» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
23/08/2015 - දේශය
මානව හිමිකම් කඩුල්ලෙන් පැන ගැනීම

මායා අරුල්ප‍්‍රගාසම් ගැන ලෝකය දන්නේ මියා යන කෙටි නමින්ය. මායා ලන්ඩන් නගරයේ උපන් නමුත් ඇය හා දෙමව්පියන් ශ‍්‍රී ලංකාවේ සම්භවයක් ඇති දෙමල බැවින් කුඩා අවදියේ ආපසු යාපනයට පැමිණෙයි. ඇගේ ජීවන තොරතුරු වලට අනුව උතුර නැගෙනහිර ත‍්‍රස්තවාදයෙන් උත්සන්න වන විට ඔවුහු බලවත් දුෂ්කර තත්ත්වයකට පත්වෙති. පසුව මෙරටින් ගිය මායා ලන්ඩනයේ දී ගායිකාවක්, ගීත රචනයෙහි දක්ෂතා ඇති යුවතියක් පමණක් නොව අංශ ගණනක සමත්කම් ඇති ජනාකර්ශණීය චරිතයක් වන්නේය. එපමණක් නොවේ. 2009 අවුරුද්දේ දී ටයිම් ස`ගරාව ලෝකයේ බලපුලූවන්කාර චරිත සියයක් අතුරින් කෙනෙකු ලෙස ඇය තෝරා ගන්නීය.

අප මතු කරන තර්කය එය නොවේ. පසුගිය ජනවාරියේ දී චැනල් ෆෝ නාලිකාව සමග සාකච්ඡාවක් කරන මියා ලංකාවේ දැන් ඇති ස්වභාවය ''එකම ආණ්ඩුවක් - වෙනත් මුහුණක් පමණක්'' බව කියයි. 2009 සිට එල්.ටී.ටී.ඊ සංවිධානය නිහ`ඩව සාම මාවතට අවතීර්ණ වූ අතර එදා සිට මේ දක්වා දෙමල ජනතාවගේ අපේක්ෂා ඉටු නොවූ බව මතයක් වශයෙන් ගොඩනගයි. එය බලවත් එකක් නොවන්නේ කෙසේද? දස ලක්ෂ සංඛ්‍යාත දෙමල ඩයස්පෝරාව සහ නොයෙක් සංවිධාන එකතු වෙන්නේ එබ`දු ආකාරයකටය. ආණ්ඩු නියෝජනය කරන නියෝජිතයන් පමණක් නොව රාජ්‍ය නොවන සංවිධාන ද මානව හිමිකම් සමුළුව පැවැත්වෙන විට සහභාගී වෙති. සමුළුව තුළ පමණක් නොව වෙනම පවත්වන සැසිවාර වලදී රාජ්‍ය නොවන සංවිධාන නොයෙක් මත ඇති කරයි. ඒෂියා වොච්, ඇම්නෙස්ටි ඉන්ටර් නැෂනල්, ඉන්ටනැෂන් ක‍්‍රයිසීස් වොච් වැනි ජාත්‍යන්තර සංවිධාන අතරට ශ‍්‍රී ලංකාවේ කුඩා සංවිධාන නියෝජිතයන් ද එකතු වී මානව හිමිකම් සමුළුවට බලපෑම් කරයි. පරිසරය, මානව හිමිකම්, කාලගුණ වෙනස්කම්, මාධ්‍ය නිදහස වැනි නොයෙක් අංශ වල රාජ්‍ය නොවන සංවිධාන විශාල ප‍්‍රමාණයක් ජාත්‍යන්තරය තුළ ක‍්‍රියාත්මකය. ආණ්ඩු නියෝජිතයන් ගැටලූවක් සම්බන්ධයෙන් ක‍්‍රියා කරන ආකාරයට වෙනස් සහ විවිධ මානයන්ගෙන් යුතුව මෙම සංවිධාන දක්වන අදහස් බලවත්ය. ත‍්‍රස්තවාදය මර්දනය කරන යුද කාලයේ දී මානව හිමිකම් උල්ලංඝනය නොවූ බවට ආණ්ඩුවක් වශයෙන් ශී‍්‍ර ලංකාව මුහුණ දෙන්නේ මෙම බලවේග සමග බව වටහා ගැනීම අවශ්‍යය.

අලූත් ආණ්ඩුවක්, අලූත් ප‍්‍රතිපත්ති සහ අලූත් මුහුණුවරක් නිර්මාණය වන නමුත් මානව හිමිකම් සම්බන්ධ යෝජනාවට මුහුණදීම නොවෙනස්වන හෙයින් මෙම වටහා ගැනීම අවශ්‍යය. ලබන සැප්තැම්බර් මාසයේ දී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ අතරු වාර්තාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත්වනු ඇත. එය සාධාරණ එකක් නොවේ යැයි අදහසක් රටට තිබේ. නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ දී දිගහැරෙන මතවාදය හමුවේ විස`දුමකට යාම රටට අනිවාර්ය කාරණයකි.

