» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
25/02/2018 - දේශය
දිගටම දිනන හංගේරියා අගමැති

හංගේරියාවේ අගමැති වික්ටෝර් ඕර්බන් ලබන අප‍්‍රියෙල් මාසයේ දී පවත්වන්නට නියමිත එරට පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ද ඉහලින් ජය අත්පත් කරගනු ඇති බවට වාර්තා පළවෙයි. එරට බලයේ සිටි දේශපාලන නායකයන් අතර දීර්ඝ කාලයක් හංගේරියාව පාලනය කළ ප‍්‍රධානීන් ගේ ලැයිස්තුවේ තුන්වැනි තැන හිමි කරගෙන ඇත. තරුණ වියේ සිට අලූත් අදහස් ඇතිව ක‍්‍රියාත්මක වූ එක්තරා මට්ටමක බලවත් ජාතික නායකයෙකු සේ පිලිගැනීමට ලක් ව තිබේ.

හංගේරියාව මධ්‍යම යුරෝපා රටකි. ලෝකයේ ඒක පුද්ගල ආදායම වැඩිම රටවල් ලේඛනයේ පනස් පස්වැනි තැන පසුවෙයි. නොයෙක් ගැටුම් සහ යටත්වීම් හමුවේ කාලයක් තිස්සේ පීඩා විඳීන ලද රටට නායකත්වයක් ලැබෙන්නේ මෑත කාලයේ දීය. ඔස්ටි‍්‍රයාවට යටත්ව සිටි අතර සාකච්ඡා වට ගණනාවකට පසු ස්වාධීනත්වය ලබා ගන්නට සමත්විය. රට තුළ සෑහෙන ප‍්‍රගතියකට හේතු වූයේ සහනාධාර ක‍්‍රම අඩු කර විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති හදුන්වාදීමය. පුද්ගලීකකරණය එහි ප‍්‍රධාන අංගයක් විය. සමාජවාදී කඳවුර බිඳ වැටුණ අතර ජනතාව තුළ ගෝලීයකරණයේ ප‍්‍රතිලාභ කෙරෙහි විශ්වාසය තහවුරු විය. එම පසුබිම ඇති කරන්නට වත්මන් අගමැති වික්ටෝර් ඕර්බන් සෑහෙන ප‍්‍රයත්නයක් දරන ලද බව සටහන්ව තිබේ.

එළැඹෙන මැතිවරණය අත ළඟ තිබිය දී සංක‍්‍රමණය හා ඉස්ලාම් ආගමික නැඹුරුව ගැන තද විවේචනයක් කිරීමට ජාතික කොන්සවටිව් පක්ෂයේ නායක අගමැති වික්ටෝර් ඕර්බන් නැඹුරු වී ඇති බව පෙනේ. එයින් එරට ජනතාව ගේ හිත් නැවත ඇද බැඳ ගන්නට සමත් වූ බව දැක්වෙයි. අගමැතිවරයා තරුණ වියේ සිට ආන්දෝලනාත්මක චරිතයකි. විශ්ව විද්‍යාලයේ දී කොමියුනිස්ට් ක‍්‍රමයට විරුද්ධත්වය දැක්වූ අයෙකු වන අතර කෙටි කාලයක් යුද හමුදාවේ ද සේවය කළේය. වික්ටෝර් ඕර්බන් විසි හය හැවිරිදි වියේ සිටිය දී පවත්වන ලද දේශනයක් ඉතිහාසයට එකතු වී ඇත. එම කතාවේ දී හංගේරියාවේ ඉන්නා සෝවියට් භටයන් වහාම රටින් පිටවිය යුතු බව ප‍්‍රකාශ කළ අතර නිදහස් මැතිවරණයක් පවත්වන සේ බල කළේය. දෙවන ලෝක යුද්ධය කාලයේ හංගේරියාවට පැමිණි සෝවියට් භටයෝ එහි කඳවුරු පිහිටුවාගෙන සිටියේය. හංගේරියානු වැසියෝ එයට කැමැති වූයේ නැත. හමුදා ඉවත් කර රට තුළ අනන්‍යතාවය ඇතිකරගැනීම උදෙසා මහත් උත්සායක නිතරවිය. වික්ටෝර් ඕර්බන් තම තරුණ ජවය උපයෝගී කරගෙන අමතක නොවන කතාවක් පවත්වන්නේ එම සොල්දාදුවන් රට තුළින් පලවා හැරීම අරමුණු කරගෙනය. 1990 වේදී පමණ සෝවියට් භටයන් ඉවත්කර ගැනීම ආරම්භ කරන ලද අතර අද වන විට රට සම්පූර්ණයෙන්ම පරිවර්තනයකට ලක්ව යුරෝපා අනුකූලතාව වෙත හැරෙමින් තිබේ.

