» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/04/2018 - දේශය
ඉතියෝපියානු යොවුන් නායකයා අබී අහමඞ්

ඉතියෝපියාව දකුණු අප‍්‍රිකාවේ දියුණු වෙමින් පවතින රටකි. අප‍්‍රිකානු කලාපයේ වැඩිම ජනගහනය ඇති රටවල් අතර දෙවැනි තැන සිටී. මෙහි ජනයා දුප්පත්ය. දශක එකහමාරකට කලින් මුළු ජනගහනයෙන් හරි අඩක් දරිද්‍රතා මට්ටමේ පසු විය. මෑතක දී එය ජනගහනයෙන් තුනෙන් එකක් දක්වා පහත වැටී ඇති බව සඳහන්ය. නොබෝදා ඉතියෝපියාවේ සන්ධාන පාලනයේ නව අගමැති තෝරා ගැනීමට පැවැති රහස් ඡන්දයේ දී ඔරොමෝ ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධානයේ නායකයා වන ආචාර්ය අබී අහමඞ් වැඩිම කැමැත්තකින් අගමැති තනතුරට පත් විය. හෙතෙම එරට ප‍්‍රධාන ජන වර්ගයක් නියෝජනය කරන අතර අප‍්‍රිකානු මහාද්වීපයේ ලාබාලතම ජන නායකයාවීම විශේෂත්වයකි.

ඔරොමෝ ජනවර්ගයේ භාෂා විලාසය අනුව අහීමාඞ් යනුවෙන් ද කියැවෙන අබී අහමඞ් 1976 දී උපත ලබා තිබේ. පක්ෂ හතරකින් සැදුම්ලත් පාලක සන්ධානයක් ඉතියෝපියාව පාලනය කරයි. ඔරොමෝ පක්ෂය ද එම මණ්ඩලය නියෝජනය කරන අතර අබී අහමඞ් එම සන්ධානයේ ද සභාපති වශයෙන් කටයුතු කරයි. අගමැතිධුරයට තෝරා ගත්තේ සන්ධානයේ සාමාජිකයන් අතර පැවැති රහස් ඡන්දයෙන් බව සඳහන් කිරීම අවශ්‍යය.

