» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
25/06/2017 - දේශය
දුප්පතුන්ට කවන සුපිරි සූපවේදියා

මසිමෝ බොත්තුරා ලෝක ප‍්‍රකට සූපවේදියෙකි. පසුගිය වසරේ ලෝකයේ අංක එකේ භෝජනාගාරයේ අයිතිකරුය. තරු හෝටලයක ආහාර පිස අමුත්තන්ට පිලිගන්වන්නේ නම් ජාත්‍යන්තරය ඔහු ගැන කතා කරන්නේ නැත. නමුත් ඔහු අද දුප්පතුන්ට ආහාර පිසින ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ ජීවිතයට ආහාර යන සංකල්පය පෙරදැරි කරගෙනය. ජීවත්වෙන්නට ආහාර අවශ්‍යය. ඒවාට මිලක් තිබේ. කුස පිරෙන්නට මොනවා හෝ ගිල දමන මිනිස්සු කොටසක් ලෝකයේ සිටී. ආහාර වේලක සතුට වෙනුවෙන් අති විශාල ධනයක් වියදම් කරන්නට හැකි සුපිරි ධනවතුන් කොටසක් ද ඇත. බොත්තුරා ගේ අරමුණ කුස ගින්නේ ඉන්නා කොටසට හිත පිරෙන ආහාර වේලක් සැපයීමයි. සුපිරි වෙළඳ සැල් වලින් දිනපතා ඉවත් කරන කල් ඉකුත්වෙන දිනට ළඟා වූ ආහාර එකතුකරන ඔහු ඒවා ඔහුගේ ම මෙහෙයැවීමෙන් පිලියෙල කරයි. ආහාර වේලක් මිල දී ගන්නට වත්කමක් නැති දස දහස් සංඛ්‍යාත පිරිසට බෙදා දෙයි. එහි අදහස ගැඹුරුය. දුප්පතුන් කුසගින්නේ සිටිය දී ආහාර නාස්තිය වැලැක්වීම එක් වැදගත් අදහසකි. සුපිරි වෙළඳ සැල් වල අලෙවිය අතර තුර කල් ඉකුත් වන ආහාර එයින් බැහැර කරති. නමුත් මේවා විනාශ කළ යුතු නැත. පරිභෝජනයට සුදුසුය. මසිමෝ බෝත්තුරා කරන්නේ නාස්ති කරන එම ආහාර වලට තරු හෝටලයක වටිනාකමක් ලබා දීමය.

ජාත්‍යන්තර වාර්තා දක්වන අන්දමට ආහාර නිෂ්පාදනය වන අතර තුර සියයට තිහ හතලිහ අතර ප‍්‍රතිශතයක් විනාශ වෙයි. වෙළඳ පොලකට අලෙවිය සඳහා ගෙන එන ආහාර වලින් ද කොටසක් භාවිතා නොකර ඉවතට යන්නේ මෙම පසුබිම අතරය. කල් ඉකුත් වන හෝ නැවුම් බව නැති හෙයින් කසල වශයෙන් ආහාර විසි කිරීම නරක බව බොත්තුරා ගේ අදහසයි. ‘‘පාන් ගෙඩියක් දවසකට පසු විසි කරන්නේ කසල භාජනයකට. නමුත් දවසකට කලින් ඒවා තවත් කෙනෙකුට දැනෙන්නේ රත්තරන් වගෙයි’’ හෙතෙම කියයි. එක්සත් ජාතීන්ගේ දත්ත අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන අටසියයක් නින්දට යන්නේ රාත‍්‍රී ආහාරයට යමක් නැතිවය. බොත්තුරා දර්ශනයක් අනුව ක‍්‍රියා කරන සූපවේදියෙකි. ඔහු මෙම පිරිසෙන් කොටසකට ආහාර සපයන්නට වෑයම් කරයි. කෑම පාර්සලයක්ම නොව තරු පන්තියේ ආහාර වේලකි. එය ජාත්‍යන්තරයේ ප‍්‍රසාදයට පත්ව ඇති වැඩ පිලිවෙලකි.

