» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/12/2017 - දේශය
ව්‍යවසායකයන් අතර නිර්භීත ලොරෙන්සෝ මෙන්ඩොසා

ලොරෙන්සෝ මෙන්ඩොසා වෙනිසියුලාවේ ආහාර පාන නිෂ්පාදනය කරන ප‍්‍රධාන සමාගමක තුන්වන පරම්පරාවේ නියෝජනයයි. පැති ගණනාවකින් ඔහුගේ ප‍්‍රමුඛතාව ඉහළම තැනකය. රට තුළ පවතින ඛනිජ තෙල් වෙළඳාමට වඩා බලවත් ව්‍යාපාරයක් ඔහු නියෝජනය කරයි. බලවත් හැල හැප්පිලි මැද අඛණ්ඩව ඉදිරියට යන්නට සමත් ව ඇත. පාලකයන් කරන බලපෑම් වල දී නොසැලෙයි. එම්ප‍්‍රස් පොලාර් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා වන හෙතෙම එහි වාර්ෂික අලෙවි ආදායම ඇමරිකානු ඩොලර් බිලියන හත ඉක්මවන මට්ටමට ගෙන එන ලද බව සඳහන් වෙයි. උපයන ධනය නැවත සමාජයට බෙදා දෙමින් සිටී.

ලොරෙන්සෝ මෙන්ඩොසා මෙහෙයවන පවුලේ ව්‍යාපාරය සාර්ථකත්වයට වඩා අවධානයට ගැනෙන ප‍්‍රධාන හේතුවක් තිබේ. පීඩනය මැද එය පවත්වාගෙන එන්නට සමත්වීමයි. වෙනිසියුලාවේ ආණ්ඩුව ව්‍යාපාරයට කරන හිරිහැර නිමක් නැත.

දේශපාලකයන්ගේ බලපෑම නොසලකන ලොරෙන්සෝ තමන්ට අනන්‍ය අන්දමට ව්‍යාපාර මෙහෙයවමින් සිටී.

වෙනිසියුලාව ලෝකයේ ඛනිජ තෙල් නිධි වැඩිම රට බවට සැලකේ. ආර්ථික පාලනය ඉතාමත් අසාර්ථකය. එරට මහ බැංකුව දක්වන අන්දමට පසුගිය වසරේ දී ආර්ථිකය සියයට දහ අටක ප‍්‍රතිශතයකින් පහත වැටී ඇති අතර භාණ්ඩ මිල සියයට අටසියයකින් වැඩි වී ඇත. දරුවන් අතර මන්දපෝෂණය බහුලය. නිතිපතා සිය ගණනක් දරුවන් නිසි ආහාර රහිතව, පෝෂණ ඌණතාවයෙන් රෝහල් ගතව මිය යන බව වාර්තා වෙයි. පසුගිය වසර තුන තුළ මෙම තත්ත්වය තවත් බරපතල වී තිබේ. එයින් පෙන්වන්නේ වෙනිසියුලාවේ පාලනය සම්බන්ධයෙන් පවතින අකාර්යක්ෂමතාවයයි. ඛනිජ තෙල් සම්පත් බහුල රටක් නමුත් ඇතැම් ප‍්‍රදේශවල ඉන්ධන හිඟ හෙයින් ආනයනය කිරීමට සිදුවීම සිතාගත නොහැකි සිද්ධියක් සේ නොබෝදා ජගත් ජනමාධ්‍ය වාර්තා කළේය. ආර්ථිකයෙහි දුබලතා සහ දේශපාලන නායකයන්ගේ අතිශය දුර්වල පාලනය සසඳන විට එම්ප‍්‍රස් පොලාර් සමාගමේ පැවැත්ම ඉහළ එකක් බව පිලිගැනීමට ලක්ව තිබේ. එය නොඉවසන පාලකයෝ සමාගම සිය පාලනයට ගැනීමට ප‍්‍රයත්න දරති. එය උදෙසා නොයෙක් බලපෑම්ය. ඒවා නොතකන ලොරෙන්සෝ එරට විශාලතම පුද්ගලික ව්‍යවසාය සාර්ථකව කරගෙන යයි.

ලොරෙන්සෝ ගේ සීයා සමාගම අරාම්භ කරමින් බියර් නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1941 වසරේ දීය. ඔහුගෙන් පසු ඔහුගේ පුතා එනම් ලොරෙන්සෝ ගේ පියා දෙවැනි පරම්පරාව වශයෙන් වගකීම භාරගත් නමුත් ඔහුගේ හදිසි අභාවයෙන් පසු පැවරුණේ ලොරෙන්සෝ ගේ මවටය. ඇමරිකාවේ නිව් ජර්සි ප‍්‍රාන්තයේ ඉගෙනුම ලැබූ ලොරෙන්සෝ ෆෝර්ඞ්හැම් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගත්තේය. පසුව ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධ ශාස්ත‍්‍රපති උපාධිය මැන්චෙස්ටර් හි දී සමත් වීමෙන් අනතුරුව පවුලේ සමාගම මෙහෙයැවීම භාරගත්තේය. එය අභියෝග වලින් පිරි අද්විතීය ගමනක ආරම්භය විය.

