» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
25/03/2018 - දේශය
අන්තර්ජාලයේ පියා ශ‍්‍රීමත් බර්නර්ස් ලී

ශ‍්‍රී ලංකාවේ වැසියෝ පසුගිය වකවානුවේ අන්තර්ජාලය ගැන විශාල අවධානයකින් පසුවිය. මාර්ග අනතුරක් පදනම් කරගෙන ඇති වූ හදිසි තත්ත්වය රට පුරා උණුසුමක් ඇති කළ අතර සමාජ සන්නිවේදන මාධ්‍ය තාවකාලිකව තහනම් කිරීම දක්වා එය දුර දිග ගියේය. අන්තර් ජාලය ජන ජීවිතයට බලපාන තරම ගැන එය එක උදාහරණයකි. සමාජ මාධ්‍ය සමාජ සම්බන්ධතා තහවුරු කරන අතර තාවකාලික තහනම තුළින් නවීන යුගයේ සමාජ ඇසුර කොපමණ බලපෑමක් ඇති කරන්නේ දැයි අනාවරණය කරගැනීමට උපකාරී විය. අන්තර් ජාලය නිර්මාණ සංකල්පයේ නිර්මාතෘ සහ එය යථාර්ථයක් කරන්නට දායක වූ ශ‍්‍රීමත් තිමොති ජෝන් බර්නර්ස් ලී මෙහි දී අමතක කළ නොහැකිය.

බර්නර්ස් ලී බි‍්‍රතාන්‍ය ජාතික මෘදුකාංග ඉංජිනේරුවෙකු සහ පරිගණක ක්ෂේත‍්‍රයෙහි පරිනත විද්‍යාඥයෙකි. 1989 මාර්තු මාසයේ එක්තරා දවසක හෙතෙම තොරතුරු කළමණාකරන පද්ධතියක් සහිත පර්යේෂණ ලේඛනයක් ඉදිරිපත් කළේය. එම වසරේ නොවැම්බර් මාසයේ දී සාර්ථකව අන්තර් ජාල සම්බන්ධතා මගින් සේවාදායකයන් යා කරගැනීමට සමත්විය. එය සන්නිවේදනයේ දැවැන්ත පෙරැළියක් වූ අතර විශ්ව ගම්මානය යන සංකල්පය යථාර්ථයක් කරන්නට හේතු විය.

බර්නර්ස් ලී බාල වියේ සිටම පරිගණකය ගැන දැනගෙන සිටියේය. වානිජ වශයෙන් නිෂ්පාදනය කළ පළමු පරිගණක සමාගමේ ඔහු ගේ දෙමව්පියෝ සේවය කළහ. දරුවන් හතරදෙනෙකු ගෙන් යුතු බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් හි ජීවත් වූ දරු පවුලක සාමාජිකයෙකු වූ බර්නර්ස් ලී පාසල් කාලයේ සිටම කාර්මික අංශය ගැන ඇල්මකින් සිටියේය. පාසල් යන අතරවාරයේ දුම්රිය අනුරුවක් ඇසුරු කරගෙන නුවණ මෙහෙයවමින් සිටි අතර උසස් අධ්‍යාපනය ලබා ඔක්ස්ෆඞ් විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යා උපාධිය හිමිකරගත්තේය. ඔක්ස්ෆඞ් සහ මැසසුචෙස්ට් යන විශ්ව විද්‍යාල වල මහාචාර්ය වරයෙකු වශයෙන් ද සේවය කරයි.

පළමු වෘත්තිය වශයෙන් විදුලිය සංදේශ සමාගමක සේවය කරන ලද හෙතෙම පසුව මුද්‍රණකරුවන් වෙනුවන් ලිපි සකස් කරන මෘදුකාංගයක් සොයාගෙන ජගත් ප‍්‍රජාවට හෙළිදරව් කළේය. ඉදිකිරීම් කර්මාන්තයෙහි නියැලී සිටි වකවානුවේ දී දිනෙන් දින යාවත්කාලීන වන තොරතුරු පර්යේෂකයන් අතර බෙදා හදා ගැනීමට එන්ක්වයර් නමින් පද්ධතියක් නිර්මාණය කරන්නට සමත් විය.

