» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
19/07/2015 - දේශය
තානාපති සේවය ඔත්තු සේවාවක්ද?

ත‍්‍රස්තවාදය පරාජයට පත් කිරීමට හැකිවීම ශ‍්‍රී ලංකාවට මහත් අස්වැසිල්ලක් විය. නමුත් ගැටලූවලට මුහුණ දෙන්නට සිදුවන්නේ ඉනික්බිතිවය. ගැටුම් සහිත කාල පරිඡේදයේ දී ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කරන ලද බවට චෝදනා නැගෙන්නේය. ආණ්ඩුවේ බලධාරීන් එහෙම එකක් නැහැ යනුවෙන් උත්තර හදන විට ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන ආයතන සහ ඩයස්පෝරාව එකතු කරගත් තොරතුරු සම්භාරයක් තිබිණි. තොරතුරු එකින් එක ගෙන උත්තර දෙන්නට මෙරට බලධාරීන්ට බලවත් වෙහෙසක් දරන්නට හැකි නමුත් එයින් රටට යුක්තිය ඉටු නොවන බව විශ්වාසයක් විය. මානව හිමිකම් ගැන නැගෙන ප‍්‍රශ්න සහ ඒවාට දෙන උත්තර අනෙකකි. රටක් ගැන නොයෙක් ආකාරයේ තොරතුරු ගොනු කරන්නේ කොහොමද?

දශක කිහිපයකට කලින් මෙවැනි සිද්ධියක දී කෙලින්ම ඇගිල්ල දිගු කරන්නේ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ටය. එදවස තානාපති කාර්යාලවල සේවය කරන නිලධාරීහු තොරතුරු එකතු කරති. ඒවා කරන්නේ ඔත්තු බලන විලාශයක් ඇතිවය. ඔත්තු සපයන සමීප පුද්ගලයන් ඇසුරු කරන්නට තානාපති කාර්යාල වල ඉහල නිලධාරීහු සමත්ය. රටක් ගැන චෝදනාවක් නැගෙන විට ඔත්තුකරුවන් හා තානාපති අංශ බලවත් පරීක්ෂාවකට ලක්වෙයි. රටක තානාපති කාර්යාල අර්බුදයකට පත්වන්නේ එම රට ගැන තොරතුරු සොයා වාර්තා කරන ආකාරය අනුවය. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව ජාත්‍යන්තරව තියුණු විවේචනයකට ලක්වන විට මෙරට පිහිටි තානාපති කාර්යාල බරපතල චෝදනා වලට ලක්වන්නේ නැත. කලින් යුගයේ දී නම් තානාපති කාර්යාල දෝෂ දර්ශනයට ලක්වන අතර ඇතැමි නිලධාරීන්ට රටින් පිටුවහල් වන්නට පවා සිදුවෙයි. මෙවැනි අලූත් තත්ත්වයක් නිර්මාණය වන්නේ කෙසේද? එය සලකා බැලිය යුතු අලූත් තත්ත්වයකි.

තානාපති කාර්යාල පිහිටුවන්නේ රටක් ගැන තොරතුරු වාර්තා කරන්නටම නොවේ. වර්තමානයේ ඕනෑම රටකට තාක්ෂණය භාවිතාවෙන් සිද්ධියක් ගැන විවිධ පැතිවලින් කරුණු ගවේශනය කළ හැකිය. උදාහරණයක් වශයෙන් වොෂින්ටන් නගරයේ සිට ශ‍්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා නරඹන්නට හැකියාව තිබේ. ගුවන් විදුලිය අහන්නට පමණක් නොව පුවත්පත් කියවන්නටත් හැකියාව ඇත. ලක්ෂ සංඛ්‍යාත වෙබ් අඩවි, සමාජ ජාලා තොරතුරු සම්පාදකයන්ය. එකිනෙකට වෙනස් අසීමිත තොරතුරු සම්භාරයක් ගොනුකරගත හැකි අවස්ථාවක තානාපති කාර්යාලයක නිලධාරියෙකු ඔත්තු සේවාවක මුවාවෙන් ක‍්‍රියාකිරීමේ අවශ්‍යතාවය පැන නොනගී. මේ අනුව තානාපතිවරයෙකු පත් කිරීමේ මුල් අරමුණ අද බලවත් විපර්යාසයකට පත්ව තිබේ.

