අයිවර් ජෙනින්ග්ස් බි‍්‍රතාන්‍ය නීතිවේදියෙකි. අධ්‍යාපනඥයෙකි. ඔහු ගේ සේවය එක්සත් රාජධානියට කොපමණ වැදගත්වී ද යත් එපමණකටත් වඩා ශ‍්‍රී ලංකාවට ද අනුස්මරණීය එකකි. නොමැකෙන ඓතිහාසික සේවාවක් ඉටු කර තිබේ. මෙරට පළමු ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ බාර ධුර කාර්යය හෙතෙම ඉටු කළේය. ලංකා විශ්ව විද්‍යාලයේ පළමු උප කුලපතිවරයා වශයෙන් ක‍්‍රියා කළේය. මෙම අවස්ථාවල දී තීරණගත් අන්දම රටට අභිමානය කැඳවා තිබේ. ශ‍්‍රී ලාංකිකයන් අතර ජනතාන්ත‍්‍රිකත්වයට පත්වන්නට එය කදිම සාක්ෂියකි.
1903 බි‍්‍රතාන්‍යයේ බි‍්‍රස්ටල් හි උපන් ජෙනින්ග්ස් ගේ පසුබිම සරලය. වඩු කාර්මිකයෙකු වූ ජෙනින්ග්ස්ගේ පියා දරුවා පාසල් යවන කාරණයේ දී ඔහුගේ ඉගැනීම ගැන උනන්දුවෙන් පසුවිය. නමුත් ධනය කොතැනින්ද? කුඩා ජෙනින්ංග්ස් ගේ දක්ෂතාවය හෙයින් ලැබුණ අධ්‍යාපන ශිෂ්‍යත්වය එයට මනා පිටුවහලක් වී තිබේ. මූලික අධ්‍යාපනයෙන් පසු එරට ලීඞ්ස් විශ්ව විද්‍යාලයේ නීති ආචාර්ය වරයෙකු සේ සේවය ආරම්භ කරන්නට හෙතෙම සමත් විය. වසර තුනකට පසු අධිකරණ නීති කටයුතු කාර්යයන්ට ද කැඳවූ නමුත් ඔහුගේ කැමැත්ත වූයේ ඉගැන්වීමයි. එහෙයින් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් නම් අංශයේ නීති පීඨයට එකතු විය. එය සිඞ්නි සහ බියටී‍්‍රස් වෙබ්, ග්‍රෙහැම් වොලස් සහ ජෝර්ජ් බර්නාඞ් ෂෝ යන වියතුන්ගෙන් ප‍්‍රධානත්වයෙන් යුත් ෆේබියන් සමාජවාදී කණ්ඩායමක් විසින් ආරම්භ කරන ලද අතර ලෝකයේ පවතින සමාජ ආර්ථික තත්ත්වය සම්බන්ධ න්‍යායාත්මත කරුණු ගැන බි‍්‍රතාන්‍යයට සම්බන්ධ රටවලට අවබෝධයක් දීම එය ස්ථාපිත කිරීමේ අරමුණ වී තිබිණ.
