» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/07/2018 - දේශය
කලූ ජාතික සුපිරි ධනවතා අලිකෝ ඩන්ගොටේ

අලිකෝ ඩන්ගොටේ කලූ ජාතික සුපිරි ධනවතෙකි. දුර දකින බලවත් ආයෝජකයෙකි. පොහොසත් පවුලක දරුවෙකු වශයෙන් හැදී වැඩුණු හෙතෙම තව තවත් ව්‍යාපාර මෙහෙයවා ප‍්‍රබල සමාගම් ගණනාවක ප‍්‍රධානියා වශයෙන් පෙනී සිටියි. වසර තුනකට කලින් හෙතෙම ‘‘ක්ලින්ටන් ග්ලෝබල් සිටිසන්’’ සම්මානය දිනා ගත්තේය. ෆෝබ්ස් සඟරාව ඔහු අප‍්‍රිකාවේ විශිෂ්ඨයා වශයෙන් සම්මානයට පාත‍්‍ර කරන්නේ 2014 වසරේ දී ය. එයට අවුරුද්දකට කලින් අලිකෝ වෙත නයිජීරියානු රජය විසින් ඔහුට සම්මාන පුරවැසි භාවය පිරිනමන අතර අද වන විට හෙතෙම නයිජීරියාවේ ඉදිකරන අති විශාල බොර තෙල් පිරිපහදු ව්‍යාපෘතිය හෙයින් අන්තර් ජාතික අවධානයට ලක් ව තිබේ. එම තෙල් පිරිපහදුව වෙනුවෙන් ආයෝජනය කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන දොලහකි. එපමණ විශාල ධනයක් ආයෝජනය කරන හෙයින් අලිකෝ ඩන්ගොටේ පවා එය පිස්සු වැඩක් වශයෙන් හදුන්වන්නේ තරමක ආඩම්බරයක් ද සහිතව බව පෙනේ.

මෙම තෙල් පිරිපහදුව 2019 දී ක‍්‍රියාත්මක වන විට නයිජීරියාව අප‍්‍රිකානු රටවල් අතරින් පිරිපහදු ඛනිජ තෙල් නිෂ්පාදන විශාල වශයෙන්ම අපනයනය කරන රාජ්‍යය බවට පත් වනු ඇත. මෙහි පිරිසිදු කරන තෙල් ප‍්‍රමාණය ලෝක නිෂ්පාදනයෙන් සියයට එකක් වනු ඇතැයි සැලකේ. මිලියන 190 ක් වන නයිජීරියාවේ මුළු ජනගහනයටම අවශ්‍ය ප්ලාස්ටික් සහ මෙටි‍්‍රක් මිලියන තුනකට වැඩි පොහොර ප‍්‍රමාණයක් මෙහි දී නිපදවේ. එම පොහොර ප‍්‍රමාණය නයිජීරියාවේ කෘෂි අවශ්‍යතා ඉක්මවා යනු ඇත. වාසිදායක පැත්ත ඒවා නමුත් මෙම තෙල් පිරිපහදුව ඉදිකරන අලිකෝ ගේ සමාගමට එම ව්‍යාපෘතියට අමතරව නයිජීරියාවේ යටිතල පහසුකම් දියුණු කරන්නට ද සිදුවී තිබේ. මෙම පිරිපහදුවට අවශ්‍ය දැවැන්ත මෙවලම් ප‍්‍රවාහනය කරන්නට වරායක් නැත. ඔහු ඒ වෙනුවෙන් අලූත් වරායක් ඉදි කරයි. තට්ටු තිහක් තරම් උස යන්ත‍්‍ර ගෙන එන්නට පාරවල් නැත. ඔහු ඒ වෙනුවෙන් පාරවල් අලූතින් තනයි. වරායක්, පාරවල් තනන අලිකෝ ගේ බොරතෙල් පිරිපහදුවට අවශ්‍ය දේ ප‍්‍රවාහනයට ලොකු ට‍්‍රක් රථ නයිජීරියාවේ නැත. චීන සමාගමක් සමග එකතු වූ හෙතෙම ඒ වෙනුවෙන් අලූතින් ට‍්‍රක් රථ නිපදවීම ඇරඹීය. එහෙම නමුත් ව්‍යාපෘතියට බාධක කෙළවරක් නැත. කර්මාන්ත ගෑස් ප‍්‍රමාණවත් නොවන තත්ත්වයක් උදා විය. හෙතෙම ඒ වෙනුවෙන් අලූතින් කර්මාන්ත ශාලාවක් පිහිටුවා ගෑස් නිපදවීම ආරම්භ කළේය. විදුලි හිඟ තත්ත්වයක් මතු වූ විට අලූත් බලාගාරයක් තනන ලද අතර එහි ධාරිතාවය මුළු නයිජීරියාවේ විදුලිය උත්පාදනයෙන් සියයට දහයක් පමණ වන විශාල එකක් වීම විශේෂත්වයකි.

