» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/05/2016 - දේශය
ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ තුරුම්පු

නායකත්ව ගුණාංග කෙබඳුද යන්න රාමුවක තබා වෙන් කර පෙන්විය නොහැකිය. ලක්ෂණ ගොනුකර අංක වශයෙන් සඳහන් කිරීමට හැකියාවක් නැත. නමුත් පර්යේෂකයෝ දක්වන ආකාරයට නායකත්ව ගුණාංග තිබේ. මෘදු Soft Power නායකයෝ සිටිති. ඔවුන්ට තම හැකියාව මත පෞර්ෂය අනුව තමුන්ගේ ගමන් මග හා දර්ශනය ජනතාවට ඒත්තු ගන්වන්නට සමත්ය. දෙවනුව දැඩි Hard Power ඇර නායකයන් ද සිටිති. ඔවුන් දක්‍ෂ ලෙස රාජ්‍ය පාලනය කරන්නේ දඩුවම හෝ ප‍්‍රතිලාභ පෙන්වමින් සිය අනුගාමිකයන් තෘප්තිමත් කරමිනි. අවස්ථාවෝචිත ලෙස හැසිරෙන නායකත්වයක් ද ඇත. මෙම නායකයාගේ හැකියාව තැනට සුදුසු ලෙස හැසිරීමයි. මෙම Contextual Leaders සමත්කම් දක්වන්නේ අවශ්‍යතාවය ඉටු කිරීමේ වගකීම දරන්නටය. අද වන විට ලෝක ප‍්‍රජාව අධ්‍යයනය කරමින් සිටින කාරණයක් තිබේ. ඇමරිකානු ජනාධිපති පදවිය අපේක්ෂා කරන ඩොනල්ඞ් ට‍්‍රම්ප් කෙබඳු නායකයෙකු ද යන්නය.

හිරෝෂිමා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙළන තීරණය පමණක් නොව වියට්නාමය, ඉරාකය වෙත සේනාංක යවන තීරණ ගන්නේ ද ඇමරිකානු නායකත්වයයි. ඉරානයට සම්බාධක පණවන ගන්නේ ද ඇමරිකාවයි. ඇමරිකානු දේශපාලනය ලෝකය තුළ බලවත්ම චරිතය බිහි කරනු ඇත. මේදිනවල පවතින ඇමරිකානු ජනාධිපතිවරණයේ මූලික වටයේ ප‍්‍රධාන චරිතයක් වන ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෘදු නායකයෙක්ද? එහෙම නැතිනම් දැඩි ගුණාංග සහිත පුද්ගලයෙක් ද?

ඔහු හැසිරෙන අන්දම අනුව ලෝකවාසීහු විශ්මිත වී සිටී. ඇමරිකාවේ නායකත්වය දෙන්නේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ අතට ද යන ප‍්‍රශ්නය ඔවුන් විමසමින් සිටියි. තවමත් නිශ්චිතව පැහැදිලි නැති මෙම පසුබිම තුළ ට‍්‍රම්ප් භූමිකාව විශාල අවධානයට ලක්ව ඇති චරිතයකි.

