» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/10/2018 - දේශය
ලෝකයේ හොදම කුස්සි අම්මා - ඇනා රෝසා

රස ගුණ ඇති ආහාර වේලක් ගැන ප‍්‍රජාවට සිහිනයක් තිබේ. ලෝකයේ සෑම රසවතෙකුම නොයෙක් ආහාර අත්හදා බලන්නට කැමැතිය. ඇනා රෝසා තමන්ගේ පවුලේ ව්‍යාපාරයේ මුළුතැන්ගෙයි කාර්ය භාරගෙන තිබේ. එය ඇය ලෝකයේ හොඳම සූපවේදිනියගේ තත්ත්වයට පත්කර ඇත. ඇයගේ ඉවුම් පිහුම් පදනම් කරගෙන කළ ශ්‍රේණිගත කිරීමේ දී, ලෝකයේ හොඳම අවන්හල් පනහ අතර එකක් වී ඇත. ආත්ම විශ්වාසයෙන් යුතුව අලූත් ගමනක් පැමිණි ඇනා රෝසා සිය පාරම්පරික ආහාර පාන වලට ජාත්‍යන්තර ප‍්‍රජාව අතර ඉල්ලූමක් ඇති කර තිබේ.

දෙමාපියන් ගේ සිහිනය වූයේ හොඳ ඉගෙනුමක් ඇති දියණියකය. රෝසා ගේ පියා වෛද්‍යවරයෙකි. මව ජනමාධ්‍යවේදිනියක සේ ක‍්‍රියා කළාය. නමුත් රෝසා හිම මත ඇවිදීමේ ක‍්‍රිඩාවට කැමැති වූවාය. යුගෝස්ලාවියානු ජාතික කණ්ඩායමේ ස්ථිර තැනක් හිමිකරගන්නට සමත් වූ අතර එය ඇයගේ කීර්තිය නංවන්නක් විය. නමුත් වෘත්තීය ක‍්‍රීඩිකාවකවීමේ උවමනාවක නොසිටියාය. ඇනා රෝසා ගේ ජන්ම භූමිය ස්ලෝවේනියාවයි. 1972 වසරේ අන්තිම මාසයේ අවසාන දිනයේ මෙලොව එළිය දුටු ඇය පවුලේ එකම බලාපොරොත්තුව වූවාය. ස්ලෝවේනියාව කාලයක් යුගෝස්ලාවියාවේ කොටසකි. එය ඉතාලියේ ගොරිසියා නගරයට ආසන්නයෙන් පිහිටියේය. ගොරිසියා හි විශ්ව විද්‍යාලවේ උසස් අධ්‍යාපනය ලැබූ ඇය ජාත්‍යන්තර සම්බන්ධතා ගැන උපාධිය හදාරන ලදී. ඇයට භාෂා පහක් හසුරුවන්නට හැකිය. ස්ලෝවේනියා, ස්පාඤ්ඤ, ඉංග‍්‍රීසි, ප‍්‍රංශ හා ඉතාලි යන භාෂාවන්ය. ඉගෙනුම ලබන කාලයේ දී ඉරණම්කාර හවුල්කාරයා මුණ ගැසිණ. එක්තරා දවසක අවන්හලක රාත‍්‍රී ආහාර ගැනීමට ගිය අවස්ථාවේ දීය. වොල්ටර් කමාර් ගේ දෙමාපියෝ අවන්හලක් පවත්වාගෙන ගියේය. අලූත් යුවලගේ අනාගතය දෙස බැලූ දෙමාපියෝ අවන්හල වෝල්ටර් හා ඇනා ගේ භාරකාරීත්වයට පවරා විශ‍්‍රාම ගත්හ. ඇනා රෝසා ගේ ජීවිතයේ දිදුලන ගමන ආරම්භ වූයේ එතැන් සිටය.

