» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/09/2016 - දේශය
හැමෝටම තමන්ගේ මිනිහෙක් වූ බෲස් ස්ප‍්‍රින්ස්ටීන්

මහන්සි වී වැඩකරන ජනතාවට අරුමුණක් ඇති කරන සංගීතඥයන් විරලය. ජන සංකේත බවට පත්වන ඔවුහු දුකම විඳින, කැපවීමෙන් නැගෙන ජනතාව තුළ අභිමානය ඇතිකරවන්නේය. ජනතාව නිරත මෙහෙවර ගැන ආඩම්බරය ජනිතකර එය වෙනුවෙන් පෙනී සිටින භාරය සම්බන්ධ නිර්මාණාත්මක ප‍්‍රවේශය අරභයා බෲස් ස්ප‍්‍රින්ගස්ටීන් ප‍්‍රමාණාත්මක චරිතයකි. එය කොපමණ සුවිසල් ද යත් බෝන් ඉන් ද යූ. එස්. ඒ. එනම් ‘‘ඉපදුනේ ඇමරිකාවේය’’ යන ගීතය දනන් මුව රැව්දෙන එකක් බවට පත්ව තිබීමය. සමහරවිට එය දේශ සීමාමායිම් රහිතව ජාත්‍යන්තරයම වැළඳගත් එකකි.

පරණ පරම්පරාව පමණක් නොව අලූත් පරම්පරාව ද එනම් යුග දෙකක් හද බැඳගෙන සැලකිය යුතු තැනක තහවුරු වෙන්නට බෲස් ගායනා කරන ද්‍රෘෂ්ඨිය වැදගත් මෙහෙවරක් කර ඇති බව පැහැදිලිය. හෙතෙම ඇමරිකානු ජාතික සංගීතඥයෙකි, ගායකයෙකි. ගී පද රචකයෙකි. එයින් ඉහළට නැගී සනාථ කරන්නේ මානුෂවාදියෙකු හැටියටය.

1949 අවුරුද්දේ සැප්තැම්බර් විසි තුන්වැනිදා ඇමරිකාවේ නිව් ජර්සි ප‍්‍රාන්තයේ උපන් හෙතෙම අද වන විට අවුරුදු හැට හතකට දින ගණනක් අඩු පිරිපුන් මිනිසෙකි. ඔහුගේ දර්ශන සහ ඔහු පෙනී ජිටින මතවාදය රසවින්දනය අභිබවා නැගෙන එකක් හෙයින් රසවතුන් එයට නැඹුරු වෙමින් ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

