» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/11/2018 - දේශය
හතර වැනි කර්මාන්ත විප්ලවය හා ශ‍්‍රී ලංකාවේ පැවැත්ම

ජගත් ප‍්‍රජාව හතරවැනි කර්මාන්ත විප්ලවය සඳහා පෙල ගැසෙමින් සිටී. නොයෙක් රටවල් කාර්මික හා තාක්ෂණික වශයෙන් සෑහෙන ඉදිරි පියවර තබන බව අනාවරණය වන කරුණකි. නොබෝදා චීනයේ ක්ෂින්හුවා පුවත් සේවය ජන මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඉදිරි පිම්මක් සනිටුහන් කළේය. පළමු වතාවට කෘතීමව හැදු රොබෝවරයෙකු ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයට එකතු කරගත්තේය. චීන රජයේ නිල පුවත් විකාශනය වන ක්ෂින්හුවා හි කෘතිමව නිපදවන ලද ප‍්‍රවත්ති කියවන්නා ගේ ඉදිරිපත් කිරීම ලෝක අවධානයට පත් විය. එම ප‍්‍රවෘත්ති කියවන ලද චරිතය ඇස් පිය හෙලමින්, තාක්ෂණික මෙවලමකින් පිටපත දෙස බලා එය කියැවීම විශේෂ අවස්ථාවකි. පැය විසි හතරම එයින් නොනැවතී වසර පුරා එක දිගට ක්ෂින්හුවා ප‍්‍රවෘත්ති කාමරයේ පුවත් කියවන්නට මෙම රොබෝ මිනිසා සමත් බව අනාවරණය වෙයි.

ප‍්‍රවෘත්ති කියවන රොබෝ මිනිසා හතර වැනි කර්මාන්ත යුගයේ සිදුවන විශාල පරිවර්තනයේ එක සංකේතයකි. රොබෝවරු හා කෘතීම බුද්ධිය දැන් සිදුවෙමින් පවතින හතරවැනි කර්මාන්ත විප්ලවයේ ප‍්‍රධාන කොටස්කරුවන්ය. දියුණු රටවල් සෑහෙන ප‍්‍රමාණයක් හතරවැනි කර්මාන්ත යුගයට අවතීර්ණ වෙමින් තිබේ. මනුෂ්‍යයාට කළ නොහැකි කාර්යන් රොබෝ වරුන්ට පැවැරීම එක පැත්තකි. අනෙක කාර්යක්ෂම හා ඵලදායීතාවයෙන් යුතු නිෂ්පාදන කාර්යයට කෘතීම බුද්ධිය භාවිතයට ගැනීමයි. ලෝකයේ ප‍්‍රකට නොයෙක් කර්මාන්ත හා නිෂ්පාදන ආයතන රොබෝ තාක්ෂණය වෙනුවෙන් විශාල වශයෙන් ආයෝජනය කරමින් සිටී. දිවා රාත‍්‍රී විවේකයක් රහිත අධීක්ෂණය අඩු නිෂ්පාදන රටාවක් හෙයින් රොබෝ මෙහෙයුම ආර්ථික වශයෙන් වාසිදායක වී තිබේ. එයට සමාන්තරව ති‍්‍රමාණ ඉදිකිරීම් ක‍්‍රම හදුන්වා දෙයි. නැනෝ තාක්ෂණය බහුලව ප‍්‍රයෝජනයට ගැනෙමින් තිබේ. කර්මාන්ත පැත්තෙන් පමණක් නොව කෘෂි කර්මාන්ත අංශයෙන් ද වෙනසක් සිදුවෙන බව සඳහන් කළ යුතුය. ගොවි පොල පවා තාක්ෂණීකරණය වී ඇති අතර ජාන තාක්ෂණය ද එයට සම්බන්ධ වී ඇත. උසස් ජාන සහිත බවභෝග වලට ජලය, පොහොර යෙදීම ගොවිපොල රොබෝවරුන් යටතේ පාලනය වන බව වාර්තාවෙයි. ඒවායෙන් පිරිවැය කළමනාකරණය වන අතර නිෂ්පාදනය ඉහළ යයි. ලෝකයේ අනාගත ආහාර හා කර්මාන්ත අවශ්‍යතා වෙනුවෙන් අති විශාල ප‍්‍රමාණයෙන් නිපදවීම යාන්ත‍්‍රීකරණය වීම හතරවැනි කර්මාන්ත විප්ලවයේ ප‍්‍රධාන ඉලක්කය වී ඇත.