ඉතියෝපියාවේ අනාගතය අබී අහමඞ් වෙත භාර වී ඇති බව දැනගත් වහා එරට ජනී ජනයා සතුටට පත්ව තිබේ. එයට හේතුව පසුගිය වසර තුනක කාලය තුළ පැවැති දේශපාලන අස්ථාවර භාවයයි. මාධ්‍ය හා සිවිල් බලකාය විරුද්ධ දේශපාලන පක්ෂ සමග එකතු වී ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන සේ බල කරන ව්‍යාපාරයක් පසුගිය කාලයේ දී ගෙන ගියේය. මෙම අරගල හෙයින් මාධ්‍යවේදීන් විසි නමයක් ඇතුළුව විශ්ව විද්‍යාල බුද්ධිමතුන් සෑහෙන පිරිසක් අත් අඩංගුවට පත්ව සිටියේය. එම අස්ථාවර කාලය අවසන් කරන සියුම් අවස්ථාවක් ලෙස හිටපු අගමැතිවරයාගේ හදිසි ඉල්ලා අස්වීම සනිටුහන් වූ අතර අගමැති ඉල්ලා අස්වීම වාර්තා වූ වහා ගැටුම් ඇතිවීම වලක්වනු සදහා පියවර ගෙන තිබේ. ප‍්‍රතිසංස්කරණවාදියෙකු සේ සැලකෙන අබී අහමඞ් ගේ පාලන ව්‍යුහයට ඉඩ දෙනු සඳහා වහාම හදිසි නීතිය ඉවත්කර රට සාමාන්‍ය තත්ත්වයට පත් කරන සේ බල කරන ව්‍යාපාරයක් ඇරඹී තිබේ. නමුත් පසුගිය සතිය වන තෙක් වෙනසක් වූයේ නැත. එම කාලය තුළ දේශපාලන ගැටුම් හෙයින් හය දෙනෙකු පමණ මියගොස් සිටි අතර දහස් ගණනක් අත් අඩංගුවට පත්ව තිබුණි. බලයට පත් වූ වහා විපක්ෂ දේශපාලන පක්ෂ සමග සංවාදයක් අරඹන ලද අබී අහමඞ් වහාම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම තහවුරුකර රට ඉදිරියට ගෙන යන උපාය මාර්ග යෝජනා කර තිබේ. හමුදා පසුබිමක් සහිත සහ සමාජ ආර්ථික කාරණා සම්බන්ධ මනා දැනුමක් ඇති නායකයෙකු වශයෙන් නිසි පරිවර්තනයකට මග පාදා ගනු ඇතැයි ඉතියෝපියානු ජනතාව බලාපොරොත්තු දල්වාගෙන සිටිති. ඉකුත් කාලය තුළ විවිධ අභ්‍යන්තර ගැටුම් පැවැති අතර ඒවා සංසිදුවන පුලූල් බලවේගයක් බවට අබී අහමඞ් පත්වනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවා විශ්වාසය පළ කර තිබේ. මැත කාලය තුළ ඉතියෝපියාව කිසියම් දියුණුවක් ලබා ඇති බව පැහැදිලි නමුත් එය ස්ථාවර සහ අඛණ්ඩ වර්ධනයකට පත් කරගැනීම සියළු පාර්ශව වල අභිලාශය වී තිබේ. දේශපාලන ස්ථාවර භාවය එහි ලා වැදගත්ය. තරුණ අබී අහමඞ් ගේ නායකත්වය එහිලා ශක්තිමත් බලපෑමක් කරනු ඇති බව දැක්වෙයි.

අබී අහමඞ් ඉතියෝපියාවේ බිෂාෂා ගම්මානයේ කුඩා පාසලක මූලික අධ්‍යාපනය ලැබූ අතර බාල වියේ දී ඉගෙන ගැනීමට මහත් උනන්දුවක් දක්වා තිබේ. ද්වීතියික අධ්‍යාපනයට අනතුරුව එරට හමුදාවට බැදුන හෙතෙම එහි සන්නිවේදන හා බුද්ධි අංශ වල සේවය කළේය. රුවන්ඩා හි එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකාය නියෝජනය කිරීමට ද අවස්ථාව ලැබී ඇති බව දැක්වෙයි. 1998 -2000 කාලයේ දී එරිත‍්‍රියාව සමග දේශ සීමා සම්බන්ධ ගැටුම් පැවැති වකවානුවේ දී එරිත‍්‍රියානු හමුදා ස්ථානගත කිරීම ගැන ගවේශනය කළ බුද්ධි කණ්ඩායම මෙහෙයවූයේ අබී අහමඞ් බව සඳහන්ය. හෙතෙම හමුදා සේවයට පසු අඩිස්අබාබා හි මයික්‍රොලින්ක් තොරතුරු තාක්ෂණ විද්‍යාලයෙන් පරිගණක ඉංජිනේරු උපාධිය හිමිකර ගෙන ඇත. දකුණු අප‍්‍රිකානු විශ්ව විද්‍යාලයේ දී පශ්චාත් උපාධිය දිනූ අබී අහමඞ් 2011 දී ලන්ඩන් හි ගී‍්‍රන්විච් විශ්ව විද්‍යාලය ඉතියෝපියාවේ අඩිස්අබාබා නගරයේ ජාත්‍යන්තර නායකත්ව ආයතනය හා එකතු වී පවත්වන ලද උපාධියක් ද සමත් ව තිබේ. එයින් වසර දෙකකට පසු ව්‍යාපාර කළමණාකාරීත්වය සම්බන්ධ ශාස්ත‍්‍රපති උපාධිය ද සම්පූර්ණ කළේය. අන්තර් ආගමික ගැටුම් නිරාකරණය උදෙසා සම්ප‍්‍රදායික ඉතියෝපියානු ක‍්‍රියාමාර්ග විග‍්‍රහ කරමින් කරන ලද පර්යේෂණය උදෙසා අබී අහමඞ් ආචාර්ය උපාධිය ලබා ගැනීමට සමත් විය.