වෙනිසියුලාවේ බේස්බෝල් ක‍්‍රිඩාව ඉමහත් ජනප‍්‍රියත්වයක් අත් පත් කරගෙන තිබේ. ලොරෙන්සෝ මෙන්ඩොසා ක‍්‍රීඩා කරන්නට පිටියට පිවිසෙන විට විශාල පිලිගැනීමක් ලැබේ. ක‍්‍රීඩාවෙහි ලැදි ඔහුගේ දක්ෂතාවය පමණක් නොව තරග වලට දක්වන අනුග‍්‍රහය ද එයට එක හේතුවකි. නමුත් ක‍්‍රීඩකයෙකු සහ ක‍්‍රිඩාවට අනුග‍්‍රහය දක්වන්නෙකු හෙයින් පමණක් නොව වෙනිසියුලාවේ ව්‍යාපාරික කටයුතු කිරීමේ දී පාලකයන්ගෙන් එල්ල වූ පීඩනය මැද ඉහළටම පැමිණ ඔරොත්තුදීමේ හැකියාව පෙන්වන සංකේතය බවට පත්ව ඇති හෙයින් ඔහුට දක්වන කැමැත්ත ඉමහත්ය. සවුදි අරාබියට හෝ නොර්වේ රටට වඩා ඛනිජ තෙල් සම්පත් ඇති වෙනිසියුලාවේ ආණ්ඩුව කරගෙන යන තෙල් අලෙවි ව්‍යාපාරය හැරුණුකොට එරට බලවත්ම ව්‍යාපාරික ජාලය මෙන්ඩොසා සතුය. එක පවුලක ශක්තියෙන් ගොඩනැගුණ ව්‍යාපාරය පරාජය කරන්නට හිටපු ජනාධිපති හියුගෝ චාවේස් පමණක් නොව වත්මන් ජනාධිපති නිකොලාස් මදුරෝ ද සෑහෙන ප‍්‍රයත්නයක නිරත විය. එහි අසාර්ථකත්වය ලොරෙන්සෝ ගේ ප‍්‍රතිභාව ඉහළටම නංවා තිබේ.

එම්ප‍්‍රස් පොලාර් සමාගම බියර් වලින් ගමන ආරම්භ කර ආහාර නිෂ්පාදන අංශයට ව්‍යාප්ත කරන ලද අතර එරට ජාතික ආහාරය සේ ගැනෙන අරේපා නිෂ්පාදනයෙහි හා අලෙවියෙහි පළමු තැන අත්කරගෙන තිබේ. බඩ ඉරිඟු වලින් නිපදවන අරේපා තනි අයිතිය ආණ්ඩුවේ අතට ගැනීමට චාවේස් තැත් දැරීය. ඉඩම් ප‍්‍රතිසංස්කරණ පණතක් ගෙන ආ හෙතෙම භාවිතා නොකරන ඉඩම් බව සඳහන් කරමින් සමාගමේ වත්කම්වලින් සෑහෙන ප‍්‍රමාණයක් පවරාගත්තේ ආයතනය බෙලහීන කරමින්ය. එය සැලෙන්නට හේතුවක් වූයේ නැත. නිෂ්පාදනයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ආනයනයට සීමා පැනවීය. ආණ්ඩුවේ සමාගමකින් අරේපා නිපදවා අළෙවි කරන්නට පටන්ගත්තේය. නමුත් ලොරෙන්සෝ ගේ උසස් තත්ත්වය හා අඩු මිල හා සම කරන්නට කිසිසේත් සමත්වූයේ නැත. අරේපා අඩු මිලට විකුණන ලොරෙන්සෝ ගේ ව්‍යාපාරය එහි පාඩු වෙනත් ව්‍යාපාරයකින් පියවා ගනී. ආණ්ඩුවේ බලපෑම කොතරම් ද යත් ඇතැම් අවස්ථාවල කිසිම හේතුවක් රහිතව පොලිස් බුද්ධි අංශ නිලධාරීහු එම්ප‍්‍රස් සමාගම ඉදිරියේ රැකවල් ලා ගෙන සිටිනු දක්නට හැකි විය. සමාගමේ නිලධාරීහු ඔවුන්ට පොලාර් පාන හෝ කෑම සපයමින් ගැටුම් වලක්වාගන්නට සමත්ය. සමාගමට කරන අවහිර ජාතික ආහාරය වූ අරේපා වලට කරන බාධා කිරීමක් සේ කම්පාවෙන් සලකන තරමට වෙනිසියුලානු වැසියෝ නැඹුරු වී තිබේ.