වාෂ්ප බලය උපයෝගීකරගැනීම පළමු වැනි කර්මාන්ත යුගය සේ සලකයි. එහි දී බලශක්තිය වූයේ වාෂ්ප යන්ත‍්‍රයයි. යකඩ සහ රෙදි නිෂ්පාදනය සඳහා ජල වාෂ්ප භාවිතා වූ අතර ප‍්‍රධාන වශයෙන් නැව්, දුම්රිය ප‍්‍රවාහනය ද වාෂ්ප එන්ජින් වලින් සිදුවිය. දෙවැනි යුගයේ දී වාෂ්ප එනිජිම වෙනුවට ඛනිජ තෙල් අවතීරණ වෙයි. ඛනිජ තෙල් වලින් විදුලිය නිපදවන අතර විදුලිය බලයෙන් මෙහෙයැවෙන යන්ත‍්‍ර සූත‍්‍ර බහුල වකවානුවකි. මනුෂ්‍ය සංහතියේ පැවැත්මට උපයෝගී කර ගැනෙන වැදගත් සොයා ගැනීම් සෑහෙන ප‍්‍රමාණයක ආරම්භය දෙවැනි කර්මාන්ත යුගයයි. එහි තීරණාත්මක අවස්ථාවක ඩිජිටල් යුගය උදා වූ අතර පුද්ගල පරිගණක, අන්තර් ජාලය වැනි අංශ වලින් එය සන්නද්ධ විය. තොරතුරු හුවමාරුව වේගවත්වීම සමග නිෂ්පාදන ක‍්‍රියාවලිය සම්පූර්ණ පරිවර්තනයකට ලක් වූ අතර වෙළඳ පොල අවශ්‍යතා ගැන දත්ත වේගයෙන් හුවමාරු කරගැනීමට ඉඩ සැලසිණ.

පළමු කර්මාන්ත විප්ලව තුන පදනමක් කරගෙන හතරවැනි කර්මාන්ත යුගය උදා කරන බව ජාත්‍යන්තර පර්යේෂකයන්ගේ මතය වී තිබේ. ලෝක ආර්ථික සංසද වාර්තාවකට අනුව දියුණු රටවල්වල වැඩ කරන ජනතාව අතරින් මිලියන හතක පිරිසකට ඉදිරි වසර පහ තුළ රැකියා අහිමි විය හැකි බව අනතුරු අඟවා තිබේ’. එයට හේතුව අලූතින් වර්ධනය වන තාක්ෂණ සහ රොබෝ යුගය තුළ අවස්ථා අහිමි වීම බව දැක්වෙයි. නවීකරණය වන සමාජය තුළ පවතින්නට නම් නූතන යුගයේ අලූත් දේ ගැන අලූතින් ඉගෙනගන්නට සිදුවන බව ලෝක ආර්ථික සංසදය පෙන්වා දී ඇත.

එකම හෝටල කාමරයක්වතත් නැති සමාගමක් ලෝකයේ විශාලතම සංචාරක සත්කාරක සේවා සමාගම බවට පත් විය හැකිය. එකම රථයක හෝ අයිතියක් නැති ආයතනයක් ලෝකයේ විශාලතම ප‍්‍රවාහන සමාගම බවට පත්වනු ඇත. රියැදුරන් රහිත වාහන ධාවනය වනු ඇති අතර සම්ප‍්‍රදායික ඉන්ධන බලශක්තිය අහෝසි වෙන්නට ඉඩ තිබේ. ප‍්‍රවාහනය අලූත් පැති වලට යොමුවන අතර ඉතාම වේගයෙන් පොලවට ඉහළින් හා පොලව යටින් ගමන් කරන මාර්ග පද්ධති හැදෙන බවට පුරෝකථන පැන නැගී තිබේ. එය ඉතා සංකීර්ණ හිතාගැනීමට හෝ අපහසු යුගයක් නිර්මාණය කරනු ඇත.

ජාත්‍යන්තරය හතරවැනි කර්මාන්ත යුගයේ එළිපත්තේ සිටින අතර ශ‍්‍රී ලංකාවේ පැවැත්ම කෙබදුද? තවමත් වසර තිහ හතලිකහට කලින් පැවැති රාමුවේ ස්ථාන ගත වී තිබේ. අලූත් තාක්ෂණය, අලූත් බලශක්තිය හෝ රොබෝ තාක්ෂණය ගැන කිසිම පියවරක් නැත. පැය අටේ වැඩමුරය, වැඩ පරීක්ෂකවරු පොත් අත්සන් කිරීම වැනි සම්ප‍්‍රදායික ලක්ෂණ කෙසේවත් ගිලිහී නැත. ලෝකයේ දියුණු රටවල් අලූත් පිමි වලින් නිෂ්පාදන ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යන අවස්ථාවක ශ‍්‍රී ලංකාවේ තවමත් පැරණි නීති රීති යටතේ වෘත්තීය සමිති අරගල මැද ඉතාම අලාභදායක නිෂ්පාදන ක‍්‍රියාවලියක බව කර්මාන්ත අංශ්‍ය නිරීක්ෂණය කරන විට පෙනේ.

