» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
23/07/2017 - දේශය
බිල් ක්ල්ටන් හැදෑරීම

බිල් ක්ලින්ටන් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකි. හෙතෙම අද විශ‍්‍රාමික ජීවිතයක් ගත කරයි. නොබෝදා ඩලස් නගරයේ පවත්වන ලද උත්සවයකට ක්ලින්ටන්ට සහභාගී විය. එය ජෝර්ජ් ඩබ්. බුෂ් පදනම සංවිධානය කළ එකකි. එහි දී බුෂ් හා ක්ලින්ටන් මුණගැසිණ. බුෂ් පමණක් නොව ඔහුගේ පියා එනම් ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් ද ඇමරිකානු ජනාධිපති ධුරය හෙබැවීය. හෙතෙම එරට ජනාධිපතිවරුන්ගේ ලේඛනයෙහි හතලිස් එක් වැනියාය. ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් ගේ පුතා එරට හතලිස් තුන්වැනි ජනාධිපතිවරයා වූ අතර ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ ලේඛනයෙහි තාත්තා හා පුතා අතර ඇමරිකාව පාලනය කළ නායකයා බවට පත් වූයේ ක්ලින්ටන්ය.

ජෝර්ජ් බුෂ් පදනමේ උත්සවයට පැමිණි ක්ලින්ටන් එහි තිබුණ පිය පුතු ප‍්‍රතිමා දෙක අතර සිටගනිමින් පින්තූරයකට මුහුණ දුන් අතර ජනාධිපතිවරුන්ගේ ඓතිහාසික ලේඛනයේ පිලිවෙල නැවත සිහිපත් කරවන සුළු එය ලෝකය පුරා ඉමහත් අවධානයකට ලක්විය. ට්විටර් සමාජ මාධ්‍යයේ දහස් වාර ගණනින් නැවත තැවතත් ට්විට් වූ එය එරට නායකයන් අතර පවතින බැඳීම අඟවන සංකේතයක් බවට පත්ව තිබේ.

ඇමරිකාවේ පළමු පුරවැසියා වශයෙන් මහජන ඡන්දයෙන් පත්වන නායකයන්ට සිය ධුර කාලයේ අවසාන භාගයේ දී තමන්ගේ අනාගතය ගැන ද හිතන්නට අවස්ථාවක් දී ඇත. ඒ අනුව ඔවුහු තමන් කැමැති අනන්‍ය නගරයක සිය සිහිවටන එකතු කර පුස්තකාලයක් පිහිටුවයි. ඒවායෙන් සමාජය වෙනුවෙන් මෙහෙවරක් කරන අතර අධ්‍යයන හා සංවාද වෙනුවෙන් ලබා දෙන්නේ පුලූල් අවස්ථාවකි. ජෝර්ජ් ඩබ්. බුෂ් පදනම තමන්ගේ වැඩ සටහනක් කරන විට හිටපු තවත් නායකයෙකු වූ ක්ලින්ටන්ට ඇරයුම් කළේය. එයට සහභාගීවීමෙන් නොනැවතුන ක්ලින්ටන් බුෂ් ගැන කියා සිටියේ ඔහු තමන්ගේ පවුලේ නොවන නමුත් තමන්ගේම සහෝදරයෙකු බවය. එයින් දක්වන්නේ එරට නායකයන් අතර පවතින විශිෂ්ඨ සම්බන්ධතා බව සඳහන් කළ යුතුය.