එක්තරා අවස්ථාවක ඉතාලියේ මිලානෝ හි දී පැවැති එක්ස්පෝ ප‍්‍රදර්ශනය දී අත්හැර දමන ලද රංග ශාලාවක් උපයෝගී කරගෙන බොජුන් හලක් ආරම්භ කරන ලද අතර එහි ආහාර සකස් කළේ භාවිතයෙන් ඉවත දමන්නට ඔන්න මෙන්න කියා තිබූ එලවලූ පලතුරු හා ටින් කෑම වර්ගයි. එහි දී මාස හයක කාලයක් ඇතුලත ස්වේච්ඡා සේවකයන් සියයක් උපයෝගී කරගෙන ඉවත් කරන ආහාර ද්‍රව්‍ය ටොන් පහලොවක් උයා පිහා සකස් කළේය. ඒවායෙන් වේල් දස දහසක් පිරිනමන ලද අතර එය මහත් ඇගයීමකට ලක්විය. එයින් අනතුරුව එහි ප‍්‍රතිපලයක් වූයේ මිලානෝහි අසරණ පුරවැසියන් වෙනුවෙන් සතියකට දින පහක් මෙවැනි ආහාර සම්පාදනය කරන වැඩ පිලිවෙලක් ඇරඹීමයි. එය පැතිරෙන විට නගර ගණනාවක අවන්හල් අරඹන ලද අතර අවසානයේ දී අනාථ පවුල් පවා මේවායේ සැකසෙන රසවත් ආහාර සොයා පැමිණෙන්නට පටන්ගත්තේය. පසුගිය වසරේ බ‍්‍රසිලයේ රියෝ ද ජෙනයිරෝ නුවර ඔලිම්පික් උළෙල පැවැත්වෙන විට මෙම ‘‘ජීවිතයට ආහාර’’ ව්‍යාපෘතිය එතැන දක්වා ව්‍යාප්ත විය. රස මසවුලූ හදන අරක්කැමියන්, ආහාර සැපයුම්කරුවන් සහ සංදර්ශන සංවිධායකයන් ඇතුළු නොයෙක් දෙනා එයට එකතු කරගත්තේය. එය මහත් අවධානයට ලක් වූ අතර සෑහෙන පිරිසක් එයින් ආහාර ගත්තේ ලෝකයේ හොඳම අරක්කැමියා පිසින ලද ආහාර වේලක් භුක්ති විඳීන්නට ලැබුණ අසීමිත සතුට ද සමගය.

බොත්තුරා ගේ අරමුණ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සංවිධාන එකතුවකින් ප‍්‍රජා මුළුතැන් ගෙවල් රටවල තැනින් තැන හැදීමය. සුපිරි වෙළඳ සැල් වලින් ඉවත් කරන නරක් නොවූ ආහාර, තැන තැන ඇති ප‍්‍රයෝජනයට නොගන්නා ඉඩකඩ සහ සාමාන්‍ය ජනතාව එක්තැන් කරන්නටය. බොත්තුරා කියන්නේ දුප්පත් අයට පමණක් නොව ආහාර ඕනෑ සියළුම දෙනාට මෙම අලූත් අවන්හල් ක‍්‍රමය විවෘත බවය.

