» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/10/2017 - දේශය
ඔස්ටි‍්‍රයාව බිහිකළ ලෝකයේ ළා බාලම නායකයා

ඔස්ටි‍්‍රයානු මහ මැතිවරණය ගැන මෑත කාලයේ ජාත්‍යන්තර ප‍්‍රජාවේ අවධානය යොමු වී තිබිණි. දැන් එහි ප‍්‍රතිඵලය ගැන සාකච්ඡා කරමින් සිටී. නොබෝදා නිකත් වූ එහි ප‍්‍රතිඵල අනුව එරට මහජන පක්ෂය කැපී පෙනෙන ජනතා කැමැත්තක් දිනාගෙන තිබේ. පක්ෂ නායකයා වන තරුණ සෙබස්තියන් කර්ස් එරට සන්ධාන පක්ෂ සම්බන්ධ කරගෙන ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි සැලකේ. අගමැති ධුරයට සමාන එරට ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධානියා වන චාන්සලර් ධුරයට පත්වනු ඇති කර්ස් ලොව ලා බාලතම නායකයා වනු ඇතැයි ප‍්‍රකාශ වී තිබේ.

ඔස්ටි‍්‍රයාව මිලියන නමයකට ආසන්න ජනගහනයක් ජීවත්වන උතුරු යුරෝපීය රටකි. පැරණි රෝමානු අධිරාජ්‍යයට ද සම්බන්ධය. 1920 දී පෙඩරල් රාජ්‍යයක් බවට පත් ඔස්ටි‍්‍රයාව එරට ජනතා ඡන්දයෙන් සෘජුව පත්වන ජනාධිපති ධුරයකින් සහ පස් අවුරුද්දකට වතාවක් පවත්වන මහ මැතිවරණයකින් බලයට එන ආණ්ඩුවකින් රට පාලනය කරගෙන යයි. මැතිවරණ ප‍්‍රතිඵලය සලකා බලා චාන්සල්වරයා පත්කරන්නේ ජනාධිපතිවරයාය.

සෙබස්තියන් කර්ස් විදේශ ඇමැති වශයෙන් කටයුතු කළ ආණ්ඩුව පසුගිය මැතිවරණ කාලය තෙක් බලයේ සිටියේය. නමුත් මැතිවරණයට කලින් මහජන පක්ෂයේ නායකයා ධුරයෙන් ඉවත්විය. සෙබස්තියන් පක්ෂයේ නව නායකත්වයට පත් වන්නේ එයින් අනතුරුවය. ඔහු ගේ නායකත්වය යටතේ මුහුණ දුන් පළමු මැතිවරණය මෙයයි. සෙබස්තියන් පක්ෂ නායකත්වය ගන්නේ මහජන පක්ෂය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සමග එකතු වී පවත්වා ගෙන ගිය සභාග පාලන ක‍්‍රමය පරාජය කරන්නට තද ආකල්ප සහිත එරට නිදහස් පක්ෂය සියුම් අභියෝග එල්ල කරමින් සිටි පසුබිමකය. නිදහස් පක්ෂය ජනතා ආකර්ශනය ලැබෙන්නට හේතු වූයේ ලෝකයේ නොයෙක් රටවල සිට සංක‍්‍රමණය වන පිරිසට විරුද්ධව ඇති කරන මතවාදයයි. එයට තැන ලැබෙන විට සෙබස්තියන් කර්ස් වහා නිදහස් පක්ෂයේ මතවාදයට සමාන එනම් සංක‍්‍රමණික විජාතිකයන්ට එරෙහිව තද මතවාදයක් ආරම්භ කළේය. එය බලවත් සාර්ථක දේශපාලන හඩක් බවට පත්වූ බව මෙවර මැතිවරණයෙන් ජයගත් සෙබස්තියන් ගේ ප‍්‍රතිඵලය පෙන්වයි.

පවුලේ එකම දරුවා වශයෙන් උපත ලැබූ කර්ස් මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසු එරට නීතිය අනුව අනිවාර්ය ස්වේච්ඡා යුද සේවයේ නිරතව සිටියේය. එය සම්පූර්ණ කිරීමෙන් පසු නීති අධ්‍යාපනය ලැබීමට තීරණය කළේය. වියනා විශ්ව විද්‍යාලයේ අවසාන නීති උපාධිය වෙනවෙන් පෙනී නොසිටි හෙතෙම හත් වසරක් එය උදෙසා මහන්සි වූ බව සඳහන්ය. පසුව එය අත් හැරදමන සෙබස්තියන් දේශපාලන ක්ෂේත‍්‍රයට අවතීර්ණ වෙන්නේ එයින් අනතුරුවය.

