» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/01/2016 - දේශය
මෙහෙයුම නොනැවතී ඉදිරියට

ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් වල නිරතව සිටි ඇමරිකානු සෙබලූ නැවත ඇමරිකාවට පැමිණෙමින් සිටියේය. ඔවුන්ට පැවරුණ මෙහෙයුම අවසන්ය. මවුබිමට පැමිණි සෙබලූන්ට වෙනදා ලැබුණ පහසුකම් නැත. වැටුප් ලැබෙන රැකියාවක් සොයා ගැනීම දුෂ්කරය. හමුදා සේවයෙන් විශ‍්‍රාම ගැන්වූ පසු පත්වූයේ සාමාජීය තත්ත්වය ගැන අවුලකටය. මානසික වියවුලකටය. සැලකිය යුතු පිරිසක් සිය දිවි නසා ගෙන තිබේ. තවත් පිරිසක් ජීවිතය ගෙවන්නේ අවලස්සන ආකාරයටය.

රටක් වෙනුවෙන් ජීවිත කැප කළ පිරිසක් වශයෙන් තමන්ගේ ජීවිත ගෙවෙන ආකාරය වෙනස් කරන්නට සහ සේනාංකයට දොස් කියන එකට වඩා වැදගත් දෙයක් කරන්නට තැත්ත කළ දෙදෙනකු ඉතිහාස ගතව තිබේ. ඔවුන් දෙදෙනා අතරින් එරික් රොබට් ග්රිටින්ස් හිතන්නට පටන් ගන්නේ අලූත් ආකාරයකටය. තමන්ගේ ජීවිතය සමාජයට අර්ථයක් සපයන වැඩ සටහනක් හදන්නටය. ජෙක් වුඞ් ද ඔහු සමග එකතු වෙයි. එම එකතුව වෙනසක් කර ඇති අතර ලෝක ප‍්‍රකට කෘතියකට වස්තු බීජය සපයා ඇත. ටයිම්ස් සඟරාවේ ලියුම්කරුවෙකු සහ ජනප‍්‍රිය ලේඛකයෙකු වන ජෝයි ක්ලෙයින් 'චාලි මයික්' යනුවෙන් පොතක් ලියන්නේ මෙම දෙදෙනාගේ කතාන්දරයට අනුවය. විශේෂයෙන් එරික් රොබට් ග්රිටින්ස් ගේ සංකල්පය පාදක කරගනිමින්ය.

එරික් යුද්ධයේ දී සටන් බිමට යන ඇමරිකානු නාවික සෙබලෙකි. නමුත් සටන් බිමට යන්නට කලින් හෙතෙමසංවර්දන අධ්‍යාපනය සම්බන්ධ උපාධිධරයෙකි. ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබූ ඔහු කල්පනා කළේ නාවික හමුදාවට බැදෙන්නටය. එම තීරණය ගත් හෙතෙම ගැඹුරු මුහුදේ පුහුණුව ලැබීමෙන් පසු මුහුද, ගොඩබිම සහ අහසේ සටන් කරන විශේෂ ඒකකයක අණ දෙන නිලධාරීයා බවට පත්වෙයි. ඔහු ඉරාක සහ ඇෆගනිස්ථාන් යුද බිමට යයි. අප‍්‍රිකානු සහ ආසියානු කලාපයේ සාගර ආරක්ෂාව වෙනුවෙන් ක‍්‍රියාත්මක වෙයි. පසුව එම දස්කම් හෙයින් ඇමරිකානු ජනාධිපතිවරයෙකුව සිටි ජෝර්ජ් බුෂ් ධවල මන්දිරයට කැඳවන අතර සාර්ථක සේවාවකින් පසු ජාතික ආරක්ෂක කටයුතුවලින් ඇත් වෙයි. තමන්ගේ අත්දැකීම් අනුව තව දුරටත් අඛණ්ඩව මෙහෙයුමේ නිතරවන්නේ කෙසේදැයි අවධානය යොමු කරන්නේ ඒ අනව වියහැකිය.

