» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/01/2017 - දේශය
ගෙදර නොයායුතු ජෝ බයිඩන්

බැරක් ඔබාමා ඇමරිකානු ජනාධිපති ධුර කාලය අවසන්ව නොබෝදා ධවල මන්දිරයෙන් නික්ම ගියේය. ඔහුගේ උප ජනාධිපති වශයෙන් සේවය කළ ජෝ බයිඩන් කැඳවා ඔහුට ඇමරිකානු රජයේ උසස්ම සම්මානය පිරිනැමීම සංවේදී ප‍්‍රවෘත්තියක් සේ ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේය. 2008 වසරේ සිට ඔබාමා ගේ ගමනට ශක්තියක් වූ ජෝ බයිඩන් නිල රාජකාරි ස්වභාවය ලෝකවාසීන් අතර පැතිරුණ එකක් නොවේ. නමුත් ඔහුගේ අභ්‍යන්තරය අනාවරණය වන අවස්ථාවල දී, ජෝයි බයිඞ්න් තමන් කොපමණ අපූරු මනුෂ්‍යයෙක් ද යන්න තහවුරු කළේය.

හරියටම අවුරුද්දකට කලින් ජෝ, සී.එන්.එන්. පුවත් සේවය සමග සාකච්ඡාවක් කළේය. ඔහුගේ පුත‍්‍රයා මොලයේ හටගත් පිළිකාවක් හෙයින් දීර්ඝ කාලයක් ප‍්‍රතිකාර ගත් අතර පසුව ජීවිතක්ෂයට පත්විය. මෙම රෝහල් ගාස්තු ඇතුළු වියදම් උප ජනාධිපතිවරයාට කොපමණ ප‍්‍රශ්නයක් වී ද යත් ඔහු තම පුද්ගලික නිවස විකුණන තීරණයක් ගත්තේය. ඇමරිකාවේ උප ජනාධිපතිවරයා තමන්ගේ දරුවාගේ රෝහල් පිරිවැය දරා ගැනීමට නොහැකිව දේපොළ විකුණන්නට යාම ලෝකයේ වෙනත් රටක දේශපාලනඥයන් ගේ දුෂණ කතාන්දර හමුවේ ඉතාමත් විරල සිද්ධියකි. එයින් අඟවන්නේ බලය හා ධනය හමුවේ ඔහු ක‍්‍රියා කරන ලද අන්දම බව ඉතාමත් පැහැදිලිය. මෙම සිද්ධිය දැනගත් ජනාධිපති බැරක් ඔබාමා තම උප ජනාධිපතිවරයා කැඳවා බලවත් පෙරැත්තකින් පසු නිවස විකුණන්නේ නැති බවට පොරොන්දුවක් ගත් බව සී.එන්.එන්. සාකච්ඡාවේ දී ජෝ කියා සිටියේ හැගීම්බරවය.

රාජකාරි හා පුද්ගලික ජීවිතය අතර සම්බන්ධය වෙනම තබාගෙන කි‍්‍රයාකිරීම පහසු නැත. විශේෂයෙන් ජනතා නායකයින්ට ගැටළුවකි. නමුත් ජෝ බයිඩන් එය අපහසු නැති බව පෙන්වන ලද විරල පුද්ගලයෙකි. ඩෙලවෙයාර් ප‍්‍රාන්තයේ හිටපු සෙනෙට් නියෝජිතයා වූ හෙතෙම ප‍්‍රාන්තය වෙනුවෙන් වැඩිම කාලයක් සෙනෙට් සභාවට පත්ව සිටියේය. ධුරයෙහි ක‍්‍රියා කරන විට විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානයෙන් සිටි අතර ඇමරිකාවේ අපරාධ මර්දනයට ගත හැකි පියවර වෙනුවෙන් පෙනී සිටියේය.