වෝල්ටර් ස්ටුවඞ්වරයෙකු වශයෙන් සේවය අරඹන ලද අතර ඇනා රෝසා පසෙකට වී වේටර්වරියක සේ කටයුතු කළාය. අවන්හලට එන අමුත්තන්ගේ රුචිකත්වය ගැන ඇනා උනන්දුවෙන් සිටියාය. නිතර අවශ්‍යතා සොයා බැලූවාය. ප‍්‍රධාන සූපවේදියා පිලියෙල කරදෙන ආහාර පිලිගන්වන අතර ඒවායේ රහ බලන අමුත්තන් කියන අදහස් දක්වා මුළුතැන්ගෙයි සකස්වන ආහාර වර්ග වල යම් යම් වෙනස්කම් කරන්නට උත්සාහ කළාය. කෝකියා රස්සාවෙන් ඉල්ලා අස්වී ගියේ මැදිහත්වීම දරාගත නොහැකි අවස්ථාවකය. අයිතිකාර මහත්තයාගේ අලූතින් විවාහ වූ නෝනා හැම දෙයටම ඇඟිලි ගහනවා යැයි හැඟීමක් ඔහුට දැනේනට ඇත. නිතැතින්ම මුළුතැන්ගෙය රෝසා භාරයට පැවරිණ. ප‍්‍රශ්න ඇති වෙන්නට ඉඩ දුන්නේ නැත. වෙනසක් නොවූ අන්දමට සියල්ල සංවිධානය කළ ඇය ඉවසිල්වන්තව ක‍්‍රියා කළාය. සුපුරුදු ආහාර පාන අතරවාරයේ ඉතාලියේ සහ යුගෝස්ලාවියාවේ සම්ප‍්‍රදායික ආහාර වට්ටෝරු වලට අනුගතවන්නට උත්සාහ කළාය. නොබෝ කාලයකින් නැන්දනියගේ ද සහාය ඇතිව වෘත්තීය නැඹුරුව සාක්ෂාත් කරගත් අතර ඇගේ මිතුරෝ ද ඇයට පැරණි ආහාර වට්ටෝරු සොයා දී තිබේ. 2010 වසරේ දිනක ඇනා ගේ ආහාර පිලියෙල කිරීමේ සමර්ථභාවය ඉතාලියේ සඟරාවක් විශේෂයෙන් හුවා දක්වා ලිපියක් සම්පාදනය කළේය. එය නිතර නොඑන අලූත් අමුත්තන් සෑහෙන ප‍්‍රමාණයක් කැඳවන්නට හේතු වී ඇත. අවන්හල පිහිටා තිබුණු නගරය අවට එනම් ගොරිසියා අවට පිහිටි ප‍්‍රධාන කලාපයක මිලියන සංඛ්‍යාත පිරිසක් අවන්හල ගැන අවධානය යොමු කිරීමයි. එය විශාල අවස්ථාවක් වූවා නිසැකය.

ස්ලෝවේනියානු අවන්හලක අලූත් ආහාර කලාව ගැන තොරතුරු වලට පියාපත් ලැබිණ. ඇනා රෝසා ගේ ප‍්‍රභාව පැතිරෙන අතරවාරයේ කලාපයේ නොයෙක් නගර වල ප‍්‍රධාන පෙලේ අවන්හල් ඇයට ආරාධිත සුපවේදිනියක සේ සේවය කරන්නට ඇරයුම් කරයි. ඇය ඒවා නිහතමානීව පිලිගත්තාය. ප‍්‍රකට ආහාර සංදර්ශන, විශේෂ උත්සව වල දී ඇනා දක්ෂ ලෙස පිලියෙල කරන ආහාර වලට ඉහළ සමාජයේ සෑහෙන අවධානයක් යොමු විය. එය අලූතින් සූපවේදය ආරම්භ කරන ශිල්පිනියකට පහසුවෙන් ළඟාකරගත නොහැකි අවස්ථාවකි. ක‍්‍රීඩිකාවක සේ ජාතික කණ්ඩායමට එකතු වූ නමුත් ඇය එයට කැමැති වූයේ නැත. පසුව රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු ගැන ඉගෙන ගැනීමට ජාත්‍යන්තර සම්බන්ධතා කෙරෙහි නැඹුරු වූ ඇනා රෝසා ගේ දෛවය ඇයට උරුම කළේ ආහාර සකස් කිරීමේ කලාවයි. දෛවය යමක් පිරිනමන ආකාරයක් ද තිබේ. එහි ප‍්‍රතිඵලය 2017 වසරේ දී ලොව හොඳම කාන්තා සූපවේදිනිය වශයෙන් සම්මාන දිනා ගැනීමයි. එය ඉතාමත් උත්කර්ශවත් අවස්ථාවක් බව සඳහන් කරන්නට අවශ්‍යය.

