» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
23/04/2017 - දේශය
බෞද්ධ ව්‍යාපාරිකයා චෙන් ෆොන්ග්

චීනයේ එච්.එන්.ඒ. සමාගම ජාත්‍යන්තරයේ සෑහෙන අවධානයක් දිනා ඇති සමූහ ව්‍යාපාරයකි. ලෝකය පුරා විසිරී ඇති එහි ව්‍යාපාර වල වත්කම ඇමරිකානු ඩොලර් බිලියන සියය ඉක්මවයි. චීනයේ හයිනාන් ප‍්‍රාන්තයේ කුඩා අභ්‍යන්තර ගුවන් සේවාවකින් ආරම්භ වූ ගමන අද වන විට සෑහෙන දුරක් ගමන් කර තිබේ. එච්.එන්.ඒ. සමාගමේ නිර්මාතෘ චෙන් ෆොන්ග් සතු දැක්ම වෙනස් එකකි. එහෙයින් ඔහු ගැන ජගත් ප‍්‍රජාව කතාකරන්නේ ධනපති බෞද්ධ ව්‍යාපාරිකයා යන විශේෂණය ද සහිතවය. චෙන් ෆොන්ග් ජර්මනියේ ලූෆ්ට්තාන්සා ගුවන් යානා සමාගමේ ගුවන් ගමන් කළමණාකරන විද්‍යාලයෙන් උපාධිය හිමි කරගෙන ඇත. නොයෙක් තැන් වල කෙටි කාලය බැගින් සේවය කළ හෙතෙම සිහින දැක්කේ ගුවන් යානා සමාගමක් පිහිටුවන්නටය. වැර වෑයමෙන් ආයතනයක් ස්ථාපිත කරන අතර පළමු ගුවන් යානයේ ගමන් කරන මගීන්ට සංග‍්‍රහ කරන ආහාර ට්‍රොලියක් තල්ලූ කරගෙන යන අතර වාරයේ ඔහු අවධානය කළේ පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන සැලසුමකටය. දශක දෙකකට පසු ගුවන් යානා හත්සියයකට වැඩි සහ නිත්‍ය ධාවන මාර්ග දෙසීයක් ඉක්මවා මෙහෙයවන දැවැන්ත ව්‍යාපාරයක් දක්වා එය ගෙන යන්නට සමත්ව තිබේ.

1953 අවුරුද්දේ දී චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ මධ්‍යම පැලැන්තියේ යුවලකට දා ව ෆොන්ග් උපත ලැබුවේය. ඒ කාලය සංස්කෘතික විප්ලවය සිදුවන සමයයි. ඔහු ගේ යොවුන් වියේ දී සිචුවාන් පලාතේ විප්ලවීය මහජන හමුදාවේ වැඩ කරන්නට සිදුවිය. 1979 දී විප්ලවය එක්තරා අවසානයක් වන විට හෙතෙම චීනයේ සිවිල් ගුවන් පරිපාලන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටියේය. එහි දී පෙන්වන ලද සමත්කම් හෙයින් මුලින් සඳහන් කළ ජර්මනියේ ඉගෙන ගන්නට ශිෂ්‍යත්වය හිමිකරගත්තේය. එයින් පසු සුළු කාලයක් ලෝක බැංකුවේ ප‍්‍රාදේශීය තැනක වැඩ කළ හෙතෙම නැවත ගුවන් සේවා අංශයට ප‍්‍රවේශ වෙන්නේ හයිනෑන් ප‍්‍රාන්තයේ ව්‍යාපාර සහායකයෙකු වශයෙනි. අනාගතයේ දී වේගයෙන් දියුණු විය හැකි සංචාරක අංශය අවස්ථාවක් විය හැකි බව ඔහු විශ්වාස කරන්නට ඇත. එහි සේවය කරන අතරවාරයේ ඉගෙන ගැනීම නතර නොකරන ලද තරුණ චෙන් ෆොන්ග් නෙදර්ලන්තයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් කළමණාකරනය සම්බන්ධ ශාස්ත‍්‍රපති උපාධිය ලබා ගත්තේය.

