» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/03/2016 - දේශය
ආර්ථිකය හැදු ජර්මන් චාන්සලර්

ග්‍රෙහාඞ් ෂෝඩර් ජර්මනියේ චාන්සල්වරයා වශයෙන් වැඩ බාර ගන්නා විට රට ගැන තිබූ උපමාව යුරෝපයේ ''රෝගී කාන්තාව'' යන්නය. දැන් ජාත්‍යන්තර ප‍්‍රජාව ජර්මනිය ගැන කියන්නේ යුරෝපය ඇදගෙන යන ''කෝච්චි එන්ජිම'' හැටියටය. හැමදාම අසනීපයෙන් සිටි කාන්තාවක සේ උපහාසයට ලක් වූ ජර්මන් ජනරජය පසුව දුම්රිය එන්ජිමක ශක්තියක් ඇති තැනක් දක්වා පරිවර්තනයක් කරන්නට ෂෝඩර්ට හැකියාවක් ලැබෙන්නේ කෙසේද? ජනතා විශ්වාසය එහි පදනමයි. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් බලයට පැමිණ වාමාංශික අදහස් ඇතිව සිටි ෂෝඩර් එම ප‍්‍රතිපත්ති පැත්තකින් තබා දක්ෂිණාංශික ආර්ථිකයකට නැඹුරු විය. රට තුළ පරිවර්තනයක් කළේය. තමන් ගේ දේශපාලන අනාගතය ගැන වෙනුවට රටේ අනාගතය ගැන කල්පනා කර තීරණ ගත්තේය. අද ජර්මනියේ චාන්සල්වරිය ඇන්ජෙලා මර්කර් ලෝකයේ බලවත් කාන්තාවක් ලෙස ගෞරවයට පාත‍්‍රවන විට අභ්‍යන්තරය දන්නා විචාරකයන් එහි පසුබිමේ ඉන්නා අදිසි නායකත්වය ෂෝඩර් බව කියන්නට මැලිවෙන්නේ නැත.

ෂෝඩර් ගේ ළමා කාලය යහපත් එකක්ම නොවේ. මාස හයේ දී පියා ජීවිතක්ෂයට පත්වන්නේ දෙවන ලෝක යුද්ධයේ දීය. පුතුන් දෙදෙනෙකු සමග තනිවන ෂෝඩර්ගේ අම්මා ගොවිපොලක වැඩ කරන අතර දරුවන් පෝෂණය කරන්නීය. බාල වියේ සිටම මොනවා හරි වැඩක් කර යමක් උපයන ෂෝඩර් මුලින් ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන තැනක සිට පසුව ඉදිකිරීම් කරන තැනක ලිපිකරුවෙකු දක්වා තැන් තැන් වල සේවය කළේය. එක දිගට ඉගෙන ගත්තේ හැන්දෑවේය. රාත‍්‍රී පාසල් වල ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට ගිය හෙතෙම නීති උපාධිය හිමි කරගනී. හමුදාවට ඇතුළු වෙන්නට ඉඩ තිබුණ නමුත් තමන්ගේ තාත්තා යුද බිමේ දී අහිමි වූ බව දැනගෙන සිටි ෂෝඩර් යුද සේවයට ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නැත.

