» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
19/11/2017 - දේශය
එක ඇඟිල්ලෙන් ලෝකෙටම ගිය ජූලි බි‍්‍රස්ක්මන්

ජූලි බි‍්‍රස්ක්මන් වර්ජිනියා ප‍්‍රාන්තයේ සිය පාපැදියෙන් ගමන් කරමින් සිටියාය. ව්‍යායාම ඇදුමක් වන දිග කලිසමකින් සැරසී සුදු උඩුකය ඇªමක් ඇඳ සිටි ඇය පා පැදියක් පදින විට හිස ආරක්ෂා කරගැනීමට හිස් වැස්මක් පැළඳ සිටියාය. ඇය පසු කරගෙන යමින් සිටි විශේෂ අමුත්තන් සහිත පරිවාරක රථ පෙල හදුනාගත් ඇය තම වමතේ මැද ඇගිල්ල ඔසවා කිසියම් සංඥාවක් කළාය. එය සාමාන්‍යයෙන් ගැනෙන්නේ නරක අර්ථයකින්ය. රථ පෙළ සමග ගමන් කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් වන අතර පාපැදිය පැද යන අතර ඇඟිල්ල ඔසවා අපහාස කළේ ඒ බව දැනගෙනම බව පසුව කරන ලද විමසීමක දී අනාවරණය විය. ජනාධිපති ට‍්‍රම්ප් ගේ ධනය හා බලය ගැන නොසලකා ඇඟිල්ලක් ඔසවන්නට සමත් වූ ජූලි එක මොහොතකින් ලෝක අවධානයට ලක් වූවාය. ජාත්‍යන්තර මාධ්‍ය ඇය ගැන නොයෙක් අර්ථකථන දක්වමින් විස්තර ඉදිරිපත් කරන්නට උනන්දු වූ අතර එය ඇය ගැන කිසිසේත් නොදන්නා අති විශාල පිරිසක් අතරට යන්නට හේතුවක් විය.

වර්ජිනියා හි පිහිටි ට‍්‍රම්ප් ට අයත් සුපිරි ගොල්ෆ් ක‍්‍රිඩාංගනයෙන් නික්ම යන රථ පෙළ වෙත ඇඟිල්ල දිග් කිරීම ජනාධිපතිවරයාගේ රථ පෙල සමග ගමන් කළ මාධ්‍ය ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවට හසුවිය. එය පළවූ පසුව එතැනින් ලබාගෙන ජූලියා ඇයගේ ෆේස් බුක් සහ ට්විටර් සමාජ මාධ්‍යයේ පළකළාය. ඒ වන විටත් ඇය ගැන තොරතුරු ලැබී තිබුණ ඇය සේවය කරමින් සිටි ආයතනය ජූලියා සේවයෙන් පහ කරන්නට එය හේතුවක් කරගත්තේය. සමාගමේ සමාජ මාධ්‍ය ප‍්‍රතිපත්තියට නොගැලපෙන කාර්යයක නිරත වූ හෙයින් සේවයෙන් ඉවත් කරන බව ඇමරිකානු රජයේ කොන්ත‍්‍රාත් කරන එම සමාගම කියා තිබිණි. ජනාධිපතිවරයාට කරන ලද අවමානය නරක ලෙස භාරගත් හෙයින් ඇමරිකානු ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්කරන සමාගම තම සේවිකාව ආයතනයෙන් ඉවත් කරන තීරණයට එළැඹී බව මැදහත් විචාරකයෝ දැක්වීය. එම තීරණය සමග ඇයට හිතවත් පාර්ශව ජූලියා ගේ වියදම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂයක් උපයා ගැනීමේ අරමුදලක් ආරම්භ කළේය. එය ඉතා ආකර්ශණීය අදහසක් විය. දින නමයක් ඇතුලත එම ඉලක්කය ඉක්මවා ගියේය. ජනාධිපතිවරයාට කෙලින්ම ඇඟිල්ල දිග් කරන්නට තරම් බලවත් ජූලියා 2020 ජනාධිපතිවරණයට සුදුසු බව ද කියන්නට ඇතැම් ඇමරිකානුවන් ඉක්මන් වී තිබේ.