හයිනෑන් පලාතේ අලූතින් කරන්නට පුලූවන් දේ ගැන උනන්දුවෙන් සිටි චෙන් ෆොන්ග් ප‍්‍රාදේශීය ගුවන් සේවාවක් වෙනුවෙන් සැලසුම් සකස් කරයි. ඒ වන විට පලාත් ආණ්ඩුව අසමත්ව සිටි එකී ව්‍යාපෘතිය තමන් භාරයට ගත් හෙතෙම එහි ආරම්භක ප‍්‍රාග්ධනයෙන් සියයට හැත්තෑ පහක් ආයතනික ආයෝජකයන් විසි හතර දෙනෙකුගෙන් එකතු කරගත්තේය. සියයට විස්සක් කාර්ය මණ්ඩලයට දී ඉතිරි සියයට පහ හයිනෑන් ප‍්‍රාන්තයට පවරා චීනයේ පළමු ඒකාබද්ධ ගුවන් ප‍්‍රවාහන ව්‍යාපාරය ආරම්භ කළේය. 1997 ආසියානු මූල්‍ය අර්බුදය හමුවේ එය අසාර්ථක එකක් බවට පත් වූ නමුත් එයින් අධෛර්යට පත් නොවූ හෙතෙම අලූත් ධනය යොදවා එච්.එන්.ඒ. යනුවෙන් යළි ගොඩනගයි. වසර කිහිපයකට පසු චීන රජය ප‍්‍රාදේශීය ගුවන් සමාගම් ඇතිකරන්නට පියවර ගන්නා අවස්ථාවේදී චෙන් ෆොන්ග් සිය ව්‍යාපාරය නැවත ප‍්‍රතිව්‍යුහ ගතකර ශක්තිමත් කරන අතර එය විශාල පරිවර්තනයක මුල් පියවර වශයෙන් සදහන් කළ හැකිය. වසර හයක් ඇතුලත තවත් සමාගමක් පිහිටුවා ගුවන් යානා සියයක අයිතිය ඇති සැලකිය යුතු ව්‍යාපාරයක මටට්මට ගෙන එන්නට සමත් වූයේ චෙන් ගේ දක්ෂතාවයයි. බාල කාලයේ සිට ඔහු හීන දැක්කේ අහසේ සැරි සරන ගුවන් යානා සමගය. ඇඟිලි ගැන්නේ ඒවායේ තීන්ත සුවඳ විඳින්නටය. අන්තිමේ දී සාර්ථකත්වය කරා කැඳවූයේ ද එයමය.

චෙන් ෆොන්ග් ගේ දර්ශනය බුදු දහම හා සම්බන්ධ එකකි. බොදුනුවෙකු වන හෙතෙම බොදු ප‍්‍රතිපදාව හා චීන සම්ප‍්‍රදායික ගුණංග සිය ව්‍යාපාරයට බද්ධ කරයි. අලූතින් එකතුවන කාර්ය මණ්ඩලයට හෝ වෙනත් ව්‍යාපාරික සමාගමකට ඔහු ලැදියාව හා ආදරය ගැන පාඩමක් කියා දෙයි. වටිනාකම් ගැන හිතන්නට අවස්ථාවක් දෙයි. අනුගමනය කරන ප‍්‍රතිපත්තිය අනුව එච්.එන්.ඒ. සමුහ ව්‍යාපාරයේ කිසිවෙකු එයින් ඉවත්කරන්නේ නැත. බටහිර රටවල ක්‍රමය අනුව සමාගම් වල ප‍්‍රශ්න මතුවන විට ආර්ථක දුෂ්කරතා පැන නගින විට සේවකයන් වන්දිගෙවා ඉවත් කරන අතර චෙන් ෆොන්ග් ගේ පිලිවෙත එය නොවේ. ඔහු කරන්නේ සාමූහිකව කි‍්‍රයාකරමින් ආයතනය කෙසේ හෝ ගෙන යා හැකි තත්ත්වයට පත් කිරීමය. එය කාර්ය මණ්ඩලය එකමුතුකරන ප‍්‍රමුඛ බලය බවට පත්ව තිබේ.

එච්.එන්.ඒ. සමාගම ගුවන් සේවා අංශයෙන් ආරම්භ කර භාණ්ඩ මෙහෙයුම්, දේපල, සංචාරක සහ මූල්‍ය සේවා වැනි අංශවලට ව්‍යාප්ත වෙයි. 2014 අවුරුද්දේ දී එච්.එන්.ඒ. සමාගමේ ප‍්‍රධානියා වශයෙන් චෙන් ෆොන්ග් කියා සිටියේ වසර 2020 වන විට ලෝකයේ හොඳම සමාගම් සියය අතරට තමන් පත්වබවය. තවත් වසර දහයකට පසු හොඳම සමාගම් පනහ අතරට පැමිණීම ඔහුගේ ඉලක්කයයි. ලෝකය පුරා ආයෝජනය කරන්නට ඔහු කැමැතිය. චීන මහජන සමූහාණ්ඩුව ද එයට අවස්ථාව සම්පාදපනය කරමින් එච්.එන්.ඒ. දිරි ගන්වයි. කාර්ය මණ්ඩලයේ ශූරත්වය හා ප‍්‍රබල නායකත්වය අනුව එය නොවිය හැකි දෙයක් නොවේ. නැතිනම් දශක දෙකක් ඇතුලත ඇමරිකානු ඩොලර් බිලියන සියය ඉක්මවා වත්කම් එකතුකර ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැත. අද වන විට හතලිස් දහසකට ආසන්න සේවක පිරිසක් සමූහ ව්‍යාපාරයේ සේවය කිරීම ද ඔහුගේ ශක්තිය විදහා දක්වන පැත්තකි.