වෙනිසියුලානු පාලකයන් වශයෙන් හිටපු ජනාධිපති හියුගෝ චාවේස් සහ වත්මන් ජනාධිපති නිකොලාස් මදුරෝ පාලනයෙහි දැක්වූ අදක්ෂතාවය රට තුළ ආහාර හිඟය දරුණු කර ඇත. එයින් දුප්පතුන් දරුණු පීඩනයකට පත්විය. එබදු පරිසරයක පුද්ගලික අංශයේ ව්‍යවසායයක් සාර්ථකව මෙහෙයැවීම පාලකයන් නුරුස්සන හේතුවක් වූ අතර ව්‍යාපාරය දුර්වල කර ආණ්ඩුවේ පාලනයට ගැනීමට නොයෙක් උත්සාහ කළේය. නමුත් ලොරෙන්සෝ මෙන්ඩොසා එයට අවනත වෙන්නට සූදානම් වූයේ නැත. අභියෝගය භාරගත්තේය. පුද්ගලික අංශයේ ව්‍යාපාර වලට කරන කෙනහිලිකම් නතර කරන ලෙස වතාවක් ලොරෙන්සෝ ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටි අතර එයට රූපවාහිනියෙන් උත්තර දුන් මදුරෝ ‘‘ව්‍යාපාර කරන්නට නොහැකිනම් කරන්නට හැකි අයෙකුට දෙන්නැයි’’ ප‍්‍රකාශ කළේය. එහි දී ‘‘රට ගැන නොහිතන හොරෙක්’’ යැයි කියමින් ලොරෙන්සෝට බලවත් අවලාද කරන ලද අතර එයට හේතුව ජනතාවට අවශ්‍ය තරම් ආහාර සපයන්නට ආණ්ඩුව සතු නොහැකියාව වසා ගැනීම බව එරට ජනතාව හොඳීන් දැන සිටියේය.

වෙනිසියුලාව සිය විනිමය හිඟය හෙයින් ආනයන සීමා කිරීම එම්ප‍්‍රස් පොලාර් සමාගම සහ ආණ්ඩුව සමග පවතින නිරන්තර අරගලය එක්තරා සියුම් උද්වේගකර අවස්ථාවකට කැඳවීය. සිය සමහර නිෂ්පාදන නතර කරන්නට සිදුවන බව ප‍්‍රධාන විධායක ලොරෙන්සෝ මෙන්ඩොසා නිල වශයෙන් දැනුම් දුන් අතර ආහාර පාන හිඟ වන අන්දමට නිෂ්පාදන නතර කළහොත් කම්හල් රජයට පවරා ගන්නා බව ආණ්ඩුව පැත්තෙන් ප‍්‍රකාශ විය. අමුද්‍රව්‍ය හිඟය හෙයින් පැස්ටා සහ සෝස් වර්ග අලෙවිය නතර කරන ලදී. බියර් නිෂ්පාදන අත් හිටුවීය. ටූනා සැමන් නිෂ්පාදනය නතර කරන්නට සිදුවන බව එහි වෘත්තීය සමිති ප‍්‍රකාශ කළේය. එසේ තිබිය දී එය කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් දැයි බලන්නට හමුදාව කම්හල් වට කරන ලද අතර ගුවන් මෙහෙයුම් මගින් කම්හල් බිම සියුම්ව නිරීක්ෂණය කරනු ලැබීය. විපක්ෂ දේශපාලන පක්ෂ සමග ආණ්ඩුව අපහසුතාවයට පත් කරන කුමන්ත‍්‍රණ මෙහෙයවන බවට ලොරෙන්සෝ වෙත චෝදනා එල්ල වී තිබේ. ඇතැම් විද්වතුන් ලොරෙන්සෝ මෙන්ඩොසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවට අදහස් පළ කරයි. හෙතෙම එය නිහතමානීව ප‍්‍රතික්ෂේප කර තිබේ. වෙනිසියුලානු ආණ්ඩුවට අවනත නැති නමුත් ජනතාවගේ පැත්ත ගෙන ඇති සමාගමක් පාලනය කරන ලොරෙන්සෝ දේශපාලන බලය අපේක්ෂා නොකරන ප‍්‍රබල චරිතයකි. සමාගම තිස් පන් දහසක පමණ සේවක පිරිසකගෙන් සමන්විත අතර එරට වෙළඳ පොළ ධාරිතාවයෙන් සියයට හතලිහක අයිතිය තිබේ. දේශපාලන බලපෑම් වලට නොනැමෙන නිර්භීත ව්‍යවසායකයන් හැමවිටම ආදර්ශයකි.