ජෙක් වුඞ් තවත් නාවික භටයෙකි. හෙතෙම හයිටි භූමි කම්පාව, සිඞ්නි කුණාටුව සහ දකුණු කැරොලිනා හි ගංවතුර තත්ත්වය යන ස්වභාවික විපත් හමුවේ සේවය කළේය. රාජකාරි අවසන් කර ගෙදරට යවන භටයන් ගේ මානසිකත්වය සහ ආත්ම ගෞරවය වෙනුවෙන් එරික් යන ජේක් මෙම දෙදෙනා අලූත් ස්වෙච්ඡා සංවිධානයක් පටන් ගත්තේය. එයට මුල පුරන්නේ නොනවතින මෙහෙයුමක් වශයෙන් හඳුන්වා දෙමින්ය. 2007 අවුරුද්දේ ඇමරිකාවේ මේරිලෑන්ඞ් හි රෝහලකට යන එරික් ග්රීටන්ස් තමන් විශ‍්‍රාම ලත් නාවික භටයෙකු යැයි නොසිතා රෝගී සත්කාරක සේවාවක් අරඹයි. ඔහු එරට නාවික, ගුවන් සහ යුද යන අංශ තුනම ආවරණය කළ හැකි සේ පිහිටුවන ලද විශේෂ මෙහෙයුම් ඒකකයක සෙබලෙක් වශයෙන් පූර්ණ අවබෝධයක් ඇතිව සිටියේය. ලබා ඇති සුවිශේෂී පුහුණුව නිසාම නැවත සාමාන්‍ය ජීවිතයට හුරු වන අතරවාරයේ රටට යමක් කරන්නට කල්පනා කරයි. ඇමරිකානු සෙබලූන් වශයෙන් විදේශ රටවල සටන් බිමට ගොස් නැවත එන භටයන් ගත කරන ජීවිත ගැන ද සිතමින්ය. ඇඳක් පාසා ඇවිද යමින් රෝගීන්ගේ උවමනා එපාකම් සපුරන එරික් ඔවුන්ගේ සුළු අවශ්‍යතා ගැන වැඩියෙන් සැලකිල්ල දක්වයි. හිත් සනසා අස්වැසිල්ලක් එන තැනට කටයුතු කරයි. එය ඉතා හෘදයාංගම සේවාවක් බවට පත්වෙයි. ඔහුගේ උදවුවට එන්නේ තවත් නාවික සෙබලෙකි. හෙතෙම ජේක් වුඞ්ය.

ජේක් සමග එකතුවන එරික් තව තවත් හමුදා සේවයෙන් ඉවත්වන පිරිස තමන්ගේ බල ඇනියට සම්බන්ධ කරගනී. යුද බිමේ අසරණවන දරුවන්ට ඔවුහු පිහිට වෙති. තුවාල ලබා රෝහල්ගත වන අහිංසක ජනතාව නැවත යථා තත්ත්වයට පත් කරන්නට උපකාර වෙති. මෙම සියලූ දේ කරන්නේ ස්වේච්ඡාවෙන්ය. ඇමරිකානු ආණ්ඩුවේ හෝ වෙනත් බලපෑමකින් තොරවය. සැහැල්ලූවෙන් නමුත් තමුන්ගෙන් ඉටුවිය යුතු වගකීමක් සේ සලකා ක‍්‍රියා කරන නොනැවත ඉදිරියට යන මෙහෙයුම වෙනුවෙන් නිතිපතා සාමාජිකයෝ එකතු වෙති. ඉතාමත් වැදගත් කාරණය ඉහළම පුහුණව ලබා වඩාත් ආත්ම ශක්තියෙන් සටන් කළ භටයන් සිවිල් සමාජයේ දී හුදෙකලා වන විට ඇතිවන මානසික ගැටලූ වලින් මිදෙන්නට මෙම නොනවතින මෙහෙයුම ඇති කරන ලද බලපෑමයි. වොෂින්ටන්හි විශ්ව විද්‍යාලයක් කරන ලද පර්යේෂණය අනුව මෙම නොනවතින මෙහෙයුමෙහි නිරත අට සියයක් දෙනා ගෙන් තොරතුරු ලබා ගෙන ඇති අතර ඔවුන්ගෙන් සියයට අසූ හයක් ඉතා තෘප්තිමත් සහ ඉතා නිවහල් ආකාරයට ජීවිතය ගෙන යන්නට මෙම වැඩසටහන පාදක වී ඇති බවට උත්තර දී තිබේ. තවත් සියයට හැත්තෑ එකක් නැවතත් ඉගෙන ගෙන වෙනත් ක්ෂේත‍්‍ර වලට ඇතුලූ වෙන්නට මෙම පදනම හොඳ ආරම්භයක් දුන් බව ද අනාවරණය කර ඇත.