ඉංජිනේරු සහ පරිගණක අංශ වලට අදාල තැන් කිහිපයකින් අත්දැකීම් ලත් තරුණ විද්‍යාඥ බර්නර්ස් ලී පරිගණක කිහිපයක් ජාල ගත කිරීම ගැන අත්හදා බැලීය. එය සාර්ථක විය. පියවරෙන් පියවර නොයෙක් අදහස් එකතු කළ හෙතෙම පරිගණක පද්ධති එකතුකර එක දත්ත ගබඩාවක් පොදුවේ භාවිතාකරන මෙහෙයුමක් සකස් කරගන්නට සමත් වූ බව සඳහන් කළ යුතුය. ඒ ගැන සංකල්පයක් සිතේ හටගන්නේ න්‍යෂ්ඨික පර්යේෂණ සඳහා වූ යුරෝපා සංවිධානයේ සේවය කරන අතරවාරයේය. එහි සේවය කළ අය එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගැනීමට නැතිනම් තොරතුරු තාක්ෂණික අන්දමින් බෙදාහැරීමට ක‍්‍රමයක් අත්හදා බැලීය. පළමු වෙබ් අඩවිය නිර්මාණය විය. එය අද සඳහන් කරන අන්දමේ ලෙහෙසි එකක් වූයේ නැත. අද වන විට ලෝකය පුරා විහිදුණු, තොරතුරු බෙදා හරින, භාණ්ඩ විකුණන, සම්බන්ධතා ඇති කරන පමණක් නොව කිසිම සීමාවක් නැතිව දැනුම ගවේශනය කළ හැකි තරමට දියුණු වූ අන්තර් ජාලය ඉතාම සංකීර්ණ මෙවලමකි. මුලින් නිර්මාණය වූ වෙබ් පළමු පිටුවේ අඩුම තරමින් පින්තූරයක් පවා නැතත් එයින් සිදුවන වාසි සහ අවාසි ගැන අද වන විට විශාල සංවාද පවතී. ඉතාම වේගයෙන් පැතිරුණ ජන ජීවිතයට ඉතා බලපෑමක් කළ ව්‍යුහයක් වශයෙන් නම් කෙරී ඇත.

අද වන විට අන්තර් ජාලය සොයා ගෙන වසර විසි නමයක් ගත වී තිබේ. ශ‍්‍රීමත් බර්නස් ලී තමන් පසුගියදා තමන්ගේ සොයාගැනීම අරභයා විවෘත ලිපියක් වත්මන් ජන සමාජයට ලියා ඉදිරිපත් කළේය. හැට දෙහැවිරිදි බි‍්‍රතාන්‍ය ජාතික බර්නර්ස් ලී ජගත් ප‍්‍රජාවට ලියන ලිපිය අනුව ‘‘මෑත කාලය තුළ අන්තර් ජාලය හා සමාජ මාධ්‍ය භාවිතාව අනිසි පරිහරණයකට’’ යොමු වී තිබේ. ‘‘අන්තර් ජාල හා සමාජ මාධ්‍ය සේවා සපයන ආයතන එක්තරා ආකාරයකින් සමාජය අවුලවන අතර ඒවා නියාමනය කළ යුතුය. අනෙක් පැත්තෙන් අධිපතිවාදී සමාගම් ව්‍යුහයක් ඇතිවීම වැලැක්වීම ඉතාමත් අවශ්‍ය’’ බව හෙතෙම මෙම ලිපියෙන් කියා තිබුණි. අන්තර් ජාල සේවා සපයන ආයතන ප‍්‍රමාණය සීමා සහිත වන අතර ‘‘සමාගම් විශාල ප‍්‍රමාණයක් පැවතීම තරගකාරීව සේවා සපයන්නට හේතුවකි. එම තරගය තුළින් සමාජයට වැඩි වාසියක් ලැබිය යුතු බව’’ මහාචාර්ය බර්නස් ලී සිය ලිපියෙන් වැඩි දුරටත් සඳහන් කර තිබේ.

