» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/11/2016 - දේශය
රටවල් එකතු කරන චිත‍්‍රපට තුනක්

ඉන්දියාව සහ චීනය අතර සංස්කෘතික සම්බන්ධතා ගොඩනගනු සඳහා චිත‍්‍රපටි තුනක් හදන්නට සූදානම් වෙයි. රටවල් දෙක එකිනෙකා අතර නොගැලපෙන තැන් ඇති පාර්ශව බව රහසක් නොවේ. කලාපයේ ප‍්‍රබලවන්තයන් වන දෙරට අතර යුද්ධයක් ද තිබිණ. 1962 දීය. එම පසමිතුරු බවට කලින් ඉන්දියානු සිනමා නිර්මාණ වෙනුවෙන් චිනයේ හොඳ ඉල්ලූමක් විය. ඒවායේ ගීත, නර්තන විලාශ සහ විශේෂයෙන් වෛවර්ණ බව හිත බැඳගත් එකල චීන සිනමාලෝලීහු අදටත් එහි මතකයෙන් බැහැර වී නැත. නොහොඳ පැතිරී රටවල් අතර යුද උණුසුම ඉහළට එන විට නිර්මාණ සම්බන්ධ බාධා ඇති විය. අද වන විට පැරණි අමනාපකම් දුරු කර අලූත් යුගයකට ඇතුළු වෙන සූදානමකි. මෑතක දි මුණ ගැසුණ දෙරටෙහි රාජ්‍ය නායකයන් අතර ආර්ථික සහ සමාජ පැවැතුම් ගැන එකඟත්වයක් ඇති වෙයි. චිත‍්‍රපට තුනක් නිර්මාණය වෙන්නේ එකී ගමනේ සංකේතයක් වශයෙන්ය.

මෙම චිත‍්‍රපට තුන අතරින් පළමු නිර්මාණය ‘‘ක්ෂුවාන් ෂෑන්ග්’’ ප‍්‍රදර්ශනයට නිකුත් වී තිබේ. එයින් උද්දාමයට පත් චීනය එම චිත‍්‍රපටය විදේශ භාෂාවකින් සකස් වූ හොඳම චිත‍්‍රපට යන අංශය යටතේ හොලිවුඞ් ඇකඩමික් සම්මාන උළෙල නියෝජනය කිරීම සඳහා ද, තෝරාගෙන ඇත.

දෙරට අතර ජනී ජනයා එකතු කරන සංස්කෘතික පාලමක් වෙනුවෙන් චිත‍්‍රපට කර්මාන්තය මනා පිටිවහලකි. පසුගිය අවුරුද්දේ ඉන්දීය අගමැතිවරයා චීන සංචාරයක නිරත විය. එය රටවල් දෙක අතර ඉකුත් කාලය තුළ නැගෙමින් තිබුණ උණුසුම තරමක් අඩු කරන එකක් බවට පත්වූ බව සඳහන්ය. චීනය හා ඉන්දියාව අතර නොයෙකුත් පැති වලින් සුළු නොමනාපකම් මතුවූ නමුත් මෙම සංචාරය අලූත් අවබෝධයක් ඇති කරන එකක් බවට පත්විය. තොරතුරු තාක්ෂණ. ආයෝජන වැනි අංශ වල සම්බන්ධතා ඇති කරන ලද අතර ඒ අතරින් විශේෂත්වයක් වූයේ දෙරට අතර සම නිෂ්පාදනයක් වශයෙන් අලූත් චිත‍්‍රපට තුනක් නිපදවීමය. ඉතාම වේගයෙන් වර්ධනය වන සිනමා කර්මාන්තයකට උරුමකම් කියන පසුබිම තුළ පළමු වතාවට චිනය හා ඉන්දියාව එකතු වී දෙරටෙහි චිත‍්‍රපට තාරකාවල සහභාගීත්වයෙන් නිර්මාණ බිහි වෙයි. එය නව ප‍්‍රවණතාවයකි.

