» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
19/06/2016 - දේශය
වාර්තා චිත‍්‍රපටියකින් පාපොච්චාරණයක නියැලි ඇන්තනී වීනර්

ඇන්තනී වීනර් ගේ ජීවිතයේ කලූ සුදු සියලූ පැති අලලා වාර්තා චිත‍්‍රපටයක් නිර්මාණය විය. එය දකින කෙනෙකු එහි අන්තර්ගතය සලකා මතබේධාත්මක තීන්දුවක් දෙන්නට ඉඩ තිබේ. මන්ද එය ප‍්‍රතිරූපය වර්ධනය කරන්නටම හැදු එකක් නොවෙන බව නිරීක්ෂණය කළ හැකි හෙයින්ය. නමුත් එයින් ඇන්තනී වීනර් ගේ ජීවිතය දෙස අලූත් කෝණයකින් බලන්නට ඉඩ සම්පාදනය කළේය. ඩිමොක‍්‍රටික් පක්ෂ දේශපාලනඥයෙකු වූ ඇන්තනී ඔහුගේ ලිංගික සම්බන්ධතා විෂයෙහි මහත් අර්බුද ඇතිකරගෙන එක්සත් ජනපද කොන්ග‍්‍රස් මණ්ඩල නියෝජනයෙන් ඉල්ලා අස්වන්නට සිදුවිය. එයින් අවුරුදු දෙකකට පසු හෙතෙම නැවත කරලියට එන්නේ නිව්යෝක් නගරාධිපති ධුරය වෙනුවෙනි. ඒ වෙනුවෙන් සකස් කරන වාර්තා චිත‍්‍රපටය ඔහු ගැන නැවත හිතන පුරවැසියන්ට හෙතෙම ‘‘ මනුස්සයෙකු’’ බව හිතන්නට පොළඹවයි.

පුරවැසියන්ට අනුව ඇන්තනී වීනර් කාන්තාවන් ඉදිරියේ අමුතු චරිතයකි. නමුත් පවුලට සෙල්ලක්කාරයෙකු නොවේ. යහපත් බිරිඳකගේ ස්වාමි පුරුෂයෙකි. ඇය හුමා ආබ්දීන්ය. වර්තමානයේ හිලරි ක්ලින්ටන් ගේ සමීපතම එනම් නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානි ධුරය හොබවන්නීය. එක් දරු පියෙකු වන ඇන්තනී ගේ හැසිරීම ගැන නොයෙක් චෝදනා එන පසුබිම තුළ දරුවා සමග වෙනම ජීවිත් වෙන්නේ නැත්තේ මන්දැයි හුමා ආබ්දීන්ගෙන් ඇමරිකානුවෙන්ගෙන් කොටසක් තදින් ප‍්‍රශ්න කරයි. කාන්තා අයිතිවාසිකම් ගැන පෙනී නොසිටින්නේ මන්දැයි විමසයි. එහෙත් හිත තද කරගෙන තමන්ගේ රාජකාරිය කරන ඇය ඇන්තනී සමග එක නිවසක ජීවත් වෙයි. එවැනි පසුබිමක් තුළ නිව්යෝක් නගර සභාවට තරඟ කරන්නට තීරණය කරන ඇන්තනී ඒ වෙනුවෙන් තමන්ගේ සත්‍ය ජීවිතය වාර්තා චිත‍්‍රපටයක් සේ රටට දක්වන්නට තීරණයක් ගනී. පැයකුත් විනාඩි තිස් හයක් ධාවන කාලයක් සහිත මෙම වාර්තා චිත‍්‍රපටය වීනර් යන නමින් එළිදැක්වුණ අතර විචාරකයන් දක්වන පරිදි එය ආරම්භ වන්නේ ද, ඇන්තනී කියන ප‍්‍රකාශයකින්ය. ’‘ මෙය ඉතාම නරක දෙයක් මගේ සිද්ධියක් ගැන වාර්තා චිත‍්‍රපටයක් හදන්නේ කොහොමදැයි’’ විශ්මිත වෙමින්ය. නමුත් එය එසේ සිදුවෙයි. ඔහුගේ කැමැත්තෙන්ම ඔහුගේ ජීවිතයේ කලූ සුදු සියලූ පැති පෙන්වන චිත‍්‍රපටයක් නිර්මාණය වෙයි. එය ඔහුගේ මැතිවරණ ප‍්‍රචාරක යාන්ත‍්‍රණයේ එක් කොටසකි.