ඉතියෝපියාවේ තොරතුරු ජාලගත ආරක්ෂක ඒජන්සිය පිහිටුවීමේ දී නියමු කාර්ය භාරයක් ඉටු කළ අබී අහමඞ් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක හා පසුව අධ්‍යක්ෂ ධුර හෙබැවීය. මෙම කාලසීමාවේ දී ඉතියෝපියානු දුරකථන සමාගම, රුපවාහිනි විකාශය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක සභා අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කළ අතර ඒ වන විට හමුදාවේ ලූතිනන් කර්නල්වරයෙකු වූ හෙතෙම ඒවා අත්හැර සිවිල් රාජකාරි වලට එකතුවීමට තීරණය කළේ 2010 වසරේ දී බව දැක්වෙයි. එම වසරේ දී ම දේශපාලනයට එකතු වූ හෙතෙම මාස දොලහක් යන්නටත් කලින් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට සමත් වූ අතර විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරයට ද පත් වී තිබේ. අඩිස්අබාබා ඇතුළු ප‍්‍රදේශ ගණනාවක අයුතු බලපෑම් මැද ඉඩම් අත්පත් කරගැනීමට බලවත් කණ්ඩායම් ගෙන යන දූෂිත වැඩ පිලිවෙල අබී අහමඞ් ගේ විරෝධයට බදුන් විය. ඉඩම් කොල්ලය නතර කරන්නට හෙතෙම තරුණ පිරිස සමග එකතු වී වැඩ පිලිවෙලක් ඇරඹීය. ඉතියෝපියාවේ ඔරොමියා ප‍්‍රදේශයේ උප පාලකයා වශයෙන්පත් වූ අබී අහමඞ් ප‍්‍රසේශයේ ආර්ථික සංවර්ධනයේ නියමුවා විය. දේපොල සංවර්ධනය හා ආයෝජන ප‍්‍රතිපත්ති සකස්කිරීමේ දී පෙරමුණ ගත්තේය. තරුණ සංවර්ධන වැඩ සටහන් වල දී ක‍්‍රියාශීලී ජවයකින් ක‍්‍රියා කළේය. 2017 කාලයේ දී අවතැන් වූ මිලියන ගණනක පිරිසක ගේ ජන ජීවිතය නගා සිටුවීම ඔහු ගේ රාජකාරි අතර කැපී පෙනෙන තැනක් ගත්තේය.

දශක දෙකකට වැඩි කාලයක් ඉතියෝපියාවේ දේශපාලන හා වෙනත් සන්ධාන අතර පැවැති අසමගිය දුරුකරන්නට නව අගමැතිවරයා සමත්වනු ඇති බවට විශ්වාසය පළ වී තිබේ. පළමු නිල දේශනයේ දී අසල්වැසි එරිත‍්‍රියාව සමග පවතින ආරවුල් තුරන් කිරීම ගැන පමණක් නොව රට තුළ සියළු පාර්ශව එකතු කරගෙන නව ගමනක් ඇරඹීම ගැන කරන ලද සඳහන වැඩි දෙනෙකුගේ ප‍්‍රසාදයට ලක්ව ඇත. ඉතියෝපියානු හමුදා සේවයේ නිරතව සිටිය දී දැන හදුනාගත් සිනෑෂ් සමග විවාහ වූ හෙතෙම දියණියන් තිදෙනෙකු ගේ පියෙකි. ඉතියෝපියානු ජනතාව අලූත් බලාපොරොත්තු වලින් සිත් පුරවා ගෙන සිටිති. දේශපාලන අසමගිය දුරු කර අලූත් යුගයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.