» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/12/2015 - දේශය
නිදහස් උත්සව අවලංගු කළ රාජ්‍ය නායකයා
 

ජෝන් මැගුෆූලි අලූත් පරිච්ඡේදයක් ලියන්නට පටන්ගෙන තිබේ. හෙතෙම ටැන්සානියාවේ ජනාධිපතිවරයා වශයෙන් පත්ව සිටී. මෙයින් අවුරුදු දශක දෙකකට කලින් මැගුෆුලි දේශපාලනයට එන විට අවධානයක් නොතිබුණ සරල පැවැත්මක් ඇති රසායන විද්‍යාව ගැන ආචාර්ය උපාධියත් තිබූ සාමාන්‍ය පුද්ගලයෙකි. නමුත් අද වෙන විට මැගුෆූලි උන්මාදයක් සමාජ මාධ්‍ය හරහා පැතිර යන තරමට ඔහු ජාත්‍යන්තරය තුළ ප‍්‍රමුඛ චරිතයකි. ඕනෑම දෙයක දී අපි මෙහෙම කළාට ටැන්සානියාවේ ජනාධිපති මැගුෆූලි මේ ගැන හිතන්නේ කොහොම ද කියා අනුමාන කරන තරමට එය භාවිතාවක් බවට පත්ව තිබේ.

දුප්පත් ටැන්සානියාවට නවතම ඉලක්කයක් සපයන ජෝන් මැගුෆූලි රාජ්‍ය නායකයන් අතර ජන තාන්ත‍්‍රිකයෙකු බවට පත්වන්නේ කෙසේද? එය අවධානයට ලක් විය යුතු ඉතාම වැදගත් කාරණයකි. හෙතෙම නිදහස වෙනුවෙන් මහජන මුදල් වියදම් කර උත්සව පැවැත්වීම අවලංගු කරයි. නත්තල් කාඞ් යැවීම පමණක් නොව අවුරුද්දට සුබ පැතුම් යැවීම නතර කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙයි. ඕනෑම නිලධාරියෙකුට තමන්ගේ අතින් වියදම් කර සුබ පැතුම් කාඞ් මිලදී ගෙන යවන්නට බාධාවක් නැති බව ජනාධිපතිවරයාගේ ලේකම් විශේෂ ලියැවිල්ලකින් දැනුම් දෙයි.එවැනි තීරණයක් ගන්නේ වියදම් සීමා කරන මගක් වශයෙන්ය. නිලධාරී සහ මැති ඇමැති විදේශ සංචාර අඩු කරන අතර ගුවන් ගමන් වලදී පළමු පංතිය රටේ ප‍්‍රධානම පුරවැසියන් තිදෙනා හැරෙන්නට අන් අයට තහනම් බව කියයි. එවැනි තීරණයකට එන්නේ දුප්පත් රට පොහොසත් තැනක් කරන්නටය. ටැන්සානියාව ලෝකයේ දුප්පත්ම රටවල් අතරින් එකකි. කොපමණ දුප්පත් දැයි සඳහන් කළහොත් ජනගහනයෙන් සියයට 68 ක් අධික දරිද්‍රතාවයෙන් පසුවන බව දැක්වේ. දරුවන්ගෙන් සියයට 16 ක පිරිසක් මන්දපෝෂණයෙන්ය. රටේ වැසියන්ගෙන් හරි අඩක් කෘෂිකර්මයෙහි නිරත අතර යාන්තම් යැපෙන සහ ඉතා පීඩනයකින් යුත් පසුබිමක් තුළ රට තුළ උත්සව අවශ්‍ය නැති බව සඳහන් කරන්නට මැගුෆූලි ගෙන ඇති තීරණය ජනතාව ඉහළින් පිළිගෙන තිබේ.

