» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/01/2018 - දේශය
පාපන්දු පිටියෙන් ජනාධිපති පුටුවට ගිය ජෝර්ජ් වියා

වෘත්තීය පාපන්දු කී‍්‍රඩකයෙකු වූ ජෝර්ජ් වියා ලයිබීරියාවේ ජනාධිපති ධුරයට ඔසවා තබා තිබේ. එය සියෙරා ලියොන් රාජ්‍යය බටහිරට මායිම් කරගෙන අප‍්‍රිකාවේ බටහිර ප‍්‍රදේශයේ පිහිටි රටකි. විවිධ ජනවර්ග වලට අයත් කණ්ඩායම් වෙසෙන අතර එම අය නොයෙක් භාෂා විස්සක් පමණ කතා කරති. ඉංග‍්‍රීසි එරට ජාතික භාෂාව සේ භාවිතා කරයි. ලයිබීරියාව ලෝකයේ දුප්පත්ම රටවල් අතරින් එකකි. රැකියාවක් කරන පිරිස ජනගහනයෙන් සියයට පහලොවක් පමණ බව ප‍්‍රකාශ වෙයි. ඇමරිකාවට යටත්ව සිටි අතර 1847 දී නිදහස ප‍්‍ර‍්‍රකාශයට පත් කළේය. යටත් කරගෙන සිටි ඇමරිකාව එය පිලිගත්තේ එයින් දශක දෙකකට පමණ පසුවය. 1980 ගණන් වල හමුදා ප‍්‍රධානියෙකු බලය අල්ලා ගත් අතර එයට පසු හමුදා සහ සිවිල් පාලන යුග දෙකක් තුළ දේශපාලන අස්ථාවර භාවය කැපී පෙණින. අභ්‍යන්තර කැරළි දෙකකින් ලක්ෂ දෙකහමාරකට වැඩි පිරිසක් ඝාතනය වී ඇත. සාම ගිවිසුමක් අත්සන් කිරීමන් පසු නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ඇරඹෙන අතර එයින් කලකට පසු අලූත් ජනාධිපතිවරයා බලයට පත් වෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

අප‍්‍රිකාවේ ඉතාම විශිෂ්ඨ පාපන්දු ක‍්‍රීඩකයෙකු සේ වාර්තා පොත් අතර ලියැවී සිටින ජොර්ජ් ටවලොන් මනේෂ් ඔපපොන්ග් ඔසුමාන් වියා 1995 වසරේ දී ලෝක පාපන්දු තරගාවලියේ දී හොඳම ක‍්‍රීඩක සම්මානයට උරුමකම් කියා සිටියේය. ප‍්‍රංශය වාර්ෂිකව ලෝකයේ දක්ෂතම පාපන්දු ක‍්‍රීඩකයාට රන් පාපන්දුවක් පිරිනමන අතර එය හිමිකරගත් එකම අප‍්‍රිකානුවා ජෝර්ජ් විහා වශයෙන් සඳහන්ය. අප‍්‍රිකාවේ සියවසේ කී‍්‍රඩකයා සේ ගෞරවාදරටය පාත‍්‍ර වූ හෙතෙම ලෝකයේ අති දක්ෂ පාපන්දු කී‍්‍රඩකයන් සිය දෙනාගේ ලැයිස්තුවේ සිටී.

දහ හතර වසරක් අඛණ්ඩව රට වෙනුවෙන් ක‍්‍රීඩා කරන ලද ජෝර්ජ් පසු කාලයක ප‍්‍රංශය, ඉතාලිය හා එංගලන්තයේ ක‍්‍රීඩා සමාජ නියෝජනය කරන ලද අතර කීර්තිය පතුරවන්නට එය හොද අවස්ථාවක් විය. රට වෙනුවෙන් තරඟ කරන ලද අවස්ථා වල දී අත් පත්කර දෙන ලද ජයග‍්‍රහණ හා පුද්ගලිකව ලබා ගත් ගෝල් ගණන නොබිඳෙන වාර්තා වශයෙන් සටහන්ව තිබේ.

