» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/09/2017 - දේශය
මානුෂිකවාදී මෙහෙවරක යෙදෙන ඇන්ජලිනා ජෝලි

පරිසර හිතකාමී සහ මානුෂවාදී ආකල්ප වලින් පොහොසත් ඇන්ජලිනා ජෝලි ජගත් අවධානයට ලක් වූ චරිතයක් බවට පත්ව සිටී. ඇය චිත‍්‍රපටවල රඟපාන්නීය. මෑතක සිට අධ්‍යක්ෂණයට යොමු වී ඇත. පරිසරය සහ විශේෂයෙන් කාන්තාවගේ අයිතීන් වෙනුවෙන් ජාත්‍යන්තර කාන්තා තනි චරිතයක් බවට පත්ව සිටී. එනම් කාන්තාවන්, දැරියන්, දරුවන් පමණක් නොව පිරිමින්ට සිදුවන පුරුෂ හිංසනය ඉදිරියේ අභීතව ඒවාට එරෙහි වන සටන්කාමිනියක සේ ජගත් ප‍්‍රජාව අතර ප‍්‍රකටය.

ගැටුම් තුළ ඇති අප‍්‍රසන්නත්වය, අයුක්තිය සහ යුද බිමේ දී සෙබළුන්ගේ ජීවිත තුළ ඇති කරන කැකෑරෙන සිද්ධි ගණනාවක් පදනම් කරගෙන ඇය දකිනලද බොස්නියාවේ යුද්ධය චිත‍්‍රපටයක් තනන මූලාශ‍්‍රයක් වූ අතර ඇන්ජලිනා ජෝලි එමගින් කරන ලද නිර්මාණය යුද සිනමාවේ ඉතා විශිෂ්ඨ එකක් සේ සැලකේ. අන්‍ය නිලියන් පෙනී සිටීමට කැමැති නොවූ යුද බිමේ කෘරත්වය සහ ලිංගික සාහසිකත්වය විදහා දැක්වෙන දර්ශන වලට ඇන්ජලිනා පෙනී සිටියාය. මානසික, දේශපාලනික සහ ශාරීරික වශයෙන් මිනිසුන් යුදබිමේ දී පත්වන පීඩනය කදිමට පෙන්නුම් කරන්නට එහිදී සමත් වූ බව විචාරක අදහසයි.

ඇන්ජලීනා ගැන දන්නේ වෘත්තීය ඇමරිකානු බොලිවුඞ් නිළියක වශයෙන්ය. ඇය ඇකඩමික් සම්මාන දිනා ගත්තාය. ශිල්පීය තීරක සම්මාන දෙකකට හිමිකම් කියා තිබේ. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන තුනක් දිනා ඇති අතර හොලිවුඞ් හි වැඩිම මිලක් අය කරන ශිල්පිනියක ද වෙයි. සිනමා කර්මාන්තය වෙනුවෙන් සම්මාන හිමි කරගන්නා ඇන්ජලිනා මානුෂික සත්කාරක සේවා වෙනුවෙන් ද ලෝකයේ නොයෙක් තැනින් උපහාරයට පාත‍්‍රවී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් සම්බන්ධ කොමසාරිස්වරයාගේ විශේෂ නියෝජිතවරියක වන ඇය ඇමරිකාවේ වඩාත් බලපෑමක් කළ හැකි කාන්තාවක් සේ අද්විතීය ස්ථානයක් අත් පත් කරගෙන ඇත. වඩාත් ජනකාන්ත ඇන්ජලිනා දැන් සිට තෙවන විවාහක ස්වාමියා සමග ජීවත්වන අතර දරුවන් හය දෙනෙකුගේ මවක සේ හදුන්වනවාට කිසිදු අකමැත්තක් නැත. ඇයගේ කුසෙන් උපන් දරුවන් තිදෙනෙකු වන අතර තවත් අවධානයට ලක් නොවූ අසරණ දරුවන් තිදෙනෙකු ලෝකයේ වෙනත් රටවල්වලින් තෝරාගෙන දරුකමට හදාගන්නා ඇන්ජලිනා එමගින් ද වඩා හැකියාවක් ඇති සමාජ පෙලැන්තියට නිකුත් කරන පණිඩුවය ඉතාමත් බලවත්ය.