සිදුවීම ගැන ගාඩියන් පුවත්පත ඇයගෙන් ප‍්‍රශ්න කර ලිපියක් ලියා ඇති අතර එයට අනුව ‘‘ මිලියන ගණනක් ජනතාවට කියා ගන්න උවමනා කර තිබුණේ එයයි. මම එය කියා දැම්මා’’ යනුවෙනි. ජීවිතය පහසු නැති දුෂ්කර එකක් බව ද ජූලියා කියා සිටින්නීය. ‘‘ මම ගියේ පාපැදියෙන්. මගේ පනස්වැනි උපන් දිනය වන විට මගේ බර කිලෝ පනහක්. ඉතින් මම බර අඩු කරගත යුතුයි. මම මැරතන් දුවනවා. බයිසිකල් පදින්නේ බර අඩු කරගන්න. යනුවෙන් ඇය කරුණු පැහැදිලි කර ඇත.‘‘ කරුණු සිද්ධවුණේ ක්ෂණයකින්. ට‍්‍රැෆික් ලයිට්වලට වාහන වේගය අඩු වෙන වෙලාවේ ගොල්ෆ් පිට්ටනියේ සිට හැරුණු වාහන ඇය හදුනා ගත් අතර කියන දේවල් වලට සවන් දෙන්නට වෙඩි නොවදින වීදුරු වලින් එහා පැත්තේ ඉන්නා ඔහු සූදානම් නැති බව දැණුන අවස්ථාවේ දී තමන්ට කරන්නට පුලූවන් වූ එකම දේ කළ බව ඇය තව දුරටත් කියා තිබේ.

වාහනවල වේගය අඩු කළ අවස්ථාවේ ඇය වාහන පසු කර පාපැදිය පදවාගෙන ගිය අතර මෙම සිද්ධිය වාර්තා වූයේ දෙවන වතාවට රිය පෙළ ඇය පසුකරගෙන යන අවස්ථාවේ දීය. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇය ගැන අවධානය යොමු කළා දැයි ජූලියාට අවබෝධයක් නැත. එහෙයින් ඔහුගේ ප‍්‍රතිදාරය නොදනී. නමුත් බුද්ධි අංශ නිලධාරින්ගේ හැසිරීම ඇය නිරීක්ෂණය කර තිබේ. ආයුධ අතැතිව සිටි එක බුද්ධි නිලධාරීයෙකු ගේ බැල්ම තරමක් තැති ගැන්වූ අතර එයට හේතුව ජනාධිපතිවරයා සමග ගමන් කරමින් සිටි ආරක්ෂකයා ගේ දේශපාලන අධිපතිවාදී ද්‍රෘෂ්ඨිය කුමක් දැයි නොදත් හෙයින් බව ද කියා ඇත.

දරුවන් දෙදෙනෙකුගේ මවක වන ජූලියා ඇයගේ සැමියා සමග වර්ජිනියා හි කුඩා නිවසක ජීවත් වන අතර ඩොනල්ඞ් ට‍්‍රම්ප් ට විරුද්ධත්වය පළ කරන ඇඟිල්ල දිග් කරන සිදුවීම මෙපමණ දුරදිය යන එකක් වේයැයි කිසිසේත් කල්පනා කළේ නැති බව නිසැකය. ‘‘ මගේ ඇඟිල්ල දිග් කිරීම රස්සාවෙන් වන්දිගෙවන්නට වෙන එකක් වේවි කියලා කොහොමටවත් හිතුවේ නැති බව ඇය අවධාරණයෙන් කියා තිබේ.