චීනයේ වත්මන් ජනාධිපති ෂින් ජින්ග් පින් ගේ එක සැපයුමක් එක මාවතක් යන සංකල්පයට එච්.එන්.ඒ. ප‍්‍රධානී චෙන් ෆොන්ග් ඉතාමත් කැමැතිය. පුද්ගලික අංශයේ ව්‍යවසායකයෙකු වශයෙන් දේශපාලන තුරුම්පු මැනැවින් පාවිච්චි කරන්නට සමත් බව පෙන්වන හෙතෙම නියම අවස්ථාවේ දී ආයෝජනය කරන්නට අදි මදි කරන්නේ නැති බව ඔහුගේ ගමන් මග දෙස ආපසු හැරී බලන විට පෙනෙන තත්ත්වයයි.

ව්‍යාපාරික අංශයෙහි දක්වන ලද සමත්කම් හෙයින් රට තුළින් හා ජාත්‍යන්තරයෙන් හිමි වී ඇති සම්මාන ප‍්‍රමාණය සැලකිය යුතු තරම්ය. 1994, 2000 සහ 2003 වසර වල හයිනෑන් පලාතේ හොඳම ව්‍යවසායකයා විය. එයින් පසු 1996 දී ව්‍යවසායකත්ව අංශයෙන් ජාතික මටට්මේ ජයග‍්‍රහණය හා 1997 දී චීන ඇමරිකානු මිත‍්‍රත්ව ව්‍යවසායකත්ව ආයතනය ඔහු අන්තර් ජාතික තලයට ඔසවා සම්මානයක් පිරිනමයි. ලැබුණ සම්මාන ප‍්‍රමාණය සිය ගණනක ලේඛනයක් නමුත් බෙල්ජියමය ඔහුට පිරිනමන ලද ආයෝජනයන් අතර සුපිරි තත්ත්වය ගැන සම්මානය ඒ අතරින් සුවිශේෂීය. හයිනෑන් පලාතේ කොමියුනිස්ට් පක්ෂයේ නිලතල වලට ද පත්ව ඇති හෙතෙම චීනයේ ව්‍යවසායකත්ව කවුන්සලයේ විධායක උප සභාපතිධුරය හොබවමින් තමන් පැමිණි ගමන් මගේ අත්දැකීම් අලූත් පරම්පරාවට බෙදා දෙමින් සිටී. එයට අමතරව විශ්ව විද්‍යාල ගණනාවක දේශන පවත්වමින් අධ්‍යාපන කටයුතු වලට ද සම්බන්ධ වී ඇත.

හිල්ටන් හෝටල් සමූහයේ කොටස් වල සිට ලෝකයේ විශාලතම බොරතෙල් ගබඩා සංකීර්ණයන්හි කොටස් දක්වා තමන්ට වැදගත් යැයි හැගෙන සියළු අංශ වල ආයෝජනය කරන්නට චෙන් ෆොන්ග් පැකිලෙන්නේ නැත. විශේෂයෙන් ගුවන් සමාගම් වල ආයෝජනය කරන්නට ලැදියාවක් දක්වයි. ඒ වෙනුවෙන් ඔහුට හොඳ ව්‍යවසායකත්ව ඉවක් ඇති බව නොරහසකි. අප‍්‍රිකානු රටවල හා ආසියාවේ වෙනත් රටවල අඩු ආදායම් ලබන ජන කොටස් වෙනුවෙන් කරන ත්‍යාගශීලී ව්‍යාපෘති වල දී ද එච්.එන්.ඒ. සමාගම ප‍්‍රමුඛ සත්කාරක සේවවාක් කර තිබේ. ඇමරිකාවෙන් හා බි‍්‍රතාන්‍යයෙන් ඒ වෙනුවෙන් පැසසුම් ලබා ඇත. ස්වකීය ආයතන පාලනයේ දී බෞද්ධ ප‍්‍රතිපදාව හා චීන සංස්කෘතියේ හොඳ ගුණාංග අනුගමනය කරන බවට ජාත්‍යන්තරයෙන් පැසසුම් ලබන හෙතෙම ලොව පුරා සහන සේවා වලට අත දිග හැර වියදම් කිරීමෙන් ද යහපත් මනුෂ්‍යයෙකු බව සනාථ කරයි. ඔහු වැඩිපුර තමන්ගැන කතාකරන්නට කැමැත්තක් නැත. පවුලේ විස්තර හුවා දක්වන්නේ අඩුවෙන්ය. කතාකරන්නේ අනාගත ඉලක්ක ගැන වන අතර පැමිණි ගමන් මග ගැන ආස්වාදයෙන්ය. ව්‍යාපාරයක් ආරම්භ කරන්නට නොපැකිලෙන ව්‍යවසායකයන් දස දහස් ගණනක් අතරින් චෙන් ෆොන්ග් කැපී පෙනෙන්නේ අසාර්ථකත්වය මැදින් සාර්ථකත්වයට මෙහෙයවන්නට දක්වන සමත්කම බව සදහන් කළ යුතුය.