» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/02/2016 - දේශය
බ්ලූම්බර්ග්ගේ විප්ලවය

බ්ලූම්බර්ග් යන වචනය ආර්ථිකය සහ මූල්‍ය ගැන අවබෝධයක් ඇති අයට අලූත් නමක් නොවේ. නමුත් මයිකල් බ්ලූම්බර්ග් ගේ ගමන ගැන සහ එම ගමන ආර්ථිකයේ සනිටුහන් කර ඇති සලකුණ අවබෝධය ඉක්මවන සුවිශේෂී එකකි. හෙතෙමෙ ඇමරිකාවේ ප‍්‍රමුඛ ධනවතෙකි. දේශපාලනඥයෙකි. එපමණක් නොව දාර්ශණිකයෙකි. ජනතාන්ත‍්‍රිකත්වය තෙක් පැමිණි ආකාරය විමසන විට එය ධෛර්යයවන්ත, සංකීර්ණ ආත්මාභිලාශයන්ගෙන් සමන්විත බව පැහැදිලිය.

බ්ලූම්බර්ගේ පරම්පරාව රුසියාවෙන් සංක‍්‍රමණය වී පසුව ඇමරිකාවේ මැන්චෙස්ටර් හි කාලයක් සිට පසුව බුස්ටන් නාගරික පැත්ත තෝරා ගත්තේය. මයිකල් මූලික අධ්‍යාපනයෙන් පසු ජෝන් හොප්කින් විශ්ව විද්‍යාලයට ඇතුළු වූ අතර ඉලෙක්ටි‍්‍රක් ඉංජිනේරුවෙකු වශයෙන්ය. පසුව හාවඞ් විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රපති උපාධිය තෙක් වැඩිදුර අධ්‍යාපනය ලබා ගත්තේය. හෙතෙම පළමුවෙන් කොටස් හුවමාරුව සම්බන්ධවෙයි. ඉන්පසු මෘදුකාංග සංවර්ධනය කරයි. තවත් කාලයකට පසු හෙතෙම තමන්ගේම සමාගමක් පිහිටුවා ගන්නා අතර එයින් කරන්නේ ඇමරිකාවේ වෝල් ස්ටී‍්‍රට් එනම් මූල්‍ය කලාපයට අවශ්‍යම වන ඉතාම ඉහළ මට්ටමේ තොරතුරු එකතුකර පළ කිරිමයි. එහි අවශ්‍යතාවය පෙනෙන විට තවත් ආයෝජකයන් මයිකල් සමග සම්බන්ධ වෙයි.

මයිකල් කරන්නේ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ප‍්‍රස්ථාර, රූප සටහන් සකස් කර සමාගම් මූල්‍ය තොරතුරු විශ්ලේෂණය කර අනාවරණය කිරීමයි. එයට හොඳ වෙළඳ පොලක් හැදෙන විට 1987 අවුරුද්දේ දී ඔහු බ්ලූම්බර්ග් නම හඳුන්වාදෙන අතර එනමින් මූල්‍ය තොරතුරු ව්‍යාපාරය ලෝක ව්‍යාප්ත තත්ත්වයට පත්වෙයි. වසර 2015 වන විට මූල්‍ය වෙළඳ පොල ටර්මිනල් තුන් ලක්ෂ විසි පන් දහසක මෙම බ්ලූම්බර්ග් තොරතුරු සාමාජිකත්වය ගෙන තිබූ අතර එයට අමතරව මාධ්‍ය ආයතන සහ එයින් ලෝක ව්‍යාප්තව පණිවුඩ හුවමාරු කරගන්නා විශාල ජාලයක් ලෙස බිහිවෙයි. මෙතෙක් කාලයක් පුවත් පතක පළ වූ තොරතුරකින් හෝ සමාගම් වාර්ෂික වාර්තාවකින් දැන ගත් කාරණා විචාරාත්මක ලෙස තොරතුරු තාක්ෂණය භාවිතා කර ක්ෂණයකින් සැපයීම අලූත් වෙළඳ පොලකි. එය ධනය උත්පාදනය කරන නව ව්‍යාපෘතියක් වූ අතර බ්ලූම්බර්ග් නම ලෝකයේ කීර්තිමත් වෙළඳ නමක් බව තහවුරු කළේය.