මානව හිමිකම් සමුළුව පැවැත්වෙන විට එයට රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් මුහුණදීම සම්ප‍්‍රදායයි. වියත් නියෝජිත පිරිසක් එයට සහභාගී වනු ඇත. ආණ්ඩුව අවධානය යොමු කරන්නේ ඉහළම කැබිනට් නියොජනයක් සහිතවය. තානාපති අංශ නිල පත‍්‍රිකා සකස් කර ඒවා ඉදිරිපත් කරන සම්ප‍්‍රදායික විලාශය රටට හුරු පුරුදුය. ලෝකයේ සෙසු රටවල් සමග සාකච්ඡුා පැවැත්වෙයි. ශ‍්‍රී ලංකාවට හිතැති නියෝජිතයන් සමග අදහස් හුවමාරු කරගෙන රටට වාසිදායක අවසානයක් කරා ගෙන යන්නට දරන ප‍්‍රයත්නය සරල නැත. එය අතිශය සංකීර්ණ එකකි.

ශ‍්‍රී ලංකාව මුහුණ දෙන මානව හිමිකම් චෝදනා සංකීර්ණ වන්නේ මායා අරුල්ප‍්‍රගාසම් වැනි කණ්ඩයම් පමණක් නොව රාජ්‍ය නොවන සංවිධාන ද ක‍්‍රියා කරන අවස්ථාවේදීය. ලෝකය තනි යායකි. එහි ඇත්තේ විකල්ප මතය දරන ජන පදනමක් විනා රාජ්‍ය මට්ටමින් ආණ්ඩුවක මතය එක හෙලා පිලිගන්නට සූදානම් ජන කණ්ඩායම් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් තමන්ගේ පැත්ත ගැන සාවධාන වන විට එයට එක`ග නැති ආකාරයට මතයක් ගෝලීය සමාජය තුළ පැතිරෙන්නේ හිතා ගැනීමට පහසු නැති ආකාරයටය. ශ‍්‍රී ලංකාව තුළ බලය බෙදන යෝජනා ඉදිරිපත්වන විට රට තුළ ඇති අරගලය එය කරන සීමාව ගැනය. කුඩා හෝ බලය බෙදාහැරිමක අවසානය රට බෙදන තැන බවට අදහසක් රට තුළ තිබේ. නමුත් ජාත්‍යන්තරය පසුවන්නේ බි‍්‍රතාන්‍යයෙන් වෙන් වීමට ස්කොට්ලන්තයට අවශ්‍ය ද යන්න දැනගැනීමට ජනමත විචාරණ පවත්වන වකවානුවකය. ගැටලූවකට මුහුණ දෙන ආකාරය ගැන සැලසුම් කිරීම පහසු නැත. ආණ්ඩුවේ නිල කණ්ඩායම හෝ මානව සම්පත් පහසුවෙන් සංවිධානය කරගත හැකිවෙයි. නමුත් රාජ්‍ය කාර්යය ජනතාන්ත‍්‍රිකත්වය සමග ගලපාගන්නට අසාමාන්‍ය සාමාර්ථයක් දක්වන්නට අවශ්‍යය. ඒ වෙනුවෙන් පුලූල් දැක්මක් ඇතිව කි‍්‍රයා කරන වගකීමක් රටට තිබේ.

මානව හිමිකම් කඩවූ බව ත‍්‍රස්තවාදය පරාජය කර ගත වූ ඉකුත් වසර හය තුළ නොයෙක් ආකාරයට දෝංකාර දුන් චෝදනාවකි. ශ‍්‍රී ලාංකිකයන් දකින්නෙ එහි අනෙක් පැත්තය. උතුර පමණක් නොව රට පුරා ද්‍රවිඩ පුරවැසියෝ ජීවත් වෙති. කොළඹ නගරය මෑත කාලය තුළ වේගයෙන් ජන සම්මිශ‍්‍රණයකට ලක්විය. කවර ආකාරයකින් හෝ කොළඹ නගරයට දෙමල ජනතාව පැමිණීම වලකන්නට රාජ්‍ය හෝ ජනතා සංවිධාන මට්ටමින් කිසිම ආකාරයකට බලපෑමක් කර නැත. ත‍්‍රස්තවාදය පරාජයට පත්කිරීමෙන් පසු නීතිය තහවුරු කර සාමකාමී මාවතට අවතීර්ණ වන්නට හැකි සියලූම ආකාරයෙන් ප‍්‍රයත්න දරා තිබේ. පලාත් පාලන ආයතන ඡුන්ද විමසීමේ දී උතුර නැගෙනහිර පලාත්වල ජනතාව ස්වකීය මතය පළකර ඇත. පලාත් සභාව දිනාගන්නට දෙමල ජනතාව සමත්විය. ජනාධිපතිවරණය හමුවේ දකුණට තීරණාත්මක පෙළඹවීමක් ඇති කරන ප‍්‍රතිඵලයක් බිහිකරන්නේ දෙමල සහ මුස්ලිම් ජනතාවගේ ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ කි‍්‍රයාවලිය බව පැහැදිලිව ඔප්පු වී ඇත. නොබෝදා අවසන් වූ මහ මැතිවරණයේ ප‍්‍රතිඵලය පෙන්නුම් කරන්නේ ද නිදහසේ ජනමතය පළ කරන්නට සහ තමන්ට උවමනා මහජන නියෝජනයක් වෙනුවෙන් පැහැදිලි වාතාවරණයක් තිබූ බවය.