දරුවන් වෙනුවෙන් කැපවීම හමුවේ ඇය සිය විවාහ ජීවිතය ගැන පවා තීරණාත්මක තැනකට ගෙන ආ බව සඳහන් කළ යුතුය. ඇන්ජලිනා එකවතාවක් සිය සැමියා වූ බ‍්‍රැඞ් ෆිට් ගෙන් වෙන්වන තීරණය ගැන දක්වන විට ජාත්‍යන්තර සඟරාවකට කියා තිබුණේ එය දරුවන් වෙනුවෙන් ගත් තීරණයක් බවය. ඇයගේ පුද්ගලික ජීවිතය හා දරුවන් සමග තිබුණ බැඳීම කොපමණ ද යන්න එයින් වටහා ගත හැකිය. කාම්බෝජයෙන්, අඩිස් අබාබා වලින් හා වියට්නාමයෙන් දුගී දරුවන් තම භාරයට ගත් ඇන්ජලිනා ඒ වෙනුවෙන් වූ එකිනෙකට වෙනස් නෛතික කටයුතු වලට මුහුණ දුන්නේ ධෛර්යයෙන්ය. තමන්ට දියණියක ලැබෙන විට ඉතියෝපියාවේ දී දරු උපතට මුහුණ දුන් ඇය දරුවා සමග ගෙටී ඉමේජ් මාධ්‍ය පින්තූරවලට පෙනී සිට එයින් ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන ගණනක මුදල එක්සත් ජාතීන් ගේ ළමා අරමුදලට පරිත්‍යාග කළාය. තමන්ගේ නිවුන් දරුවන් උපත ලැබුණ අවස්ථාවේ දී ද එයින් ප‍්‍රචාරක ආදායම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 14 ක් උපයාගෙන ඔවුන්ගේම ළමා සුබසාධන අරමුදලකට බැර කළාය.

2013 වසරේ පෙබරවාරි මාසයේ දී ඇන්ජලීනා ජෝලි සියළුම කාන්තාවන් වෙනුවෙන් නොපැකිල පණිවුඩයක් නිකුත් කළාය. එය ඉඟියකි. නිසි සෞඛ්‍ය වෙනුවෙන් කළ යුතු කැපකිරීම ගැනය. ඇයගේ මව, මිත්තනිය හා නැන්දා පියයුරු පිලිකා රෝගී තත්ත්වය හෙයින් ජීවිතක්ෂයට පත්විය. ඇන්ජලීනා තමන් එයට ගොදුරුවනු ඇතිදැයි සොයා බලන විශේෂ පූර්ව පරීක්ෂණයකට මුහුණ දුන් අතර එයින් අනාවරණය වූයේ ඇය ගේ වයස හැට හත වන විට පිලිකාවක් ඇති විය හැකි බවය. පියයුරු පිලිකාව සඳහා ඇති අවදානම සියයට අසූ හතක් හා ගැබ් ගෙල පිලිකාවට ඇති අවදානම සියයට පනහක් බව හෙළි වූ විට ඇය නොබියව එය සමාජයට ප‍්‍රකාශ කර සැත්කමට මුහුණ දුන්නාය. එම වසරේ දී පියයුරු ඉවත් කළ ඇය එයින් වසර දෙකකට පසු පැලෝපීය නාල ඇතුළු අවදානමට ලක්විය හැකි කොටස් ඉවත් කිරීමේ ශල්‍යකර්මය කරන්නට කැමැති වූවාය. ලෝක ප‍්‍රකට සුරූපී නිලියක වශයෙන් ඇයට තිබුණ ආකර්ශණය ගැන මදක් හෝ පසුතැවිලි නොවූ ඇය පෙන්වා දුන්නේ වෛද්‍ය විද්‍යාව දක්වන සමත් සොයා ගැනීම් ඉදිරියේ අපහසුතාවයකින් තොරව ජීවිතයට මුහුණ දිය යුතු බවය. ලෝකයේ නොයෙක් රටවල කාන්තාවන් උපරිම වෛද්‍ය පහසුකම් තිබිය දී නමුත් ලජ්ජාව හෝ අනෙකකු ඉදිරියේ පුද්ගලිකත්වය අනාවරණය වෙතැයි සලකා සියල්ල සඟවන අතර එය නොකළ යුතු බව ඇය තස පුද්ගලික ජීවිතය මගින් පෙන්වා දුන්නාය. ඇන්ජලිනා සිය සැත්කම් වලින් පසු පවා සියළු ජනකාන්ත අවස්ථාවන්ට සහභාගී වූයේ ඉහළම මානසික ඒකාග‍්‍රතාවයක් ප‍්‍රකට කරමින්ය.

