» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
23/12/2018 - දේශය
ඇමරිකාව වෙනස් කළ කතානායක ආච්චි

නැන්සි පිලෝසි වයෝවෘද්ධය. ලබන අවුරුද්ද වන විට වයස අවුරුදු හැත්තෑ නමයකි. 2007 සිට 2011 දක්වා ඇය ඇමරිකානු පාර්ලිමේන්තුවේ කතානායකවරිය වූවාය. ඇමරිකානු දේශපාලන ඉතිහාසය තුළ නැන්සි දීර්ඝ කාලයක් මැතිවරණ වලින් ජය ලබා තිබේ. ඩිමොක‍්‍රටික් පාක්ෂික නියෝජිතවරියක වන ඇය එරට පළමු කතානායකවරියයි. නැවත ඇයගේ නම කතානායක ධුරය වෙනුවෙන් යෝජනා වී ඇත. 2019 වසරේ දී ඇය පත්වීම ගැන නොසතුටට පත් කණ්ඩායමක් ද සිටී. තරුණ පෙලට අවස්ථාව දී වැඩි වයස්ගත දේශපාලනඥයන් පැත්තකට විය යුතු යැයි කතිකාවක් පැන නැගී ඇත. එය තියුණු අදහස් වලට හැරෙන විට නැන්සි පිලෝසි යෝජනාවක් කළේය. ඇමරිකානු ඉතිහාසය තුළ දෙවැනි වතාවටත් කතානායක වරියක වශයෙන් පත්වීමට ලැබෙන දුර්ලභ අවස්ථාව මග නොහැරීමටය. ඒ අනුව ඉදිරි වසර හතරට පසු ධුරයෙන් ඉවත්වන යෝජනාවක් ඇය ඩිමොක‍්‍රටික් පක්ෂ නායකයන් හමුවේ තබා තිබේ. රට සලකා බලන්නට ඉඩ ඇත.

පරිනත අත්දැකීම් සහිත නැන්සි සුළු ජාතික නියෝජනය සහිතය. ඇයගේ නිර්භීත භාවය සමාජය අගය කරයි. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමග වාද කරන්නට ඇය පසුබට නොවූවාය. ඇත්ත වෙනුවෙන් පෙනී සිටියාය. එවැනි සිද්ධි නැන්සි පිලෝසි ගේ සමාජ වටපිටාව ආරක්ෂා කළාය.

නැන්සි ඉතාලි ඇමරිකානු සම්භයවක් සහිතය. ඇයගේ පියා ද දේශපාලනයට සම්බන්ධය. නගරාධිපතිවරයෙකු සේ ක‍්‍රියා කර ඇත. 1967 සිට 71 දක්වා ඇගේ සොහොයුරු පියාගේ දේශපාලන ගමනේ අනුප‍්‍රාප්තිකයා වූ අතර ඔහු ද බෙල්ට් හෝ නගරයේ නගරාධිපති තනතුර ඉසිලීය. ජීවිත ගමනේ ආරම්භයේ සිට දේශපාලනයට නතු ඇය කෙනඩි ගේ පළමු දේශපාලන කතාවට සවන් දී ඇති බව කියන්නීය. මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසු ටි‍්‍රනිටි විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යා උපාධිය හිමිකර ගෙන තිබේ.

සැන් ප‍්‍රැන්සිස්කෝ වලට පැමිණි ඇය ඩිමොක‍්‍රටික් පක්ෂ දේශපාලනයට නැඹුරු වූවාය. එහි පක්ෂ ප‍්‍රධානියා ගේ හිතදිනා ගන්නට ඇය සමත් වූවාය. කැලිෆෝනියාවේ ඩිමොක‍්‍රටික් පක්ෂ කමිටු සාමාජිකත්වය පළමු පියවරයි. උතුරු කැලිෆෝනියාවේ පක්ෂ ජාතික කමිටුවේ සභාපතිනිය වන්නේ 1981 වසරේ දී ය. වසර දෙකක් ධුරය දැරූ අතර පසුව ඉවත් වූවාය.