තානාපති සේවාව ආරම්භවන්නේ යුරෝපයේ වෙස්පාලියන් ගිවිසුම පදනම් කරගනිමින්ය. වසර 1648 දී අද අප සාකච්ඡා කරන විදේශ කටයුතු සේවාවට ව්‍යුහය සකස් වන්නේය. යුරෝපයේ රටවල් අතර වරින් වර යුද ගැටුම් හටගනී. ඒවා අවුරුදු හතලිහක් පමණ කාලයක් අඛණ්ඩව පැටලී ගිය දීර්ඝ වෙහෙසකර යුද තත්ත්වයකි. රාජ්‍ය පාලකයන් යුද වදින විට බිහිසුණු තත්ත්ව ඇති වන්නේ පොදු ජනතාවටය. පීඩාවට පත්වන්නේ ජනතාවගේ ජීවිතයයි. මාජය බි`දවැටී ආර්ථිකය අර්බුදයට පත්වන විට යුරෝපයේ කිසිම රටකට එවකට පැවැති මෙම යුද ගැටුම් අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාවක් පැවතියේ නැත. සියලූ දෙනාටම ගෞරවාන්විතව සම්මුතියකට යාමේ උවමනාවක් පැන නගී. ඒ වෙනුවෙන් එකතු වන නියෝජිතයෝ ජර්මනියේ නගර දෙකක දී මුණ ගැසි සාකච්ඡා කරති. තීරණ වලට එළැඹෙති. යුරෝපයේ එක් කෙළවරක පාලකයෙකුගේ අණ අනුව සාකච්ඡාවලට පැමිණෙන නියෝජිතයෙකු තීන්දුවක් ගන්නට කලින් තමන්ගේ පාලකයා ගේ අවසරය ගන්නට තැත් කරයි. ඒ වෙනුවෙන් ගත වන කාලය අද මෙන් ක්ෂණික නැත. දුර ගෙවා පැමිණ පාලකයා හමුවී විස්තර කතා කර තීන්දුවකට පැමිණෙන්නට සති මාස ගණන් ගතවෙයි. රටවල් ගණනක් ඒ ආකාරයට නියෝජිතයන් යමින් එමින් ගන්නා තීන්දු ප‍්‍රායෝගික එකක් නොවන්නේ නැවත හමුවන විට තත්ත්වය සහමුලින්ම වෙනස් ආකාරයට පරිවර්තනය වි ඇති හෙයින්ය. කාලය බාධාව තුරන් කරන්නට පාලකයාගේ සම්පූර්ණ බලය හිමි නියෝජිතයෙකු පත් කරගැනීමේ උවමනාව එන්නේ ඒ අනුවය. තානාපති සේවායේ ආරම්භය එයයි.

පූර්ණ බලය ඇති අවනත විශේෂ නිලධාරී කණ්ඩායමක් වෙස්පාලියන් සම්මුතිය අත්සන් කර එවකට පැවැති යුද්ධය එක්තරා අවසානයක් කරා ගෙන එන්නට සමත්වන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අලූත් තීන්දු ගණනාවක් ලෝකවාසීන්ට අත්පත් වූ බව ද අමතක කළ යුතු නැත. භෞමික අඛණ්ඩතාවය ගැන එක`ගතාවයක් ඇතිවී අලූත් තේරුමක් පැන නැගෙන්නේ ඒ අනුවය. රට කුඩා වුවත් විශාල වුවත්, බලය කොපමණ මට්ටමක වුවත් සාකච්ඡා සභාවක දී සමාන එකක් බවට පිළිගන්නේ ද මෙම වෙස්පාලියන් සම්මුතියේදීය. ස්වාධිපත්‍ය වශයෙන් අද නිර්වචනය කරන සංකල්පයේ ආරම්භය එතැනය.

රටේ භූමිය ගැන තර්කයක් නැතිව සහ බලය ගැන සාකච්ඡ පසෙකින් තබා එක සමාන නියෝජිතයන් වශයෙන් ආරම්භ වූ තානාපති සේවාව රටවල් අතර දුර හෙයින් තීරණ ගැනීම උදෙසා ආරම්භ කරන ලද නමුත් අද තාක්ෂණය විසින් රටවල පිහිටි දුර නැති කර තිබේ. එය සිදුවන්නේ ක‍්‍රමාණුකූලවය. දුරකථනය එයට ආරම්භක පදනම සකස් කළේය. මුලින් ටෙලෙක්ස් සහ ෆැක්ස් යන්ත‍්‍ර තානාපති කාර්යාලයක බලවත් මෙවලම් බවට පත්ව තිබිණි. සංඥා අකුරු වලින් පණිවුඩ හුවමාරුවූ කාලයේ ඒවා කියවන්නට සයිෆර් එපරේටර් යනුවෙන් තනතුරක් තානාපති කාර්යාලයේ විය. එම ලේඛන වල තිබූ ලේඛන කියවන්නට ඒවායෙන් හුවමාරු වූයේ ඉතාමත් වැදගත් තීරණාත්මක තීන්දු බවට විවාදයක් නැත. තානාපතිවරයෙකු උපදෙස් ඉල්ලා කෙලින්ම රාජ්‍ය පාලකයාට යැවෙන සංදේශ්‍ය නිල එකක් වන අතර එයට ලැබෙන උත්තරය රහසිගත ලේඛනයකි. මෙම ලේඛන අන් අය අතට පත්වීම වැලැක්වීම සහ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට ගන්නා පියවර තානාපති කාර්යාලය තුළ ප‍්‍රමුඛ වගකීමක් සේ දැක්විය හැකිය. තානාපති සේවයට තෝරා ගන්නේ ද එම රහස් රකින්නට සමත්, සමාජ ආශ‍්‍රය සීමා සහිතව කරන්නට සූදානම් දක්ෂ කණ්ඩායමක් පමණකි. එක පැලැන්තියක අය පමණකි. ඒ වෙනුවෙන් තෝරාගෙන පුරුදු පුහුණු කිරීම පමණක් නොව විශාල වැටුප් තල හ`දුන්වා දී අතරමැදි ඔත්තු සේවා වලින් යැපෙන්නේ නැති පිරිසක් බවට පත් කිරීමට ද රටකට යම් වෙහෙසක් දරන්නට සිදුවිය.

