොදන්නා මගේ සැලසුම් හා අනාගතය ගැන දන්නා හැඩයි’’ යනුවෙනි. ‘‘මගෙන් අහන්නේ නැතිව මම ධවල මන්දිරයෙන් යන බව සඳහන් කරන නමුත් ඇත්ත වශයෙන්ම මම මගේ රැකියාවට ආදරය කරන අතර ට‍්‍රම්ප් පාලනයට සේවය කිරීමට ලැබීම ගෞරවයක් ’’ බව සටහන් කළාය. ට‍්‍රම්ප් ජනාධිපතිවරයාට ඉතාම සමීප, එමෙන්ම ඉතාමත් ප‍්‍රබල චරිතයක් සහිත නිලධාරිනියක සේ සලකන්නට එයට වඩා වචන සේරා හකබි ට අවශ්‍ය වූයේ නැත.

එක්තරා අවස්ථාවක වොෂින්ටන් නගරයෙහි කිලෝ මීටර් දෙසීයක් බැහැර අවන්හලක ආහාර ගැනීමට ගිය සේරා හකබි ඇතුළු පවුගේ අය හෝටලයට ඇතුල් කරගැනීම එහි අයිතිකරු ප‍්‍රතික්ෂේප කළේය. එයට හේතුව හෝටල් හිමියා ට‍්‍රම්ප් පාලනය ගැන තිබුණ අකමැත්තයි. වහා තමන්නේ නිල ට්විටර් ගිණුමෙන් ප‍්‍රකාශයක් කළ සේරා හකබි එය තමන්ට කරන ලද බලපෑමක් බව ලෝකයට අනාවරණය කළාය. නමුත් ඇය සතු බලතල සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීමට උපයෝගී කරගැනීම සුදුසු නැති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආචාරධර්ම ගැන අවධානයෙන් සිටි හිටපු ප‍්‍රධානියා ප‍්‍රකාශයට පත් කිරීම විශේෂ සිද්ධියකි. පසුව එය ආන්දෝලනාත්මක සිද්ධියක් වූ අතර ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති ඒජන්සි වහා වාර්තාකළේ ඉක්මනින් සේරා හකබි වෙත දැන් ලැබෙන ආකරක්ෂාවට අමතරව රහස්‍ය ආරක්ෂාව සැපයෙනු ඇති බවය. මාධ්‍ය උපදේශකයෙකු වූ බ‍්‍රයන් හා විවාහ වූ සේරා තිදරු මවකි. පුද්ගලිකව කොපමණ අවාසි සිදුවුවත් ඇමරිකානු ආණ්ඩුවෙන් ලැබුණ තනතුරට අනුව ක‍්‍රියා කිරීම නිසා සේරා තකාබහට ලක් වූ චරිතයකි.