මයිකල් බ්ලූම්බර්ග් දේශපාලනයට එන්නේ සමාජ අභිවෘද්ධිය වෙනුවෙන්ය. දේශපාලන අන්තවාදියෙකු නොවූ හෙතෙම මධ්‍යස්ථ මතවාදියෙකි. තමන්ගේ පුද්ගලික ධනය ඡන්ද වියදම් වෙනුවෙන් වෙන් කරන්නට හෙතෙම පැකිලූනේ නැත. 2001 අවුරුද්දේ ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් නිව්යෝක් නගර සභාවට තරඟ කරන බ්ලූම්බර්ග් එයින් ජය අත් කරගෙන එහි එකසිය අට වැනි පුරපති ලෙස වගකිම භාරගත්තේය. නියමිත කාලයට පසු මැතිවරණයට යළිත් ඉල්ලන හෙතෙම එයින් ජය අත් කරගන්නේ රිපබ්ලිකන් පාක්ෂිකයෙකු හැටියටය. නියම වශයෙන් පුරපති පදවියට තරග කරන්නට ඉඩ ඇත්තේ අවස්ථා දෙකකි. බ්ලූම්බර්ග් නිව්යෝක් නගරයට විශාල සේවාවක් කළේය. විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයටය. පහල වැටෙමින් තිබූ අධ්‍යාපනය නගා සිටුවන ඔහු නගරයේ වැසියන්ගේ ජීවන මට්ටම නැංවීය. තවත් කරන්නට අදිටන් කරගෙන සිටි කාර්යය ඇති හෙයින් ධුර වාර ගණන සම්බන්ධ නීති වෙනස් කරන්නට තීරණය කරයි. තුන්වැනි වතාවට ඉදිරිපත් වන බව අනාවරණය කරන පුවත් පත් සාකච්ඡාවක දී කියන්නේ 2007-08 මූල්‍ය අර්බුදයට මුහුණ දිය හැකි නායකයෙකු අවශ්‍ය බව පෙනෙන හෙයින් නිතිය වෙනස්කර ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවන බවය. එම අදහසට ජනතාව කැමැත්ත දක්වයි. නාගරික මන්තී‍්‍රවරු එයට අනුමැතිය දෙති. නීතිය වෙනස් කරන කාර්යය සාර්ථක වන අතර නැවත ඡන්දයට ඉදිරිපත් වෙයි.

තමන්ගේ අතින් වියදම් කරගෙන නගරය නගා සිටුවන්නට වෙහෙසෙන පුද්ගලයෙකු වශයෙන් මයිකල් බ්ලූම්බර්ග් ප‍්‍රසිද්ධියට පත්ව සිටිය දී ඔහු හැර වෙනත් පුද්ගලයෙකු ඒ ආකාරයට හැසිරෙනු ඇතැයි ජනතාව විශ්වාස කළේ නැත. එහෙයින් ජනතාව බ්ලූම්බර්ග්ට බොහොම කැමැත්තක් දක්වන්නේය. එවර ඡන්දයට එන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන්ය. දේශපාලන බලපෑම පැත්තකින් තබන බ්ලූම්බර්ග් තමන්ගේ සමාගම් සංවර්ධනය කළ ආකාරයට නිව්යෝක් නගරය නවීකරණය කරන්නට තමන්ගේ තනි බලය කොපමණ යුක්ති සහගත එකක් දැයි උරගා බලන්නට තීරණය කළේය. බොහෝ අවස්ථාවල හෙතෙම ආධාරකරුවන් ගෙන් යැපුණේ නැත. ප‍්‍රතිපත්තියක් වශයෙන් පරිත්‍යාග කෙරෙහි නැමුණේ නැත. පැහැදිල ස්ථාවරය ජනතාව හමුවේ තැබූ අතර ඡන්ද වියදම පුද්ගලිකව දරා ගත්තේය. තමන් වෙනුවෙන් ඉකුත් වාර දෙක තුළ කරන ලද සේවාව අමතක නොකළ නිව්යෝක් වැසියෝ බ්ලූම්බර්ග් තම පුරපතිවරයා වශයෙන් තුන්වන වතාවටත් තෝරා ගත්තේ ඉතා කැමැත්තෙන්ය.