ධනවත් මුස්ලිම් පවුලක දහවැනි දරුවා වශයෙන් 1957 වසරේ දී උපත ලැබූ අලිකෝ ඩන්ගොටේ පාසල් කාලයේ සිටම ව්‍යාවසාය අදහස් ඇතිව සිටි බව සඳහන්ය. මුදල් ගෙවා රසකැවිලි පැකැට් මිල දී ගන්නා හෙතෙම ඒවා සිල්ලරට විකුණා ආස්වාදයක් ලබා තිබේ. කානෝ පලාතේ ෂෙයික් අල් කුම්සි පාසලේ අධ්‍යාපනය ලැබූ හෙතෙම පසුව කයිරෝ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කලමණාකරන උපාධිය ලබාගත්තේය. 1977 වසරේ දී ඩන්ගොටේ සමූහ ව්‍යාපාරය ආරම්භ කර ඇත. පාරිභෝගික ද්‍රව්‍ය අලෙවියෙන් ආරම්භ කරන ලද ව්‍යාපාරය පසුව ආහාර නිපදවීම, සිමෙන්ති නිපදවීම, තිරිඟු පිටි නිෂ්පාදනය සීනි කර්මාන්තය හා රස කැවිලි අංශයට ද ව්‍යාප්ත කළේය. වරාය ආශ‍්‍රිත නොසලකා හැර තිබුණ ඉඩමක මහා පරිමාන පිටි නිපදවීමේ කම්හලක් අරඹන ලද ඩන්ගොටේ ව්‍යාපාර ප‍්‍රවාහන අංශයට ද අවතීර්ණ විය. කපු, කොකෝවා සහ තවත් ද්‍රව්‍ය රටින් අපනයනය කර විනිමය ඉපැයීමට ද, සම්බන්ධ වූ අතර විවිධ ආයෝජන අවස්ථා පුරා විහි දී ගිය ඔහුගේ සමූහ ව්‍යාපාරය රට තුළ අයෝජනය කිරීම කෙරෙහි නැඹුරු වන ස්වභාවයක් පෙන්වීය. ‘‘මම සියළු ධනය ආයෝජනය කරන්නේ නයිජීරියාව වෙනුවෙන් අපි එකතුවෙලා නයිජීරියාව ගොඩනගමු’’ අලිකෝ සිය දර්ශනය වශයෙන් ජනතාව හමුවේ ඉදිරිපත් කර තිබේ.