දේශපාලන ගමන ආරම්භයේ සිටම හෙතෙම සුබ මං සලකුණු පෙන්වීය. පක්ෂයේ තරුණ ලීගයේ සභාපති ධුරයට පත්වෙන්නේ වැඩි ඡුන්දයෙන්ය. 2009 වසරේ දී තරුණ ලීගයේ සභාපති වන හෙතෙම එයින් වසරකට පසු වියනා නාගරික ප‍්‍රදේශයේ මහජන නියෝජිතයෙකු වශයෙන් තේරී පත්වෙයි. වසර දෙකක කාලය තුළ හෙතෙම සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක‍්‍රියා කරන ලද අතර විශ‍්‍රාමික ජනතාව ගැන විශේෂයෙන් සොයා බලන ලද බව වාර්තා වෙයි. ඔස්ටි‍්‍රයා රජය ස්වදේශික අමාත්‍යංශය යටතේ අලූතින් ඇතිකරනු ලැබූ සමාජ ඒකාග‍්‍රතා ලේකම්වරයා වශයෙන් පත්වීම ලැබීය. 2011 මැයි සිට 2013 මහ මැතිවරණය දක්වා එහි වගකීම ඉසිලූ හෙතෙම මහජන පක්ෂ අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙයි. ජයග‍්‍රාහීව ගමන අවසන් කරන හෙතෙම ඡන්ද වැඩිම ප‍්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා බවට පත්වූ බව ද සඳහන්ය.

පළමු මැතිවරණයෙන් ජයගත් කර්ස් කෙටි කාලයක් ඇතුලත එරට කැබිනට් මණ්ඩලයේ විදේශ අමාත්‍ය ධුරයට පත් වූ අතර එය එවකට ලෝකයේ ලාබාලතම පුද්ගලයෙකු විදේශ අමාත්‍ය ධුරයේ කටයුතු කරන ලද අවස්ථාව වශයෙන් දැක්වෙයි. ලෝකයේ පරිනත රාජ්‍යතාන්ත‍්‍රිකයන් සමග කටයුතු කරමින් වෙනස්වන ජාත්‍යන්තර සම්බන්ධතා හමුවේ ඉතා දක්ෂ කාර්ය භාරයක් ඉටු කරන්නට සමත් වූ හෙතෙම ජාත්‍යන්තරය තුළ ඉතාම අන්තවාදී අදහස් පැතිරෙන වකවානුවක ඉවසිල්ලෙන් ක‍්‍රියා කරන්නට සමත් වූ තරුණ නායකයෙකු වශයෙන් පිලිගැනීමට ලක්විය.

විදේශ අමාත්‍යවරයා වශයෙන් පළමු සංචාරය සඳහා ක්‍රොඒෂියාවට ගිය මෙම තරුණ නායකයා යුරෝපා සංවිධානයේ තැන වෙනුවෙන් ක්‍රොඒෂියාවට උපකාර කිරීම විශේෂ සිද්ධියකි. ඉරානය හා වියනා අතර පරමානු බල ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් මෙහෙයවු කර්ස් මෙම සංවාද වල දී ජාත්‍යන්තරය තුළ ඔස්ටි‍්‍රයානු රජයේ ආකල්පය හා මතවාදය තහවුරු කරන්නට සමත් විය. යුක්රේනියාවේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා වෙහෙයවූ හෙතෙම යුරෝපා කලාපයට සංක‍්‍රමණික තර්ජන බහුලව එල්ල වූ අවස්ථාවේ දී වඩාත් ප‍්‍රායෝගික විසªමක් යෝජනා කරන ලද බව සටහන්ව තිබේ. සංක‍්‍රමණිකයන්ගේ පදනම, අධ්‍යාපන තත්ත්වය, වෘත්තීය දක්ෂතා සහ යුරෝපා කලාපයේ පවතින රුකියා අවස්ථා සලකා සීමා සහිතව සංක‍්‍රමණිකයන්ට ඉඩ දෙන වාතාවරණයක් එයින් ඇති කරන ලදී.