ජර්මනියේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට සම්බන්ධ වෙන ග්‍රෙහාඞ් ෂෝඩර් අවුරුදු පහලොවක් ඇතුලත එහි තරුණ අංශයේ ප‍්‍රධානියා බවට පත්වෙයි. පක්ෂයට බැදෙන්නට කලින් ඔහු හොඳ පාඩමක් ඉගෙන ගත්තේය. එරට තහනම් ත‍්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස ක‍්‍රියා කළ අතර හිර දඩුවම් විඳ නිදහස් වූයේ නීතිඥයෙකු ලෙස වැඩ කරන්නට එය බාධාවක් නොවන ලෙස තීන්දුවක් ද සමගය. රතු සහ හරිත දේශපාලනයේ එකඟතාවයෙන් වැඩ කිරිම ගැන ෂෝඩර්ට අදහසක් තිබිණ. එයින් මුල සිටම පෙන්නුම් කළේ සමාජවාදී ක‍්‍රමය තුළ තිබූ යම් යම් පැති ගැන විය හැකිය. හෙතෙම තමන්ගේ මතය රටට අනාවරණය කළ අතර එයට ලැබුණ ප‍්‍රතිචාර දිරිගන්වන සුළු එකකි. ෂෝඩර් ගේ දේශපාලන ගමන ආරම්භ වූයේ පාර්ලිමේන්තුවෙන්ය. පාර්ලිමේන්තුවට පැමිණීම සමග සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකත්වයටත් 1986 දී සිය ප‍්‍රාන්තයේ නියෝජනයටත් පත්වන්නට අවස්ථාව ලැබිණ. ඔහුගේ අදහස අනුව සමාජවාදී සහ හරිත පක්ෂ එකමුතුවෙන් 1998 දක්වා පාර්ලිමේන්තුවේ බලය අත්පත් කරගන්නට ද ෂෝඩර් ගේ නායකත්වයට හැකියාව ලැබිණ. එතැන් සිට 2005 දක්වා ඔහු ජර්මනියේ චාන්සල්වරයා වශයෙන්වගකීම භාරගත් අතර එය එරට ආර්ථිකය අලූත් පරිවර්තනයකට පත්කරන පදනම බවට පත්වූ බව අවිවාදාත්මකය.

සමාජවාදී පක්ෂයේ නායකයා වශයෙන් හරිත පක්ෂය සමග සහයෝගීතාවයකට යන ෂෝඩර් ආර්ථිකය නගා සිටුවීම එකම ඉලක්කය බවට පත් කරගනී. ඔහු 2010 දක්වාවන න්‍යාය පත‍්‍රයක් ප‍්‍රකාශයට පත් කරයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස එතෙක් කම්කරුවන්ට වැඩි වාසි තිබූ පසුබිම ආයෝජකයන්ට සහ කර්මාන්තකරුවන්ට ඉඩ ලැබෙන ආකාරයට පැති මාරු කරයි. එය විශාල විප්ලවයකි. සුබ සාධනය අඩු කළ අතර ආර්ථිකය නගා සිටුවන අදහස ඇතිව දක්ෂිණාංශික යෝජනා ගණනාවක් ක‍්‍රියාත්මක කළේය. ආයෝජකයන්ගේ බදු අඩු කරන්නේය. එවකට ජර්මනිය තුළ බදු වැඩි හෙයින් අලූත් කර්මාන්ත හා ව්‍යාපාර වලට තරගකාරී ලෙස ඇතුල් වෙන්නට පුද්ගලික අංශය මැලිකමක් දක්වමින් තිබුණ අතර මෙම නව තීරණය අලූත් ආයෝජන වලට හොඳ පිටිවහලක් විය. 2010 සැලසුම අනුව ජාතික සෞඛ්‍ය රක්ෂණය නතර කරයි. විශ‍්‍රාම වැටුප් අඩු කරයි. කම්කරු දීමනා අඩු කරන අතර රැකියා විරහිත තරුණන්ට සපයන ලද දිමනා අත් හිටුවයි. මෙමගින් රජයේ වියදම් අඩු කරන්නට සැලසුම් කරන ලද අතර එය රට තුළ පැවැති අධික පීඩනය සමබර කරගත හැකි වෙතැයි තක්සේරු කරන්නේය.