නිදහස් ලංකාවේ විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන අවස්ථාවේ දී ජෙනින්ග්ස් මෙරටට පැමිණෙයි. ලංකාවේ විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන බවට ලන්ඩන් හි ප‍්‍රසිද්ධ කර තිබුණ අතර ජෙනින්ග්ස් එයට කැමැති වූයේ අභියෝග හෙයින් බව පසුව ලියා තිබිණ. ඒ වන විට හෙතෙම දේශපාලනය, නීතිය හා සෙසු අංශ ගැන බි‍්‍රතාන්‍ය, කැනඩාව හා ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක හදාරා විශිෂ්ඨ අත්දැකීම් සහිත මටට්මක පසුවිය. ජාත්‍යන්තර සඟරා වල පළ කරන ලද පර්යේෂණ ලිපි සෑහෙන ප‍්‍රමාණයක් වූ අතර 1940 දී මෙරටට එන විට තිස් හත් හැවිරිදි වූ හෙතෙම පළකරන ලද කෘති ගණන එකොලහක් බව සඳහන්ය. හැට හත් වසරකට සීමාවූ ජීවන ගමනේ දී එයින් සෑහෙන කොටසක් ලංකාවේ ගත කරන ලද අතර ලෝකයේ කැපී පෙනෙන විශ්ව විද්‍යාලයක් සේ පේරාදෙණිය ස්ථාපිත කරන්නට ගත් වෙහෙස ඒ අතර විශේෂිතව කැපී පෙනෙයි. කොළඹ කුඩා තැනක සිට පේරාදෙණිය ප‍්‍රදේශයේ අද පවතින තැනට ලංකා විශ්ව විද්‍යාලය යොමුකරන විට එහි ගොඩනැගිලි ඉදිකිරීමේ සිට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පහසුව කෙරෙහි ද අති විශාල උවමනාවකින් සොයා බලන ලද බව ජෙනින්ග්ස් ගැන ලියැවී ඇති වාර්තා ප‍්‍රශංසාවෙන් සඳහන් කරන දෙයකි. ගෙදර පරිසරයට වඩා හොද පරිසරයක් විශ්ව විද්‍යාලය තුළ තිබිය යුතුය යන අදහසෙහි සිට එකතු කරන ලද අංග ගැන හෙතෙම අවධානය යොමු කළ බව සඳහන් කිරීම වැදගත්ය. නමුත් එහි දී එවැනි භූමි භාගයක් නිර්මාණය කිරීමෙන් පසු අද වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමහර ශිෂ්‍යයන් වෙතින් අනාවණය වන කම්පා සහගත සිද්ධි දෙස බලන විට අයිවර් ජෙනින්ග්ස් ගේ උත්සාහය ගැන ඇතිවන්නේ කම්පාවකි.
ලංකා විශ්ව විද්‍යාලයේ පළමු උප කුලපතිවරයා වශයෙන් සිටිය දී හෙතෙම ලංකාවේ නිදහස් නිදහස් ආකෘතිය සඳහා වූ වැදගත්ම ලියැවිල්ල සටහන් කරන්නේය. ජෙනින්ග්ස් එවකට නිදහස් සටනේ පුරෝගාමී චරිතයක් වූ ඞී. ඇස් සේනානායකයන් ගේ විශ්වාසවන්ත උපදේශක සේ ක‍්‍රියා කර තිබේ. ලංකාවේ පළමු ව්‍යවස්ථාව සකස් කරන විට ඞී. ඇස් සේනානායක, ඔලිවර් ගුණතිලක සහ අයිවර් ජෙනින්න්ග්ස් කරන ලද සාකච්ඡා ඉතිහාසයට එකතු වී තිබේ. ද ‘රෝඞ් ටු ටෙම්පල්ස් ටී‍්‍රස්’ යනුවෙන් මෑතක පළ වූ කෘතියක ජෙනින්ග්ස් මෙම කතා බහ කරන අද ආකාරය ගැන සටහන් පළ කර ඇත. ශ‍්‍රී ලංකාව අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නට කමිටු පත්කර විශාල ප‍්‍රයත්නයක් දරන මෙකල එහි අභ්‍යන්තරය විමර්ශනය කිරීම ද වැදගත් පැත්තකි. ඞී. එස් සහ ඔලිවර් දෙදෙනා මහනුවරට ගොස් බොහෝ දින ගණනක් ගත කර ඇති අතර එම දිනවල රාතී‍්‍රය ගෙවී පසුදා පහන් වන තෙක් ව්‍යවස්ථාවේ ඇතුලත් විය යුතු කරුණු ගැන දීර්ඝ කතා බහ ඇති වී තිබේ. මෙරට නායකයන් ආපසු කොළඹ බලා යන නමුත් ජෙනින්ග්ස් තම කටු සටහන් පරිහරණය කරමින් රටට නිදහස ලබන විට දායාද කළ හැකි හොඳම ලියැවිල්ල සම්පාදනය කර තිබේ.