මැගුෆූලි ටැන්සනියාවේ පස්වැනි ජනාධිපතිවරයාය. ධුරයට පත් වෙන්නට කලින් හෙතෙම පාර්ලිමේන්තු දේශපාලනයෙහි නිරත විය. මූලික අධ්‍යාපනයෙන් පසු රසායන විද්‍යාව තෝරාගත් හෙතෙම එයින උපාධිය ලැබුවා පමණක් නොව ආචාර්ය උපාධියට ද හිමිකම් කීවේය. මෙම අතරතුර ඔහුගේ ඉලක්කය වූවේ රසායන විද්‍යාවෙන් යමක් රටට කිරීම නොව සමාජය පරිවර්තනයකට යොමු කර පවතින දුප්පත්කමින් රට මුදවා ගැනීමය. දේශපාලනයට අවතීර්ණ වන හෙතෙම සී. සී. එම්. පක්ෂයෙන් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි. වැඩ ඇමැති, ඉඩම් සහ නැවත පදිංචි කිරීමේ ඇමැති වශයෙන් කැබිනට් තනතුරු හෙබවූ ඔහු අප‍්‍රිකානු රටවල දීර්ඝ ඉතිහාසයක් ඇති එම පක්ෂයේ ඡනාධිපති ධුර අපේකෂකයාවීමේ වරම ලබා ගනී. දුෂණය සහ තනතුරු අවභාවිතාව ගැන නම් දරන පාලකයන් ඇති අප‍්‍රිකානු කලාපය තුළ ටැන්සානියාවේ ඉතිහාසය ද විචිත‍්‍ර එකක් නොවේ. මෙම තත්ත්වය තේරුම්ගත් හෙතෙම සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ 'කිසිවක් නෙවෙයි වැඩ කරමු' යන සංකල්පය ඉදිරිපත් කරමින්ය. එය ජනතාව තේරුම් ගත්තේය. බහුතරය දිනාගත් ඔහු ආණ්ඩුව භාරගත් වහා වැඩ කරන්නට පටන් ගත්තේ වෙනස් ආකාරයකටය. වියදම් අඩු කළේය. ජනතාවගේ බදු බර කපා හැරියේය. රෝහල් සහ පාරවල් ගානේ ඇවිද්දේය. ඒවායේ දුබලතා දැක තද තීරණ ගත්තේය. ඇතැම් රෝහල් වල රෝගීන් බිම නිදා සිටියේ අසරණව කිසිම හවුහරණක් නැතිවය. රෝහල්වල මෙවලම් කැඩී කිසිවක් කරගත නොහැකි තත්ත්වයක තිබිණ. රෝහල් බලධාරීන්ට තත්ත්වය ගැන දෝෂාරෝපනය කළේය. ජනතාව ගැන හිතන ලෙස නිලධාරීන්ට අනතුරු අඟවන ලද අතර වැඩ කරමු යන ආකල්පය ආණ්ඩුව තුළ තහවුරු කරන්නට පටන් ගත්තේය.

ටැන්සානියානුවන්ට ඔහුගේ වැඩ පිළිවෙල හොඳට දැණුනි. නිදහස් උත්සවයේ වියදම් නතර කළ අතර එම මුදල් වෙන් කළේ පරිසරය පවිත‍්‍රකර පැතිර යමින් තිබූ කොළරා වසංගතය දුරු කරන්නටය. ඔහු පාරට බැස්සේය. නිවාස අසල එකතු වී ගොඩගැසී තිබූ කසල ඔහුගේ ම දෑත් වලින් එකතු කර වීදි පිරිසිදු කරන්නට පටන්ගත්තේය. ජනාධිපතිවරයා කසල ඉවත් කරන විට නිලධාරීන්ට බලා සිට්න්නට බැරි විය. නිලධාරීන්ට තදින් සිටි අතර නිදහස වෙනුවෙන් උත්සව අවලංගුකර පරිසරය වෙනුවෙන් කැපවීම අගනා බවට මතයක් නැගෙන්නට එය හේතු විය. රාජ්‍ය භෝජන සංග‍්‍රහ අවලංගු කරන්නට තීරණය කළේ වියදම් සියයට අනූවකින් පමණ කපා හරිමින්ය. රජයේ සියලූ සාකච්ඡා වැඩමුලූ රජයේ ගොඩනැගිලිවල පවත්වන්නට නියම කළ අතර එය එතෙක් හෝටල් වල පැවැති සම්භාෂණ ක‍්‍රමය වෙනස් කරන තීරණයක් බවට පත්විය. මේවා ජනතාවගේ පැත්තෙන් බලන විට ඉතාම නිවැරදි තීන්දු හැටියට නිර්වචනය වෙන්නට හේතු විය. දුප්පත්කමින් පීඩිතව සිටි ජනතාව අතර අලූත් බලාරොරොත්තුවක් ඇති කරන්නට මෙම තීන්දු බලපවත්වන බව සඳහන් කළ යුතුය.

ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු ජෝන් මැගුෆූලි කැබිනට් මණ්ඩලය පත් කළේ නැත. 1960 ගණන් වල නිදහස ලැබූ වකවානුවේ පටන් බලයට පත් සියලූම ආණ්ඩු තනතුරු ගැන සැලකිල්ලක් දැක්වූ අතර ඇමැතිකම් බෙදාගන්නට විශේෂ රචියක සිටි බව ටැන්සානියාවේ තොරතුරු දක්වයි. මැගුෆූලි එම රාමුව වෙනස් කළේය. මාසයක් යන තුරු තමන්ගේ කැබිනට් මණ්ඩලය තෝරා ගැනීම කල් දැමූ අතර වැඩ කරන්නට කැමැති, තමන්ගේ සැලසුම් වලට මනාපයක් දක්වන පිරිසක් තෝරා ගැනිමට විශේෂ අවධානයක් යොමු කළේය. එහි ප‍්‍රතිඵලය අලූත් ආණ්ඩුව ගැන එරට පුරවැසියන් උද්දාමයට පත්වීමයි. අලූත් කැබිනට් මණ්ඩලය දහ නම දෙනෙකු පමණක් වූ අතර කලින් ආන්ඩුවට වඩා එකොලොස් දෙනෙකුගෙන් අඩු අමාත්‍යංශ එකතු කර අලූත් අමාත්‍යංශ හදන ආකාරයේ එකක් විය. එයින්ද ඔහු රටට නිකුත් කළ පණිවුඩය වූයේ වියදම කපා හැර ඉක්මන් තීරණගන්නට හැකි කුඩා පිරිසක් එකතු කර ගැනීමයි.

අලූත් ජනාධිපතිවරයා කිසිවෙකු ගැන නොතකන, අනිසි දේ නොකරන හෙයින් ඉතා කැමැත්තට පත් ජනතාව අතර ඔහුගේ ක‍්‍රියාපටිපාටිය ඇගයීමට ලක්වන අතර ජනතාව ඔහු හ`දුන්වනේ 'බුල්ඩෝසර්' යන සුරතල් නාමයෙන්ය. බුල්ඩෝසරය කරන්නේ පැරණි අයහපත් දේ සහමුලින්ම පෙරලා දමා අලූත් පාලන ව්‍යුහයක් සකස් කිරීම බව ජනතාව විශ්වාස කරන බව පැහැදිලිව පෙනේ.

මෙම කාර්ය මහත් ආකර්ශනයකට හේතු වී තිබේ. මුලින්ද සඳහන් කළ පරිදි එය එක්තරා ආකාරයකට නව ප‍්‍රවණතාවයක් බවට පත්ව ඇත. ජෝන් මැගුෆූලි තීන්දු ගන්නා ආකාරය අනුකරනය කරන්නට සමාජය සූදානම්ය. තමන්ට ප‍්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවූ විට එම ප‍්‍රශ්නයට ජනාධිපතිවරයා මුහුණ දෙන්නේ කවර ආකායට විය හැකි ද කියා උපකල්පනය කර ඒ අනුව තීරණ ගන්නා තරමට සමාජ මාධ්‍ය ජාලා සකී‍්‍රය පණිවුඩ හුවමාරු කර ගන්නට පටන්ගෙන තිබීම විශේෂත්වයකි.

අප‍්‍රිකානු කලාපය හැඳින්වෙන්නේ අඳුරු මහද්වීපය යනුවෙන්ය. මහද්වීපයේ රටවල් හතලිස් දෙකක් අතර සාමාන්‍ය ආර්ථික මට්ටමින් ද සියයට තිස් දෙකක් පහතින් සිටින ටැන්සානියාව එතරම් අවධානයට ලක් වූ තැනක් නොවේ. නමුත් අද වන විට ජාත්‍යන්තර මාධ්‍ය කතා කරන්නේ අලූත් ජනාධිපතිවරයා ගැනය. ඔහු ගේ තීන්දු ගැනිමේ ක‍්‍රියාවලිය සම්බන්ධවය. එම තීන්දු පමණක් නොව ඒවායෙන් සමාජය ලබන උත්තේජනය ලෝක ප‍්‍රජාවට අලූත් පණිවුඩයක් නිකුත් කර තිබේ. අන්ධකාරය තුළින් නැගෙන ආලෝකයක් බවට පත්ව ඇති මැගුෆූලි තමන්ගේ පිළිවෙත අනුව පාඩමක් කියා දෙන්නේ දියුණු වෙමින් පවතින රටවලටය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.