පෙන්සිල්වේනියාවේ උතුරේ පිහිටි කුඩා නගරයක උපත ලැබූ ජෝ බයිඩන් පාසල් අධ්‍යාපනයේ අතර මැද දෙමාපියන් ගේ තීරණය මත මේෆීල්ඞ් ප‍්‍රාන්තයට පදිංචිය වෙනස් කළේය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර නීති උපාධිය ලැබූ හෙතෙම විශ්ව විද්‍යාලයේ දී පාපන්දු ක‍්‍රිඩාවට සහ දේශපාලන වැඩසටහන් වලට ඇල්මක් දැක්වීය. ඩිමොක‍්‍රටික් පක්ෂයේ සාමාජිකත්වය ගත් හෙතෙම තමන්ගේම නීති කාර්යාලයක් පවත්වා ගෙන යන අතර නිව් කාස්ටල් කවුන්සලයට තේරී පත්ව දේශපාලනයේ මුල් පියවර තැබීය. වයස විසි නමයක් සම්පූර්ණ වන විට තිදරු පියෙකු වූ ක්ෂය ජෝ බයිඩන් සෙනෙට් ධුරයට තරඟ කළ යුතු යැයි තෝරා ගත්තේය. පළපුරුදු රිපබ්ලිකන් අපේක්ෂකයා පරදවා ජය අත් කරගත්තේය. දරු තිදෙනා සහ බිරිඳ ගමන්ගත් වාහනය අනතුරකට ලක් වීමෙන් බිරිඳ හා දියණිය ජීවිතක්ෂයට පත් වූ අතර පුතුන් දෙදනා තුවාල ලබා දිවි ගලවා ගත්තේ මෙම කාලයේ දීමය. සෙනෙට් සභිකයෙකු සේ දිවුරුම් දෙන්නට වොෂින්ටන් ගියේ නැති ජෝ පුතා ප‍්‍රතිකාර ලබමින් සිටි රෝහල් වාට්ටුවේ දී දිවුරුම දුන් අතර ඉතා ශෝකයෙන් සිටි හෙතෙම ජනතාවට සේවය කිරීම වඩා වැදගත් යැයි අවධානයට යොමු කර, තව තවත් මහජන සේවාවට සමීප විය. සෙනෙට් රැුස්වීම් වලට වොෂින්ටන් බලා දුමිරියෙන් ගමන් කරන ජෝ එය නිමවා නැවත ගමට එන්නේ තමන් නියෝජනය කරන ජන කොටස දෙස දයාර්දවය. පවුලේ සාමාජිකයන් ගේ වියෝව හේතුවක් කරගෙන ඔහුට පදිංචිය සඳහා වොෂින්ටන් නගරය පහසුවෙන් තෝරා ගත හැකි වූ නමුත් එසේ කළේ නැත.

සෙනෙට් සභාවේ දී ඔහු තේරා ගත්තේ විදේශ සම්බන්ධතා විෂයයයි. ප‍්‍රතිපත්ති අනුව වැඩකිරීමෙන් ජාත්‍යන්තර මිතුරන් රැසක් ඇති කරගන්නට සමත් විය. සෝවියට් සම්බන්ධතා හා නෙටෝ ව සමග ඇමරිකාව ක‍්‍රියා කළ යුතු ආකාරය ගැන ඔහුට ස්ථාවරයක් තිබුණි. 1973 සිට 2009 දක්වා සෑහෙන වතාවක් හෙතෙම සෙනෙට් මණ්ඩලයේ විදේශ සම්බන්ධතා කමිටුවේ සභාපති ධුරය හෙබැවීය. ගල්ෆ් යුද්ධය පමණක් නොව ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා ඉරාක යුද්ධය සම්බන්ධයෙන් හැසිරුණ ආකාරය ද ජෝ බයිඩන් ගේ විවේචනයට හේතු වූ බව සඳහන්ය. විදේශ ප‍්‍රතිපත්ති ගැන පමණක් නොව රට තුළ සිදුවන අපරාධ මඬිනු සඳහා ද හෙතෙම පුළුල් දායකත්වයක් දැක්වීය. පණත් වෙනස් කර පොලිස් නිලධාරීන් වැඩිපුර බඳවාගෙන දැඩි දඬුවම් ලැබෙන සේ නීති සකස් කරනු වෙනුවෙන් පෙනී සිටියේය.

1987 අවුරුද්දේ දී ජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක සටනට අවතීරණ විය. ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය දිනා ගන්නා සියුම් සටනට අවතීර්ණ වී සිටින විට එය අතරතුර රෝහල්ගත වූ ඔහු ජීවිතය ගලවා ගත්තේ සැත්කම් ගණනාවකට පසුවය. මාස හතකට පසු සෙනෙට් රැස්වීම් වලට යන විට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ළඟා කරගත නොහැකි බව තේරුම් ගත්තේය. එයින් අවුරුදු විස්සකට පසු බැරක් ඔබාමාට එරෙහිව ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ජෝ බයිඩන් සියුම් තරඟයකට අවතීර්ණ විය. ක‍්‍රමයෙන් ප‍්‍රචාරක යාන්ත‍්‍රණය ඉහළට පැතිර ගිය අතර පක්ෂය තුළ ඉතාම සුළු පරතරයක් ඇතිව ඉදිරියට යන්නට සමත් වූයේ ඔබාමා ය. ඩිමොක‍්‍රටික් අපේක්ෂකයා වශයෙන් ඔබාමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඇමරිකාවේ ප‍්‍රාන්ත ගණනාවක ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූයේ ජෝ බයිඩන්ය. තමන්ට නොලැබුණ අපේක්ෂකත්වය දිනාගත් ඔබාමා තරගයෙන් ජය අත්කරගත යුතු බව තරයේ විශ්වාස කරන ලද ජෝ එහි අවසානය දක්වා කරගෙන ගිය නොනවතින කැපවීම අවසානයේ බැරක් ඔබාමාගේ විශ්වාසවන්තම ගමන් සගයා වූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඔබාමා සිය උප ජනාධිපතිවරයා සේ තෝරා ගත්තේ ජෝ බයිඩන් ය. ධුරයෙන් සමුගන්නා අවස්ථාවේ දී ඉහළම පුරවැසි සම්මානය පිරිනමා වැළඳගත් ඔබාමා සිය දේශණයේ දී ජෝ ගේ නෙතට කදුළක් නංවනලද අතර පිරිස ඉදිරියේ හැඳින්වූයේ තම වැඩිමහල් සොයොයුරා වශයෙන්ය.