ජෙනින්ග්ස් ලංකාව ගැන කැමැත්තෙන් සිටි බව සදහන් නොවෙන සටහනක් සොයා ගත නොහැකිය. ලංකාව සහ වැසියන් ගැන කතාකරන්නේ අවබෝධයෙන්ය. මෙරට විසූ ජනයා අතර තිබුණ ජන වර්ග ඒවායේ වරෙක මතුවන උණුසුම් පැති ගැන පමණක් නොව සමාජ සහ සංස්කෘතික අනන්‍යතා ගැන ද විශාල දැනුමක් සහිතව කි‍්‍රියා කරන ලද හෙයින් මෙම ව්‍යවස්ථා සම්පාදන කාර්යය දුෂ්කර එකක් වී නැති බව උපකල්පනය කළ හැකිය.
අධික කාර්ය බහුලත්වය මැද පවා ජෙනින්ග්ස් අලූත් පොත් හතක් ලංකාවේ දී ලියන ලද අතර පැරණි පොත නැවත සංස්කරණය කළේය. 1948 අවුරුද්දේ දී ශ‍්‍රී ලංකාව නිදහස ලබන විට අන්තර් ජාතික වශයෙන් කරන ලද සේවය සලකා නයිට් නාමයක් පිරිනමන්නට බි‍්‍රතාන්‍ය තීරණය කළේය. රටට ව්‍යවස්ථාව හදා පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගොඩ නගා එහි උප කුලපති ධුරයෙන් සමුගෙන නැව් නැග යන ජෙනින්ග්ස් නතරවූයේ කේම්බි‍්‍රජි විශ්ව විද්‍යාලයේ ප‍්‍රධානියා වශයෙන්ය.
සිය යටත් විජිතයක් වූ ලංකාවට ජෙනින්ග්ස් එවන්නට බි‍්‍රතාන්‍යය තීරණය කළේ එහි වැසියන්ගේ සිවිල් සේවා දියුණු කරන හොඳ ඉගෙනුම හදන විශ්ව විද්‍යාලයක් දෙන අරමුණ ඇතිවය. නමුත් ජෙනින්ග් එයින් එහා ඇති පාරාදීසයක් රටට නිර්මාණය කළේය. ලැබුණ වරම උපයෝගී කරගෙන රටට අනන්‍ය විශේෂිත විශ්ව විද්‍යාලයක් හැදූ හෙතෙම රටට අදටත් කිසිසේත් අමතක කළ නොහැකි දාර්ශනික වටිනාකම් අන්තර්ගත කර ව්‍යවස්ථාවක් හදා වගකීම මැනවින් ඉටු කරන ලදහ.
ජෙනින්ග්ස් ලංකාවට එන්නේ ඉක්මනින්ය. බිරිඳ හා දරුවන් පසු දිනක වෙනත් නැවකින් ආබව සඳහන් වෙයි. ඒ වන විට පැවැති ගැටුම් හෙයින් නැව අනතුරකට පත්ව ඇති අතර එක දරුවෙකු දරුණු තුවාල ලබා තිබේ. එය ඔහුගේ ජීවිතයේ කණස්සල්ල ඇති කළ අවස්ථාවකි. 1941 මාර්තු මාසයේ මෙරටට පැමිණියාට පසු උදා වූ පළමු රජයේ නිවාඩු දිනයේ දී හෙතෙම විශ්ව විද්‍යාලයට යෝජිතව තිබූ පේරාදෙණියට ගොස් එහි ගස් අතර ඇවිදිමින් ආශ්වාදයට පත් වූ බව පුද්ගලික සටහන් වල ලියා ඇත. මහවැලි ගඟ ගලන දෙස බලමින් ලෝකයේ සෞන්දර්යාත්මක විශ්ව විද්‍යාලයක් ඉදිවන තැන දෙස මනස් සිතුවමක් සිට ඇති බව දැක්වේ. මෙරට අභිවෘද්ධිය වෙනුවෙන් අමරණීය වටිනාකමක් ඉතිරි කරන ලද මෙම මහා වියතානන් ගේ ඇසින් අනාගතය දකින්නට අප සූදානම්ද?
|