» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
25/12/2016 - දේශය
අලුත් U.N එකත් සොයන හංගේරියානු අනාථයා

ලස්ලෝ සම්බත්ෆාල්වි ප‍්‍රකට ආයෝජකයෙකි. ගත් කතුවරයෙකි. ස්වීඩන් හි ස්ටොක්හොම් නගරයේ ජීවත්වන සුපිරි ධනවතෙකු වන හෙතෙම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. ඔහු ලෝක වාසීන්ට අභියෝගයක් ඉදිරිපත් කර ඇත. 2017 ගෝලීය අභියෝගයයි. අභියෝගාත්මක ත්‍යාගය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන පහක මුදලක් වෙන් කරන ලස්ලෝ සම්බත්ෆාල්වි අදට ගැලපෙන ‘එක්සත් ජාතීන්ගේ සංවිධානයක්’ නිර්මාණය කරන සාර්ථක අදහසක් ඉදිරිපත් කරන අයෙකුට එය දිනාගත හැකි බව ප‍්‍රකාශයට පත් කරයි.

එක්සත් ජාතීන් ගේ සංවිධානය බිහි වුයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවය. හැත්තෑ එක් අවුරුද්දක් වයස මෙම සංවිධානය අද පවතින ගෝලීය අර්බුද වලට උත්තරයක් නොවන බව සම්බත්ෆාල්වි ගේ විශ්වාසයයි. එක්සත් ජාතීන් හා එයට අනුබද්ධ ආයතන වලට ලෝක ප‍්‍රශ්න විසඳීය නොහැකි හෙයින් නිර්මාණාත්මක ව්‍යුහයක් හදුන්වාදෙන සේ හෙතෙම අභියෝග කරයි. එය අලූත් අදහසකි. ලෝකයේ විවිධ සංවිධාන, විවිධ පුද්ගලයන් සහ බලවතුන් මෙම විකල්ප යෝජනාව ගැන අවධානය යොමු කර තිබේ. සම්බත්ෆාල්වි එය කරන්නේ හිතට එන අදහසක් ඉදිරිපත් කරන ධනවතෙකු වශයෙන් නොවේ. ඒ වෙනුවෙන් ‘ගෝලීය අභියෝගාත්මක පදනම’ පිහිටුවන අතර විධිමත් ස්වාධීන ආයතනයක් ස්ථාපිත කර තිබේ. ලෝක සංවිධාන, කණ්ඩායම් හෝ පුද්ගලයෙකුට ස්වකීය යෝජනා ඉදිරිපත් කළ හැකිය.

ලස්ලෝ සම්බත්ෆාල්වි කියන ලෝක අර්බුද මොනවාද? කාලගුණ විපර්යාස, ප‍්‍රචණ්ඩ ගැටුම් සහ දරිද්‍රතාවය යන කරුණු තුන ගැන එහිලා අවධානය යොමු කර ඇත. මෙම ව්‍යුහය සකස් කරන්නේ මෙයින් අවුරුදු පහකට කලින්ය. ගෝලීය අවදානම හා එයට හොඳටම මුහුණ දෙන සූදානම ගැන මෙහි දී සාකච්ඡා කර ඇත. ලෝකය මුහුණ පා ඇති අභියෝග සලකා නව්‍ය හා අලූත් ද්‍රෘෂ්ඨියකින් බලන්නට මෙම විකල්පය අවස්ථාව සම්පාදනය කර තිබේ.