ත‍්‍රස්තවාදය පරාජය කරන යුද්ධයක් තිබූ නමුත් සාමකාමී දෙමල ජනතාව පිඩාවකින් තොරව ජීවත් වූ බව සාධාරණව ඔප්පු කළ හැකි කාරණා සෑහෙන තරම් එකතුකළ හැකිය. නමුත් ජනවිඥාණය හැදෙන්නේ රාජ්‍යතාන්ත‍්‍රික ක‍්‍රියාපටිපාටීන් අනුව නොවේ. ලෝකයේ මතය හැදෙන්නේ මියා වැනි චරිත හදන රාමුව අනුවය. රාජ්‍ය නොවන සංවිධාන සහ ඩයස්පෝරාවේ අදහස් විහිදුවන ආකාරය අනුවය. දෙමල ජනතාව පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධාන ආණ්ඩුවට සහ ලෝකයේ සංවිධාන හරහා ඇතිකරන විශාල මතය ඔස්සේය. මුහුණුවර වෙනස් වූ නමුත් මේ ඉන්නේ පරණ ආණ්ඩුවමය කියන බලවත් චරිත සිටින විට ශ‍්‍රී ලංකාව මුහුණ දෙන බරපතල බව වටහා ගැනීම වැදගත්ය.

තානාපති මට්ටමින් එක`ගතා වලට පැමිණ යුක්ති ගරුක ලෙස ක‍්‍රියාකරන්නට හැකියාව තිබේ. රාජ්‍ය නායකයන් කෙලින්ම මුණ ගැසී රටවල් අතර අවබෝධය පුලූල් කරන්නට හැකියාව ඇත. මිත‍්‍ර රටවල් රටට හිතවත් ලෙස තීන්දු ගන්නා බව තේරුම් ගත හැකිය. අතරමැද සිටින රටවලට ශ‍්‍රී ලංකාව ගමන්කළ අසීරු ගමන ගැන පැහැදිලි කර දී කිසියම් අර්ථවත් සංවාදයකට ඉඩ කඩ හදා ගැනීමට හැකියාව තිබේ. නමුත් පෙනෙන ආකාරයට මෙම වාතාවරණය ඉතාමත් සියුම්ය. යුද බිම තුළ සතුරා හ`දුනාගෙන මල්ටි බැරල් එල්ල කරනවාට වඩා නොදන්නා නොපෙනෙන ජන රාශියක් පාලනය කිරීම ඉතාමත් දුෂ්කරය. එල්ල වන ජන මත අභිබවා අලූත් මතයක් ඉදිරිපත් කිරීම පහසු නැත.

බලයට පත් මහජන නියෝජිතයන්ට පමණක් නොව පරාජයට පත් ජනතා නියෝජිතයන්ට ද බලවත් වගකීමක් තිබේ. එය මග හැරිය නොහැකි වගකීමකි. රට මුහුණ දුන් බලවත් අභියෝගය ජාත්‍යන්තරයට පහදා දෙන්නේ කෙසේද? අවුරුදු තිහක් රටට අති විශාල පීඩනයකට මුහුණ දෙන්නට සිදුවිය. ජීවිත දහස් ගණනින් රටට අහිමි විය. එහි සිංහල, දෙමල හෝ මුස්ලිම් වශයෙන් ජන වර්ගවාදයක් තිබුණේ නැත. රටට අහිමි වූ දේපොල මෙතෙකැයි මිල කළ නොහැකිය. අද අවශ්‍ය වන්නේ නැවත සියල්ල ගොඩනැගීමයි. ජනතාව එකතු කිරීමයි. සංහිදියාවයි. එකතු වී අලූත් දර්ශනයක් ගොඩනැගීමයි. ඒ වෙනුවෙන් සියලූ දෙනා එකතු වී අලූත් ආකාරයකට ක‍්‍රියා කිරීමයි. අපරාධ හා මානව හිමිකම් ගැන හොයනවාට වඩා සියලූ ජාතීන් පියවරක් පසුපසට ගෙන සාකච්ඡුාකළ යුතුය. සිංහල දෙමල මුස්ලිම් හැම ජාතියක්ම රට ගැන හිතා අලූත් මතවාදයකට යා යුතුය. ජාත්‍යන්තරයට මුහුණ දිය හැක්කේ එවිටය. පක්ෂ, පාට, ආගම් මතවාද වශයෙන් බෙදී කළ නොහැකිය. අභියෝගයට මුහුණ දිය යුතු නම් එය රාජ්‍යතාන්ත‍්‍රික ආකාරයට ක‍්‍රියාකරනවාට අමතරව ජනතාන්ත‍්‍රික ලෙස දියත් කළ යුතු මෙහෙයුමක් ද වන්නේය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.