බෲස් ස්ප‍්‍රින්ගස්ටීන් ගායකයෙකු වෙන්නට හීන මවන්නේ කුඩා වියේ දීය. හත් හැවිරිදි වියේදී එල්විස් ප්‍රෙස්ලි ගීත ගායනා කරන අන්දම බලා සිටියේ විමතියෙන්ය. එම දක්ෂතා හිතට කා වද්දා ගත් හෙතෙම ගීත ගයන්නට උත්සාහ කළේය. අසාර්ථක වූයේ නැත. නමක් හදා ගන්නේ E street Band නමැති කණ්ඩායම් සංගීතවේදයත් සමගය. 1972 දී එම කණ්ඩායම බිහිවෙන නමුත් එයට කලින් පවා බෲස් තමන්ට අනන්‍ය ශෛලියක් සොයමින් සිටියේය. හත් අට අවුරුද්දක් හෙතෙම ගායකයෙකු සේ වැඩෙන්නට තැත් කරමින් සිටියේය. ඊ ස්ටී‍්‍රට් කණ්ඩායම පිහිටුවා ගත් පසු පවා එය නමක් ප‍්‍රසිද්ධ නැති කණ්ඩාමක් සේ ජනතාව හමුවේ ගීත ගායනා ඉදිරිපත් කරමින් සිටි බව වාර්තා පෙන්වයි. රොක් සංගීතයට පමණක් නොව ජනතාවාදී ශෛලියක ද නිරත වූ හෙතෙම සිය පළමු ගීත එකතව නිකුත් කරන්නේ 1975 දීය. ‘‘බෝන් ටු රන්’’ යන එකී ගීත එකතුව නිකුත්කර අවුරුදු නමයකට පසු ලෝකවාසීන් අතරට ගිය බෝන් ඉන් ද යූ. එස්. ඒ. ගීය ඇතුලත් ගී එකතුව එළි දක්වයි. එය අතිශය ජනාදරයට ලක්විය. ඇමරිකානු පුරවැසි භාවය සම්බන්ධ මනෝමය තෘප්තියක් එයින් ඇති කෙරේ. අද වන විට එය කොපමණ ජනානුගත වී ඇති ද යත් ඇමරිකානු පුරවැසිභාවය ඉල්ලා සිටින ලෝකයේ නොයෙක් තැන් වලින් එන ජන කොටස් නිත්‍ය පුරවැසි බව නීත්‍යානුකූලව හිමි ලියැවිල්ල ද අතට ගෙන එරට පුරවැසි බව නිකුත් කරන කාර්යාලයෙන් එළියට එන්නේ උද්දාමයෙන් යුතුව බෝන් ඉන් ද යූ. එස්. ඒ. ගායනා කරමින්ය. මෙම ගීතය ඇතුලත් ඇල්බමය ඇමරිකාවේ දී පිටපත් මිලියන හැට හතරක් අලෙවි වූ බව වාර්තා දක්වන අතර ලෝකය පුරා විකිණී ඇති පිටපත් ගණන මිලියන එකසිය විස්ස ඉක්මවූ බව සඳහන් වෙයි. එය ධනය පමණක් නොව ජාත්‍යන්තර සම්මාන උරුම කරදෙයි. එයටත් වඩා දැනෙන්නේ ලෝකවාසීන් එය පිළිගත් ආකාරයයි. ඇමරිකාව ගැන එහි වෙසෙන බිම් මට්ටමේ පිරිසට එය දැනුනේ තමන්ගේම ආත්ම කථනය හැටියටය. එය ඒ තරමටම පොදු ජනතාවගේ ගීතයක් බවට පත්වීම සුවිශේෂී එකක් බව සඳහන් කළ යුතුය.

බෲස් ගේ දෙමාපියන් ඉසුරුමත් පසුබිමක පසුවූයේ නැත. පියා වෘත්තියෙන් රියැදුරෙකි. එය ස්ථිර රැකියාවක් නොවේ. බොහෝ වෙලාවට ජීවත්වූයේ රස්සාවක් නැති ස්වභාවයකය. එවැනි පසුබිමක හැදී වැඩුන බෲස් ජීවිතය ගැන හැම පැත්තෙන්ම අවබෝධය ඇති කරගත්තේය. පද වැල් ලියැවෙන්නේ ඒ අනුවය. සංගීතය හැසිරවෙන්නේ ද පමණක් නොව ගායනාව ද පොදු ජනතාවගේ එකක් බවට පත්වන්නේය. ජනතාව වැළඳ ගන්නේ එහෙයින්ය. ඉංග‍්‍රීසි භාෂාවෙන් ගයන ගී වෙනුවෙන් සම්මාන පිදෙන ග්‍රෙමී සම්මාන වෙනුවෙන් බෲස් ගේ නිර්මාණ හතලිස් නම වතාවක් නිර්දේශ වී තිබේ. එයින් විසි වතාවක් සම්මාන දිනා ඇත.

ඔහු මෙපමණ සම්මානනීයත්වයට පත්වන්නේ ඇයි? ජනතාව ඔහුගේ ශෛලියට නතු වෙන්නේ මන්ද? බෝන් ඉන් ද යූ. එස්. ඒ. ඇතුළු ගායනා වල වාචාර්ථය එයට ඉවහල් වන්නේ නැත. ඒවායෙන් කියන්නේ දුක වේදනාව සහ තැලී පෑගුණ ජීවිත ගැනය. රටින් පැන යන්නට තරම් පීඩනයක් තියෙන අවස්ථාවක වියට්නාම් යුද්ධයට යන තරුණයෙකු එය නිමවා ආපසු එන විට සහෝදරයා ද නැතිව තනිවෙයි. රස්සාවකට ඉල්ලන විට එතැනින් ද ප‍්‍රතික්ෂේප වෙන අතර ගීයෙන් අහන්නේ දැන් කිට්ටුවෙන්නේ හිරගෙදරට ද කියාය. එය පෑගෙන පැලැන්තියෙට දැනෙන්නේ තමන්ගේ එකක් හැටියටය. තමන්ගේ ශෝචණීයත්වය ගැන කතාකරන විට නොනැමෙන හිතක් නැත. අනුකම්පාවෙන් පිරුණු ජීවිත බෲස් ගේ අදහස් වලට එකතු වෙන්නේ එහෙයින්ය.