ඩොනලඞ් ට‍්‍රම්ප් මෙක්සිකෝවේ ප‍්‍රශ්න වලට උත්තරයක් හැටියට ඇමරිකාව සහ මෙක්සිකෝව යන දෙරට අතර දේශසීමාවේ දැවැන්ත තාප්පයක් හදන බව කියයි. එය ඇමරිකානුවන් ගේ හිත ඇද බැඳ ගන්නා අදහසකි. හෙතෙම එය කියන්නේ රිපබ්ලිකන් දේශපාලන පක්ෂයෙන් ජනාධිපති තරඟයට නාමයෝජනා ගන්නට හැකිවෙතැයි යන අපේක්ෂාවෙන්ය. ලොකු දෙයක් කරන විට ලොකු චරිතයක් හැටියට නැගී පෙනී යනු ඇතැයි යන විශ්වාසයෙන්ය. නමුත් මෙවැති තාප්පයක් බැඳ රටවල් වෙන් කිරීම පහසු ආයෝජනයක් නොවේ. ඇමරිකානු භාණ්ඩාගාරය එවැනි ව්‍යාපෘතියක බර පටවනු ඇත්තේ ඇමරිකානු පුරවැසියන්ටය. ඇමරිකානුවන් ගැන හිතන ඩොනල්ඞ් ට්‍රම්ප් වහා කියන්නේ මෙම තාප්පය බඳින කාර්යයේ පිරිවැය මෙක්සිකෝවෙන් ඉල්ලා ගන්නා බවය. එය කළ හැකි දෙයක් දැයි ඔහු පැහැදිලිව දක්වන්නේ නැත. නායකයන් ගේ දර්ශනය එබඳු එකක් ද ජාත්‍යන්තර ප‍්‍රජාව කලබලයට පත්ව සිටී. එය දෙගුණ තෙගුණ වෙන්නේ තවත් ප‍්‍රකාශයකින්ය. ඔහු දේශපාපන වේදිකාවේ දී අවදාරණය කරන්නේ දැන් ඉන්නා ජනාධිපති බැරක් ඔබාමා ඇමරිකානු පුරවැසියෙකු නොවන බවය. ඇමරිකානු ව්‍යවස්ථාව අනුව උපතින් ඇමරිකානුවකු නොවන පුරවැසියෙකුට ජනාධිපතිවරයෙකු විය නොහැකිය. බැරක් ඔබාමාගේ දෙවැනි ධුරකාලයක් අවසන් වෙන්නට නියමිතව තිබිය දී මීළඟ ජනාධිපතිවරණ මැතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් තමන්ගේ ගමන ගැන කියන පුද්ගලයා දැනට ඉන්නා ජනාධිපති පුරවැසියෙකු නොවේ යැයි කියන විට එය බරපතල කතාවකි. නමුත් එය ඉතා ආන්දෝලනාත්මක ලෙස ලෝකයපුරා කතාබහට ලක්වෙයි. තව දුරටත් ඔහු කියන්නේ මෙම කතාව තමන් ගෙතූ එකක් නොවන බවය. බැරක් ඔබාමා ඇමරිකානුවෙකු නොවේ යැයි කියා ඇත්තේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය ඉල්ලා එම පක්ෂය තුළ ඉදිරියට පැමිණ සිටින හිලරි ක්ලින්ටන්ය. හිලරි ක්ලින්ටන් තමන්ගේ ප‍්‍රතිවාදියා විය හැකි බව දන්නා ඩොනල්ඞ් ට‍්‍රම්ප් බරපතල කතාවක් පටවන්නේ හිලරිගේ පැත්තටය. නමුත් ඇය ද එවැනි දෙයක් කියා නැත. මෙය දක්ෂ උපායක් ද නැත්නම් හිතට ආ ක්සණික අදහසක් අතේ පැලවෙන එකක් සේ අනාවරණය කිරීමක් ද යන්න පැහැදිලි නැත.

මෙක්සිකෝවේ තාප්පය, ඔබාමා ගේ පුරවැසිකම පමණක් නොව ඉතිහාස ගතවන කතා ගණනාවක් කියන්නට ඩොනල්ඞ් ට‍්‍රම්ප් පසුබට වී නැත. ඉරාකයට වරෙහිව හමුදාව මෙහෙයවන විට තමන් එම තීරණයට විරුද්ධ වූ බව ඔහු තවත් අවස්ථාවක කියා සිටියේය. එවැනි අදහසක් පළ කරන්නේ පුරවැසියන්ගේ බදු ආදායම අති විශාල වශයෙන් වියදම් කර නාස්තිකාර යුද්ධයක් ඉරාකයේ දී කරන ලද බව ඇමරිකානුවන් ගේ අදහස හෙයින්ය. නමුත් මැත කාලය තුළ ඔහුගේ ප‍්‍රසිද්ධ කතා අධ්‍යයනය කරන මාධ්‍ය ඩොනල්ඞ් ට‍්‍රම්ප් කවදාවත් එවැනි අදහස් දැක්වීමක් කර නැති බව සොයා ප‍්‍රසිද්ධ කර තිබේ. එය සුවිශේෂී තත්ත්වයක් නිර්මාණය කර ඇත. ඒ අතරට අලූතින්ම එකතු වී ඇත්තේ තවත් විවාදයකි. එය ජාතිවාදී මුහුණුවරක් ගෙන තිබේ. ඇමරිකාවේ ඉන්නා සියලූම මුස්ලිම් ජාතිකයන්ට බරපතල තීරණයක් ගන්නට සිදුවිය හැකි ආකාරයට ඔවුන් රටින් එලියට දානවා යැයි ඔහු කියා සිටියේ දේශපාලන වේදිකාවේ දීය. එවැනි ප‍්‍රකාශයක් කර වැඩි කාලයක් යන්නට කලින් ලන්ඩන් නගරාධිපති දුරයට පත්වූයේ මුස්ලිම් ජාතිකයෙකි. එය ඔහුටත් අදාල දැයි විමසන විට ඔහුට පමණක් නොව අනෙක් මුස්ලිම් ජාතිකයන් ගැනත් සාධාරණය පෙන්වූ හෙතෙම මේ බව කියාසිටියේ ඉස්ලාම් ත‍්‍රස්තවාදීන්ට බවට නිවැරදි කිරීමක් කරන්නේය.