ස්වේච්ඡා සෙබලූන් වශයෙන් මෙම පිරිස හමුදා රෝහල් වලට යති. එහි වේදනාවෙන් සිටින සෙබලූන් ක‍්‍රියාන්විතයේ දී ආබාධයට ලක් වූවෝ වෙති. ශරීරාංග අහිමිය. දරුණු තුවාල ලබා තිබේ. මේ අයගෙන් අහන ප‍්‍රශ්නයකය දී ලැබෙන උත්තරයක් තිබේ. සුවපත් වූ වහා නැවත යුද බිමට යන්නටය. එය බොහෝවිට ප‍්‍රායෝගිකව කළ හැකි දෙයක් නොවේ. නමුත් ඔවුන් ඒ උත්තරය දෙන්නේ අවිඥාණිකවය. නොනැවතී මෙහෙයුමෙහි යෙදෙන එරික් රොබට් ගේ දිරිමත් සාමාජිකයෝ ඔවුහු සනසවති. ගුරුවරයෙකු වෙන්න එහෙම නැත්නම් සංගීතය ඉගෙන ගන්න මෙම සෙබලූන්ට ඔවුහු පෙන්වන්නේ විකල්ප පැතිය. එයින් ආත්ම ශක්තිය ඇතිකරගෙන ආබාධ ගැන නොසලකා නැගී සිටින්නටය.

යුද බිමක් යනු බිහිසුණු තැනකි. එතැන සිදුවන සටන අවසානයේ දී අසරණ වන ජීවිත ප‍්‍රමාණය අති විශාලය. විශේෂයෙන් විශාලතම හමුදාවක් සිටින ඇමරිකාවේ සෙබලූන් ලක්ෂ ගණනින් නිතිපතා ආරක්ෂක සේනාංක වලින් ඉවත්ව සිවිල් ජීවිත ගත කරන්නට පටන් ගනී. ඔවුන්ගෙන් ඇතැමෙකු ආබාධිතය. තවත් කොටසක් විශ‍්‍රාමිකය. මෙම පිරිස පිළිගෙන නොයෙක් ආකාරයෙන් සාමාන්‍ය ජීවිත වලට නතු කරන්නට මෙම නොනැවතී ඉදිරියට වැඩ සටහන විශිෂ්ඨ කාර්ය භාරයක් ඉටු කරන්නට සමත්වී තිබේ.

එම සේවාව අගය කරන්නේ 2014 දක්වා කාලය තුළ ඇමරිකාවේ සහ ලෝකයේ නොයෙක් තැනින්ලැබූ දහසකට අධික සම්මාන ප‍්‍රමාණයෙන්ය. ස්වේච්ඡා සංවිධානයක් වශයෙන් ලියා පදිංචි කර ඇති නොනවතින මෙහෙයුම වැඩ සටහනට ජාත්‍යන්තරයෙන් ආධාර උපකාර ලැබේ. මෙම සංවිධානය ලෝකයේ හොඳම ස්වේච්ඡා සංවිධාන පනහ අතරින් එකක් බවට නම් කරන ලද්දේ 2015 අවුරුද්දේදීය. එම වසරේ දීම ලෝකයේ ස්වේච්ඡා සේවකයන්ට එකතුවී වැඩකරන්නට තෝරාගන්නට සුදුසු හොඳම සංවිධාන සියය අතරින් එකක් ලෙස ද නම් කර ඇත. ටයිම් සඟරාව 2013 අවුරුද්දේ දී මෙම නොනවතින මෙහෙයුම වැඩසටහනේ නිර්මාතෘ ලෙස සැලකෙන එරික් ලොව වඩාත් බලපෑමක් කළ හැකි නායකයන් සිය දෙනා අතරින් කෙනෙකු වශයෙන් ලේඛනගත කරයි.

කුඩා අදහසක් විශාල පරිවර්තනයකට බලපාන්නේ මේ ආකාරයටය. යුද බිමේ සටන් කර ගිනි අවිය ආපසු භාර දී නිවසට යා හැකිය. ඉන් පසුව ඔවුන්ගේ ජීවිතය කුමක්ද? යුද බිමේ සටන් කරන අතර ආබාධිත විය හැකිය අසරණ වන සටන් බිමේ වීරයන් ගැන මානුෂිකව හිතන්නට ජනතාව අතරට යන්නට තීරණය කරන්නේ එරික්ය. ඔහු ක‍්‍රියා කරන ආකාරය වෙනුවෙන් පැසසුම් ලැබෙන්නේ එහෙයින්ය. මෙම නොනවතින මෙහෙයුම නවකතාවක් සේ කියැවිය හැකි ආකාරයට නැවත ලියන්නට ප‍්‍රකට ලියුම්කරුවෙකු තීරණය කරන්නේ එහි ජනතාන්ති‍්‍රකත්වයක් ඇති හෙයින්ය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.