ජාත්‍යන්තරයේ ප‍්‍රශ්න විසඳන්නට අනන්‍ය අලූත් මුහුණුවරක් ඉල්ලන ලස්ලෝ අභියෝග මැදින් ජීවිතය ජයගත් දක්ෂ පුද්ගලයෙකි. හෙතෙම උපත ලබන්නේ හංගේරියාවේය. 1956 අවුරුද්දේ දී ස්වීඩනයට එන්නේ අනාථයෙකු වශයෙනි. අවුරුදු තිහක් ලබන්නට තිබිය දී ස්වීඩනයට එන හෙතෙම එන්නේ හිස් අතින් බව සඳහන්ය. කඳවුරක මැජික් ශිල්පියෙකු සේ දස්කම් පෙන්වා යමක් උපයා ගන්නා ඔහු පසුව ස්වීඩන් කොටස් වෙළඳාමට සම්බන්ධ වෙයි. එහි දී ද, අවදානම ගැන අධ්‍යයනය කර හොඳම ප‍්‍රතිඵල අත්පත් කර ගන්නට ඔහුට හැකියාව ලැබේ. ස්වීඩනයේ රැකියාවක් කළ සම්බත්ෆාල්වි එයින් ඉවත්ව අවදානම ගෙන කොටස් වෙළඳාම හා ආයෝජනය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැපවූ අතර එහි ප‍්‍රතිඵලය වූයේ දිනෙන් දින ඔහුගේ වත්කම ඉහළින් ඉහළටම නැග ප‍්‍රතිභාව පැතිරී යාමයි. හැට වන ජන්ම දිනයට එන විට ඔහු කොටස් ගනුදෙනු වලින් ඉවත් වෙයි. තමන් සතු කොටස් තෝරා ගත් සමාගම් වල යොදවන හෙතෙම තෝරා ගත්තේ සැහැල්ලූවෙන් ජීවත්වීමය. අතීත ක‍්‍රියාකාරකම් ගණන් හැදු ස්වීඩන් විශේෂඥයන් කියන්නේ ඔහු ගේ දක්ෂතාවය වූයේ ආයෝජනයෙන් සියයට තිහක ඉහළම ප‍්‍රතිලාභ ගන්නට සමත්වීම ගැනය. එය විශිෂ්ඨ කුසලතාවයකි. මෙම විස්කම දෙස බලා සිටි ප‍්‍රකට ආයෝජන උපදේශකයෙකු 2014 වසරේ දී කෘතියක් ලියමින් ලස්ලෝ සම්බත්ෆාල්වි ස්වීඩනයේ ආයෝජන අද්විතීයයන් අතර පළමු තැනට නම් කරන ලද අතර ලෝකයේ ආයෝජකයන් ගේ ලැයිස්තුවේ තුන්වැනි තැනට නම් කළේය. අනාථ කඳවුරක මැජික් පෙන්වූ තරුණයෙකගේ ගමන දෙස අවධානය තවත් තීව්ර වූයේ එයින් ඉනික්බිතිවය.

නමුත් ඒ වන විට හෙතෙම තමන් පැමිණි මාවත දෙස බලා එයින් පසු ලෝකයේ පැවැත්ම වෙනුවෙන් කළ යුතු මෙහෙවර කුමක් ද යන්න තීරණය කර තිබුණ බව පැහැදිලිය. එය තහවුරු වෙන්නේ 2009 දී වර්තමානයේ අප මුහුණ දෙන ප‍්‍රධානම අභියෝග නමින් ග‍්‍රන්ථයක් සම්පාදනය කිරීමයි. එහි දී ඔහු ලෝකයේ මෙගා අර්බුද හතරක් අනාවරණය කළේය. පාරිසරික වෙනස්කම්, කාලගුණ විපර්යාස, මනුෂ්‍ය සංහාරක අවි සහ ධරණීය දරිද්‍රතාව ඔහු තෝරා ගත් අර්බුද හතරයි. නිවැරදි තීරණ අනුව අවදානම ගෙන අලූත් යමක් කරන්නට දේශපාලනඥයන් පියවර ගත යුතු බව මෙයින් අවධාරණය කළේය. එයින් වසර කිහිපයකට පසු දෙවැනි ග‍්‍රන්ථය ප‍්‍රකාශයට පත් කරන්නේ ආත්ම ශක්තිය පදනම් කරගෙනය. දෛනික පැවැත්මේ දී වැඩ කරන සහ සම්බන්ධතා අතර තිබිය යුතු පුද්ගල ආත්ම ශක්තිය ගැන එහි විවරණය කරයි.

‘ගෝලීය අභියෝගාත්මක පදනම’ ස්ථාපිත කරන්නේ ලෝකයේ පැවැත්ම වෙනුවෙන් කළ යුතු මෙහෙවර ගැන හිතා බලා වගකීමෙන් යුතුව ගත් පියවරක් වශයෙන් විය හැකිය. එයට සම්බන්ධ වන විද්වතුන් එය අගය කරන්නේ එහෙයින්ය.

