» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
23/10/2016 - දේශය
ලන්ඩන් ආ පීකිං ඔපෙරා

ඔපෙරා බටහිර බටහිර සම්ප‍්‍රදායික සම්භාව්‍ය සංගීතයෙහි එක්තරා කොටසකි. දහ සය වැනි සියවසේ ඉතාලියේ දී ආරම්භ වූ බව සැලකෙන ඔපෙරා පසුව ජර්මනිය, ප‍්‍රංශය සහ එංගලන්තය වැනි රටවල් ඔස්සේ බටහිර රසකාමීන් අතර පැතිරී ගියේය. හැන්දෑවේ රඟහලට එකතුවන රසවතුන් එහි සංගීතය, රිද්මය සහ නර්තන විලාශයන්ගෙන් අමන්දානන්දයට පත්වෙති.

චීනයේ ඔවුන්ගේම විශේෂිත ඔපෙරා ශිල්පයක් තිබේ. වර්තමානයේ දී එය පීකිං ඔපෙරා යනුවෙන් ප‍්‍රකටය. අනන්‍ය දේශපාලන ක‍්‍රමයක් පවතින චීනය ක‍්‍රමයෙන් ජාත්‍යන්තරය වෙත සිය දොරටු විවර කරමින් සිටී. ආර්ථික සමාජ සහ තාක්ෂණ අංශ වලින් බටහිර සමග කරට කර නැත්නම් තරමක් ඉහළින් ඉන්නට චීන සමාජය සූදානම්ය. ආර්ථික වශයෙන් බලවත් තැනෙකට පැමිණ සිටින චීනය පෙනී සිටින්නේ ලෝකයේ ආයෝජන ශක්තියක් ඇති රටක් වශයෙන්ය. ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් වල කරන විශාල ආයෝජනය හෙයින් එය චිඇමරිකා ආර්ථිකයක් සේ හඳුන්වන්නට ප‍්‍රකට ආර්ථික විශේෂඥයෝ හුරු වී සිටිති. චීන ආයෝජකයෙකු වන වොන්ඩා සමාගමේ වං ජියන්ලිං ලෝකයේ සිනමා සහ ටෙලිවිෂන් ජාලය බලවතා වන ගමන ආරම්භ කර තිබේ. චීන ව්‍යවසායකයකු වන අලි බාබා හි ජැක් මා මේ වන විට ලොව විශාලතම ව්‍යාපාර කොටස් නිකුතුවට උරුමකම් කියයි. මේ අතර වාරයේ නොබෝදා අනාවරණය වූයේ ප‍්‍රකට පිකිං ඔපෙරා කණ්ඩායම ලන්ඩන් නගරයට පැමිණ ඇති බවය. විවිධ සංස්කෘතින් හි සම්මිශ‍්‍රණයක් දැකගත හැකි ලන්ඩන් නගරයේ ප‍්‍රධාන නර්තන ශාලාවක පීකිං ඔපෙරා රඟ දක්වන විට එට කෙරෙහි පුලූල් ජාත්‍යන්තර අවධානයක් හිමිව තිබේ.

පීකිං ඔපෙරා හි ජෙනරල් සහ ඇමැතිමණ්ඩලය නම් නිර්මාණ කාර්යය වේදිකා ගත වන විට එය චින නිර්මාන වල සම්භාව්‍ය ගුණය දක්වන අතර නිර්මාණයපමණක් නොව එයින් අඟවන යටිපෙළ ලන්ඩන් රසිකයන් ගේ හද බැඳ ගෙන ඇත. පීකොක් රඟහල ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික් ඇන්ඞ් පොලිටිකල් උසස් අධ්‍යාපන ආයතනයට අනුබද්ධ එකකි. දිනපතා විවෘත එහි ප‍්‍රසිද්ධ විවාද පවත්වන, දේශන සංවිධානය කරන සහ උසස් කෘති රස වින්දනයට ඉඩ සලසන තැනක් සේ සැලකේ. බුද්ධිමතුන්ගේ සංවාද මණ්ඩපයකි. චිනයේ සිට එන පීකිං ඔපෙරා කණ්ඩායම සිය දර්ශන ඉදිරිපත් කරන්නේ මෙම සුවිශේෂී ස්ථානයේ දීය.