බ්ලූම්බර්ග් සෑහෙන ධනවතෙකි. 2009 අවුරුද්දේ ඔහුගේ ධනය වශයෙන් සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 16 කි. නමුත් මේ අවුරුද්ද උදා වන විට ඔහු ඇමරිකානු ඩොලර් බිලියන 41.1 ක ධනස්කන්ධයක් හිමි ලෝකයේ අට වැනි පොහොසතා වූ අතර ඇමරිකාවේ හයවැනියා වශයෙන් සඳහන් වන්නේය. එය ඔහු ඉතා බලවත් පුද්ගලයෙකු බව අඟවයි. ධනයෙන් පොහොසත් සමාගම් ප‍්‍රධානියෙකු ජනතාවගේ කැමැත්ත දිනා ජන ප‍්‍රසාදයෙන් ස්වාධීනව ඡන්දය ඉල්ලන අවස්ථාවේ දී ද ජය අත් කර ගනි. එයින් පෙන්වන්නේ ධනය පමණක් නොව මිනිසුන්ගේ හදවත් ද දිනාගෙන ඇති බවය.

බ්ලූම්බර්ග් නිව්යෝක් නගරය ගැන තීරණගන්නේ ඔහුගේ අත්දැකීම් පදනම් කරගනිමින්ය. ඒවා ප‍්‍රායෝගික බව හෙතෙම කියයි. මානුෂවාදී වන අතර සියලූම තීන්දු පිටුපස කතාන්දරයක් තිබේ. නගරවැසියෝ එයට කැමැතිය. ගබ්සාව, මත් ද්‍රව්‍ය භාවිතාව සහ විවාහය ගැන ඔහු සඳහන් කර ඇති කාරණා විවාදයට තුඩු දී ඇතත් ජනතාව එයින් තාප්තිමත්ය. නගරයේ පරිසරය ගැන ඉතාමත් සැලකිල්ලක් දක්වන හෙතෙම නිව්යෝක් හි ගස් මිලියනයක් සිටුවා සොබා දහමට අනුව පරිසරය රකින වැඩ පිලිවෙලක් අරඹයි. වසර 2030 වන විට නගරයේ ජනගහනය අනුව සලකා බලශක්තිය පරිභෝජනය සහ නගරයේ සුව පහසුව ගැන සැලසුම් දියත් කරයි. වායු දුෂණය මැඩ පවත්වන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අවුරුදු පනහකට එපිට තිබූ පිරිසිදු තත්ත්වයම පවතින බව දැන් අනාවරණය වෙයි.

ඔහුගේ ක‍්‍රමය තුළ ජනතාව පීඩාවට පත්කරන අවස්ථා ගැන තද තීන්දු ගනී. වරක් නගරයේ පොදු ප‍්‍රවාහන සේවා වර්ජනය කරන විට පා පැදියකින් නගරයේ සැරිසරමින් තත්ත්වය අවබෝධ කරගෙන තීරණ ගත් අතර වර්ජකයන්ට අකමැත්තෙන් පවා වැඩට යන්නට සිදුවිය. හෙතෙම වෙළඳ පොළ ආර්ථිකයට කැමැතිය. ආරක්ෂණවාදයට එකඟ නැත. ඔහු 2008 අවුරුද්දේ දී තමන් ඇමරිකානු ජනාධිපතිවරණයට තරඟ කරන සූදානමක් නැති බව ප‍්‍රසිද්ධියේ කියයි. බ්ලූම්බර්ග් සතුව පවතින ප‍්‍රසාදය සහ මෙහෙයැවිමේ ශක්තිය මත රටේ නායකත්වයට තරඟ කරන්නට ඉඩ ඇති බවට ඉඟි පළවෙමින් තිබීම මෙම ප‍්‍රකාශයට හේතුවූ අතර 2012 අවුරුද්දේ දී ද හෙතෙම තෝරා ගැනීමේ වටයෙන් ඉවත් වෙන්නට තිරණය කිරීම අනුවන කමක් බව ඔහු ගේ සමකාලීන එනම් බි‍්‍රතාන්‍ය නගරාධිපති බෝරිස් ජොන්සන් පවා ප‍්‍රකාශ කළේ ''බ්ලූම්බර්ග් විශිෂ්ඨ අපේක්ෂකයෙකු විය හැකිව තිබුණා'' යැයි දක්වමින්ය.