ගීතයක මවා පෙන්වන සෞන්දර්යාත්මක පැති වෙනුවට ඔහු තෝරා ගත්තේ යතාර්ථයයි. ගීතයක වචන වලින් පෙන්වන සොදුරු සිතුවම් වලට වඩා අසරණ වූ ජීවිත ගත කරන කටුකත්වය නිර්මාණ බවට පෙරැලීය. එහෙයින් හෙතෙම තමන්ගේ කෙනෙකු බවට පත් කරගන්නට සමාජයේ එක්තරා කොටසක් උන්නදු වෙයි.

මුල් කාලයේ දී බෲස් ස්ප‍්‍රින්ගස්ටීන් සරල පුද්ගලයෙකි. වේදිකාවේ දී ඔහුට ලැබෙන තැන සරු එකක් නොවේ. පසුව ඔහු ලොව වටා යන්නේ ඉතාම ඉහළ අයකිරීම් සමගය. සංදර්ශණයකට ප‍්‍රවේශපත‍්‍ර ගාස්තුව දරාගත නොහැකි නමුත් පහළ පැලැන්තයේ රසිකයෝ පවා කොහොම හරි මුදල් හොයාගෙන ඔහුගේ ගායනයක් රසවිඳින්නට ඇත්තේ බලවත් කැමැත්තකි. එය එම සමාජයේ කටුක බව, අසමානතාවය ගැන ප‍්‍රතිනිර්මාණයක් නිසා එයින් සැනහී පීඩනය අඩු කරගන්නට බව විචාරකයෝ දක්වන සියුම් කාරණයකි. සංදර්ශනයක් අතරතුර තරුණයෙකු යමක් ලියූ සටහනක් ඔසවා පෙන්වයි. එහි ඇත්තේ තමන්ගේ පෙම්වතිය හැර ගිය බැවින් වේදනාවෙන් පසුවෙන බවය. සංදර්ශය තුළ ඔහු නිමිත්ත කරගන්නේ එයයි. ඔහු ආමන්ත‍්‍රණය කරන බෲස් හැරගිය යුවතිය වෙනුවෙන් වේදනාවිඳීම වෙනුවට කළ යුතු දේ ගැන කියා සිත සනසවයි. තවත් තැනක සංදර්ශනය ආරම්භ වන විට ඔහු දකින්නේ ප‍්‍රවේශපත‍්‍ර ගන්නට පෝලිමේ ඉන්නා පිරිසය. එහි ඇති දුක්බර කෙනෙකු තෝරා ගන්නා හෙතෙම ඔහු මිල දී ගන්නා කෙළවර අඩුම මිල ආසනය වෙනුවට ඉදිරි පෙළ වෙන්කරන ආසනයක වාඩි කරවා රස විඳින්නට ඉඩ සලස්වයි. එම සිද්ධිය රසිකයාට ප‍්‍රමාණවත්ය. ඔහු ගීත මිහිරටවඩා අමන්දානන්දයට පත්වන්නේ තමන් අති විඳින ලද සිද්ධියෙන්ය.

සමාජ අසාධාරණය, අයුක්තිය ගැන වෛරය පිටකරන්නට මුහුණපාන තත්ත්වය ගැන හිත හදාගන්නට බෲස් ස්ප‍්‍රින්ගස්ටීන් ගේ නිර්මාණ ඇමරිකානුවන්ට ප‍්‍රයෝජනවත්ව තිබේ. එපමණක් නොව ලෝකය පුරා පරම්පරා දෙකක් එකතු වෙන්නේ එකී තාත්විකත්වයටය. රසෝත්පාදකයෙකු වශයෙන් පමණක් නොව ජීවිතය වි`දින ජනකායකට ඔහු සමීප වෙන්නේ එසේය.