» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/11/2015 - දේශය
සාමයට කැපවූ කර්මාන්ත නගර

රටක සංහිදියාවක් ඇති කරන්නේ කොහොමද? එහෙම ප‍්‍රශ්නයකට එක උත්තරයක් නැත. සංහිදියාව ඇති කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවකට ද? නීති පනවා ජන කොටස් අතර බැඳීම් ඇති කරන්න ආණ්ඩුවලට හැකියාවක් නැත. වෙනස් මත ඇතත්, අසල්වැසියන් වශයෙන් සාමයෙන් සහ මනා සංහිදියාවකින් යුතු සාර්ථක ජීවිත ගත කරන්නට අලූත් සංකල්පයක් ආරම්භ කරන්නේ ව්‍යාපාරිකයෙකු වන ස්ටෙෆාන් වර්ත්හයිමර් ය. ඔහුගේ වෑයම ජගත් ප‍්‍රජාවගේ සියුම් අවධානයට ලක්ව ඇත. එය අලූත් කර්මාන්ත කලාප ඇතිකරන අදහසකි. එම කලාප පැති දෙකක් ගත් දෙකොට්ඨාශයක් එකට වැඩ කරන්නට සලස්වන එකකි. තමන්ගේ ධනය යොදා සාමකාමී ජන සමාජයක් හදන්නට තැත් කරන ව්‍යායාමයකි. ස්ටෙෆාන්ගේ එම අදහස සාර්ථක එකක් බවට පත්ව ඇත්තේ ඊශ‍්‍රායල් අරාබි නගරයක් වන නාසරත් හි දීය. දැන් පෙනෙන ආකාරයට 'කොපමණ හොඳ දෙයක් දැයි ' ලෝකයේ නොයෙක් තැනින් කතා කරන්නට පටන්ගෙන තිබේ.

එක පුද්ගලයෙකු ගේ සුළු යැයි කියන්නට බැරි ප‍්‍රයත්නයකින් මහා යැයි පෙන්වන්නට හැකියාවක් සහිත අලූත් පරිවර්තනයක් වෙනුවෙන් මග පාදා තිබේ. ජනතා අභිලාශයන් බලවත් ආකාරයේ වෙනස්කම් ඇති කරන්නට මුල පුරන්නේ එහෙමය.

ස්ටෙෆාන් වර්ත්හයිමර් ඊශ‍්‍රායලයේ ජීවත්වන අසූ හය හැවිරිදි ව්‍යාපාරිකයෙකි. තරුණ වියේ දී ලෝහ නිෂ්පාදන කම්හලක් අරඹන හෙතෙම පසුව එය වෙනත් ක්ෂේත‍්‍ර වලට පුලූල් කරයි. එරට හොඳින් දන්නා ඉතා ඉසුරුමත් පුද්ගලයෙකු වශයෙන් නමක් දිනා ගනී. ඔහු යටතේ ඇති ව්‍යාපාර ගණනාවකි. පසු කාලයක තමන්ට අයත් ලෝහ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ලෝක ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වන වොරන් බෆට් හට විකුණන්නේ පවුම් බිලියන 1.3 කටය. එය සෑහෙන ධනයකි. මෙම ව්‍යාපාරික ගනුදෙනුව පුවත් සිරස්තල නිර්මාණය කළ ගනුදෙනුවක් වන අතර ඊශ‍්‍රායලයේ දේපොලක් ඇමරිකානු ධන කුවේරයෙකු වන වොරන් බෆට් මිලදී ගැනිම විශේෂ සිද්ධියකි. එයටත් වඩා කීර්තියක් ගනුදෙනුවට ලැබෙන්නේ එයින් පසුවය.