ඕර්බන් එරට ඉයෝටොවෝස් විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඇත. නීති අධ්‍යාපනයට අමතරව දේශපාලන විද්‍යාව තරමක් දුරට හදාරා ඇති ඕර්බන් ශිෂ්‍ය සමයේ තරුණ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ එකමුතුවේ ප‍්‍රධානියා වශයෙන් ක‍්‍රියා කළේය. සෝවියට් බල ඇනි වලට විරුද්ධව කෙලින්ම අභියෝග කරන ලද හෙයින් මුල සිටම හෙතෙම ජනතාව අතර ප‍්‍රකට චරිතයක් බවට පත්ව සිටියේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු වන අතරමැදි කාලයේ දී මැතිවරණයකට ඉදිරිපත්ව ඡන්දයෙන් ජය ගත් ඔහු එම ජාතික ආණ්ඩුවේ සාමාජිකයෙකුව සිටියේය. 1994 දී හෙතෙම ලිබරල් යුරෝපා ප‍්‍රතිපත්ති වලට නැඹුරු ජාතික කොන්සර්වටිව් පක්ෂයට එකතු වූ අතර එයින් වසර හතරක පසු දක්ෂිණාංශික සමගි සන්ධාන රජයක අගමැති ධුරයට වසර හතරක කාලයක් සඳහා බලයට පත්වීම විශේෂත්වයකි. පක්ෂය ඔහුට අවශ්‍ය සේ සකස් කරගෙන තිබේ. තම පාසල් මිතුරන් ප‍්‍රධාන තනතුරු වලට පත් කරගත්තේය. පක්ෂ මුලස්ථානය විකුණා අරමුදල් එකතු කරගත් අතර බලවත් සෙසු පක්ෂ සමග සටන් කරන්නට මුදල් අවශ්‍ය බව පෙන්වා දුන්නේය. පක්ෂයට අවශ්‍ය පරිත්‍යාග සෑම තැනකින්ම ලබාගත් අතර නීත්‍යානුකූලව එසේ කිරීම වරදක් නැති බව පෙන්වා දුන්නේ ඔහුගේම ක‍්‍රමයකටය. හෙතෙම ජාතික කොන්සවටිව් පක්ෂයේ පැවැති යාන්ත‍්‍රණය වෙනස් කර යථාවත් කළේය.

2002 හා 2006 මැතිවරණ වල දී හංගේරියාවේ බලයට පත් වූයේ සමාජවාදී පක්ෂයයි. එයින් පසු එතෙක් පැවැති ආර්ථික ව්‍යුහය වෙනස් විය. අවසාන භාගයේ දී සමාජවාදී පාලනය ගෙන ගිය ආර්ථික වැඩ පිලිවෙල හෙයින් ජනතාව පීඩනයකට පත් වූ අතර යුරෝපා රටවල් අතරින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලන ලද එකම රට බවට පත් වූයේ හංගේරියාවයි. වික්ටෝර් ඕර්බන් එම අසීරු කාල පරිච්ඡේදය තුළ අට වසරක් විපක්ෂ නායක ධුරයේ සිටියේය. ජනතාව ඔහුගේ ආර්ථික කළමනාකරන දක්ෂතා දැනගෙන සිටි අතර සමාජවාදී පක්ෂය ක‍්‍රමයෙන් පිරිහෙන අවස්ථාවේදී සිය ජනප‍්‍රියතාවය ආරක්ෂා කරගත් ඕර්බන් 2010 මහ මැතිවරණයෙන් බලවත් ජයග‍්‍රහණයක් අත් පත් කරගන්නට සමත්විය. පාර්ලිමේන්තුවේ සිටි කි‍්‍රස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ද හවුල් කරගත් හෙතෙම විශාල බලයක් ලැබූ පසුබිම තුළ ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු ක‍්‍රමයෙහි බලවත් වෙනස්කම් ගණනාවක් කළේය. එයින් වසර හතරකට පසු පවත්වන ලද මහ මැතිවරණයෙන් ද ජය ගෙන අගමැති වශයෙන් තවදුරටත් බලය තහවුරු කරගන්නා හෙතෙම ලබන අප‍්‍රියෙල් මාසයේ දී ද හංගේරියානු ජනතාව හමුවට යන්නේ බලවත් විශ්වාසයක් සහිතව බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ජාතිකත්වය පදනම් කරගෙන පාලනය කරගෙන යන වික්ටෝර් ඕර්බන් යුරෝපයේ සාර්ථක පාලකයෙකු වශයෙන් ප‍්‍රකටය. අසල්වැසි රටවල් කිහිපයක් ඔහුගේ ශෛලිය අනුගමනය කළේය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ ජය වෙනුවෙන් පෙනී සිටි යුරෝපා රටවල් අතර එකම නායකයා වශයෙන් ද හෙතෙම ඉතිහාසගත වී තිබේ. පසුගිය වසර අට තුළ වික්ටෝර් ඕර්බන් හංගේරියාව නැවතත් ඔසවා තැබීය. ආර්ථිකය නිවැරදි තැනට ගෙන ආ අතර ලිබරල් ආර්ථික හා සංස්කෘති වටිනාකම් රට තුළ තහවුරු කරන්නට සමත් වූ බව සඳහන්ය.

වික්ටෝර් ඕර්බන් ජාත්‍යන්තරයේ විශාල චරිතයක් නොවේ. යුරෝපය පෙන්වන දාර්ශනිකත්වය ඔහු සතුව ඇති බවක් නොපෙනේ. නමුත් ලෝකයේ රටවල් තුළ සිදුවන්නේ එයයි. එකිනෙකට වෙනස් පීඩන තත්ත්වයන්ට මුහුණ දෙන ජනතාව තමන්ගේ අනන්‍යනාව සොයා ගන්නට උත්සුක වෙමින් සිටී. හංගේරියානු ජනතාව ද එයට ඇතුලත්ය.