වසර දෙකකට කලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ප‍්‍රජාවගේ මූලික මානව අයිතිවාසිකම් අලූතින් අර්ථකතනය කළේය. එයට අනුව අන්තර් ජාල පහසුකම් ලැබීම කිසියම් රටක පුරවැසියන්ගේ මූලික අයිතියකි. පිරිසිදු ජලය, වාසස්ථානයක්, ආහාර, විදුලිය ඇතුළු අනෙක් මූලික අවශ්‍යතා අතරට අන්තර් ජාල ප‍්‍රවේශ අයිතිය ද එකතුවීම සැලකිය යුතු කාරණයකි. එය ගැන එහි නිර්මාතෘ වශයෙන් බර්නර්ස් ලී වඩාත් තෘප්තිමත් බව නිසැකය.

2009 වසරේ දී හෙතෙම නයිට් නාමයකින් පිදුම් ලැබුවේය. අන්තර් ජාල පදනම, හැම්ෂයර් හි පරිගණක හා විදුලි ඉංජිනේරු පාසල ඇතුළු ලෝක ප‍්‍රකට ආයතන ගණනාවක හෙතෙම විවිධ තනතුරු හොබවයි. ෆෝඞ් පදනමේ අධ්‍යක්ෂක වරයෙකු වන හෙතෙම විවෘත දත්ත ආයතනයේ ආරම්භක ප‍්‍රධානියාය. ඇමරිකාවේ ජාතික විද්‍යා පදනම විදේශිකයෙකු වශයෙන් ඔහු ගේ සහභාගීත්වය පිලිගත්තේය. ටයිම් සඟරාව ලෝකයේ වඩාත් වැදගත් පුද්ගලයන් සිය දෙනා අතරින් කෙනෙකු වශයෙන් නම් කර තිබේ. කිව නොහැකි තරම් ගෞරව සම්මානයට පාත‍්‍ර වී ඇති හෙතෙම ලන්ඩන් හි පැවැති 2012 ඔලිම්පික් උළෙලේ දී ඉහළින්ම සම්භාවනාවට පාත‍්‍ර කළ අතර එම අවස්ථාවේ දී ඔහු ලෝකයට ටිවිටර් පණිවුඩයක් නිදහස් කළේ ‘‘මෙය ඔබ සියළු දෙනා වෙනුවෙන් ’’ කියමින්ය.

පළමුවෙන් නැන්සි සමග විවාහ වූ හෙතෙම දෙරු පියෙකි. වසර විසි හතරකට පසු වෙන් වූ අතර බර්නර්ස් ලී නැවතත් රෝස්මෙරි සමග විවාහ වන අතර ඇය හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්වත් සාමාජිකාවකි.

2018 වසර උදා වන අවස්ථාව විට ලෝක ජනගහනයෙන් හරි අඩක් අන්තර් ජාලයට එනම් ප‍්‍රවේශ වී සිටී. මහාචාර්ය බර්නස් ලී සඳහන් කරන අන්දමට මෙම හරි අඩක කොටස තුළ නොසිටින්නට අයෙකු වෙත් නම් එයට බලපාන හේතු කිහිපයක් තිබේ. ‘‘කාන්තාවකවීම, දුප්පත්කම, සන්නිවේදන පහසුකම් නැති දුර බැහැර ජීවත්වීම හෝ අඩු ආදායම් ලබන රටක් විය හැකි බව එහි දැක්වෙයි. අන්තර් ජාල පැතිරීම වලකන මෙම සඳහන් කරන ලද බාධක ඉවත් නොවුනහොත් ලෝක ජනගහනයේ අවසාන බිලියනයක කොටස ඔන් ලයින් සම්බන්ධවීම වසර 2042 දක්වා ප‍්‍රමාද වියහැකි බව’’ ඔහුගේ තක්සේරුවයි. මානව අයිතිවාසිකමක් සේ සලකන අන්තර් ජාලයෙහි නොසිටින්නට තරම් ශ‍්‍රී ලංකාවාසීන් කොටසක ගේ බාධාව කුමක් විය හැකිද?