ආර්ථිකය හදන්නට නම් වියදම් අඩු කර ආයෝජනය වැඩි කළ යුතු බව හෙතෙම අවබෝධ කරගෙන සිටියේය. මෙම කාරණය ජනතාවට තේරුම්කර දිම පහසු එකක් වූයේ නැත. ප‍්‍රතිසංස්කරණ සිදුවන විට වේදනාව දැනෙන්නට පටන්ගත්තේය. රැකියා හිගය ඉහළ ගියේය. රට පුරා උද්ඝෝෂණ හටගත්තේය. ජර්මන් ව්‍යවස්ථාව අනුව දේශපාලන කාරණා පදනම් කරගෙන වැඩ වර්ජනය කිරීමට ඉඩ නැත. ෂෝඩර්ට වාසියක් වූයේ එය පමණකි. ඔහුගේ පැවැත්ම ජනතාවගෙන් ඈත්විය. එය තාවකාලික එකක් බව වැඩි දෙනෙකුට පැහැදිලිව පෙණින. මෙම වෙනස්කම් තුළ ආර්ථිකය දියුණු වන අතර අඛණ්ඩව සැලැස්මකට අනුව ගමන් කළ හොත් වෙනසක් කරගන්නට පුලූවන් වන බව ඒත්තු ගියේය. නමුත් පොදුවේ ජර්මානු වැසියන් කල්පනා කළේ ධනපතියන්ට සේවය කරන්නෙකු හැටියටය. ෂෝඩර් පුද්ගලික අංශයට දොස් කියමින් ආයෝජනය ඉක්මන් කරන්නට තැත් දරන්නේය. සමාජ මට්ටම පිරිහුණ අතර ආර්ථිකය පහලටම ගියේය. කෙටි කාලීනව අමාරු නමුත් ඔහු ඉලක්ක කරන ලද්දේ 2010 න්‍යාය පත‍්‍රයයි. ඒ වෙනුවෙන් හෙතෙම පෙනී සිටියේය. දුක විඳ හොඳට හුරු පුරුදු ෂෝඩර් යුරෝපයේ පවතින පිබිදීම තමන්ගේ වාසියට නතු කරගන්නට නම් තරගකාරීත්වය වැදගත් වන අතර හැකිතාක් ආයෝජන ගෙන්වා ගන්නට නම් ප‍්‍රතිසංස්කරණ වැදගත් බව වටහා ගෙන සිටියේය. නායකත්වය ගන්නට නම් මෙම පසුබිම ජනතාවට තේරුම් කර දිය යුතුව තිබුණ අතර එය පහසු එකක් වූයේ නැත. 2005 අවුරුද්දේ ඔහුගේ පක්ෂය ප‍්‍රාන්ත මැතිවරණයෙන් පරාජය විය. එය ඔහුගේ ප‍්‍රතිපත්ති ගැන දේශපාලන සංඥාවක් නිකුත් වීමක් සේ සැලකේ.

තමන්ගේ ආර්ථික දර්ශනය ගැන ඒ මොහොතේ දී ජර්මානු පුරවැසියන් කියන දෙය ග්‍රෙහාඞ් ෂෝඩර් තේරුම් ගත්තේය. ඔහු වහාම මැතිවරණයක් කැඳවීය. තමන්ගේ අරමුණ රට ගොඩනගන එක නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන හෙතෙම දැක්මක් ඇතිව කි‍්‍රයා කළේය. තමන්ගේ පවුල් පසුබිම පමණක් නොව ත‍්‍රස්තවාදයෙන් බැට කෑ ඉතිහාසයක් ඇතිව සිටි හෙතෙම කිසිම අවස්තාවක රට තුළ පමණක් නොව රටින් බැහැර විදේශ ප‍්‍රතිපත්තියේ දී හෝ ගැටුම සහ සන්නද්ධ අරගල වලට ඉඩ දෙන්නට සූදානම් වූයේ නැත. එයට වෙනස් ආකාරයකට පාලනය සිදුවිය යුතු බව විශ්වාස කරන්නට ඇති බව නිසැකය.

