» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/08/2016 - දේශය
මයිකල් පෙල්ප්ස් ගේ පිහිණුම් ජීවිතය

අවුරුදු හතරකට වතාවක් ලෝකය වර්ණවත් කරන ඔලිම්පික් තරඟාවලිය මතක සටහන් රැසක් නිර්මාණය කරයි. ඇමරිකානු පිහිණුම් ශූර මයිකල් පෙල්ප්ස් එහි වර්නවත් බව දිනාගෙන තිබේ. හෙතෙම 2016 රියෝ ද ජෙනයිරෝ ඔලිම්පික් තරඟාවලිය සිය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් බවට පත් කර ගනී. එහි දී ඔහු හැසිරුණ ආකාරය විශේෂ අවධානයට ලක්ව තිබේ. මීටර් සියය සමනල ආර පිහිණුම් තරඟයේ දී ඔහු අත් පත් කරගන්නේ රිදී පදක්කමයි. රන් පදක්කම අහිමි වෙන්නේ තත්පර ගණනකින්ය. ඔලිම්පික් තරඟාවලි තුනක දී පදක්කම් විසි අටක් දිනාගෙන එයින් පදක්කම් විසි තුනක් රන් පදක්කම් වන අවස්ථාවක මෙම ගිලිහී ගිය රිදී පදක්කම අගනා එකක් බවට පත්වන්නේ ඇයි? දිනාගත් පදක්කම් වලින් විද්‍යමාන නොවූ අසමාන ජනතාන්ත‍්‍රිකත්වයක් අහිමි වූ මීටර් සියය සමනල ආර ඉසව්වෙන් ඔහු පෙන්නුම් කළ නිසාය.

මයිකල් පෙල්ප්ස් පරාජය වෙන්නේ සිංගප්පූරුවේ තරුණ තරඟකරුවෙකුටය. විසි එක් හැවිරිදි ජෝෂප් ස්කුලින් එයට හිමිකම් කියා තිබේ. ඔලිම්පික් ඉතිහාසය තුළ සිංගප්පූරුව පිහිණුම් ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් පළමු වතාව එයයි. තමන් අභිබවා ජය අත් කරගත් තරුණ ජෝෂප්ට සුබ පතන මයිකල් කියන්නේ ‘‘තමන් පරාජය කරන්නට සමත් දක්ෂයන් ඉන්නා බැවින් දැන් නිදහසේ විශ‍්‍රාම යන්නට පුලූවන්’’ බවය. මයිකල් පෙල්ප්ස් ගේ රන් පදක්කම් ප‍්‍රමාණය ලෝකයේ සමහර රටවල් දිනා ඇති ඔලිම්පික් පදක්කම් ගණනටත් වඩා වැඩිය. හරියටම කියනවා නම් රටවල් අනූවකට වැඩි ප‍්‍රමාණයක් දිනාගෙන ඇති සමස්ථ පදක්කම් එකතුව සලකන විට ඉන්නේ මයිකල්ගේ පුද්ගලික දක්ෂතා වලට පහලින්ය. තවත් රටවල් එනම් බි‍්‍රතාන්‍ය, ජර්මනිය, නෙදර්ලන්තය, ජපානය වැනි රටවල් පවා මේ දක්වා පිහිණුම් වලින් දිනාගන්නට සමත්ව ඇත්තේ ඔහුට වඩා අඩු පිහිණුම් පදක්කම් ගණනකි. මයිකල් පෙල්ප්ස් පිහිණුම් ශූරයෙකු බව සඳහන් කළ හැකි වන්නේ එහෙයින්ය. පරාජය කළ නොහැකි අනගිභවනීය තැනක සිටි හෙතෙම තත්ත්පර ගණනක් තුළ වෙනස් තැනකට පත්වන විට ඔහු තමන්ගේ ගමන වෙනත් පැත්තකට හරවන්නට තීරණය කිරීම කී‍්‍රඩාවේ ජීවගුණය දක්වන්නක් බවට පත්ව තිබේ.