දෙරට අතර සහයෝගයෙන් නිපදවන ලද පළමු චිත‍්‍රපටයට කතාව ඓතිහාසික එකකි. හත්වන සියවසේ දී බෞද්ධ භික්ෂුවක ගේ දේශාන්තර සංචාරය පදනම් වෙයි. දහ තුන් වැනි වියේදී පැවැදි වූ ක්ෂුවාන් ෂෑන්ග් නොඑසේ නම් හියුන් ත්න්ග් නමින් ද භාවිතා වන කුඩා සාමනේර හිමියන්ගේ කතාන්දරයයි. ෂෑන්ග් හිමි වයස විස්සේ දී උපසම්පදාව ලබා ඇති බව තොරතුරු වල දැක්වෙයි. බුද්ධාගම ඉගෙන ගන්නට පත පොත සොයා චීනයේ සැරි සැරූ හිමියෝ පසු කාලයක චීනයෙන් අරම්භ කරන ලද ගමන බලවත් දුෂ්කරතා සහ අභියෝග මැඩගෙන පසු නොබැස ඉන්දියාව තෙක් වැඩම කර ඇත. එය දීර්ඝ චාරිකාවකි. වසර දහ හතක් ඒ වෙනුවෙන් කාලය වැය කර ඇත. එය භික්ෂු ජිවිතයට විශාල අත්දැකීම් සම්භාරයක් එකතු කරන ලද එකක් වූ බව නිසැකය. ක්ෂුවාන් ෂෑන්ග් ගේ මෙකී චාරිකාව අලලා නව කතාවක් ද රචනා වී ඇති අතර එය ඉන්දු චීන සාහිත්‍යයේ නොයෙක් තැන් හි දී ඉතා වැදගත් සේ ගැනෙන සංකේතයක් බවට පත්ව තිබේ. රටවල් දෙක අතර සංස්කෘතික සහයෝගීතාවය නැවතත් වැඩෙන විට නිපදවන චිත‍්‍රපට තුන අතරින් පළමු වැනි නිර්මාණය සේ තෝරා ගැනෙන්නේ මෙම දහ හත් වසරක ගමන ගැන පුරාවෘත්තයයි. මෙ සංචාරයේ දී වාර්තා කරන ලද කරුණු දෙරටෙහි රාජධානි, පාලන ක‍්‍රම සහ මධ්‍යම ආසියාවේ ජන දිවි පෙවෙත සම්බන්ධ ඉතා වටිනා මූලාශ‍්‍ර සම්පාදනය කර ඇති අතර සියවස් ගණනක් විද්වතුන් අධ්‍යයනය සඳහා මැනවින් ප‍්‍රයෝජනයට ගෙන ඇත.

චීන ආණ්ඩුවේ චිත‍්‍රපට නිෂ්පාදන ප‍්‍රධාන සමාගමක් සහ ඉරෝස් ඉන්ටර්නැෂනල් නම් ඉන්දීය සමාගම ක්ෂුවාන් ෂෑන්ග් හදන්නට එකතු වෙන අතර එය විශාල පිරිවැයක් දරා දෙරට අතර ස්ථාන දුසිම් ගණනක් පසුතල කරගෙන කරන ලද දැවැන්ත නිෂ්පාදනයකි. ඒ වෙනුවෙන් කරන වියදම නාස්තිකාර එකක් යැයි කිසිම විවේචනයක් මේ දක්වා පැන නගින්නේ නැත.

ක්ෂුවාන් ෂෑන්ග් භික්ෂුව ඇවිද යන මාවත, එහි දී පැන නැගෙන විරෝධතා සහ බාධක ජයගෙන ඉන්දියාවට පැමිණෙන ගමන මෙහි කියැවෙයි. ඉන්දියානු බෞද්ධ සිද්ධස්ථාන වන නාලන්ද, අජන්තා සහ එල්ලෝරා යන පුණ්‍ය භූමි වල දී සිදුවීම් මෙම චිත‍්‍රපටයට එකතු වෙන්නේ දෙරට අතර අනන්‍ය සංස්කෘතික වටපිටාවට යම් ආලෝකයක් ඇති කරමින්ය.