නයිජීරියාව විශාල ජනගනයක් ඇති රටකි. අප‍්‍රිකානු මහද්වීපයේ බටහිර පැත්තට මායිම් වී පවතින අතර බි‍්‍රතාන්‍යයට යටත්ව තිබුණි. හැට ගණන් වල නිදහස ලැබුණ නමුත් සෑහෙන කාලයක් අභ්‍යන්තර කැරලි සහිත විය. වසර අටකට කලින් සාධාරණ මැතිවරණයක් පවත්වන ලද අතර නයිජීරියානු ෆෙඩරල් සමූහාණ්ඩුවේ වැසියෝ අතරින් සියයට තිහක් කෘෂිකර්මාන්තයේ නිරතය. ඛනිජ තෙල් නිෂ්පාදන එරට බලවත්ම සම්පත වී තිබේ. ලෝකයේ තෙල් සම්පත් ඇති ලැයිස්තුවේ දොලොස් වැනි තැන සිටින නයිජීරියාව තෙල් අපනයන ආදායම ඉපැයීම අතින් අටවැනි තැන සිටින බව වාර්තා දක්වයි.

සාර්ථකව ව්‍යාපාර මෙහෙයවා විශාල ධනයක් ඉපැයූ අලිකෝ අතීතය අමතක කරන්නේ නැත. මවගේ පාර්ශවයෙන් ඔහුගේ සීයා ව්‍යාපාර කටයුතු වල නිත වූවෙකු විය. ඔහුට ආභාෂය ලැබුණේ එතැනින්ය. අලිකෝ අට හැවිරිදි වියේ දී ඔහුගේ පියා ජීවිතක්ෂයට පත් විය. සහෝදර සහෝදරියන් සමග සීයාගේ නැඹුරුවට නතු වූ අතර අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ව්‍යාපාර ආරම්භ කරනු සඳහා වැදගත් සන්ධිස්ථානයක් වූයේ අපනයන බලපත‍්‍රය ලබා ගැනීමට සමත් වීම බව අනාවරණය වෙයි.

බොරතෙල් බහුලව ඇති රටක ලෝකයේ විශාලතම පිරිපහදු සංකීර්ණය ස්ථාපිත කර මෙතෙක් අපනයනය කරන ලද ව්‍යුහය වෙනස් කිරීමට තීරණය කිරීම විශාල අභියෝගයකි. බොරතෙල් මිල දී ගන්නා අතරමැදියන් ගේ නොසතුටට හේතුවකි. නමුත් තමන්ගේ රටේ නයිජීරියානුවෙකු තනිව ආයෝජනය කරන අති විශාල ධනයකින් බොර තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉදිකිරීම රට වැසියන්ගේ අමන්දානන්දයට හේතු වී තිබේ. දස දහස් සංඛ්‍යාත පිරිසකට එයින් අලූතින් රක්ෂා සම්පාදනය කර ඇති අතර රටට ශුද්ධ විනිමය ආදායම තර කරන මාර්ගයක් වී තිබේ. අලිකෝ ඩන්ගොටේ ගේ අධිශ්ඨානය සාර්ථක කරගනු සඳහා ජාත්‍යන්තර වානිජ බැංකු පැකිලීමකින් තොරව ණය අනුමත කර තිබේ.

‘‘නයිජීරියාවට උවමනා කරන්නේ මොනවාද ඒ හැම දෙයක්ම දේශීයව නිපදවන්නට සූදානම්’’ යැයි අලිකෝ අභිමානයෙන් කියයි. රටට අවශ්‍ය එලවලූ තෙල් වලින් සෑහෙන ප‍්‍රමාණයක් සහ කිරි වලින් සියයට අනූ අටක් පමණ ආනයනය කිරීම ගැන කනස්සල්ල පළ කරන හෙතෙම ප‍්‍රතිපත්ති සම්පාදකයන් මේවා ගැන අවධානය යොමු කළහොත් සිය දර්ශනය අනුව රට තුළ සියළු දේ සම්පාදනය කළ හැකි බව දක්වා තිබේ. අලිකෝ ඩන්ගොටේ දේශපාලනයට ප‍්‍රවේශවීමේ අදහසක් නැති බව අනාවරණය වෙයි. නමුත් ඔහු වැනි ජවාධික දර්ශනයක් සහිත නායකයෙකු නයිජීරියාව ඉල්ලා සිටින බව ඔහු ගැන දක්වන විචාරකයෝ පෙන්වා දී තිබේ.