මයිකල් පෙල්ප්ස් ඔලිම්පික් තරඟවලට මෙයින් ඉදිරියට තරඟ නොකරන බව තමන්ගේ පුහුණුකරු සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප‍්‍රකාශ අතර එහි දී ඔහු ගේ අරමුණ පුහුණුකරුවෙකු බවට පත්වීම බව කියා තිබේ. තරඟ වලින් විශ‍්‍රාම යන අතර ඉවසීම ඉගෙන ගන්නා බව කියන හෙතෙම තමන්ගේ ගුරුවරයා ඉවසන ලද තරම හෝ එයටත් වඩා ඉවසන්නට පුලූවන් හොඳ පිහිණුම් ගුරුවරයෙකු වීම අභිලාශය බව කියයි.

මයිකල් පෙල්ප්ස්ට හිමි විය යුතු සමනල ආර රන් පදක්කම අත්පත් කරගත් ජෝෂප් ස්කූලින්ට ද කතාන්දරයක් තිබේ. හෙතෙම පෙල්ප්ස් ලෝලියෙකි. ඔහුගේ වීරයා පෙල්ප්ස්ය. මෙයින් අවුරුදු අටකට කලින් පෙල්ප්ස් ඇතුළු ඇමරිකන් පිහිණුම් කණ්ඩායම සිංගප්පූරුවට එන්නේ බෙයිජිං ඔලිම්පික් තරගාවලියට කලින් පුහුණු වැඩමුළුවකටය. ඒ වන විට කුඩා ජෝෂප් අහම්බෙන් තමන්ගේ වීරයා වන පෙල්ප්ස් මුණ ගැසී තිබේ. ඔහු සමග පින්තූරයක් ගත් ජෝෂප් පසුව කියා තිබුණේ ‘‘මට ඒ වෙලාවේ කතා කරගන්න බැරිවුණා. මෙන්න ඔහු මගේ ඉස්සරහ. මම පුදුම නොවී ඉන්නේ කොහොමද’’ කියාය. මෙවැනි සම්බන්ධතාවයක් හෙයින් ජෝෂප්ට පමණක් නොව සිංගප්පූරුවටත් රියෝ ඔලිම්පික් උළෙලේ සමනල ආර රන් පදක්කම සුවිශේෂී වටිනාකමක් සහිතය. පෙල්ප්ස් ට ද, රන් පදක්කම වින්දනාත්මක එකක් බවට පත්විය. පරාජය වූ වෙලාවේ ඔහු කිව්වේ ‘‘පරාද වෙන්න කවුරුවත් කැමැති නැහැ‘‘ යනුවෙන්ය. ‘‘ ජෝෂප් ගැන ආඩම්බරයි. ඔහුගේ දිදුලන ඇස් වලින් පෙන්නුම් කළේ ශක්තිය‘‘ බව දක්වන හෙතෙම ‘‘තමන්ට පිහිණුම් කී‍්‍රඩාව වෙනස් කරන්නට අවශ්‍ය වන අතර එහි සීමාව අහස’’ බව සඳහන් කළේ අලූත් ක‍්‍රීඩකයන්ගේ අවතීර්ණත්වයෙන් එහි තරගකාරීත්වය අහස උසට නැගෙන බව අපූරු ආකාරයකට අඟවමින්ය.

මයිකල් පෙල්ප්ස් ගේ වචන ඔලිම්පික් ගම්මානයෙන් එපිටට සමනල තටු ගසිමින් පියඹා යන්නට පටන්ගෙන තිබේ. ඔහුගේ ආශ්වාදය විඳින්නට ලෝකයේ ක‍්‍රීඩා ලෝලීහු එකතු වී ඇත. පෙල්ප්ස් ගේ ප‍්‍රයත්නය අගය කරන්නට පමණක් නොව ඒ වෙනුවෙන් පෙනී සිටින්නට සියලූම ජනමාධ්‍ය අවස්ථාව දී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