පීකිං ඔපෙරා හි වර්ණ, ඇඳුම් විලාසිතා, ආලෝකකණය සහ වේදිකාව හැසිරවීම ලන්ඩන් වැසියන්ගේ ආකර්ශනයට හේතු වී තිබේ. වර්ණ සහ ඔපෙරා ජවනිකා ගංවතුරක් සේ වේදිකාව කරා පැමිණ ඇතැයි ලන්ඩන් විචාරකයන්ගේ අදහසයි. දේශ සීමා මායිම් නොතකා ජනතාන්ත‍්‍රිකත්වය පැතිරෙන බවට එය කදිම සාක්ෂියක් බවට පත්ව ඇත. ලන්ඩන් හි පීකොක් රඟහල පීකිං ඔපෙරා ශිල්පීන්ගේ දක්ෂතා හෙයින් වඩාත් ආකර්ශනීය තැනක් වී ඇත. බලය හමුවේ නැමෙන කුසගින්න ජීවිත දොමනස්සයට ලක්කරන අතර අසාධාරණයට විරුද්ධව ලෝකය පුරා නැගෙන හඞ ගැන පොදු කතාන්දරයක් ඇති බව පීකිං ඔපෙරා නිර්මාණ වලින් අනාවරණය කරන බව එයින් පළවන වාර්තා අනුව දැක්වෙයි. ලන්ඩන් නගරයට එන යන ලෝකයේ නන් විධ ජනකාය අතරින් කොටසක් මෙම පීකොක් වේදිකාවේ කෙරෙන පීකිං ඔපෙරා දිගහැරුම නරඹයි. එය වෙනත් කෝණයකින් චීනය දෙස බලන්නට හොඳ පසුබිමක් සකස් කර ඇත. සුවිශේෂී අවධානයකට ලක්ව ඇති බව අනාවරණය වෙන වැදගත් කරුණකි.

පීකිං ඔපෙරා ශිල්පය වසර දෙසීයක පමණ ඉතිහාසයක් සනිටුහන් කරයි. කුයින් නමැති අධිරාජ්‍යයාගේ කාලයේ ප‍්‍රකට ඔපෙරා කණ්ඩායම් හතරක් ගැන මූලාශ‍්‍ර ඇත. බෙයිජිං, තියැන්ජියෑන්ග්, ෂැංහයි සහ තායිවානය දක්වා ඒවා විහිදෙන බව අනාවරණය වෙයි. මෙම ශිල්පීහු ආරම්භයේ දී බෙයිජිං ඇතුළු නගර වල දර්ශන ඉදිරිපත් කර තිබේ. පසු කාලයක එම කණ්ඩායම් වල විවිධ අංග සම්මිශ‍්‍රණයකින් පීකිං ඔපෙරා බිහි වී ඇත. එය චීනයේ උසස් කලාවක් සේ වර්ධනය කරන්නේ ජනතා සහභාගීත්වයයි. විචාරකයන්ට අනුව මෙම පීකිං ඔපෙරා චීන සංස්කෘතික අනන්‍යතාවය විදහා දක්වන ගැඹුරු ශෛලියකට ගමන් කර ඇතැයි දැක්වේ.

ඔපෙරා කතාව නියෝජනය කරන චරිත ප‍්‍රමෝදය, කෝපය, සතුට හෝ දුක වැනි හැඟීම් නිරූපනය කිරීමට ගායනා, නර්තන සහ සටන් උපයේගී කරගනී. එහි ඉදිරිපත් කිරීමේ වේගය මැනවින් පාලනය කරන අතර විශේෂ අවධානයකට ලක්ව ඇත්තේ මුහුණු සැරසිලි ඇඳුම් වල අලංකාරය හා ක්ෂණිකව සිදුකරන චරිතාංග නිරූපන ශිල්පීන්ගේ චලන හැකියාව බව දැක්වේ. පිකිං ඔපෙරා මූලික විලාශ හතරක් වන අතර එය නැවතත් එකිනෙකට වෙනස් අනු අංශ විශාල ප‍්‍රමාණයක නිර්මාණාභ්‍යාස දක්වා විහිදෙයි. කතාව හා ගායන සම්බන්ධ ශිල්පීය දක්ෂතා පීකිං ඔපෙරාවේ ආකර්ශනය නංවයි. යථාර්ථයට වඩා සංකේතාත්මක අධිනිරූපනයක් තිබේ. චීනයේ ඉතිහාසය, ජන ජීවිතය, චීන ජන සමාජයේ සිදුවූ පුළුල් වර්ධනය සහ එහි සමකාලීනත්වය මෙම පීකිං ඔපෙරා ශිල්පීහු වේදිකාව මත විදහා දක්වති.