ඇමරිකානු පාලනයේ දී උප ජනාධිපතිවරයාගේ භූමිකාව ඉතාමත් වැදගත් එකක් වන අතර බාරධුර තීන්දු ගැනීමේ දී අවධානය යොමු කරන අන්දම බෙහෙවින් ප‍්‍රයෝජනයත්ය. ඇමරිකාවේ ගිනි අවි සංස්කෘතිය සම්බන්ධව පැන නැගුණ ප‍්‍රශ්න, ආයුධ සන්නද්ධ පුද්ගලයන් හදිසියේ කඩා වැදී කරන ඝාතන වල සිට ලෝක බලවතා වශයෙන් ජාත්‍යන්තර අතපෙවීම් දක්වා සාවධාන ප‍්‍රවේශයක පිහිටීම ජෝ බයිඩන් තුළ තිබුණ පරිචය බව දැක්වෙයි.

ජෝ සිය කාර්යාල ජීවිතය අතිශය කාර්ය බහුල සාර්ථක එකක් නමුත් පුද්ගලික ජීවිතයේ දී දරුණු කම්පන වලට ලක් වූ අයෙකි. විශ්ව විද්‍යාලයේ සිට බැදුණ පේ‍්‍රමයකින් විවාහ වූ බිරිඳ සහ දියණිය රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම පමණක් නොව පිලිකාවකින් මිය ගිය පුතු හමුවේ ද අතිශය ශෝකයෙකින් විසීය. දෙවන විවාහයෙන් දියණියක ලැබූ නමුත් නොබෝදා සී.එන්.එන්. පුවත් සේවය සමග කරන ලද සාකච්ඡාවේ දී එයට මුහුණ දුන් අන්දම හෙළිදරව් කළේය. එය ලෝකයේ දෙවැනි බලවතාගේ එනම් ඔබාමාට පමණක් දෙවැනි චරිතයක අභ්‍යන්තරය හෙළිදරව් කරන්නකි. ඇති පදම් ධනය හම්බකරන්නට හැකි නමුත් හෙතෙම හතලිස් හැවිරිදි විවාහක පුතු මරණාසන්නව සිටිය දී කල්පනා කළේ දරුවා වියෝවෙන් පසු අසරණ වන ඒ අයගේ දරු පවුල ගැනය. තම නිවස විකුණා ධනය දරුවාගේ රෝහල් වියදම හා පවුලේ අවශ්‍යතා වෙනුවෙන් යොදවන්නට සූදානම් වන විට එය පවුලේ සමීප ඥාතීන් හැරෙන්නට ඇමරිකාවේ කිසිවෙකු දැන සිටියේ නැත. පුතා රෝහල් ගතව ප‍්‍රතිකාර ගැනීම රටේ ප‍්‍රශ්නයක් නොවන බව සිතා සිටි ඔහුට පිහිට වූයේ ඔබාමා ගේ මුදල් උපකාරයයි. එය අනාවරණය කරන ජෝ එම පුවත් නාලිකාවේ දී කියා සිටියේ මම මේ බව කියා ඇති බව දැනගත් විට මම මෝඩකමට කතා කරන ලද බව ජනාධිපතිවරයා කියනු ඇති බවය.

ධනය සහ බලය ඇති මහජන නියෝජිතයන් හැසිරෙන, තීරණගන්නා අන්දම දකින විට ලෝකයේ බලවත්ම රට වන ඇමරිකාවේ පළමු පුරවැසියා හා ඔහුගේ දෙවැනියා ගේ හැසිරීම කොපමණ ආදර්ශවත් දැයි විමසා බැලීම වටී. ලෝකයේ තැන නොතැන නොබලා අධිකාරී බලය පාවිච්චි කරන ලද බව ඇත්ත නමුත් පුද්ගලික ජීවිතයේ දී තීරණ ගන්නේ සරල පුද්ගල චරිතයක් වශයෙන්ය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.