» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
26/06/2016 - දේශය
රෝමයේ පුරපතිනිය වර්ජිනියා රෙගි

ට්‍රෝජන් සිද්ධියෙන් අවුරුදු 1900 කට පසු රෝම නගරය පරිවර්තනය කරන්නට කාන්තාවක් බලයට පත්ව ඇති බව බටහිර මාධ්‍ය සාකච්ඡා කරන්නට පටන්ගෙන තිබේ. ඇය තිස් දෙහැවිරිදි වර්ජිනියා රෙගී වෘත්තියෙන් නීතිඥවරියකි. යාන්තම් තුන් අවුරුද්දක් නාගරික මන්තී‍්‍රවරියක ලෙස සේවය කළ ඇය අද ජාත්‍යන්තර අවධානය දිනාගත් චරිතයක් බවට පත්ව ඇත්තේ සරල සහ ජනතා අවශ්‍යතා තේරුම්ගත් නායිකාවක් ලෙස වැඩෙන බව තේරුම් ගෙන ඇති හෙයින්ය. වර්ජිනියා සිය ඡන්ද ව්‍යාපාරයේ දී නගරය කසල ගොඩක් වී ඇති බව කියා සිටි අතර අවධාරණය කරන්නේ ඔවුන් රෝමය කොල්ල කා ඇති බවයි. අති විශාල බලාපොරොත්තු හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මහා ගුණාංග ගැන කතා නොකළ ඇය රෝම වාසීන්ගේ සිත් පැහැර ගත්තේ කසල එකතු කිරීම, පොදු ප‍්‍රවාහනය, පාරවල් ප‍්‍රතිසංස්කරණය, පාසල, නිවාස සහ දුෂණ යන කරුණු පහ ගැන පමණක් කතා කරමින්ය.

වර්ජිනියාගේ දේශපාලන ගමන තරමටම ඇය සාමාජිකත්වය දරන දේශපාලන පක්ෂයේ මතවාද, දර්ශනය ද අවධානයට ගැනීම වැදගත්ය. වර්ජිනියාගේ දේශපාලන පක්ෂය හඳුන්වන්නේ තරු පහේ ව්‍යාපාරය වශයෙන්ය. පක්ෂ සාමාජිකයන් දෙවියන් විශ්වාස කරන්නේ නැත. අදහන්නේ නායකයායි. හැට හත් හැවිරිදි බැපේ ග‍්‍රිල්ලෝ ඉතාලියේ, 5 එම්.එස්. යනුවෙන් කෙටියෙන් දක්වන මෙම පක්ෂයේ නායකයාය. හෙතෙම කලින් විකට නළුවෙකි. නමුත් දැන් ඔහු රඟපාන්නේ ඉතාලි වැසියන් අගය කරන බැරූරුම් චරිතයකි. පක්ෂ නායකයා ගේ දාර්ශණිකයා වූයේ තොරතුරු තාක්ෂණ සහ පරිගණක විශාරදයෙකි. දැනට ජීවතුන් අතර නැති ජීවත්ව සිටි කාලයේ දී ද අප‍්‍රසිද්ධව සිටි ඔහුගේ පුත‍්‍රයා අද මෙම පක්ෂයේ අන්තර්ජාල සම්බන්ධීකරණය මෙහෙයවයි. නූතන ආකාරයට වැඩකරන මෙම පක්ෂය සාමාජිකයන් සමග අදහස් හුවමාරු කරගන්නේ තොරතුරු තාක්ෂණයෙන්ය. මුහුණට මුහුණ හමුවීම අඩුය. තමන්ට හිතවත් කණ්ඩායමක් වට කරගෙන උපාය සාකච්ඡා කිරීම 5 එම්.එස්. පක්ෂයේ ක‍්‍රමය නොවේ. පක්ෂය අලූත් සංස්කෘතියක් හදා තිබේ. පක්ෂ සංස්කෘතිය අනුව රැස්වීම් නැත. ගමේ කුඩා කණ්ඩායම් හමුවෙයි. පක්ෂය අඩුම තරමින් එකිනෙකා අතර දුරකථන වලින් කතා කරගන්නා හුරුවක් නැති අතර එය කරන්නේ ද අන්තර් ජාලයෙන්ය. අනාගතයේ අන්තර් ජාල රාජ්‍ය බිහිවනු ඇති අතර දෙවියා බවට පත්වන්නේ මිනිසා බව පක්ෂයේ දර්ශනයයි. කාලයක් ඉතාලි සමාජයට විහිළු සැපයූ බැපේ ග‍්‍රිල්ලෝ රටට අරමුණක් සම්පාදනය කරන්නට සමත්ව තිබේ. එය තහවුරුවෙන්නේ ඔවුන්ගේ ප‍්‍රතිපත්ති වලින්ය. වර්ජිනියා රෝම නගරාධිපති ඡන්දයෙන් දිනන විට පක්ෂ නායක ග‍්‍රිල්ලෝ ඇයට සුබ පතන්නට වේදිකාවට ආවේ නැත. පළමු වටය දිනන විට ඇයට ලැබුණේ කෙටි වීඩියෝ සුබ පැතුමකි.