චිත‍්‍රපටය චීනයේ නිකුත්වන විට චීන ආණ්ඩුව එයට සෑහෙන ප‍්‍රවර්ධන පසුබිමක් සකස් කර තිබිණ. විශාල ජන අවධානයකට නතුවන සේ කාර්යය සම්පාදනය කළේය. විශාල ආදායම් වාර්තා පිහිටුවන්නේ නැති නමුත් චිත‍්‍රපටය වෙනුවෙන් චීන රජය දක්වන උනන්දුව පෙන්වන්නේ දෙරට අතර එකඟතාවය ඇති කරගැනීමට දක්වන නොඅඩු උත්සාහයක තරමයි.

ක්ෂුවාන් ෂෑන්ග් භික්ෂුව චීනයෙන් පිටත්ව ඉන්දියාවට යනවිට රටවල් අතර බාධා තිබිණ. ගැටුම් නිසා තැනින් තැන යාම වලකන ලද්දේය. ඉතා උපායශීලීව ඉන්දියාවට ගොස් එහි බුදුන් පහස ලැබූ තැන් ගවේශනය කරන ලද හිමියන් ආපසු චීනයට එන්නේ ගෞරවාදරයට පාත‍්‍ර වූ විශේෂිත චරිතයක් වශයෙන්ය. හිමියන්ගේ ජීවිතයේ ඉතිරි කොටස එකතු කරගෙන ආ සද්ධර්මය චීන භාෂාවට පරිවර්තනය කරන්නට වැය කරන ලද බව ප‍්‍රකාශ වෙයි.

චීනය සහ ඉන්දියාව අතර හොඳම සම්බන්ධතා මෙන්ම නරකම ගැටුම් ද තිබි ඇත. වසර දෙදහසකට වැඩි කාලයක් දක්වා ඈතට එය විහිදී තිබේ. මහජන චින සමූහාණ්ඩුව බිහිවූ පසු එය සමග සම්බන්ධතා පැවැත්වූ පළමු රටවල් අතරට ඉන්දියාවත් ඇතුලත්ය. එයට හේතුව දෙරට යා කරන ලද සේද මාවත නම් වෙලඳ මාර්ගයෙහි මතකය බව නිසැකය. චීන නව ජනාධිපති ෂින් ජින්ග්පින් සමුද්‍ර සේද මාවත සම්බන්ධ කරගෙන සංකල්පයක් ජාත්‍යන්තරයට ඉදිරිපත් කර ඇත. ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රටවල් දෙකක් එකිනෙකා හා බැඳී වෙළඳ පොල බෙදා ගැනීම ආර්ථික සහ සමාජ කාර්යයෙහි දී ඉතාම පුළුල් බලපැමක් ඇති කරන කරුණකි. ජාත්‍යන්තර ප‍්‍රජාව බලා ඉන්නේ මෙම සම්බන්ධතාවය කෙසේ කොයි ආකාරයට විහිදෙනු ඇති ද යන කුතුහලය ද සහිතවය. ආර්ථික සමාජ ගිවිසුම් අත්සන් කර පරිපාලනයෙන් බැදෙන විධි විධාන සකස් වන නමුත් රටවල මිතුරු වෙන්නේ නැත. ඒවාට විරෝධතා මෙන්ම ප‍්‍රතිවිරෝධතා ද එල්ල වෙයි. ඒවා මැඩගෙන විහිදෙන්නේ කෙසේද යන්න ගැන ‘‘ක්ෂුවාන් ෂෑන්ග්’’ එක්තරා අර්ථකථනයක් සම්පාදනය කරයි. චිත‍්‍රපට තුනක් ගැන සාකච්ඡා කරන ලද නමුත් හතරවැනි එකක් ගැන ද දෙරට අතර ව්‍යවසායකයෝ සූදානම්ය. පළමු චිත‍්‍රපට තුන අතර කුන්ග් ෆු සහ දිල්ලි සෆාරි නම් කර ඇති අතර ආණ්ඩු මැදිහත් වී හදන විට හතරවැන්න පුද්ගලික සම්බන්ධතා අනුව හැදෙන එක බවට පත්ව ඇත්තේ බෙයිජිං සෆාරි විත‍්‍රපටයයි. ජනතා හදවත් දිනාගෙන ආණ්ඩු යාන්ත‍්‍රණය ඉදිරියට ගන්නේ කොහොමද කියන අදහස නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා සහ ෂින් ජින්ගපින් ජනාධිපතිවරයා හඳුනාගෙන ඇති සෙයකි.