» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/10/2015 - දේශය
විලියම් හේග් සතුන් සමග සටනට

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සැසිවරය අවසානය අවස්ථාවේ තමන්ගේ නිල කාර්යාලය වසා දමා ඉවත්ව යන විලියම් හේග් ගෙන් තරුණ වාර්තාකරුවෙකු ප‍්‍රශ්ණයක් ඇසුවේය. කෙටි එකකි. කණගාටුද? 'නැහැ'. විලියම් හේග් දුන් උත්තරයයි. ''මේක මගේ කැමැත්ත. මම වෙනස් වෙන්නට කැමැතියි. කැබිනට් එකට සම්බන්ධ වුණේ අවුරුදු විස්සකට කලින්'' විලියම් හේග් තව දුරටත් උත්තර දී තිබේ. බි‍්‍රතාන්‍ය දේශපාලනයේ දැවැන්තයෙකු වන විලියම් හේග් දැන් පාර්ලිමේන්තුවේ සටන අවසන් කර අලූත් සටනක් පටන්ගෙන ඇත්තේ ආසියාවේ අලූතින් ධනවතුන් වෙන අයගේ රුචිකත්වයට විරුද්ධවය. වන සත්වයන්ගේ ආරක්ෂාවටය. ලෝකයේ දුර්ලභ වන සතුන් ගේ සිරුරු කොටස් වෙනුවෙන් වෙළඳපොලක් තිබේ. ඇත් දළ, රයිනෝ අඟ එහෙම නැත්නම් කොටි දත් වශයෙන්ය. මෙම නීති විරෝධී වෙළඳ ද්‍රව්‍ය වලට වැඩිපුරම ඉල්ලූමක් ඇති බව කියන්නේ ආසියාවෙන්ය. ආසියාවේ අලූතින් ධනවතුන් බවට පත්වන පැලැන්තියෙන්ය. ඒ අනුව විලියම් හේග් විරුද්ධ වෙන්නේ ආසියාවටය. වන සතුන්ගේ ආරක්ෂාව සංරක්ෂණය වෙනුවෙන්ය.

විලියම් හේග් 2001 අවුරුද්දේ බි‍්‍රතාන්‍ය කොන්සර්වටිව් පක්ෂය මෙහෙයවූ නායකයාය. පරාජයෙන් පසු පියවරක් පසුපසට ගත් හෙතෙම ඬේවිඞ් කැමරන්ට පක්ෂ නායකත්වය දුන්නේය. පක්ෂ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවූ අතර පාර්ලිමේන්තුවේ පසුපෙල අසුනක වාඩි වූයේය. විදේශ කටයුතු භාරව අවුරුදු හතරක් සිටි අතර වසර විසි හයක් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ගත කර තිබේ. මෙම පරිනත දේශපාලනඥයා අනාගත පරපුර වෙනුවෙන් වන සතුන් සංරක්ෂණයට තීරණය කර ඇත. ඔහුගේ අනෙක් උනන්දුව ගැටුම් සහිත පරිසරවල ලිංගික හිංසනය වැලැක්වීමය. අනාථයන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඇන්ජලීනා ජොලි සමග එකතු වූ විලියම් හේග් සිය අභිලාශය ගැටුම් වලට ගොදුරවන පුද්ගලයන් මුහුණ දෙන ලිංගික හිංසන වලක්වා ගැනීම බව දක්වා ඇත.

