» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/09/2015 - දේශය
නළුවෙකුගේ බලය

ජෝර්ජ් ක්ලූනි ඇමරිකාවේ ප්‍රසිද්ධියක් දිනා ඇති නලූවෙකි. චිත්‍රපට නිෂ්පාදකයෙකු සහ අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් ද නමක් දිනා ඇති හෙතෙම මැතක දී විවාහවන්නේ තවත් නම් දරා ඇති චරිතයක් සේ සැලකෙන අමල් අලාමුඞීන් සමගය. ඇය ප්‍රකට නීතිඥවරියකි. මෙම යුවලගේ විවාහය ලෝක අවධානය අත්පත් කරගෙන තිබේ. නව යුවල ගැන කතා කිරීමට වඩා වැදගත්කමක් ඇති කාරණයක් තිබේ. එක චරිතයකට ලෝකය තුළ නිර්මාණය කරන්නට හැකි වන බලවත්භාවය සම්බන්ධවය.

අමල් ක්ලූනි මැතක දී දිවයිනට පැමිණියේය. එය රාජ්‍යතාන්ත්‍රීක ගමනක් නොවේ. මාලදිවයිනේ දින හතරක සංචාරයක් අවසානයේදීය. දින කිහිපයක් කොළඹ ගත කරන ඇය ශ්‍රී ලංකාවේ දී රාජ්‍ය තාන්ත්‍රීක නිලධාරීන් ගණනාවක් මුණ ගැසෙන්නට අවස්ථාව සලසා ගනී. ජනාධිපති මුණ ගැසේ. අගමැතිවරයා සමග සාකච්ඡා කරයි. ඒ අතරතුර අමල් ක්ලූනි තෝරාගත් මාධ්‍ය වෙනුවෙන් පුවත්පත් සාකච්ඡාවක් ද පවත්වන්නීය. එහි දී ඇය අවධාරණය කරන්නේ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඞ් නෂීඞ් ගැනය. මාලදිවයිනේ දැන් පවතින තත්ත්වය සහ හිටපු ජනාධිපතිවරයා මුහුණ දී ඇති ස්වභාවය ගැන අදහස් දක්වන අතර එය නිවැරදි එකක් නොවන බව අ`ගවන්නේය. එපමණක් නොවේ. එහි දී පෙන්වා දී ඇති කරුණු පමණක් නොව පුවත් පත් සාකච්ඡාවේ දී මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා ගේ ස්වභාවය වෙනස් නොකළහොත් ලෝක ජනමතය අවුලූවා සම්බාධක පනවන්නට පවා හැකි බවට අනතුරු අ`ගවයි. ලෝකයේ රටක් ගැන ඒ ආකාරයට මතයක් දක්වන එම අදහසට ලෝකය පුරා විශාල ප්රචාරයක් ලැබේ. පුද්ගලිකත්වය අභිබවා ජනතාන්ත්රිකත්වය ඉදිරියට පැමිණ ඇති බව මෙයින් තහවුරු වෙයි. පුද්ගලයෙකුගේ ප්‍රතිභාව සංවිධානය ක්‍රීයාකාරීත්වයට වඩා ඉහළට පැමිණ ඇති ආකාරය පෙන්වයි.

අද වැනි යුගයක ක්ලූනිගේ සංචාරය සහ අදහස් මාධ්‍ය ට වැදගත් වෙන්නේ ඇයි?. එය මෙරටට පමණක් නොව ජාත්යන්තර මාධ්‍ය ට ද එක හා සමාන පොදු ස්වභාවයක් ගන්නේ මන්ද? මෙම සිදුවීම හරහා වටහා ගත යුතු කාරණය එයයි. රටකට සහ රටක තීන්දුවලට එරෙහිව විශාල මතයක් ගොඩනගන්නට මානව හිමිකම් ක්‍රීයාකාරී නීතිඥවරියකට ඉඩ ඇති සමාජ ක්රමයක් දැන් සකස්ව තිබේ. අදහස් පැතිරෙන්නට ඇති තාක්ෂණික මාධ්‍ය ව්‍යුහය එයට ඉඩ පාදා තිබේ. මෙයින් දශක කිහිපයකට කලින් මෙවැනි මත දැක්වීමක් මාධ්ය අවධානයට ගන්නේ නැත. සංචාරයක් සැලකෙන්නේ හුදෙක් පුද්ගලික එකක් ආකාරයටය. අඩුම තරමින් සංවිධාන බලයක් ඇති මතයකට විනා ජාත්‍යන්තර මාධ්‍ය තුළ ඉඩක් පාදාගැනීම පහසු නැත. නමුත් දැන් එසේ නොවේ. අමල් ක්ලූනි අ`ගවන්නේ එයයි.