මහ මැතිවරණය කරට කර සටනකි. ඇන්ජෙලා මර්කර් ඉතාම සුළු ප‍්‍රතිශතයකින් ඉදිරියෙන් සිටියත් රටේ ජනප‍්‍රිය චරිතය බව පෙනෙන්නේ ග්‍රෙහාඞ් ෂෝඩර්ය. ඔහුගේ ප‍්‍රතිසංස්කරණ සමාජයට තිත්ත නමුත් ඒවා ගැන හොඳ ආකර්ශණයක් තිබුණ බව මැතිවරණ ප‍්‍රතිඵල පෙන්නුම් කළේය. ඇන්ජෙලා කරට කර පැමිණි නමුත් ෂෝඩර්ගේ ඡන්ද පදනම සියයට පහලොවකින් පමණ අඩු කරගෙන පවා තනි බලයක් ගන්නට ලැබෙන්නේ නැත. ග්‍රෙහාඞ් ෂෝඩර් ගේ සන්ධාන පක්ෂයට පාර්ලිමේන්තු නියෝජිතයන් වැඩි ප්‍රමාණයක් සිටි හෙයින් සහයෝගීතාවයෙන් ආණ්ඩු කරන අදහසක් එක පැත්තකින් පැමිණි අතර තවත් පැත්තක් කියාසිටියේ ඇන්ජෙලා මර්කර් ට චාන්සලර් ධුරය දී ෂෝඩර් කැබිනට් මණ්ඩලයට පැමිණීම සුදුසු බවය. දුර දිග හිතා බැලූ ෂෝඩර් තමන් කැබිනට් එකට එන්නේ නැති බව පමණක් නොව චාන්සලර්වරිය වැඩ භාරගත් වහා තමන් දේශපාලනයෙන් ඉවත්වන බව ප‍්‍රකාශයට පත් කළේය. ඉතා කෙටි කාලයක් ඇතුලත ජර්මන් ජනරජයේ ආර්ථිකය අනෙක් පැත්ත හරවන්නට බලවත් තීන්දු ගත් ඔහු ඒ සියල්ල කළේ බලය වෙනුවෙන් නොව රට වෙනුවෙන් බව තහවුරු වෙන්නේ මේ අවස්ථාවේ දීය. ජනතාව ඔහුගේ තීන්දුව ගැන සාවධාන වූහ. ඒ වන විටත් ඔහුගේ 2010 ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රය ප‍්‍රතිඵල පෙන්වමින් සිටි අවස්ථාවකි. අලූත් ආණ්ඩුවට ගමන ආරම්භ කරන්නට තිබුණේ ඒ ප‍්‍රතිසංස්කරණ වල නතර කරන ලද තැන පටන්ය. එය ඇත්ත වශයෙන්ම පහසු ගමනකි.

දේශපාලනයෙන් ඉවත්වූ ෂෝඩර් ට ආයෝජන සහ ව්‍යාපාර සමාගම් වලින් ඇරයුම් ලැබිණ. ඔහු ප‍්‍රධාන ආයතන ගණනාවකට සිය සේවය සපයන්නේය. අද වන විට ජර්මනිය විශාල ප‍්‍රබෝධයක් ඇති තැනකි. ජර්මනිය අද ලෝකයේ විශාලතම ආර්ථික ඇති රටවල් අතර හතරවැනි තැනය. යුරෝපා ප‍්‍රජාවේ ප‍්‍රදානම බලවේගයයි. මෙම තත්ත්වයට පත්වන්නේ සෘන ආර්ථිකයක සිට ක‍්‍රමයෙන් වර්ධනය වූ පසුබිමකය. එයට පදනම ග්‍රෙහාඞ් ෂෝඩර් ගේ සැලසුම බව ජනතාව එක හිතින් පිලිගන්නා කාරණාවක් බවට පත්ව තිබේ. හෙතෙම ඒ ගැන හිතන්නේ නැත. රටේ චාන්සල්වරයා හැටියට ඉන්නවාට වඩා අද ජනතාවගේ හිත තුළ ඔහු ගේ ගමන ගැන කැමැත්තක් තිබේ.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.