සාමය නැති පසුබිමක කර්මාන්තයක සාර්ථකත්වය පවතින්න බැරි බව විශ්වාසයක් හිත තුළ ඇති ස්ටෙෆාන් වර්ත්හයිමර් අලූත් ධනය යොදවන්නේ හිතන්න බැරි පැත්තකටය. එනම් ඊශ‍්‍රායලයේ නාසරත් නගරයේ දී අලූතින් ඇති කරන කර්මාන්ත පුරයක් වෙනුවෙන්ය. මෙම කර්මාන්ත පුරය අරාබි ඊශ‍්‍රායල ගැටුම තුරන් කර සමාදානය තහවුරු කරන එකක් බවට පත් කිරීම සඳහා බව ස්ටෙෆාන් කියා තිබේ. අරාබි ඊශ‍්‍රායල් ගැටුම් ඇති වෙන්නේ දහ නව වැනි සියවසේදීය. යුද්ධයක් දක්වා විහිදී අවුරුදු සිය ගණනක් පැවැති එහි ගිණි පුපුරු සහ මතවාද තවමත් පාර්ශව අතර ඇවිලෙමින් තිබේ. මෙම ඇවිලෙන අවස්ථා තුරන් කර සමාජ අතර සංහිදියාව ඇති කරන්නට දෙපිරිසටම එකට වැඩ කරන්නට හැකි කර්මාන්ත පුරයක් ආරම්භ කරන්නේ මෙම ආයෝජනයෙන්ය.

සාමය ඇතිකරන ක‍්‍රියාවලියක් ආරම්භ කරන්නට තමන් තීරණය කළේ අවුරුදු විස්සකට කලින් බව සඳහන් කරන ස්ටෙෆාන් වර්ත්හයිමර් එය අප අසල්වසියන් වන සියලූදෙනාට උදවු කරමින් සාර්ථකත්වයට ගමන් කරන්නට හේතු විය යුතු බව සඳහන් කරන්නේය. දේශපාලන අන්තවාදීන්ගේ බලපෑම් මගහරිමින් සාර්ථක සහ සමෘද්ධිමත් ව්‍යවසායකත්වයක් ඇති කරන්නට මෙම කර්මාන්ත පුර සංකල්පය හේතු විය යුතු බව ද හෙතෙම ජාත්‍යන්තර මාධ්‍ය වලට කියා තිබේ. අසල්වැසියන් අතර සමගිය සහ සුසංයෝගය ඇති කරන්නය ආර්ථිකය ඉවහල් වූ ආකාරය ගැන ඉතිහාසය විසින් පාඩම් කියා දුන් බව කියන හෙතෙම නැගෙනහිර සහ බටහිර ජර්මනිය එකතු වී සාමය අත්පත් කරගත්තේ නැගෙනහිර ජර්මනියේ සාර්ථකත්වයට ඉඩ දීමෙන් බව සඳහන් කර තිබේ.

දර්ශනයක් වශයෙන් ජනතාව අතර සම්බන්ධතා ඇතිකරන අදහස ඇතිව බලවත් බෙදිම් පවතින පලස්තීනය පාලනය කරන ප‍්‍රදේශවල කර්මාන්ත කලාප ඇති කරන්නට ස්ටෙෆාන් තැත් කරමින් සිටී. ජෝර්දානයේ සහ ඊජිප්තුවේ තෝරාගත් ප‍්‍රදේශ වල එය කරන්නට අදහස් කළේය. කෙටි කාලයක් නොවේ. අවුරුදු දහයක් ඒ වෙනුවෙන් වෙහෙසුනේය. අරාබි ඊශ‍්‍රායල් අතරමැදි කලාප වල කර්මාන්ත පුර ඇති කිරීමෙන් දෙපිරිසට මිශ‍්‍ර වී එකිනෙකා සමග සම්බන්ධ වෙන්නට ඉඩ ඇතිකරන්නට සූදානම් වූ නමුත් දේශපාලන අංශ එයට අවහිර කර තිබේ. නාසරත් ප‍්‍රදේශයට තෝරා ගන්නේ ඉනික්බිතිවය. හීබෲ සහ අරාබි ජාතිකයන් දහසක් දෙනා දැන් එහි එකට වැඩ කරන අතර බඳවා ගන්නට හැකි උපරිම කණ්ඩායමක් සම්පූර්ණයෙන්ම පාහේ අුයුක්ත කරගත් මෙම කර්මාන්ත කලාපය පූර්ණ කාර්යක්ෂමතාවයෙන් යුතුව පවතින බව මේ වන විට අනාවරණය වෙයි.