අමල් රම්සි අලාමිඞීන් උපත ලබන්නේ ලෙබනනයේය. අවුරුදු හත්දහසකට එපිට ඉතිහාසයක් ඇති ලෙබනනය රෝමය සහ පසුව ප්‍රංශයට යටත්ව සිට නිදහස ලබන්නේ 1943 තරම් මෑත කාලයේ දීය. නිදහස් ලෙබනනයේ අලූත් පරම්පරාවේ එනම් 1973 දී උපත ලබන අමල් මූලික අධ්‍යාපනයෙන් පමු බ්‍රිතාන්‍යයේ පුරවැසි බව ලබන්නීය. නීතිඥවරියක ලෙස සේවය කරන අමල් ජාත්‍යන්තරව මහත් ආන්දෝලනට පත් චරිත වෙනුවෙන් පෙනී සිටින්නීය. විකීලීක්ස් නිර්මාතෘ ජුලියස් ඇසෙන්ජර් සහ යුක්රේනයේ හිටපු අගමැතිනිය යුලියා තෙමොෂිනිකෝ වෙනුවන් ක්‍රියා කිරීම අමල් රම්සි ගේ චරිතය ලෝක අවධානයට පත් කරන්නට හේතුවෙයි. ලෝකයේ මානව හිමිකම් සහ පොදු අයිතිවාසිකම් වෙනුවෙන් හ`ඩ නගන චරිතයක් බවට විශාල කීර්තියක් අත්පත් කරගන්නා අමල් ක්ලූනි පෙන්වන්නේ රාජ්‍ය අභිබවා පුද්ගලිකත්වය තව දුරටත් සමාජගෝලීයකරණ ව්‍යූහය තුළ ඉහළට නැගෙන ආකාරයයි. ලෝක නායකයෙකුට නොලැබෙන තරමේ පිළිගැනීමක් ඇයට ඇත. එයට පසුබිම ක්‍රීයාකාරීත්වයයි. යුක්තිය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් නගන හ`ඩ කෙරෙහි දක්වන අවධානයයි. ශ්‍රී ලංකාවට පැමිණෙන ක්ලූනි යුවල ජනාධිපති සහ අගමැති හමුවෙයි. වෙනත් යුවලකට නොලැබෙන අවස්ථාවකි. නළුවෙකුට සහ නීතිඥවරියකට එකතු වී රාජ්‍ය නායකයෙකු මුණ ගැසී ලෝකයේ පැවැත්ම ගැන සාකච්ඡා කරන්නට අවස්ථාවක් හැදෙන්නේ රාජ්‍ය තාන්ත්‍රීක ක්‍රීයාපටිපාටියක් අනුව නොවේ. මෙයින් අවධාරණය කරන්නේ ලෝකයේ මතය හැදෙන්නේ අමල් ක්ලූනි වැනි චරිත හදන රාමුව අනුව බවය.

රාජ්‍ය නොවන සංවිධාන සහ ඩයස්පෝරාවේ පමණක් නොව පුද්ගලික චරිත ද ලෝක මතවාදයේ බලවත් ප්‍රමුඛ සාධකය. ආණ්ඩු සහ ලෝක සංවිධාන හරහා ඇතිකරන විශාල මතය හා සමානවම පුද්ගල චරිතයකට ද ඉඩක් ලැබෙන්නේය. තානාපති මට්ටමින් එක`ගතා වලට පැමිණ රටවල් අතර සම්බන්ධතා ගොඩනගන ලෝක පැවැත්ම තුළට පුද්ගලයන්ගේ දක්ෂතා ද ක්‍රීයාකරන තැනට පත්ව තිබේ. රාජ්‍ය නායකයන් කෙලින්ම මුණ ගැසී රටවල් අතර අවබෝධය පුලූල් කරන ආකාරයට රාජ්‍ය නායකයන් මුණ ගැසී අභ්‍යන්තර ප්‍රශ්න ගැන පුලූල්ව කතා කරන්නට ප්‍රකට චරිත වලට ද හැකියාව ඇත. මෙය රාජ්‍ය තාන්ත්‍රීකත්වය වටහා ගත යුතු අලූත් පැත්තකි.