ඔහුගේ දක්ෂතාවය, වැඩ කිරීමේ හැකියාව සහ දුරදක්නා ප‍්‍රතිපත්ති අගය කරන ලද ලෝක ප‍්‍රජාව ඔහු ඔසවා තබන්නේ ඉහළින්ය. එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කී මුන් මහතා ඔහුගේ කාලගුණ විපර්යාස වලින් ලෝකයේ නගර වලට සිදුවන විපත් වලින් බේරා ගැනීමේ ව්‍යාපාර සඳහා වූ එක්සත් ජාතීන්ගගේ ප‍්‍රධාන නියෝජිතයා වශයෙන් තෝරා ගත්තේ බ්ලූම්බර්ග්ය. මයිකල් තමා උපයා ගත් ධනය සමාජය වෙනුවෙන් නිර්ලෝභීව පරිත්‍යාග කළේය. ඕනෑම සංවිධානයක් ප‍්‍රජාවට යහපත් යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඔහු ඒ වෙනුවෙන් ආධාර කරන්නට කැමැත්ත දක්වයි. රෝහල් නගා සිටුවන අතර විශ්ව විද්‍යාල වලට ප‍්‍රතිපාදන සපයයි. දුම් පානයට එරෙහිව විශාල වියදමක් කිරීම ගැන ද බ්ලූම්බර්ග් ගේ නම කියැවෙයි. ලෝකය ලස්සන තැනක් වනු දකින්නට මහත් උනන්දුවක් දක්වන්නෙකි.

ජාත්‍යන්තර මුල්‍ය පර්යේෂණ ක්ෂේත‍්‍ර ඔහු අගය කර සම්මාන ප‍්‍රදානය කර තිබේ. විශ්ව විද්‍යාල වලින් ගරු සම්මාන පිරිනමා ඇත. හාවඞ් විශ්ව විද්‍යාලය තමන්ගේ ශිෂ්‍යයාට සේවය, නායකත්වය සහ ආර්ථිකය වෙනුවෙන් කළ දායකත්වය සලකා ආචාර්ය පදවියක් පිරිනමන ලද අතර එළිසෙබත් රැජින ද ශ‍්‍රීමත් නාමයකින් ගරු කරන්නේ ඔහු ඉටු කරන ලද අති විශිෂ්ඨ කාර්ය භාරය හෙයින්ය. ඒ සියලූ සම්මාන වලට වඩා වැදගත් සංකේතයක් ඇමරිකාවේ සිලිකන් වැලි හි පිහිටි පරිගනක කෞතුකාගාරය තෝරා ගෙන තිබේ. එය ඔහුගේ බ්ලූම්බර්ග් ආයතනයේ තාක්ෂණික මෙවලම්ය. 'ගනුදෙනු වල මෙවලම' වශයෙන් ඒවා සදාකාලයටම සංරක්ෂණය වනු ඇත. බ්ලූම්බර්ග් නම එයටත් වඩා කාලයක් පවතින බව නිසැකය.

ජීවිතයේ කළ පළමුවැනි රස්සාව නතර කිරීමෙන් පසු තරුණ මයිකල් බ්ලූම්බර්ග් ට රැකියාවක් දෙන්නට කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත. ''මම ආසාවෙන් හිටියා හොඳ රස්සාවකට යන්න, නමුත් දැන්නම් කියන්නේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න'' බ්ලූම්බර්ග් දැන් සමාජයට කියන්නේ එහෙමය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.