ඇනා රෝසා කිසිම දවසක සුප ශාස්ත‍්‍රය ගැන විධිමත් අධ්‍යාපනයක් ලබා නැත. විශේෂඥ සූපවේදීන්ගෙන් උපදෙස් ගෙන නොමැත. ආහාර පිලියෙල කිරීමේ විද්‍යාත්මක ක‍්‍රම ගැන ඉගෙන ගන්නට ආයතනයකට ගියේ නැත. නමුත් ලෝකයේ හොඳම සූපවේදීන්ගේ ලැයිස්තුවේ පළමු පනස් දෙනා අතර නම සනිටුහන් කර ගැනීමට සමත් වූවාය. ස්වෝත්සාහයෙන් ශිල්පය හදාරා බොජුන් පිලියෙල කිරීමේ අංශයෙහි ඉහළටම පැමිණීමට හැකිවීම විශාල භාග්‍යයකි. ඇගේ තාත්තා කල්පනා කළේ තම දියණිය දවසක රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරිනියක වී ලෝකයේ රටවල් අතර ගනුදෙනු කරන ප‍්‍රබල චරිතයක් වනු ඇති බවය. පසු කාලයක දී දියණිය සූපවේදිනියකවීම ගැන ඔහු ශෝක නොවූ බව සඳහන් වෙයි. නමුත් රෝසා ගේ මව එය පහසුවෙන් අමතක නොකළාය. ජ්‍යාත්‍යන්තර සම්බන්ධතා ගැන ඉගෙනීම අත්හැර වෙනත් ක්ෂේත‍්‍රයක් තෝරා ගැනීම ගැන නෝක්කාඩු කීවාය. ‘‘ ඇයට හොඳ ආහාර වේලක් දෙනවා හැරෙන්නට වෙන කළ හැකි දෙයක් නැති බව’’ දෙදරු මවක වන රෝසා ඉතාම ඉවසිලිවන්තව කියන්නීය.

එහෙත් අනෙක් පැත්ත ඉතාම වාසනාවන්තය. ඇනා රෝසා ඉතාම පැරණි ආහාර වට්ටෝරු සොයා ගෙන තිබේ. ඇතැම් විශේෂ ඒවා වසර තුන්සියයකටත් වඩා පැරණිය. ඒවා නැවත ජනගත කරන්නට ඇය වෙහෙසෙන්නීය. එහෙයින් පැරණි දේ සොයා යන අලූත් ගනුදෙනුකරුවන් ඇගේ කාර්යය අගය කරයි. ආහාර වේලක් සකස් කරන වසර සියයක් පමණ පැරණි ක‍්‍රමයක් අත්හදා බලන ලද ඇය ඉතාම තෘප්තිමත් විය. එයට ඓහ්තුව ඇගේ නැන්දම්මා එම ආහාර රස බලා ඇගේ කුඩා කාලයේ දී මෙවැනි ආහාරයක් රස විඳීන ලද බව සිහිපත් කිරීමයි. ලෝකයේ නොයෙක් සිද්ධි තිබේ. ඒවායෙන් මතු කරන ලක්ෂණ එකිනෙකට වෙනස්ය. පුද්ගල චර්යාවන් හා කැපවීම් නිතර ලෝකය අලූත් මුහුණුවරකින් පවත්වාගෙන යන්නට උපකාරී වන බව දැක්විය යුතුය.