මසිමෝ බොත්තුරා ඉතාලියේ මොදෙනා එනම් එරට දකුණු ප‍්‍රදේශයේ උපත ලැබුවේ මෙයින් වසර පනස් තුනකට කලින්ය. තමන්ගේ මෑණියන් සිය නිවසේ ඉවුම් පිහුම් කරගෙන යන අපූරුව දුටු හෙතෙම පවුලේ අය සමග එකතු වී ආහාර පිලියෙල කරන රස පදම නිසි සේ දැනගත්තේය. 1986 වන විට ඔහු නීතිය හදාරමින් සිටියේය. මොදෙනා නගරයෙහි කෙළවරක තිබුණ අත්හැර දැමූ අවන්හලක් මුලින් මිල දී ගත් බව කියන ඔහු පසුව ප‍්‍රකට සූපවේදීන් යටතේ පුහුණුව ලැබූ බව සඳහන් කරයි. එහි උච්ච අවස්ථාව වන විට මිචෙලින් යනුවෙන් දක්වන තරු තුනක් සහිත ඉහළම පැලැන්තියේ බොජුන් හල් වල අයිතිකරු බවට පත් වූ අතර ඒවායේ ප‍්‍රධාන සූපවේදියා වූයේ ද ඔහුමය. එය කොපමණ ද යත් ඉතාලියේ හොඳම බොජුන් හල් පහ අතර විය. 2012 වසරේ සිට ලෝකයේ හොඳම ඒවා පනහ අතර මසිමෝ ගේ කෑම ගැන සටහන් වන විට ඔහු කොපමණ ජන ආකර්ශණයට ලක් වූ සූපවේදියෙක් දැයි පැහැදිලි වෙනු නිසැකය. 2015 වසරේ දී ඔස්ටි‍්‍රයා ෆැන්සිස්කා නමැති මසිමෝ ගේ බොජුන් හල ලෝකයේ දෙවැනි හොඳම තැන බවට පත් වූ අතර 2016 වසරේ දී ලෝකයේ හොඳම බොජුන්හල බවට පත් වූයේ මසිමෝ ගේ කීර්තිය දෙගුණ තෙගුණ කරමින්ය. 1995 වසරේ දී විවෘත කරන ලද එහි මුලික තේමාව වූයේ සම්ප‍්‍රදායික ආහාර නවීනතාවයෙන් යුතුව පිලිගැන්වීමයි. එය ලොව පුරා රසවතුන්ගේ නොමද අවධානයට ලක් විය.

මසිරෝ බෝත්තුරා තමන්ගේ දර්ශනය හා අත්දැකීම් ඇසුරෙන් පොත් හතරක් ලියා ප‍්‍රසිද්ධ කර තිබේ. ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ ඔහුට ඇති පිලිගැනීම හා ඔහු හිතන පතන අන්දම ගැන සැලකිල්ලක් දක්වන නොයෙක් ප‍්‍රජා සංවිධාන ඒවායේ අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා මසිරෝ වෙත ආරාධනා කර තිබේ. මෙපමණ තැනකට එන අතරවාරයේ 2012 නොවැම්බර් මාසයේ ඉතාලියේ ඇතිවූ භූමිකම්පාවෙන් ඔහුගේ අවන්හල් කිහිපයකට දරුණු අලාභානි සිදුවූ අතර දේශීය ආහාර නිෂ්පාදකයන් සමග එකතු වී හෙතෙම ඒ ගැන හඬ නගා කියා සිටියේ වෙන කළ හැකි දෙයක් නැති හෙයිනි. අලාභය පැත්තකට දමා නැවත පිලිසකර කරන හෝටල් නැවුම් ආහාර වට්ටෝරු සහ සිත්ගන්නා අංග සමග ධනවත් සමාජය අතරට ඇතුල් වූයේ ඉක්මනින්ය. මෙම කාලය තුළ ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි සහ තායිවානයේ ල ෆෙස්ටා හි පැවැති ආහාර ප‍්‍රදර්ශන වල දී කි‍්‍රයාශීලී සහ කැපී පෙනෙන කාර්ය භාරයක් කරන ලද මසිරෝ එයින් තමන්ගේ හැකියාව ලෝකය පුරා තවත් පතල කළේය.

ඉතාලිය වෙනුවෙන් ඇමරිකාවේ සන්නාම තානාපති ධුරයක් හෙබවූ මසිරෝ බෝත්තුරා ලෝකයේ නොයෙක් තැන ඉතා උත්කර්ෂවත්ව පවත්වන ආහාර පාන සැනකෙළි වල දී ආරාධනා ලබන ගරු අමුත්තෙකු බවට පත්ව සිටී. ආහාර විෂයෙහි ලැබූ සම්මාන ලේඛනය ඉතා දීර්ඝ එකකි. ඔහුගේ කීර්තිය හා වැඩ කරන පිලිවෙල අනුව යමින් ඉතාලියෙන් බැහැර පළමු අවන්හල තුර්කියේ ස්ථාපිත කරන්නේ මෑතක දීය. තමන්ගේ ජීවිතයේ ඉතා වැර වෑයමෙන් උපයාගත් වෘත්තීය වටිනාකම් සහතික වල රාමු කර එල්ලා තබනවාට වඩා යමක් මසිරෝ කරන බව පිලිගත යුතුය. මිනිසුන් අතර වඩා ඉහළින් තරුවක් සේ දිලෙන්නට එය හොඳටම ප‍්‍රමාණවත්ය.