නමුත් දේශපාලන අභ්‍යන්තරය කුමක්ද? බුෂ් පිය පුතු රිපබ්ලික් දේශපාලනය නියෝජනය කරන ලද අතර ක්ලින්ටන් ඩිමොක‍්‍රටික් පාක්ෂිකයෙකි. සාමාන්‍යයෙන් අපි දන්නා දේශපාලනයේ දී නම් ප‍්‍රතිපාක්ෂික නායකයන්ය. එකිනෙකා දෙස ප‍්‍රකෝපකාරීව බලන නිතර ආකෝෂ පරිභව කරන අය විය යුතුය. ක්ලින්ටන් ජනාධිපති ධුරයට පත් වෙන්නේ 1992 වසරේ දීය. විශේෂත්වය වන්නේ ඒ වන විට සිය පළමු නිල කාලය අවසන් කර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජෝර්ජ් එච්.ඩබ්. බුෂ් පරාජය කරමින් ජය අත් පත් කරගැනීමයි. කලාතුරකින් සිදුවන බලයේ ඉන්නා නායකයා පරාද කර බලයට එන නමුත් එකිනෙකා සහෝදරයන් යැයි අඟවන තරමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තේරුම් ගත යුතු එකකි. විශිෂ්ඨ පුද්ගලයන් අතර මානව සම්බන්ධතා ඉහළ මටටමක පැවැතිම අධ්‍යයනය කළ යුතු ඉතාම වැදගත් කාරණයකි.

ඇමරිකාවේ සෑම ජනාධිපතිවරයෙකුම තමන්ගේ නිල කාලයෙන් පසු තෝරාගත් ප‍්‍රදේශයක ජීවත් වෙමින් සමාජ කාර්යයන්හි නිරතවෙයි. තමන්ගේ අත්දැකීම් ජනතාව හා බෙදා ගැනීමට උනන්දුවක් දක්වන අතර එය ද මෙහි ලා අවධානයට ගත යුතු කාරණයකි. ජෝර්ජ් බුෂ් සිය වාර දෙක අවසන් කර නැවත ගෙදර යන විට ජනප‍්‍රිය චරිතයක් ව සිටියේ නැත. නමුත් අද ඔහු කරන කියන දේ අනුව රට තුළ විශාල පිලිගැනීමක් නිර්මාණය වී තිබේ. බිල් ක්ලින්ටන් ගැන ද එය එසේමය. ජනාධිපති ධුරයේ නිල කාලයෙන් පසු නැවත නැවතත් පක්ෂ යාන්ත‍්‍රණවල හා පටු ආකල්ප වල ගැති නොවී නිවහල්ව කරන දේ හෙයින් මෙම නායකයෝ ලෝකයේ ඉහළින් බැබලෙන බව සඳහන් කිරීම වටී.

විලියම් ජෙෆර්සන් ක්ලින්ටන් උපත ලබන්නේ ඇමරිකාවේ දකුණු ප‍්‍රදේශයේ මිසිසිපි ගඟ අසබඩ පිහිටි ආර්කේන්සා නගරයේය. ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ගත් අතර පසුව ඔක්ස්ෆඞ් විශ්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් හිමිකරගත්තේය. අනතුරුව දේශපාලනයට පැමිණි ක්ලින්ටන් ආර්කේන්සා හි ආණ්ඩුකාරයා වශයෙන් පත් විය. ආණ්ඩුකාරවරුන්ගේ සංවිධානයේ සභාපති වශයෙන් එම වකවානුවේ ඇමරිකාවේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කර තිබුණ බව වාර්තාවල දැක්වෙයි. තරුණ ක්ලින්ටන් දහසය වැනි වියේදී සංගීතය පි‍්‍රය කරන ලද අතර ගායකයෙකු විය යුතු යැයි සිතා සිටි බව පසු කාලයක ප‍්‍රකාශ කළේය. නමුත් දක්ෂ ගායකයන් අතර තමන්ට තැනක් නැති බව කල්පනා කළ හෙතෙම ඉනික්බිතිව උනන්දු වූයේ හොඳ වෛද්‍යවරයෙකු විය යුතු බවය. නමුත් අති දක්ෂ වෛද්‍යවරුන් ඉන්නා රටක තමන්ගේ තැන කුමක් විය හැකි දැයි අවධානය යොමු කරන ලද ක්ලින්ටන් හොඳ ජනතා සේවකයෙකු වන බවට අධිෂ්ඨාන කරගත්තේ යැයි ඔහුගේ ජීවිත කතාව ගැන විමසන විට දක්වා තිබේ.