1964 වසරේ දී නිව්යෝක් හි දී උපත ලද ඔහුගේ පියා නීතිඥවරයෙකි. උසස් අධ්‍යාපනයෙන් පසු විශ්ව විද්‍යාලයට ඇතුළු වූ හෙතෙම දේශපාලන විද්‍යා උපාධිය හිමිකරගත් අතර වසර 27 වන විට ඇමරිකානු සෙනෙට් සභාවට පත්වෙයි. ජොර්ජ් බුෂ් ජනාධිපතිවරයා ගේ කාලයෙහි බලවත් ඩිමොක‍්‍රටික් පක්ෂ නියෝජනය ලැබූ හෙතෙම තමන්ගේම අනන්‍යතාවයක් ඇතිව ක‍්‍රියා කරන්නේය. හෙතෙම සෙනෙට් සභිකයෙකු වශයෙන් පත්වන්නේ අඩුම වයසකින් එම තනතුරට පත් වූ හැටියට කීර්ති නාමයක් ද සමගය.

2011 මැයි මාසයේ එක්තරා දිනයක කාන්තාවකට අසැබි දර්ශන ඇතුලත් ට්විටර් පණිවුඩයක් යැවූ බවට චෝදනාවක් එල්ල වෙයි. ඇන්තනී වීනර් එය එක හෙලා ප‍්‍රතික්ෂේප කරයි. නමුත් දින කිහිපයකට පසු ඔහු පුවත් පත් සාකච්ඡාවක දී තවත් පින්තූර ගොන්නක් ඉදිරිපත් කරන්නේ ඉකුත් අවුරුදු තුනක කාලය තුළ කාන්තාවන් හය දෙනෙකුට ලිංගික වශයෙන් බලපෑම් කළ පණිවුඩ යවන ලද බව හා මුල් සිද්ධිය ප‍්‍රතික්ෂේප කිරීම ගැන සමාව ඉල්ලමින්ය. එපමණක් නොව හෙතෙම එතෙක් උසුලමින් සිටි සෙනෙට් ධුරයෙන් ද ඉල්ලා අස්විය.

දේශපාලනය ගැන උනන්දු හෙතෙම නැවත මුල සිට පටන්ගන්නට සූදානම් වෙයි. නිව්යෝක් නගර සභාව තෝරා ගන්නේ ඒ වෙනුවෙන්ය. 2005 අවුරුද්දේ දී නගරාධිපති ඡන්දයට තරඟ කර හොඳ ප‍්‍රතිඵලයක් ගන්නට ඇන්තනී අසමත් වෙයි. 2009 නගරාධිපති ඡන්දය මග හැරෙන්නේ ඔහු වෙනුවට අන් අයෙකුට අපේක්ෂකත්වය දෙන්නට පක්ෂය තීරණය කළ හෙයින්ය.

මේ අතරවාරයේ ජනතා හොඳහිත දිනාගෙන යහපත් නායකයෙකු වෙන්නට ඇන්තනී වීනර් බලවත් උත්සාහයක් දරයි. යටගිය සිද්ධි කෙසේ වෙතත් නැවත දේශපාලනයට එන්නට ජනතා අවස්ථාවක් ලැබිය යුතු බව හෙතෙම ටයිම්ස් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කියා සිටියේය. ඡන්ද යාන්ත‍්‍රණ්‍ය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3.9 ක් එකතු කරන ලද බව ඔහු කියන නමුත නිල වාර්තා අනුව එය මිලියන 5.1 ක් වූ පමණක් නොව වාර්තාගත ධනය එක් රුස්කර ගැනීමට සමත් වූ අවස්ථාවක් බව ප‍්‍රකාශයට පත්විය. දෙවැනි වතාවටත් ‘‘කාන්තාවන්ගේ සිද්ධියකට’’ හෙතෙම ගොදුරු වෙන්නේ මේ අවස්ථාවේ දීය. 2013 අවුරුද්දේ නිව්යෝක් නගරාධිපති තනතුරට කොන්ග‍්‍රස් අපේක්ෂකයෙකු ලෙස තරඟ කරනු සඳහා නැවතත් දේශපාලනයට ප‍්‍රවේශ වූ විට නැවත ඔහුගේ නරක ඉතිහාසයට අනුව වැඩ කරන ලද බව අනාවරණය වීමෙන් පසු ඔහුට අපේක්ෂකත්වය නොලැබෙන බව පෙනී ගියේය. තමන් කොහොම හරි ඡන්දයට එනවා යැයි කියමින් සිටි ඇන්තනී ගේ සහායට එන ඔහුගේ බිරිඳ හුමා ආබ්දීන් සමග මාධ්‍ය ඉදිරියට පැමිණ සිද්ධිවලට සමාව ඉල්ලන නමුත් අවසානයේ දී ඒ සියල්ල ව්‍යවර්ථ වෙයි.