තමන්ගේ පිහිණුම් වීරයා පරාජය කර අලූත් වීරයෙකු ලෙස ජෝෂප් නැගී සිටින විට එම වීරයාටත් ඉහළින් සිය ස්වීයත්වය රඳවන්නට මයිකල් පෙල්ප්ස් සමත් වන්නේ කෙසේද? ලෝකයේ ඉහළම අවධානයක් දිනා සිටි ඕනෑම රටකින් වටිනාකමක් උපයාගත හැකි තරමට පෙල්ප්ස් වීරයෙකු වී සිටියේය. ඔහුට අත් පත් කරගන්නට උවමනා තරම් වෘත්තීය ක්ෂේත‍්‍ර තිබුණි. ව්‍යාපාර, පරිපාලන හෝ දේශපාලනය ඒ අතර විය. ජවයෙන් උපයා ගන්නා ප‍්‍රබෝධයෙන් ජනතාව දිනා ගන්නා ක‍්‍රීඩකයන් නොදන්නා තැනකට අවතීර්ණ වී අනාගතය අසාර්ථක කරගන්නා අවස්ථාවක පෙල්ප්ස් කියන්නේ කුඩා දරුවන් පුහුණු කිරීම උවමනා බවය. ඒ වෙනුවෙන් වූ ඉවසීම ප‍්‍රගුණ කරන්නට උත්සාහ කරමින් සිටී. විශේෂත්වය එයයි.

ඇමරිකාවේ උපන් පෙල්ප්ස් මූලික අධ්‍යාපනයෙන් පසු උපාධිය හිමි කරගනී. පිහිණුම් තටාකයට අවතීර්ණ වෙන්නේ අවුරුදු හතක් තරම් කුඩා කාලයේ දීය. අවුරුදු දහය වන විට සමනල ආර මීටර් සියය ඇමරිකානු ජාතික වාර්තාවට හිමිකම් කියන හෙතෙම වසර දොලහ පිරෙන විට එරට පිහිණුම් කී‍්‍රඩාවේ වාර්තා පොත අලූතින් ලියන්නට පටන් ගනී. අද වන විටත් ඔහුගේ කුඩා අවධියේ තරග වාර්තා නොබිඳී පවතී. 2000 අවුරුද්දේ දී ඔලිම්පික් උළෙලට සහභාගී වන විට පෙල්ප්ස් පහලොස් හැවිරිදි යොවුනෙකි. එවකට අවුරුදු හැට අටක ඇමරිකානු ඔලිම්පික් නියෝජනයේ පිහිණුම් ක‍්‍රීඩා ඉසව්වකට සහභාගී වූ ලාබාලම දරුවා වූයේ කුඩා මයිකල් පෙල්ප්ස්ය. පදක්කමක් ලැබුණේ නැත. මීටර් දෙසීය තරගය අවසන් කළේ පස්වැනියා වශයෙන්ය. නමුත් එයින් පසු ගත වූ අවුරුදු දහසය තුළ ඔහු ජාත්‍යන්තරය පුරා පරාජය කළ නොහැකි පිහිණුම් ශූරයෙකු බවට පත්විය.

2008 අවුරුද්දේ දී හෙතෙම මයිකල් පෙල්ප්ස් පදනම ආරම්භ කරන්නේය. ඇමරිකානු ඩොලර් මිලියනයක් ආයෝජනය කරන අරඹන එයින් හොඳ ශාරීරික යෝගයතාවයක් වෙනුවෙන් තරුණ පෙළ පොළඹවයි. එයට එකතුවන පිරිස විශාල වන අතර සහයෝගය දසතින් ප‍්‍රකාශ වෙයි.

පිහිණුම් වීරයා නමට ගරු සම්මාන ලොකයේ දසතින් ලැබී තිබේ. ඒවා පැත්තකට කළ ද ඔහු පිහිටුවා ඇති ලෝක වාර්තා ගණන තිස් නමයකි. එයින් විසි නමයක්ම ඔහු පුද්ගලිකව පිහිටුවන ලද ඒවාය. සිංගප්පූරුවේ තරුණ ජෝෂප්ට ඔහු භාර දෙන්නේ එම අභියෝගයයි. මට දැන් සැනසිල්ලේ විශ‍්‍රාම යන්නට පුලූවන් යැයි කියයි. තමන් ලියූ වාර්තා අලූතින් ලියන්නට තරුණ ජවය එකතු වන බව පෙනෙන විට මයිකල් පෙල්ප්ස් කියන්නේ සීමාව අහස බවය. පිහිණුම් තටාකයක අණසක පතුරවන ලද ශූරයා අහස දෙස බලා සීමාව එැතන බව කියන විට ඔහු සතු වටිනාකම තේරුම්ගත යුතුය. අහස දිනන්නට තවත් පරම්පරාවකට අත දෙන්නට සූදනම් බව කියන විට එම වටිනාකම තවත් දිදුලන බව සඳහන් කරන්නට අවශ්‍යය.