පාපන්දු ක‍්‍රීඩාවෙන් සමුගත් ජෝර්ජ් වියා දේශපාලනයට අවතීර්ණ විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස්කම් සඳහා වූ කොන්ග‍්‍රසය නමින් අලූත් පක්ෂයක් පිහිටුවන ලද හෙතෙම 2005 ජනාධිපතිවරණයේ දී අසාර්ථක වූ හෙතෙම එයින් වසර හයකට පසු පවත්වන ලද ජනාධිපතිවරණයේ දී ද අසාර්ථක වෙයි. 2014 වසරේ දී ලයිබීරියාවේ සෙනෙට් මණ්ඩලයට පත්ව තිබේ. පාපන්දු තරගයකට වඩා පහසු නැති ධෛර්යවන්ත ගමනක් දේශපාලනයේ දී පැවැති බව මෙයින් පෙනෙන කරුණකි. 2017 ජනාධිපතිවරණයෙන් ජයගෙන හෙට එනම් ජනවාරි විසි දෙවැනිදා වන විට ජනාධිපති ධුරයෙහි පත්වීම නොනැවතී කරන ලද දේශපාලනයේ දී හෙතෙම අත්පත් කරගත් අසමසම ගෝලය බව සඳහන් කළ හැකිය.

ජෝර්ජ් වියා ගේ සම්ප‍්‍රාල්තිය වසර හැත්තෑවකට පසු සිදුවූ පළමු ප‍්‍රජාතන්ත‍්‍රවාදී බල හුවමාරුව සේ සැලකේ. ඔහුගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයා ප‍්‍රතිඵල පිලිගෙන සුබ පතා ඇත. පොදු ජනතාව පී‍්‍රතියට පත්ව ඇති අතර ජනප‍්‍රිය පාපන්දු කී‍්‍රඩකයා කිං ජෝර්ජ් යනුවෙන් හªන්වන්නට පටන්ගෙන තිබේ. පාපන්දු ලෝලීන් බහුලව වෙසෙන ප‍්‍රංශය ඇතුළු රටවල රාජ්‍ය නායකයින් ජෝර්ජ් වෙත උණුසුම් සුබ පැතුම් පිරිනමා ඇති අතර හෙට දවසේ අප‍්‍රිකාව ගොඩනගන්නට ලෝකයේ සියළුම මිතුරන්ගේ සහාය අවශ්‍ය බව නව ජනාධිපතිවරයා කියා ඇත.

ජෝර්ජ් වියා එරට කූ නමැති ජන වර්ගයට අයත්ය. මෙම ජාතිකයන් වෙළඳාමට සහ සේලරුවන් වශයෙන් සමත්කම් පෙන්වා තිබේ. නැව් වල මෙහෙකරනු සඳහා අධිරාජ්‍යවාදී පාලකයන් තෝරාගෙන ඇත්තේ කූ ජනවාර්ගිකයන්ය. නව ජනාධිපතිවරයා මෙම ජන කොටස අයත් සියයට හතක පමණ ජන නියෝජනයෙහි මිශ‍්‍ර උරුමයක් සහිත අයෙකු බව දැක්වෙයි. මොන්රෝවියා හි ක්ලාරා යන ගම්මානයේ ජෝර්ජ් වියා උපත ලබයි. පියා කාර්මිකයෙකු වූ අතර යුවලට ලැබුණ දරුවන් හතර දෙනා අතරින් වැඩිමලා ජෝර්ජ් ය. හෙතෙම ජීවිතය ජයගන්නේ ක‍්‍රීඩාවෙන්ය. පවුල් පසුබිම හා අධ්‍යාපනයට පැවැති බාධා හෙයින් අධ්‍යාපනය අතරමග දී අත්හරින ජෝර්ජ් පාපන්දු කී‍්‍රඩාවට ලොල් කරයි. ක‍්‍රීඩා සමාජ වල පහල මට්ටමින් ආරම්භ කරන ඔහු වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ලයිබීරියානු විදලිය සංදේශ සමාගමේ තාක්ෂණික ශිල්පියෙකු වශයෙනි.