පසුව තමන්ගේම උපදේශන ආයතනයක් ආරම්භ කරන අතර එය එකිනෙකට වෙනස් සමාජ කාර්ය ගණනාවක් වෙනුවෙන් මෙහෙයවා සාර්ථකත්වයක් අත් පත් කර ගනී. එය ඔහුගේ සාර්ථකත්වයට හේතු වෙයි. 2016 නගරාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවට එහුට දැනෙන්නේ ඒ අනුවය. තමන්ගේ ගමන කොතැනක දී හෝ ජනතාන්ත‍්‍රිකයෙකු වශයෙන් ඉහළට නැගෙන්නට බව හෙතෙම විශ්වාස කරන බව මේ අනුව පැහැදිලිය. නගර වැසියන්ගේ නොසතුටට හේතුවන පරිදි කාන්තාවන්ට අසැබි පින්තූර යවා ඒවා නොකරන ලද බව මුලින් කියන හෙතෙම පසුව පාපෝච්චාරනයක නිරත වී සමාව අයදින්නේය. එයින් ද නොනැවතී දෙවැනි වතාවක් ද එය එසේම කරයි. බිරිඳ සම්බන්ධ කරගෙන මාධ්‍ය හමුවට පැමිණෙයි. පොදු ජනතාව චෝදනා කරන්නේ මේ වැනි ස්වාමිපුරුෂයෙකු සමග දීගය පවත්වාගෙන යාම නරක බවය. එපමණක් නොව ඇය හිලරි ක්ලින්ටන්ගේ කණ්ඩායමේ සමීප සාමාජිකාවක සහ එය ක්ලින්ටන්ගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයට නරක ආකාරයට බලපානු ඇති බව විචාරකයෝ සඳහන් කරන්නට පටන්ගෙන තිබේ. එසේ තිබිය දී තමන්ගේ මැතිවරණ ප‍්‍රචාරක යාන්ත‍්‍රණය සහිත ජීවිත කතාව සම්පූර්ණයෙන්ම වාර්තා චිත‍්‍රපටයක් බවට පත්කර එය මුළු ලෝකයටම පෙන්වන්නට තරම් හෙතෙම අධිශ්ඨානශීලී චරිතයක් බවට පත්ව ඇත.

ජෝෂ් ක‍්‍රීග්මන් සහ එලිස් ස්ටෙන්බර්ග් දෙදෙනාගේ අධ්‍යක්ෂණයෙන් 2013 නගරාධිපතිවරණ ප‍්‍රචාරක වැඩ පිලිවෙල මුල මැද අග හරියටම වාර්තා චිත‍්‍රපටයක් හැටියට සකස් කරයි. එය වීනර් යනුවෙන් නම් කෙරේ. ඉතාම සාර්ථක ප‍්‍රචාරක වැඩ පිලිවෙලක් සමග නැවතත් දේශපාලන ගමනකින් නැගිටින්නට තැත්කරන නගරාධිපති අපේක්ෂකයා සහ ඔහුගේ අනුගාමිකයන් දෙවැනි සිද්ධියෙන් පසු අසරණ වී සිටින අවස්ථාවේ දී චිත‍්‍රපටය සකස් කරන්නට එන කණ්ඩායම ඉවත්කර සැමියා සහ බිරිඳ හුදෙකලාව අභියෝගයට මුහුණ දෙන අන්දම චිත‍්‍රපටයේ උද්වේගකර දර්ශනය හැටියට රාමුගත කර තිබේ. වර්තමාන යුගයේ දේශපාලනය කෙබඳු එකක් ද යන්න වටහා ගැනීමට මෙම අවකාශය ඉඩකඩ පාදයි. නරක ගති ඇති, එක වතාවක් පමණක් නොව දෙවතාවක් එකම දෙය කරන ලද ස්වාමිපුරුෂයෙකු සමග ජීවත්වන මෙම පවුල සමාජයකට නායකත්වය දෙන්නට සුදුසු දැයි තීරණය කරන්නට ඉදිරි මැතිවරණයකට ඡන්දය දෙන නිව්යෝක් නගරවැසියන් පියවර ගනු ඇත.