පියා ගේ අභාවයෙන් හා මවගේ අසනීප තත්ත්වයෙන් ඉක්මන් වූ ඇයගේ ඇමරිකානු පාර්ලිමේන්තු නියෝජනය නිසා කලින් පවත්වන ලද අතුරු මැතිවරණයකින් නැන්සි පිලෝසි ජය අත්කරගත්තාය. එයින් නොනැවතුන ඇය දහසය වතාවක් මැතිවරණ වල දී ඉදිරියෙන් සිටින්නට සමත්ව ඇති බව දැක්වේ. හැම අවස්ථාවකම පවුල් පදනම ආරක්ෂා කරගත් ඇය සියයට අසූවකට වඩා ජනතා කැමැත්ත ලබා ගත්තාය. 1997 දී ප‍්‍රතිවාදියා සමග දේශපාලන වාදයකට සහභාගීවීම ප‍්‍රතික්ෂේප කළ අතර ප‍්‍රතිඵලය වූයේ ඇයගේ ප‍්‍රසාදය සියයට 80.9 දක්වා වර්ධනය වීමය. පක්ෂයේ ප‍්‍රචාරණ පිරිවැය අවශ්‍ය වූ නැන්සි 2000 හා 2002 මැතිවරණ වල දී ද ජය ගත්තාය. ඇය පරිපූරක ඇස්තමේන්තු හා බුද්ධි අනුකමිටු වල සාමාජිකාවක වූවාය. කතානායිකාවගේ ගමනට මුල පුරන්නේ පාර්ලිමේන්තුවේ සුළු පක්ෂ වල කතානායිකාව වශයෙන් ක‍්‍රියා කරමින්ය. එය ඇය පිහිටවූ සමාජ වාර්තාවකි. 2006 වසරේ දී ඩිමොක‍්‍රටික් පක්ෂය පාර්ලිමේන්තු බහුතරය දිනා ගැනීමෙන් පසු නැන්සි පිලෝසි ඡන්දයෙන් පත් වූ කතානායක පදවියට පත් වූවාය. එය විශේෂ අවස්ථාවක් වන අතර කාන්තාවක් ධුරයට පත් පළමු වතාවය. එය පළමු කාන්තාන පමණක් නොවේ. පළමු ඉතාලි ඇමරිකා සම්භවයක් සහිත හා පළමු කැලිෆෝනියානු නියෝජනය ද වූවාය.

නැන්සි පිලෝසි ඇයගේ කතානායක ධුරය ගැන බෙහෙවින් ආඩම්බර වූවාය. එය ඇයගේ දේශන වල දී කැපී පෙනුන අදහසකි. කිසි අවස්ථාවක ඇය ඇයගේ ගෞරවය පලූදු කරනොගත් අතර දේශපාලනයේ දී කාන්තා පිරිමි සමානාත්මතාවය වෙනුවෙන් බෙහෙවින් පෙනී සිටියාය. එය වැදගත් කිසිසේත් නොමැකෙන මංසලකුණකි. කතානායකවරිය නමුත් ඇය පක්ෂයේ තනතුරු අත්හැරියේ නැත. විවාද වල දී කතා කළාය. නිදහස් අදහස් එළිපිටම දැක්වූවාය. නමුත් ඡන්ද විමසීමක දී කිසිසේත් තීරණාත්මක ඡන්දය භාවිතා කළේ නැත.

ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා සමාජ සුරක්ෂිතතා පණත වෙනස් කර ජනතා සහන අඩු කරන්නට යෝජනා කළ අවස්ථාවේ දී ඇය එයට කිසිසේත් එකඟ නොවූවාය. සමාජයේ සහන අවශ්‍ය පිරිස වෙනුවෙන් රජයට වගකීමක් ඇති බව පෙන්වා දුන්නාය. සුළු ජාතිකයන්ගේ අවශ්‍යතා මැනැවින් තේරුම් ගෙන සිටි නැන්සි බහුතර මහා ජාතික පාර්ශව ගෙන යන අදහස් පරාජයට පත් කරන්නට සමත් වූ බව ඇයගේ පසුබිම විමසන විට නිරීක්ෂණය කළ හැකි වැදගත් පැත්තකි.