ශ‍්‍රී ලංකාව තුන්වැනි කර්මාන්ත විප්ලවයේ අවස්ථා පවා ග‍්‍රහණය කරගත්තේ නැත. අන්තර් ජාලය හෝ තොරතුරු තාක්ෂණය ප‍්‍රයෝජනයට ගැනීම ඉතාම දුර්වල තැනක පසුවිය. රජයේ හෝ පුද්ගලික අංශයේ තැනෙක තොරතුරු හුවමාරුවට පරිගණකය භාවිතා කළ ද සම්ප‍්‍රදායික ලිපි යැවීමේ ක‍්‍රියාවලියෙන් ඉවත් වී නැත. ආණ්ඩුවේ කන්තෝරුවේ පැරණි ලිපිගොනු තවමත් සුපුරුදු පරිදිය. එය ජනතාවට අවාසි අත්කර දුන් අවස්ථාවක් වශයෙන් සඳහන් කළ යුතුය. අවශ්‍ය මොහොතේ ප‍්‍රතිපත්ති සම්පාදනය කර වේගයෙන් තීරණ ගැනීම කළ හැකි වී නම් අද පවතින සමාජ ව්‍යුහය විශාල පරිවර්තනයක බව සඳහන් කළ යුතුය.

ශ‍්‍රී ලංකාව අලූතින් හිතන්නට අවශ්‍යය. තුන්වැනි කර්මාන්ත යුගය අතරතුර හතරවැනි කර්මාන්ත යුගයට අවතීර්ණ වීම ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. එහි දී මානව සම්පතට හිමි තැන නොඅඩුය. රොබෝ යන්ත‍්‍ර සූත‍්‍ර හා මෙවලම් මෙහෙයවන අවබෝධය ඇති තරුණ පරපුරක් රටට අවශ්‍යය. ඉදිරි වසර කිහිපය තුළ ලෝකයේ දියුණු රටවල තිබුණ රැකියා අවස්ථා සීමා විය හැකිය. එය මෙරට ශ‍්‍රමික ජන කොටසට ද අවාසියකි. මැද පෙරදිග හා යුරෝපා රටවල් වේගයෙන් රොබෝ තාක්ෂණයට ඇතුළු වෙමින් තිබේ’. පැවැති අවස්ථා අහිමි වන අවස්ථාවක විදේශගත ලාංකිකයන්ට අත්පත්වන ඉරණම කුමක්ද? මෙරට කර්මාන්ත පවා සුළුවෙන්න හෝ රොබෝ තාක්ෂණයට ඇතුළුවුවහොත් රටේ අනාගත රැකියා අවස්ථා කෙබදු මුහුණුවරක් ගැනීමට ඉඩ තිබේ ද යන්න ගැඹුරු අවධානයකට යොමු විය යුතුව තිබේ. රට තුළ දැනටමත් යම් යම් කර්මාන්ත අලූත් යුගයට අනු?ප වන පරිදි වෙනස් කරමින් සිටී. සේවකයන් දහ දොලොස් දෙනෙකු වෙනුවෙන් වැඩ කළ හැකි එක යන්ත‍්‍රයක් පැමිණ තිබේ.

නිෂ්පාදනයේ අලූත් පැති ගැන හිතන්නට අවශ්‍යය. බලශක්තිය නව පැති කරා යොමු වන ආකාරය අධ්‍යයනය කිරීම සුදුසුය. අධ්‍යාපන ක්ෂේත‍්‍රය විශේෂ සැලකිල්ලට ලක්වීම අවශ්‍යම කාරණයකි. පවතින අධ්‍යාපන ක‍්‍රමයෙන් බිහිකරන දැනුම අනාගතයට ගැලපෙන්නේ නැත. කෘතීම බුද්ධිය වේගයෙන් එකතුවන යුගයක සම්ප‍්‍රදායික අධ්‍යාපනයෙන් ලැබෙන පිටිවහල කුමක්ද? තරුණ පරපුර මෙහිලා විශේෂයෙන් උනන්දු විය යුතුය. සෞඛ්‍ය අංශය විශාල වෙනසකට ලක්ව ඇති අතර එයට තොරතුරු තාක්ෂණය ඉවහල් වී ඇත. සෑම ක්ෂේත‍්‍රයක් ගැනම වෙන වෙනම අධ්‍ය්‍යනය කර තීරණ ගැනීමේ අවශ්‍යතාව පැන නැගී තිබේ. එය දැන් කරගෙන යන දේශපාලනයට නොදැනෙන කාරණයකි. බලය ආරක්ෂා කරගෙන සම්ප‍්‍රදායික දේශපාලනයෙහි නිරතවීමට දැන් ඇති අධ්‍යාපනය ප‍්‍රමාණවත්ය. ආණ්ඩුවෙන් යැපෙන රැකියා හතර වන කර්මාන්ත යුගයේ දී පවා ශ‍්‍රී ලංකාවේ තව දුරටත් එසේ පවතිනු ඇති අතර එය පවැත්ම සඳහා ප‍්‍රයෝජනවත්ය. නමුත් ජාත්‍යන්තරය වෙනස් වී තිබේ. වේගයෙන් අලූත් පැති නිර්මාණය වී ඇත. ලෝකය ගමන් කරන වේගයට අනුගතවීමට උත්සාහ කළ යුතුය.