ඇත් දළ, රයිනෝ අඟ, ව්‍යාඝ‍්‍රයන් ගේ සම් සහ දත්, කැබැල්ලෑවන්ගේ පොතු ඇතුළු වන සත්වයන්ගේ ශරීර කොටස් වෙනුවෙන් ලෝකය පුරා නැගෙන අලූත් වෙළඳ පොල විවේචනාත්මක එකකි. මෙම වෙළඳම බරපතල වරදක් නමුත් වංචනිකයන් ඒ ගැන තකන්නේ නැත. දැනට වාර්තාවන ආකාරයට ඉතාම නවීන ආයුධ වලින් සන්නද්ධ කල්ලි ඒ වෙනුවෙන්ම කුලියට ගත් හෙලිකොප්ටර් සහ ගුවන් යානා භාවිතා කරමින් දඩයම් කරමින් සිටිති. මෙම වංචනිකයන් නවින තාක්ෂණය උපයෝගී කරගනිමින් සිටින බව ද ප‍්‍රකාශවෙයි. මෙම දඩයක්කරුවන් අහිංසක සතුන් ලූහුබඳිමින් සිටින අතර එය නතර කරන්නට ආරක්ෂක අංශ වලට බලවත් වෙහෙසක් දරන්නට සිදුවී ඇත. 2007 සිට මේ දක්වා අඟවෙන්කර ගැනීම අරමුණු කරගෙන රයිනෝ සතුන් ගේ ඝාතන සිද්ධි සියයට නව දහසකින් වැඩිවී ඇති බව වාර්තා පෙන්වයි. දකුණු අප‍්‍රිකාවේ පමණක් 2014 වසරේ දී රයිනෝ සතුන් 1,215 මරා දමා ඇති අතර සෑම පැය අටකටම වතාවක් රයිනෝවෙකු ඝාතනය වන තැනට එය දරුණු තත්ත්වයකි. මෙම වන සතුන් ගේ කොටස් ඉල්ලන්නේ ආසියානුවන් බව ජාත්‍යන්තරය චෝදනා කරයි. වේගයෙන් ධනවත් වන ආසියාවේ යම් ජන කොටසක් මෙම සතුන්ගේ කොටස් දුර්ලභ වස්තු වශයෙන් සලකා එකතු කරන්නට පටන්ගෙන ඇත. විලියම් හේග් තමන්ගේ අනන්‍යනතාව වෙන් කරන්නේ එයට එරෙහිව ජන මතයක් ඇති කරන්නටය.

ශ‍්‍රී ලංකාව ද මෑතක දී මේ සම්බන්ධ සිද්ධියකට මැදිහත්විය. 2012 අවුරුද්දේ කොළඹ වරායට ලඟා වූ අඩි විස්සක කන්ටේනරයක් රේගු නිලධාරීන් අත් අඩංගුවට ගත්තේය. කෙන්යාවේ සිට ඩුබායි දක්වා ගෙනයන්නට නියමිතව තිබූ මෙම කන්ටේනරයේ ඇත් දළ 359 ක් තිබූ අතර ආසියාවෙන් අත් අඩංගුවට ගත් විශාලතම ඇත් දළ තොගය බවට එය පත්වෙයි. ශ‍්‍රී ලංකාව මෙම නීති විරෝධී තොග තමන්ගේ රටට ඇතුලූ වන මොහොත් දී අත්අඩංගුවට ගන්නේ වන සතුන් ආරක්ෂා කිරීමට අත්සන් කර ඇති ජාත්‍යන්තර සම්මුතියට එකඟ හෙයින්ය. තවත් රටකට යවන අතරතුර පවා මේ රටේ දී තහනම් වූ ඇත්දළ තොගයට කරන්නේ කුමක්ද යන්න විවාදයට බඳුන් නමුත් ජාතයන්තරයේ වෑයම හැකි තාක් දරට මෙවැනි වන සත්ව කොටස් වෙනුවෙන් ඇති අනිසි ඉල්ලූම නැති කිරීමය. මත් ද්‍රව්‍ය වැනි දේ වෙනුවෙන් හැදෙන නීති විරෝධී වෙළඳ පොල පාලනය කිරීම අපහසු නමුත් වන සත්ව කොටස් වෙනුවෙන් බැඳුණ මිත්‍යා අදහස් හෙයින් ඒවා එකතුකරන ධනවත් සහ අවබෝධාත්මක ජන කොටස ඒ වෙනුවෙන් ඇති කරන ජන මතයක් මගින් පාලනය කළ හැකියැයි විශ්වාස කෙරේ. විලියම් හේග් වැනි රාජ්‍ය තාන්ත‍්‍රිකයන් තමන් උපයාගෙන ඇති කීර්තිය වියදම් කරමින් සිටින්නේ ඒ වෙනුවෙන් විශාල අදහස් සම්භාරයක් ලෝකයට නිකුත් කරන්නටය. ජනතාව දැනුවත් කරන සංකේත වහයෙන්ය. වැදගත් වන්නේ ඔවුන් ඒ වෙනුවෙන් පෙනී සිටින්නට ගන්නා තීන්දුවයි.