2006 මැතිවරණයේ දී ඇය ජනතාව හමුවට ගියේ පැය සියයක වැඩසටහනක් සමගය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂාකර අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින බව ඇය කියා සිටියාය. පසුව එය ප‍්‍රායෝගික සැලැස්මක් බවට හැරවූවාය. එය මහත් ප‍්‍රසාදයට ලක් වූ අවස්ථාවකි.

ජෝර්ජ් බුෂ් ජනාධිපති වරයා ඉරාකයට හමුදාව මෙහෙයවන තීරණය නැන්සි පිලෝසි ගේ බලවත් විරෝධයට හේතු වූ අවස්ථාවකි. හමුදා මෙහෙයුමක් අනවශ්‍ය බව පෙන්වා දුන් ඇය ඉරාකයට අවශ්‍ය දේශපාලන මෙහෙයුමක් බව කියා සිටි අතර කෙලින්ම ජනාධිපතිවරයාට ලිපියක් ලියා එය අවධාරණය කළාය.

ජනාධිපතිවරු ගණණාවක් සමග එකට වැඩ කර මහත් අත්දැකීම් සහිත නැන්සි බැරක් ඔබාමා ගේ සෞඛ්‍ය වියදම් අඩු කිරීමේ අදහසට ද විරුද්ධ වූවාය. නමුත් අවසානයේ දී සෞඛ්‍ය ප‍්‍රතිසංස්කරණ පනත සම්මත කරගන්නට බැරක් ඔබාමා සමත් වූ අතර ඔබාමා අවසානයේ දී ඔහුගේ කතාවේ දී නැන්සි ගැන විශේෂයෙන් සඳහන් කර ඔහුගේ කතාව අවසන් කරන ලද බව වාර්තා පෙන්වයි.

ලෝකයේ නොයෙක් නායකයන් එකිනෙකට වෙනස් මත සහිතව ක‍්‍රියාත්මක වන නමුත් නැන්සි ඇයගේ අනන්‍ය විලාසයකට කි‍්‍රියා කළ බව දැක්වෙයි. අණ පණත් වල දී නිර්භයව දුගී දුප්පත් සාමාන්‍ය ජනතාවගේ පැත්ත ගත්තාය. වතාවක් දලයි ලාමා මුණ ගැසී කතා කළ ඇය පසුව චීනයේ ප‍්‍රතිපත්ති දැඩි සේ හෙලා දකින ලදී. එය ආන්දෝලනයට පත් වූ අවස්ථාවකි.

නැන්සි පිලෝසි සුළු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග වෙනුවෙන් කැපවූ බව පෙනෙන අතරවාරයේ ඇය පළමු වතාවට සිය පුද්ගලික වාර්තා ගැන උනන්දු වී තිබේ. එය ජාත්‍යන්තර කතාබහට ලක් ව ඇත. කතානායකවරියක සේ දෙවතාවක් පත්වී ඉතිහාස ගත වන්නට ඇය වෑයම් කරයි. ඇයගේ සන්නිවේදනයට සෑම පක්ෂයක්ම අවනත වී ඇති බව පෙනේ. තරුණ නියෝජනය තුළින් පැරණි වයස්ගත අය ගැන විරෝධයක් ඇත. නව පරම්පරාවට ඉඩ දී ඉවත් විය යතු බව දක්වයි. නමුත් නැන්සි කරන ලද ඉල්ලීම ඇමරිකානු දේශපාලනයට අත්හරින්නට නොහැකි වී ඇත. ලබන වසරේ ජනවාරියේ දී ඇය නැවතත් කතානායිකාව වශයෙන් පත් වුවහොත් එය ඉතිහාසය අලූතින් ලියන අවස්ථාවකි.