මාධ්‍ය ආකර්ශනය කරන කට කැඩෙන කතාන්දර කියන්නට හෙතෙම උනන්දු වී ඇති බවක් පෙනේ. මේවා ඇත්ත නොවේ යැයි අවබෝධ කරගන්නට ඇමරිකානු පුරවැසියන් බුද්ධිමත්ය. වොෂින්ටන් පෝස්ට් පුවත්පත මෙහෙම අසත්‍ය කියන තරම මනින්නට නිර්නායකයක් ද සකස් කර තිබේ. එම පුවත්පත පෙන්වා දෙන ආකාරයට ඩොනල්ඞ් ට‍්‍රම්ප් කියන තරමක් ‘අතේ පැලවෙන’ දේ වන අතර ඒවා අවදානයට ගැනීම සුදුසු නැත. නමුත් ඇමරිකානු සමාජය විවෘත එකක් වී තිබේ. සංවර්ධනය මවා පෙන්වා රට සුඛිත මුදිත කරන බව කියා සිටි දේශපාලනඥයන් ගේ තරම ගැන හිතන විට මෙහෙම විහිලූ කරන පමණක් නොව බොරු කරන නායකයෙකු අවංක කෙනෙක් බව ඔවුහු එළිපිට සාකච්ඡා කරන්නට පටන්ගෙන ඇත. එය වාසියක් වී ඇත්තේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ ඡන්ද ව්‍යාපාරයටය. වොෂින්ටන් පෝස්ට් පුවත්පත කොපමණ කරුණු දක්වන නමුත් මහජනයා අන්තිමේ දී ඩොනල්ඞ් තෝරා ගන්නට බැරි නැති තැනට මැතිවරණ ව්‍යාපාරය ගොඩනැගෙමින් තිබේ. එය නූතන දේශපාලනයේ අපූරු සන්ධිස්ථානයක් විය හැකිය. ලෝක බලවතා වශයෙන් සැලකෙන ඇමරිකාවේ නායකත්වයට මේ ආකාරයේ චරිතයක් පත්වුවහොත් ඔහු මෘදු නායකයෙක් ද නොඑසේනම් දැඩි කෙනෙක් ද යන්න හදුනාගත නොහැකි එකක් වනු නිසැකය.

නිව්යෝක් හි ඉපිද මූලික අධ්‍යාපනය ලැබූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් පසුව විශ්ව විද්‍යාල ජීවිතයේ අවුරුදු දෙකක් ගත කර අනතරුව පෙන්සිල්වියාවේ ව්‍යාපාරික අධ්‍යනය උසස් අධ්‍යාපනය ලබන්නේය. ව්‍යාපාරික පවුලකින් පැවත එන හෙතෙමෙ අධ්‍යාපන කටයුතු වලින් පසු සිය පියාගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙයි. එය දේපොල වෙළදාම් එකකි. ව්‍යාපාරික, රූපවාහිනී ක්ෂේත‍්‍රය අභිබවා දේශපාලනයට ප‍්‍රවේශවෙන හෙතෙම සමාජයට කියන්නේ තමන් ඉතා මහන්සියෙන් සුළුවට උපයාගත් මුදලින් කුඩා ව්‍යාපාරයක් පටන්ගෙන එය බලවත් තැනකට ගෙන ආ බවය. දේශපාලන වේදිකාවේ දී ඔහුගේ සමත්කම් දක්වන්නට ඒ ආකාරයට කියන නමුත් නිල ලේඛන පෙන්වන්නේ පියාගෙන් ඉල්ලා ගත් මිලියන ගණනක ධනය ආයෝජනය කර ව්‍යාපාර ආරම්භ කරනලද බවය. ඒ අනුව ඔහු පටන්ගන්නේ බිංදුවෙන් නොවේ. දැන් ඔහු ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක ධනයක් ඇති පුද්ගලයෙකි. ට‍්‍රම්ප් ඕගනයිසේෂන් සහ ට‍්‍රම්ට් එන්ටටේට්මන්ට් යන ආයතන දෙක අයිති හෙතෙම ඒවායේ ධනය විසි කරමින් අලූත් දේශපාලන හයියක් ඇමරිකාවේ ගොඩ නගන්නට උත්සුක වෙමින් සිටී. එයට බලවත් ආධාරකයක් වී ඇත්තේ ඔහු සතු රූපවාහිනී සහ ප‍්‍රචාරක ක්ෂේත‍්‍රයේ අත් දැකීම්ය. ඕනෑම දෙයක් කියා ජනඅවධානය දිනා ගන්නට එහු සූදානම් වෙයි. එය ජන තාන්ත‍්‍රිකත්වය ඇති කරනු ඇතිදැයි කයන්නට තවමත් කල් වැඩි බව පැහැදිලිව කිව යුතුව තිබේ. නමුත් පුද්ගල චරිත විවිධය. හොඳින් බැරිනම් නරකින් ජන මතය නමැති නිල අල්ලන්නට ඔවුන් සූදානම්ය. ඇමරිකාවේ ජනාධිපති යන බලවත් ධුරය ඉල්ලන සුදුසුකම අනුමත කරගන්නා වටය සඳහා රිපබ්ලිකන් පාක්ෂිකයන් අතරට යන හෙතෙම ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වන්නේ කරන ප‍්‍රකාශ අනුවය. ඒ ඔහුට ජන පදනමක් නැති බවක් පෙනෙන්නේ නැත. නැතිනම් මෙවැනි අදහසක් පවා සටහන් නොවෙන බව නිසැකය.