සිද්ධිය ගැන කෙටි පණිඩුවයක් පවුලේ අයට යැවූ ඇය නින්දට ගියේය. ඒ අතරවාරයේ මෙකී සිද්ධිය මාධ්‍ය වලින් ප‍්‍රචාරය විය. ඇමරිකානුවන්ගෙන් පමණක් නොව ලෝකයේ නොයක් තැන් වලින් ජූලි බි‍්‍රස්ක්මන් වෙත සුබපැතුම් පණිවුඩ ලැබුණි. සිද්ධියට පසු දා අළුයම නිවසේ දොරටු විවෘත කරන විට මල් කළඹක් තිබුණ අතර එහි ලියා තිබුණේ ‘‘ඔබ කළ දෙයින් ප‍්‍රබෝධයක් ලැබුණ’’ බවය. ඇය වීරවරියක් ය යන අදහස දෙන සුබපැතුම් විශාල වශයෙන් ලැබුණි.

රැකියාව අහිමි වූ නමුත් ලොව පුරා ජනමාධ්‍ය ඇයගේ තොරතුරු හෙළිදරව් කරන විට හැම තැනෙකින්ම ඇය ප‍්‍රසංශාවට ලක් කර තිබුණි. ජීවත් වෙන්නේ කොහොමද කියා කල්පනා කරමින් සිටින ජූලියා ට ඇය වෙනුවෙන් අරඹන ලද අරමුදලෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂයක් හිමි විය. මෙම මදුල වටිනා එකක් මම පරෙස්සමෙන් පරිහරණය කරනවා යැයි පරිත්‍යාගශීලීන් වෙත කෘතවේදීව සඳහන් කර ඇත.

මෙම සිද්ධියෙන් පෙන්වන අභ්‍යන්තරය තේරුම් ගැනීමට අවශ්‍යය. ජනතාව හැසිරෙන්නේ සාමාන්‍ය අන්දමටය. මිනිසුන් අතර සිටි පුද්ගලයෝ ජනතාවගෙන් බලය ලබා ගෙන ඉහළ තැන් වලට ගොස් පාලකයෝ බවට පත් වෙති. ජනතාවගේ මතය පාලකයන්ට දැනෙන්නේ නැත. උද්යෝගයෙන් පත්කරන නමුත් ජනතාවගේ දුක හා වේදනාව සහිත හැඟීම් තේරුම් ගන්නට නොහැකි පාලකයෝ ජන විරෝධයට ලක් වෙති. විරුද්ධත්වය පෙන්වන්නට ඇමරිකානු කාන්තාවක සමත්වූවාය. ඇය නියෝජනය කළේ ජනතා විරෝධය හෙයින් සංකේතයක් බවට පත්ව තිබේ. ආරක්ෂකයන් පිරිවරාගෙන ජනතාව අතරින් තමන්ගේ ගමන් බිමන් යන පාලකයන් මෙම සිදුවීම් වලින් පාඩමක් ඉගෙන ගත යුතුය. මහජනතාවගේ ගෞරවය දිනා ගන්නේ කෙසේදැයි කල්පනා කරන්නට අවශ්‍යය. සාමාන්‍ය පුද්ගලයන් වශයෙන් ඡුන්දය ඉල්ලන්නට ජනතාව අතරට ගිය නායකයෝ බලයට පත් වූ වහා වෙඩි නොවදින වාහන වල ගිනි අවිගත් ආරක්ෂකයන් පිරිවරාගෙන සිටින්නට හුරුවෙන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කරන්නට අවශ්‍යය. තමන්ටත් කියන්නට දෙයක් ඇති නමුත් ජූලි බි‍්‍රස්ක්මන් සේ ඇඟිල්ල දිග් කරන්නට නොහැකි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටිති. ලෝකයේ කොතැනක හෝ එය නොවෙනස්ය. මැද ඇඟිල්ල ඔසවා සංඥා කරන්නට ධෛර්යය ඇති ජූලියා තමන් ගේ වීරවරිය වශයෙන් ජනතාන්ත‍්‍රිකත්වයට පත්වන්නේ එහෙයින් බව සදහන් කරන්නට අවශ්‍යය.