5 එම්.එස් පක්ෂය ඉතාලි අගනුවර වන රෝමයේ නගරාධිපතිනිය වශයෙන් වර්ජිනියා ඉදිරිපත් කරන්නේ කාන්තා බලවේගය ඉදිරියට ගැනීමක් වශයෙනි. ඒ වන විට අගනුවර පැවැති වාතාවරණය අනුව බලයේ ඉන්නා ඉතාලි අගමැති මැට්ටෙයෝ රිඑන්සි ගේ පක්ෂයට අභියෝග කිරීම බරපතල තීන්දුවක් බව නගර වැසියන් ප‍්‍රසිද්ධියේම කියමින් සිටි පසුබිමක් තුළ තරමක් විශාල යතුරු පැදියකින් නගර සභාවට එන වර්ජිනියා අසරණ විය හැකි බව පෙනෙන්නට තිබිණ. නමුත් ජනමතය වෙනසක් ඇති කළේය. එය එතෙක් පැවැති දේශපාලන ක‍්‍රමයට වෙනස් නායකත්වය සහ ඔවුන් අනුගමනය කරන ලද ප‍්‍රතිපත්ති අලූත් පරම්පරාවට දැණුන හෙයින් බව ජාත්‍යන්තර විචාරකයෝ දක්වන අදහසයි.

මෙතෙක් පාලනය කළ නායකයන් රෝම නගරයේ සම්පත් වලින් සැපවත් ජීවිතගත කළා විනා වැසියන්ගේ ජීවිත වෙනස් කරන්නට යමක් නොකරන ලද බවට මතයක් වැඩෙමින් තිබිණ. 5 එම්.එස් පක්ෂය අතට ගත්තේ එහි වාසියයි. පක්ෂය රෝම නගර සභාවේ අපේකෂක ධුරයට නම් කළ විට වර්ජිනියා නගරයේ ජනතාවගේ ප‍්‍රධාන ගැටලූ ගැන අවධානය යොමු කළාය. ඒ වන විට කසල බැහැර කරන යාන්ත‍්‍රණය පැය විසි හතරක වර්ජනයක් හෙයින් නගරය අප‍්‍රසන්න වී තිබිණ. සමාජ මාධ්‍ය හෙලිදරව් කරමින් තිබුණේ ගොඩගැසුණු කසල හා දේශපාලනඥයන් ගේ සුඛෝපභෝගීත්වය ගැනය. කසල ඉවත්කර හොඳ නගරයක් හදන අතර ඳුෂණ වංචා තුරන්කරන බව ඇයගේ ප‍්‍රකාශනය විය.

අධික සෙනග පිරි බස් සහ ඒවා ධාවනය වන මහා මාර්ග වල තත්ත්වය ඇය පෙන්වා දුන් අතර පාසල් වල මූලික පහසුක්ම නැති නමුත් අති විශාල වශයෙන් වාරික අය කිරීම, පහසුනම් අඩු නිවාස සහ ජනාකීර්ණ ප‍්‍රදේශවල පොදු නිවාස අඩු බව සහ දෂිත නිලධාරීන් ද හවුල් කරගෙන යුරෝ මිලියන ගණනින් නගරයෙන් කොල්ල කන ලද බව ඇය හෙළිදරව් කරන්නට සමත් වූවාය. තරු පහේ ව්‍යාපාරය මෙම නරක පැති හොඳ කරන බව අනාවරණය කරන ලද්දේ ජනතාව ආකර්ශණය කරගන්නා ඡන්ද ව්‍යාපාරයක් වශයෙන්ය.