ලස්ලෝ සම්බත්ෆාල්වි මතු කරන අපූරු තර්කයක් තිබේ. ’ජාත්‍යන්තරය අද පවතින ප‍්‍රශ්න විසදන්නට උත්සාහ කරන්නේ ඊයේ අනුගමනය කළ මෙවලම් භාවිතයෙන්’ ඔහු කියයි. ගෝලීයකරණයට ලක්ව ඇති ලෝකයේ පැවැත්මට තර්ජනයක්ව ඇති ඉරණම වෙනස් කරන්නට අවශ්‍ය බව හෙතෙම කියා සිටී. නමුත් එයට උපයෝගී කරගත යුතු අලූත් රාමුවක සහයෝගීතාවයක් බව අවධාරණය කරයි. පරණ අච්චුවෙන් අලූත් දේ නිපදවන්නට බැරි බව කියා උපහාසයෙන් හිනා වෙන්නට ලස්ලෝ සම්බත්ෆාල්වි සූදානම් නැත. වැඩ පිලිවෙලක් සකස් කිරීම සිය දර්ශනය බවට පත් කර ගෙන තිබේ. ඔහුගේ වත්කමෙන් සෑහෙන කොටසක් වෙන් කරන්නට තීරණය කරන්නේ එහෙයින්ය.

වසර 2100 වන විට ලෝක ජනගහනය බිලියන එකොලහක් විය හැකි බව එක්සත් ජාතීන් පුරෝකථනය කර තිබේ. මෙපමණ පිරිසකගේ ව්‍යාධි තුරන් කර සැනසිලිදායක ලෝකයක් හදන්නේ කොහොමද? යන්න ලස්ලෝ සම්බත්ෆාල්වි ප‍්‍රශ්න කරයි. ඕසෝන ස්ථරයේ හානි වල සිට ධරණීය දරිද්‍රතාවය දක්වා අති විශාල පරාසක පැතිරී ගිය අභියෝග වලට උත්තර නැතිවුණොත් මානව සංහතියේ පැවැත්ම අර්බුදයක බව ඔහු විශ්වාස කරන බව පැහැදිලිව පෙනේ.

ලෝක ප‍්‍රජාවට නිර්මාණාත්මක අදහස් අවශ්‍යව තිබේ. එක කොටසකට, එප පැවැත්මකට පමණක් සියළු අභියෝග වලට විසªම් සොයන්නට ඉඩදීම වෙනුවට පොදුවේ සෑම පුද්ගලයෙකුටම අනාගත පරපුරේ පැවැත්ම වෙනුවෙන් වගකීමක් තිබෙන බව කියන්නට ලස්ලෝ සම්බත්ෆාල්වි උත්සාහ කරයි. එය බොහෝ දුරට එක්සත් ජාතීන් අද ගෙන යන දැවැන්ත කාර්ය භාරයට විකල්පයක් වනු ඇත. ලබන වසරේ මැයි 24 දා තෙක් ලෝක ව්‍යාප්තව අලූත් අදහස් එකතු කරගන්නට. මෙම පදනම කැමැත්තෙන් සිටී. ජාත්‍යන්තර විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් ලැබෙන අදහස් විමසා බලා විනිශ්චයක පිහිටන අතර නොවැම්බර් මාසයේ දී ජයග‍්‍රහණය ප‍්‍රකාශයට පත්කරනු ඇත. එය හුදෙක් ඩොලර් මිලියන පන්සියයක් බෙදා දෙන අදහසක් නොවේ. එය නවතම සංකල්ප මත පිහිටා ලෝකයේ අර්බුදය ගැන විසªම් නිර්මාණය කරන එකක් විය හැකිය.

ජයග‍්‍රහණය කරන සංකල්පය ප‍්‍රචලිත කර එයට ලෝක ව්‍යාප්ත පිලිගැනීමක් දී රට රටවල නායකයන් හමුවට පමුණුවන්නට ද ‘ගෝලීය අභියෝගාත්මක පදනම’ සූදානම්ය. මෙය අද ජාත්‍යන්තරය දකින්නේ මැජික් එකක් වශයෙන් වෙන්නට බැරි නැත. හංගේරියාවෙන් පැමිණි අනාථ තරුණයෙකු ජනතයා වෙනුවෙන් විකල්ප වැඩ පිලිවෙලක් ගෙන එන්නැයි අභියෝග කරයි. ඔහු පරදුවට තබා ඇත්තේ ගෝලීය නායකයන් සියළුම දෙනාගේ අද පෙන්වන සමත්කම බව අමතක කළ යුතු නැත.