විලියම් හේග් එකතුවන්නේ වන සතුන් සංරක්ෂණයට කැපවන බි‍්‍රතාන්‍යයේ කීර්තිමත් චරිත අතරටය. විලියම් කුමරු, ඬේවිඞ් බෙකම් වැනි අය මේ වන විටත් ස්වකීය අරගලය අරඹා තිබේ. මෙම සත්ව සංරක්ෂණ වැඩසටහනේ නියමුවන් කියන ආකාරයට නීති විරෝධී වෙළඳ පොලක් ඇති චීනය, වියට්නාමය වැනි රටවල අලූත් ධනපති පැලැන්තිය මෙම සත්ව කොටස් එකතුකරන්නේ ඉතාම ප‍්‍රචණ්ඩ ආකාරයට සහ ම්ලේච්ඡ වධ දී සතුන් සංහාරයට ලක්කරමින් බව දන්නේ නැත. ජනතාන්ත‍්‍රිකත්වයක් ස්වේච්ඡාවෙන් ගොඩ නැගෙන්නේ ලෝකය අතර රාජ්‍ය තාන්ත‍්‍රික අවශ්‍යතාවයක් හැටියටය. නූතන සමාජ මාධ්‍ය පොළඹවන්නට හේග් ඇතුළු කණ්ඩායම මහන්සිවෙමින් සිටී. මේ අතරවාරයේ විලියම් කුමරු ඇතුලූ නියෝජිතයන් ගුවන් සහ නැව් සමාගම් අතර සහයෝගීතාවයක් ඇති කරගන්නට තැත් කරයි. ඉකුත් වසරේ ලන්ඩන් නගරයේ තිබූ මේ වෙනුවෙන් පැවැති සමුලූවකට සහභාගී වූ විලියම් හේග් වැනි චරිත සාකච්ඡා කළේ වෙළඳ පොළ අධෛර්යයට පත් කරන අතර ප‍්‍රවාහනය කරන ආකාරයට කැපවීමෙන් වැට බඳින වැඩ පිළිවෙලක් ඇරඹීම ගැනය. රටවල් හතලිහක නියෝජිතයන් එයට එකතු වූ අතර විලියම් හේග් ඒ සමුලූවට ආවේ සත්ව සංරක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉහළට නංවමින්ය.

මෙම වන සතුන් සංරක්ෂණ ලෝක ජනමතය හා එක්වන්නට දිනෙන් දිනම බලවත් චරිත එකතුවෙමින් තිබේ. විලියම් හේග් එහි එක්තරා අවස්ථාවක් පමණකි. මුලින් ආරම්භ වූ අවස්ථාවේ සිට සත්ව සංහතිය අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කරන අදහස ඇතිව එකතුවන අවසාන පුද්ගලයා දක්වා සම්බන්ධ කරන දාමයේ එක් වැදගත් පුරුකකි. මේවන විට ගුවන් සේවා ආයතන ගණනාවක් වැඩ සටහනට කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ ගුවන් යානා වලින් සත්ව කොටස් ප‍්‍රවාහනයට ඉඩ නොදෙන්නට වැඩ පිළිවෙල හදනු ඇත. ජාත්‍යන්තර භාණ්ඩ ප‍්‍රවාහන සමාගම් එයට කැමැත්ත පළ කර තිබේ. වරාය සේවා සංවිධාන එයට එක සිතින් එකඟවෙමින් සිටිති. එකිනෙකට වෙනස් සියලූ පැති ගොඩනගමින් තිබූ ජනමතය අලූත් ආකරයකට සංවිධානය වන අතර එම එකමුතුව ගොඩනැගෙන්නේ ලෝකයේ වඳවී යන සතුන් සංරක්ෂණය කරන්නටය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.