වර්තමානයේ මුහුණුවර සහමුලින්ම වෙනස් එකකි. කේබල් පණිවුඩයකින් වක‍්‍රාකාරයකට හුවමාරු කරගත් තොරතුරු කෙලින්ම ඊ මේල් පණිවුඩයකින් යවන්නට හැකියාව ලැබී තිබේ. ඊ මේල් ගිණුම පරිහරණය කිරීම විශේෂිත බලය හිමි තානාපතිවරයාට පමණක් සීමා වෙයි. අවශ්‍ය අවස්ථාවල කෙලින්ම දුරකථනයෙන් රාජ්‍ය නායකයා හා තානාපතිවරයා අතර කතාබහ සිදුවෙයි. එයට කාලය දුර අවස්ථාව කිසිම බාධාවක් කරන්නේ නැත. වියදම පවා ගණන් නොගන්නා තැනට පත්ව තිබේ. දශකයකට කලින් විදේශ තානාපති කාර්යාලයක ෆැක්ස් වියදම වාර්ෂික වියදම් ලේඛනයේ සැලකිය යුතු එකකි. සන්නිවේදනය වෙනුවෙන් පිරිවැයක් තිබිණි. අද ස්කයිප්, වයිබර්, වට්ස්ඇප් ඇතුළු නොයෙක් අන්තර් ජාල අවස්ථා වලින් පිරිවැයක් රහිතව රාජ්‍ය පාලකයා අත ඇති දුරකථනයට කෙලින්ම පණිවුඩයක් යැවීම, හැ`ගීම් පෙනෙන ආකාරයට වීඩියෝ මගින් කෙලින්ම කතා කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. රාජ්‍යතාන්ත‍්‍රික සේවාවේ රහස්‍ය පැති කළමනාකරණය අලූත් පැත්තකින් බලවත් පරිවර්තනයකට ලක්ව තිබේ.

වෙස්පාලියන් සම්මුතිය අවශ්‍යවන වකවානුවේ තිබූ උවමනාව අද තානාපති නිලධාරියෙකුට නැති බව ද මෙහි දී ස`දහන් කළ යුතුය. ලෝකයේ ඕනෑම රාජ්‍ය පාලකයෙකු තවත් රටක පාලකයෙකුට කෙලින්ම කතා කරන්නට සන්නිවේදන පහසුකම් ලබා තිබේ. ඉතාම දරුණු මත ගැටුම් මැද පවා ජනතාව වෙනුවෙන් තීරණගන්නා පාලකයෝ දුරකථනයෙන් කතාබහ කර එක`ගතා වලට පැමිණෙති. චීන නායකයා ඇමරිකානු නායකයා හා කතා කරන්නේ ඒ අනුවය. මෙයට කලාන් එය රටවල් දෙකක තානාපති නිලධාරීන් හරහා ලිඛිතව කරන අදහසු හුවමාරුවකි. ඉන්දියාව හා පකිස්තානය අතර බලවත් වචන හුවමාරු වන නමුත් දෙරටේ අගමැතිවරු ඕනෑම අවස්ථාවක අතරමැදි රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීන් රහිතව අතිශය පුද්ගලික සාකච්ඡාවකට යාමේ අවස්ථාව ලබා ගනී. රටක අලූත් පාලකයෙකු පත් වූ විට සම්ප‍්‍රදාය අනුව තානාපති කාර්යාලය හරහා උණුසුම් සුබ පැතුම් යවන නමුත් අද ඒ වෙනුවෙන් ගත වන්නේ දුරකථනයෙන් සම්බන්ධවන මොහොතක ප‍්‍රමාදය පමණකි. ලෙන්ගතු බව සහ හෘදයාංගම වචන වලින් පාලකයන් සමීප වන විට රාජ්‍යතාන්ත‍්‍රික කාර්ය භාරය අලූත් යොමුවක් කරා ප‍්‍රවේශ වෙමින් සිටී. වටහා ගත යුතු යථාර්ථය එයයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.