ඊශ‍්‍රායල හිටපු ජනාධිපති ශෙමොන් පෙරෙස් මෙම වෑයම අගය කර තිබේ. තත්ත්වයෙන් ඉහළ කර්මාන්ත සහ ඉතාම ඉහළ අවස්ථා ඇති කරන ලද මෙම කාර්යය සියලූ ජන කොටස්වලට එක සමාන ඉඩක් නිර්මාණය කිරීම බලවත් සේ අගය කර ඇති අතර එය තමන් ලැබූ හොඳම අගය කිරීම වශයෙන් ස්ටෙෆාන් වර්ත්හයිමර් සලකයි. නාසරත් නගරයට අමතරව ඊශ‍්‍රායලයේ තවත් නගර හයක සහ තුර්කියේ තවත් තැනක මේ ආකාරයේ කර්මාන්ත පුර ඇති කරන්නට ඔහුගේ ධනය යොදවා ඇති බව සදහන් වෙයි. ඒවා ලාභ උපයන කර්මාන්ත ශාලා පවත්වාගෙන යන ප‍්‍රදේශ වශයෙන් නොවේ.

හිත ඇති මිනිස්සු ආණ්ඩු වලට කරන්නට බැරි දේ කරන්නට පටන්ගෙන තිබේ. ලෝකය පවතින්නේ ඔවුන්ගේ වෑයම අනුවය. ජන තාන්ත‍්‍රිකත්වයක් ගොඩනගන්නේ මෙවැනි උත්සාහයන් හෙයින්ය. දෙකට තුනට බෙදී ගැටුම් මත බේධ මැද ජීවත්වෙන ජනතාව වෙත පැමිණ අවදානමක් ගන්නට තීරණය කරන්නේ කවුද? ගැටුමක් මැදට පැමිණ එකතු වී වැඩ කරන්නට කැමැති අය වෙනුවෙන් කම්හල් හදා ඒවා පාඩු පිට හෝ පවත්වාගෙන යන්නට මහන්සිවෙන්නට හිතන ධනවතා කෙබඳු කෙනෙක්ද? තමන්ගේ ප‍්‍රාග්ධනය සමූහ කර්මාන්ත ක‍්‍රමයක් වෙනුවෙන් යොදවා සමාජය එකතු කරන්නට උත්සාහ කිරීම අගය කළ යුතු මිනුම් දණ්ඩ කුමක්ද? මෙම ආයෝජන දකින ජාත්‍යන්තර ප‍්‍රජාව නගන ප‍්‍රශ්න අතර මේවා ඉහලින්ම තිබේ. එවැනි විමසීම් එන තරමට ස්ටෙෆාන් වර්ත්හයිමර් ඉතාමත් කැමැතිය. සැහැල්ලූවෙන් උත්තර දෙන්නට සූදානම්ය.

ස්ටෙෆාන් මෙම ජන සාමකාමිත්වය නොඑසේනම් ජන කොටස් අතර සංහිදියා ව්‍යාපෘති වෙනුවෙන් පවුම් මිලියන දහ හතරක් වෙන්කර තිබූ බව පසුගිය වසර වෙන විට වාර්තා වී තිබුණි. එය සරල කාරණයක් නොවේ. බලවත් කැමැත්තෙන් ලෝකයේ යහපතට කළ මෙහෙවරකි.

ශ‍්‍රී ලංකාවේ ද, ගැටුම් තිබුණේය. එම ගැටුම් දශක තුනක් ඇදී යන විට සමාජය තුළ බෙදීම් වෙන්වීම් පැහැදිලිව පෙනෙන්නට පටන් ගත්තේය. මෙම වෙන්වීම් අවසන් කර එකතු වෙන ලෙස දැන් යෝජනා කරමින් සිටී. සංහිදියාව වැදගත් බව සඳහන් වෙයි. දෙගොඩ සිට දෙපැත්තකට සංහිදියාව ගැන කියන අතර ජනතාව අතරට ගොස් ධනය යොදවා අලූත් දෙයක් කරන්නට තැත් කිරීම අවශ්‍ය මොහොතක ස්ටෙෆාන් වර්ත්හයිමර් අපට පණිවුඩයක් නිකුත් කරයි. දෙමල ප‍්‍රදේශයක සිංහල ආයෝජනයකින්, සිංහල දෙමල මුස්ලිම් සියලූ දෙනාට එකට වැඩ කරන්නට හැකි ආයෝජන රටට ඉතාම වැඩදායකය. එවැනි දේ වෙනුවෙන් පෙනී සිටින්නේ කොතැනින්ද? ව්‍යාපාරික සංසද මෙම ප‍්‍රයත්නය අතට ගත යුතුය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.