එකී ඡන්ද ව්‍යාපාරයට ආලෝකය ලැබෙන්නේ මේ වන විට ඉතාලියේ දේශපාලනයේ පවතින අඩු ලූහුඞුකම්ය. එයට විකල්ප වශයෙන් නැගෙන තරු පහේ ව්‍යාපාරය අලූත් සංස්කෘතියක් සමාජයට කාන්දු කරමින් සිටියි. පක්ෂය ගන්නා සියලූම දේශපාලන තීන්දු ජනතා අනුමැතියට යටත්ය. එය වගකීම් සහතිකයකි. තීන්දුව අන්තර් ජාලය ඔස්සේ යොමු කරන අතර පක්ෂ සාමාජිකයන්ගේ කැමැත්ත අනුව එයට අනුමැතිය දෙන්නට සිදුවෙයි. යම් අපේක්ෂකයෙකුට පක්ෂය හැර යන්නට සිදුවන කඩ ඉමකට පැමිණි විට යුරෝ එක් ලක්ෂ පනස් දහස දක්වා දඩයකට යටත්වන හේතුවකි. අපරාධයකට සම්බන්ධ නම් පක්ෂය වෙනුවෙන් එවැනි අපේක්ෂකයන්ට කිසිදු මැතිවරණයකට තරග කරන වරම දෙන්නේ නැත. වර්ජිනියාගේ ජයග‍්‍රහණය ඔස්සේ රෝම වැසියන් මෙම දේශපාලන ප‍්‍රවාහයේ සංස්කෘතිය අනුමතකර ඇත.

වර්ජිනියා රෝමයේ ඉපිද එහි අධ්‍යාපනය ලැබ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියක් හිමි කරගත්තාය. පක්ෂයෙන් දේශපාලනයට පැමිණි ඇය අවධානයට ලක්වන්නේ අපේක්ෂකයන් පස් දෙනෙකු ජය අත් කරගන්නා විට ඒ අතර සිටි එකම කාන්තා චරිතය හෙයින්ය. ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව ඇය හඳුන්වන්නේ විවාදයට දක්ෂ නායිකාවක් බවය. ඇය කරන විවාදයේ අවසානය රෝමය අද පවතින අවිධිමත් සහ ඳුෂිත පාලනයෙන් මුදවා පැරණි ඉසුරුමත් බව ඇති කරන වෑයම බව පෙනෙන්නට තිබේ.

රෝමය පුරා අලූතෙන් මතුවන තද දේශපාලන මුහුණුවරක් වශයෙන් තරු පහේ ව්‍යාපාරය මහජනතාව වැළඳ ගනිමින් සිටී. බලයේ ඉන්නා අගමැතිවරයාගේ දේශපාලන පක්ෂ්‍ය මෙම නගර සභා මැතිවරණයේ දී වෙනත් ප‍්‍රදේශයක නගර සභාවක් වෙනුවෙන් කාන්තා අපේක්ෂිකාවක් ඉදිරිපත් කරනලද නමුත් අය පරාජයට පත්වෙයි. වර්ජිනියාගේ ජය අත්පත් කරගැනීම අලූත් දේශපාලන මුහුණුවර ජනතාව අතර මුල් බැසගන්නා බව නිරීක්ෂණය කළ හැකිය. ජනතාව බලාපොරොත්තු වෙන්නේ මහජනතාව වෙනුවෙන් සේවයක් සිදුවන පාලන ක‍්‍රමයකි. එය ස්තාවර වෙමින් තිබේ. ඉතාලිය පරිවර්තන යුග ගණනාවක් පසුකළ රටකි. එහි පසුබිම පාලකයන් බලයෙන්පහකර අලූත් යුග ඇති කරන ලද බව සනිටුහන් කරයි. නැගෙමින් පවතින ග‍්‍රිල්ලෝ ඉල්ලමින් මහජනතාව වීදි බසින්නට ඉඩ ඇති බව නොබෝදා රෝමයේ නගරාධිපති ධූරය ඉඟි කරනලද සංඥාවයි. සම්ප‍්‍රදායානුකූලව පක්ෂ පිහිටුවන, ඒවායේ බලතල අතට ගෙන වැඩ කරන සහ කොපමණ ඳුෂිත නමුත් ඔවුන් ද පිරිවරාගෙන ඡන්දයට යන ඉතාලි දේශපාලනයේ නායකයන් මෙයින් සසල වී සිටී.