චීන සංස්කෘතික විප්ලවය ගැන ප‍්‍රසිද්ධ විවේචනයක් ද පීකිං ඔපෙරාව දක්වයි. නමුත් චීන විප්ලවයට පසු සංස්කෘතික විප්ලවය කාලයේ දී ඔපෙරා ශිල්පීන් මෙහෙයවා සන්නිවේදන අවශ්‍යතා සපුරාගත් බව ද ප‍්‍රතිවිප්ලවය කූඨප‍්‍රාප්තිය කරා කැඳවන්නට පීකිං ඔපෙරා බෙහෙවින් බලපැ බව ද චීනය පැත්තෙන් පීකිං ඔපෙරා හි ඉතිහාසය සොයා බලන විට අනාවරණය වෙයි. විසි වන සියවසේ මැද භාගය වන විට පීකිං ඔපෙරා ගැන චීනය තුළ ද තිබුණ ආකර්ශනය අඩුවෙයි. ජාතයන්තරයට විවෘත වී අනේක විධ තාක්ෂණික මෙවලම් භාවිතා කර නිර්මාණය වූ චිත‍්‍රපට, ටෙලි නිර්මාණ සහ සංගීත හඞ පට කෙරෙහි චීන තරුණන් ආශක්ත වූ බව දැක්වේ. නමුත් තරුණ පරම්පරාවේ අඩු අවධානය මැඩ නැවත තමන්ට හිමි ස්ථානය දිනාගන්නට ඔපෙරා නව අධ්‍යක්ෂකවරු කැපවීමකින් ක‍්‍රියා කර ඇත. ඔවුහු සංගීතය මෙහෙයැවිම, අලූත් චරිත තෝරා ගැනීම, ආලෝකකරණය, වේශ නිරූපනය වෙනුවෙන් දියුණු බටහිර දේ වලින් යම් යම් අංශ උපයෝගී කරගෙන ඇත. පාසල් වලට ඇතුළු වී සිසුන් ආකර්ශනය කරගත් පීකිං ඔපෙරා කණ්ඩායම පොදු ස්ථාන වල නොමිලේ දර්ශන පවත්වමින් ජනයා තුළ කලාව සම්බන්ධ උනන්දුව තහවුරු කරගන්නට උත්සුක වූහ. පාසල් වල දරුවන් පාන්දරින් පාසලට පැමිණ ඔපෙරා රංගනශිල්පය පුහුණු වන අතර එය දක්ෂ ශිල්පීන් ගොඩනගන්නට හොඳ අත් වැලක් සපයා තිබේ. චයිනා රූපවාහිනියට ද ඔපෙරා දර්ශන ඇතුලත් වූ අතර එය ජනතාවගේ කැමැත්ත දිනා ගන්නට ප‍්‍රයෝජනවත් විය.

දහ නමවැනි සියවසේ සිට පිකිං ඔපෙරා නොයෙක් රටවල වේදිකාවල රඟ දක්වා තිබේ. හොංකොං, ඇමරිකාව, ජපානය සහ 1930 ගණන් වල රුසියාවේ ද වේදිකා ගත කර තිබේ. පීකිං ඔපෙරා ලන්ඩන් නගරයට මැතක දී එන්නේ එහි නූතනය සනිටුහන් කරමින් ඓතිහාසිකත්වය ගැන සිහිපත් කරන්නට අවස්ථාව ඇති කරමින්ය.