ලයිබීරියාවේ දක්වන පාපන්දු ජයග‍්‍රහණ ජෝර්ජ් වියා කැමරූන් රාජ්‍යයේ ජාතික කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් පත්වෙයි. ඉන් වසර කිහිපයකට පසු යුරෝපයට යන හෙතෙම ප‍්‍රකට පාපන්දු සමාගමක් සමග ක‍්‍රීඩා කරන ගිවිසුමකට එළැඹෙයි. 1995 දී ඉතාලියේ මිලානෝ කණ්ඩායමට එකතු වන අතර ඔහුගේ දක්ෂතා අනුව කණ්ඩායම ජයග‍්‍රාහී තත්ත්වයට පත්වෙයි. පාපන්දු ලෝලීන් ගේ වීරයෙකු වන අතර ලෝකයේ නන් දෙසින් කණ්ඩායමට සම්බන්ධ වන සේ ඇරයුම් ලැබේ. ලන්ඩන් ක‍්‍රිඩා සමාජයකට සම්බන්ධ වන ජොර්ජ් වියා ඔහුගේ ජගත් කීර්තිධර බව තවත් ඉහළට කැඳවයි. තමන්ගේ මුල් ප‍්‍රවේශය අමතක නොකරන හෙතෙම සියළු ජයග‍්‍රහණයට මග පාදන්නේ අප‍්‍රිකානු උරුමය බව අඟවයි. විශාල ජනප‍්‍රියත්වයක් පමණක් නොව සෑහෙන ධනයක් ද සහිතව නැවත සිය ජන්ම දේශයට එන ඔහු නැවතත් ලයිබීරියාවේ ජාතික කණ්ඩායමට ක‍්‍රිඩා කරයි. තම රටේ පාපන්දු සංචිතය පුහුණු කරන අතර දැනුම පමණක් නොව තමන්ගේ අතින් වියදම් කර අවශ්‍ය පහසුකම් ද සපයන ලද බව දැක්වේ. එහෙත් ජාතික කණ්ඩායම ලෝක පාපන්දු තරගාවලියේ තැනකට කැඳවන්නට අසමත් වෙයි.

පිටියෙන් සමුගෙන දේශපාලන පොර පිටියට එකතු වූ ජෝර්ජ් වියා පළමුවතාවට ජනාධිපතිවරණයට තරග කරන විට අධ්‍යාපන තත්ත්වය ප‍්‍රතිවාදීන්ගේ ප‍්‍රධාන මාතෘකාවක් විය. ලෝක බැංකුවේ සහ වෙනත් මූළ්‍ය ආයතන වල සේවය කරන ලද අපේක්ෂකයන් දේශපාලන වේදිකාවේ දී ප‍්‍රශ්න කළේ හොඳ අධ්‍යාපනයක් නැති ජෝර්ජ් රටක් පාලනය කරන්නේ කෙසේද? යන්නය. ජෝර්ජ් කදිම උත්තරයක් දුන්නේය. ‘‘අවුරුදු සියයක් උනත් රට පාලනය කරන්නට තරම් සමත් උපාධි ඇති අය පාලකයෝ වෙනවා නමුත් තවමත් අපේ රට ඉතාම දුප්පත්’’ යනුවෙනි. ඔහු විවේචනය කරන විරුද්ධවාදීන්ට ඔහු ඇමරිකානු විශ්ව විද්‍යාලයක උපාධියකින් උත්තර දුන්නේය. 2011 වසරේ දී උපාධි අධ්‍යාපනය හමාර කළ හෙතෙම ඉගෙන ගන්නට වයස බාධාවක් නැති අතර මම ක‍්‍රීඩාවෙන් ඉහළටම ගිය හෙයින් ඉගෙන ගැනීම අතපසු කරන ලද බව පිලිගත්තේය. උපාධිය දිනා ගත් ජෝර්ජ් වියා සඳහන් කළේ උපාධියක් නැති පාලකයන් ලෝකය පාලනය කර ඇති අතර නායකත්ව ගුණාංග ඔවුන් සතු බවය. නායකත්ව ගුණාංග පමණක් නොව උපාධි සහතිකය ද ඇති තමන් රට භාරගන්නා දිනය තෙක් බලා සිටින බව ද කියා සිටියේය. ප‍්‍රංශ පුරවැසිභාවය ඇති ප‍්‍රංශ භාෂාව හොඳීන් හැසිරවිය හැකි ජොර්ජ් වියා තිදරු පියෙකි. අප‍්‍රිකාවේ අප‍්‍රකට රටක නම සිය පාපන්දුවෙන් ජයගෙන ඉහළටම තැබූ අලූත් ජනාධිපතිවරයා තමන්ගේ ප‍්‍රතිවාදීන් අවඥා කරන ලද සුදුසුකම් ද හදාගෙන රටේ නායකත්වයට පත්ව සිටී. ඔහුගේ නායකත්වය ජනතා අභිලාශයන් සාක්ෂාත් කරන්නට සමත්වේදැයි අවධානයෙන් සිටීම සුදුසුය.