හතලිස් දෙහැවිරිදි ඇන්ජලිනා ජෝලි පසුගිය සතියේ තමන්ගේ නිවස ඉදිරිපිට සියළුම දරුවන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින් නැවතත් ලෝකයේ දරුවන් කෙරෙහි ඇති කරුණාව ප‍්‍රකට කළාය. මුදල් නොමැතිකම හෙයින් අවශ්‍ය ප‍්‍රතිකාර ගත නොහැකිව පසුවෙන ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ ජීවිත ගැන අවධාරණය කරන ලද බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. ලන්ඩන් හි ආර්ථික විද්‍යා උසස් විශ්ව විද්‍යාලයේ කාන්තාව, ආරක්ෂාව සහ සාමය යනුවෙන් පවත්වන ශාස්ත‍්‍රපති උපාධියට දේශන පවත්වන්නට තෝරාගෙන ඇත්තේ ඇන්ජලිනා ය. හැට වතාවකට වඩා ලෝකයේ තැනින් තැන යමින් එක්සත් ජාතීන්ගේ මානුෂික ආධාර වලට සම්බන්ධ වූ ඇන්ජලිනා ගේ චරිතය ගොනු කළ හැකි කවර ගනයකටදැයි අද වන විට ජාත්‍යන්තර විචාරකයෝ ප‍්‍රශ්න කරමින් සිටී. එපමණකටම ඇය එකිනෙකට වෙනස් ප‍්‍රතිරූප පෙන්වා ඇත. නමුත් ජාත්‍යන්තර සඟරාවක් එයට උත්තර දෙමින් කියා සිටියේ ඇය ශිල්පිණියක වන ඇන්ජලිනා පමණක් නොව සටන්කාමිණියක වන ඇන්ජලිනා සේ දෙපැත්තට වෙන්කළ හැකි බවය.

ඇන්ජලිනා 2003 අප‍්‍රියෙල් මාසයේ දී ශ‍්‍රී ලංකාවට පැමිණියාය. යාපනය, කිලිනොච්චිය හා මුලතිව් ප‍්‍රදේශවල සංචාරය කරන ලද ඇය දරුවන් හා මව්වරුන් මුණ ගැසී සාමකාමී සහජීවනය නැවත ඇති කරගැනීම ගැන අදහස් පළ කළාය. යාපනය රෝහලේ ළමා වාට්ටුවකට ධනය පරිත්‍යාග කරන ලද ඇය රට නැවතත් සාමකාමී තැනක් වනු ඇතැයි විශ්වාසය පළ කරමින් අදහස් දැක්වූවාය. ඇය වටා එකතු වූ මෙරට දරු දැරියන් හා කාන්තාවන් ඇය ස්පර්ශ කර සෙනෙහස දක්වන ලදී.

සමත්කම් වලින් අති විශාල ධනස්කන්ධයක් උපයා ගත් ඇන්ජලිනා ජෝලි ඒවායෙන් කොටසක් ලෝක යහපතට වෙන් කරන්නීය. තමන්ගේ ප‍්‍රතිරූපය කිසිම මිලක් රහිතව දරුවන් හා මවුවරුන් කෙරෙහි දයාව හා කරුණාව වෙනුවෙන් වෙන් කරයි. බලවත් ශක්තිය ලෝකයේ පැවැත්ම වෙනස්කරන්නට මුදාහරියි. පුද්ගලිකත්වය නොතකා ගන්නා තීරණ හෙයින් උසස් මානුෂික භාවයක් පෙන්නුම් කරයි. මෙහි සඳහන් කළේ ඇන්ජලිනාගේ චරිතයෙන් ඉතා සුළු කොටසක් බව ද දැක්විය යුතුය.