සෙබස්තියන් කර්ස් 2015 වසරේ දී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එමින් ඉස්ලාම් ආගමික නැගිටීම් වලකයි. මුස්ලිම් පල්ලි වලට රටින් බැහැර මාර්ග වලින් මුදල් ලැබෙන මාර්ග තහනම් කරන ලද අතර ආගමික නායකයන්ට පිටරටවල් වලින් ගෙවීම් නතර කළේය. කුරානයේ එන ඉගැන්වීම් සම්බන්ධයෙන් අලූත් අර්ථකතන දෙන අන්දමට කුරානය භාවිතා කිරීම අවහිර කළේය. අන්තවාදී මුස්ලිම් ක‍්‍රියාමාර්ග වලට ඉඩ නොදෙන ලද නමුත් හලාල් ආහාර වැනි පිලිගත් අනන්‍යතා වලට සම්පූර්ණ පහසුකම් සම්පාදනය කරන්නට හෙතෙම පියවර ගත්තේය. හලාල් ආහාර වෙනුවෙන් සහතික නිකුත් කිරීමට බාධා නොකරන ලද අතර මුස්ලිම් ජාතිකයනට ආරක්ෂක හමුදා ඒකක තුළ ආගම ඇදහීම සඳහා ඇති සම්පූර්ණ අයිතිය ආරක්ෂා කළේය. පරිබාහිර බලවේග වලින් රට තුළ ඇති අනන්‍යතා පලූදු වෙන්නට ඉඩ නොදුන් අතර ආගමික නිදහස ආරක්ෂා කරන බව සමාජයේ පිලිගැනීම බවට පත්විය. කැරළිකාර අන්තවාදී මුස්ලිම් ප‍්‍රභවයන්ට පාර වසන නමුත් සාමාන්‍ය මුස්ලිම් ජාතිකයන්ට පහසුව සලසන ලද එයින් සෙබස්තියන් කර්ස් ගේ ප‍්‍රතිපත්ති වලට ගරු කරන පසුබිම ශක්තිමත් විය.

2017 වසර කර්ස් ගේ ජීවිතයේ සන්ධිස්ථානයකි. මැයි මාසයේ දී එවකට මහජන පක්ෂයේ නායකයාව පක්ෂ නායකත්වයෙන් අස් වී අලූත් පරපුරට අවස්ථාව දුන් අතර කර්ස් නායකත්වයට පත්වන්නේ එම තීරණයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. පසු කාලයක පක්ෂ යාන්ත‍්‍රණය ඔහුගේ පත්වීම අනුමත කරන ලද බව දැක්වේ. සාමාජිකත්වයෙන් සියයට අනූ අටක් ඔහුගේ පැමිණීම ගැන එකඟතාවය පළ කළේය. පක්ෂයේ වගකීම් අතට ගත් හෙතෙම එතෙක් පැවැති ව්‍යුහය වෙනස් කර නායකත්වයට තිබිය යුතු බලතල අතට ගත් අතර මැතිවරණයකදී අපේක්ෂකයන් තෝරා ගැනීමේ සිට ඡුන්දයට පසු ආණ්ඩුවේ ඇමැතිවරුන් පත් කිරීමේ බලය දක්වා වූ බව අනාවරණය වෙයි.

කර්ස් තද දක්ෂිණාංශික අදහස් ඇති පුද්ගලයෙකු සේ සැලකෙයි. රට තුළ හා ජාත්‍යන්තරව ඉතා ඉක්මනින් නායකත්ව ප‍්‍රතිරූපයක් ගොඩ නගාගන්නට ඔහු සමත්විය. ලෝකයේ පැතිරෙන තද ආකල්ප අනුව නායකයන් කෙරෙහි වැසියන් තුළ දක්වන ආශක්ත බව වෙනස් වෙමින් තිබේ. මෑත කාලය තුළ ලෝකයේ සෑම රටකම පාහේ ජාතිකවාදී තත්ත්ව උද්ගත වූ අතර ඔස්ටි‍්‍රයාවේ දී ද මතු වූයේ එයට වෙනස් තත්ත්වයක් යැයි සඳහන් කරන්නට හැකියාවක් නැත. අලූත් පාලකයෙකු අලූත් අදහස් ඇත්තෙකු වශයෙන් මෙම ලා බාල නායකයා ගේ හැසිරීම කෙබදු වියහැකි දැයි ජගත් ප‍්‍රජාව බලා සිටී. යුරෝපා රටවල් අතර ඔස්ටි‍්‍රයාවේ බලය පෙන්වන්නට හැකි වන ආකාරයේ තීන්දු ගැනීමට ඔහු සමත්වනු ඇති දැයි කියන්නට තවමත් හැකියාවක් නැත. නමුත් තරුණ නායකයෙකු සේ ගොඩනැගෙන්නට කලින් ජනතාව ඔහු වෙත අවස්ථාව සම්පාදනය කර දී තිබේ.