ක්ලින්ටන් චරිතය හදාරන විට විශේෂ සඳහනක් කළ යුතුය. ඔහු අන් රටවල් සමග යුද්ධයට කැමැති වූයේ නැත. ඔහු බි‍්‍රතාන්‍යයේ ඉගෙනගන්නා කාලයේ ඇමරිකාව වියට්නාමය සමග දීර්ඝ යුද්ධයක සිටි අතර ක්ලින්ටන් සිය හිත හදාගෙන යුද බිමට යාම සඳහා ගුවන් හමුදාවේ ජාතික ආරක්ෂක සේවයට එකතු වෙන්නට උත්සාහ කළේය. නමුත් එය අසාර්ථක විය. පසුව නාවික හමුදාවේ ගලවා ගැනීමේ පුහුණු වැඩසටහනකට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණ නමුත් යුද්ධයට විරුද්ධ මතධාරියෙකු වශයෙන් වියට්නාමයට යන්නේ ඇයිදැයි තමන්ගෙන්ම ප‍්‍රශ්න කරන ලද හෙතෙම නිළ ඇදුමකින් සැරසී ස්වේචඡාවෙන් යුද සේවයට එකතු වෙන්නට කිසිසේත් කැමැති වූයේ නැත. ජනාධිපතිවරණය අවස්ථාවේ ද ඔහුගේ එම තීරණය ගැඹුරින් සාකච්ඡා වී තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරයා වශයෙන් ඔහු සුබසාධන ප‍්‍රතිසංස්කරණ හදුන්වා දුන් අතර ජාතික ළමා රක්ෂණ වැඩසටහනක් දියත් කළේය. මූල්‍ය ප‍්‍රතිසංස්කරණ වනුවෙන් ද අණ පණත් ගණනාවක් ඇමරිකානු පාලනයට හදුන්වා දුන්නේය. ලෝක සාමය වෙනුවෙන් සම්මුති සෑහෙන ප‍්‍රමාණයකට මැදිහත්විය. 2000 වසරේ පවත්වන ලද කෑම්ප් ඬේවිඞ් සමුළුව එයින් එකකි. ධුරයෙන් ඉවත්වන විට හොඳ කීර්ති නාමයක් ආරක්ෂා කරගෙන සිටි බිල් ක්ලින්ටන් එයින් පසු තමන්ගේ නිල පදනම ඔස්සේ මානුෂවාදී ක‍්‍රියාකාරකම් වල නිරත විය. ඒඞ්ස් මර්දනය හා ගෝලීය උණුසුම පාලනය කිරීම වෙනුවෙන් මැදිහත්වීම ඒ අතරින් කැපී පෙනෙයි.

බිල් ක්ලින්ටන් ගැන හෝ ජෝර්ජ් බුෂ් ගැන තොරතුරු සවිස්තරාත්මකව හදාරන්නට පහසුකම් තිබේ. එම ජනාධිපතිවරුන්ගේ කාලය හා ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ගැන පොත් ලියැවී ඇති අතර හොඳ පමණක් නොව නරක ගැන ද පවතින තොරතුරු අති විශාල ප‍්‍රමාණයකි. නමුත් ඒවායෙන් කියැවෙන්නේ ඔවුන් හැසිරෙන ක‍්‍රියාත්මක වන අන්දම ගැන ස්වල්පයක් දේ වෙන්නට බැරි නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වශයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති ශ‍්‍රී ලංකාවේ දේශපාලන නායකයන් මෙම චරිතවලින් තමන්ට ගැලපෙන දේ උපුටා ගන්නට අවශ්‍යය. රාජ්‍ය නායකයෙකු වශයෙන් ක‍්‍රියා කරද්දී උපයා ගත් අත්දැකීම් රටක් සමග බෙදා ගන්නට නොහැකි මන්ද? මෙරට ජාතික ආගමික හෝ දේශපාලන නායකයෝ පුලූල් හදවත් ඇතිව කි‍්‍රයාත්මක නොවන්නේ මන්ද? අපට ඇති ප‍්‍රශ්නය එයයි. තමන්ගේ වැඩ සටහනකට ප‍්‍රතිවාදී නායකයෙකුට ආරාධනා කරනවා තබා තමන් දන්නා අදුනන කෙනෙකුටවත් යන්නට ඉඩ නොදෙන දේශපාලනයකින් රටට යහපතක් අපේක්ෂා කළ හැකිද?