නිල ආකාරයකට ලෝකයේ රටවල් අතර අනන්යතාවය හැදෙන්නේ මෙයින් සෑහෙන කාලයකට කලින්ය. භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය රටක නොසැලෙන පවුරු පදනම්ව වශයෙන් සැලකූ යුගය ද අභියෝගයකට ලක්වන බවපෙනේ. රටකට පමණක් නොව පුද්ගලයෙකුට ද අතිවිශාල ප්‍රතිභාවක් දිනාගත හැකිවී ඇති අතර එයට අනුරූපව රටක් තුළ පිළිගැනීමට ද ලක්වෙයි. චරිතයක ක්‍රීකාරීත්වය තවත් රටකට බලපාන ආකාරය අනුව මෙම බලවත් භාවය තීරණාත්මක බව පැහැදිලිව පෙනේ.

මේ අනුව මහජන ඡන්දයෙන් බලයට පත්වන ආණ්ඩු වලට අලූත් සබ`දතා හදා ගන්නටසිදුවන්නේ ආණ්ඩු සමග පමණක් නොවේ. ආන්ඩු හා සමාන බලවත්කමක් පෙන්වන රාජ්‍ය නොවන සංවිධාන දිනාගත යුතුය. එම සංවිධාන හා සමානවම ජාත්‍යන්තරය තුළ බලවත් මත ඇති කරන පුද්ගල චරිත ගැන ද අවධානයක් දැක්විය යුතුව තිබේ. එය මග හැරිය නොහැකි වගකීමකි. රටක් මුහුණ දෙන අලූත් ආකාරයේ බලවත් අභියෝගය එයයි. විශේෂයෙන් කුඩා රටකට මෙම ප්‍රවාහයෙන් ගැලවිය නොහැකිය.

ශ්‍රී ලංකාව ඇතුලූ වෙමින් සිටින අලූත් ලෝක තත්ත්වයේ එක ආකාරයක ස්වභාවය මෙයින් අවබෝධ කරගත හැකිය. ජාත්‍යන්තරයේ බලවත් භාවය පමණක් නොව පුද්ගලයන්ගේ බලවත් මතයට ද නතුවන්නට සිදුවන සමාජයක් යථාර්ථයට මුහුණ දෙන්නේ කෙසේද? ශ්‍රී ලංකාව අවුරුදු තිහක කාලයක් යුද පසුබිමකට මුහුණ දෙයි. එම අන්ධකාර කාලය තුළ රටට තිබුණ එකම ව්‍යසනය ත්‍රස්තවාදයයි. ත්‍රස්තවාදය මැඩ රට තුළ අරුණාලෝකය උදාවන විට ලෝකයේ අලූත් නැඹුරුව මවිත කරන සුළු එකකි. තවදුරටත් ආණ්ඩු සහ මැති ඇමැතිවරුන් සමග කරන ගනුදෙනුව වැදගත්ම එකක් නොවේ. රටවල් අතර ගිවිසුම් අත්සන් කිරීම විශාල අවශ්‍යතාවයක් නොවේ. ඉතාම වැදගත් වන්නේ පුද්ගලන්තර අවබෝධය ඇති කිරීමයි. ලෝකයේ බලවත් චරිත සමග සම්බන්ධතා නැවත ගොඩනැගීමයි. ලෝක ජනතාව සමග එකතු වීමයි. එකතු වී අලූත් දර්ශනයක් ගොඩනැගීමයි. අපරාධ හා මානව හිමිකම් ගැන නවීන ජාල සම්බන්ධතා ගොඩනැගිමේ දී මුහුණ පාන නව ප්‍රවනතා කවරේද යන්න ගැන අමල් ක්ලූනි යම් අර්ථකතනයක් සපයයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.