» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/06/2017 - දේශය
සයිකල් පදින ගුවන්යානා ගෙනයන රජ්ජුරුවෝ

අප සමග ගුවන් ගමනට එකතු වූ ඔබට ස්තුතියි. සුබ දවසක් මම සහාය ගුවන් නියමු විලියම් ඇලෙක්සැන්ඩ‍්‍රා යැයි ගුවන් යානයක දී නිවේදනය වෙනවා ඇසුනහොත් එම නිවේදනය කරන්නේ නෙදර්ලන්තයේ රජු බව සඳහන් කළ යුතුය. එහෙත් එසේ නිවේදනය කරන අතර නම ස`දහන් නොකර නෙදර්ලන්තයේ රජු ඇලෙක්සැන්ඩ‍්‍රා ගුවන් යානා වල සහය නියමුවකු සේ රාජකාරි කර ඇත. නොබෝදා මෙම තොරතුර ජාත්‍යන්තර මාධ්‍යයෙන් අනාවරණය විය.

සාමාන්‍යයන් ගුවන් ගමනක් ආරම්භ කරන්නට කලින් හා ගමන අවසන් වූ පසු නියමු මැදිරියෙන් මගීන් අමතා නිවේදන නිකුත් කෙරේ. ඒවායෙන් කරන්නේ ගමනෙහි යෙදෙන මගීන් ගේ විශ්වාසය තහවුරු කිරීමය. රට පාලනය කරන රජ්ජුරුවෝ ගුවන් යානයක් පදවාගෙන යනු ඇතැයි යානයෙහි ගමන් කරන ගුවන් මගීන් විශ්වාස කරන්නේ නැත. නමුත් ගුවන් යානා පදවන්නට වෘත්තීය බලපත‍්‍රයක් ඇති ඇලෙක්සැන්ඩ‍්‍රා කලාතුරකින් නෙදර්ලන්තයේ අගනුවර ඇමස්ට‍්‍රඩෑම් හි සිට නෝර්වේ හි ස්ටෙවෙන්ජර්ස් නගරට දක්වා ගුවන් යානයක සහය නියමුවෙකු සේ කි‍්‍රයාත්මක වෙයි. එම දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 1,336 ක් වන අතර සම්පූර්ණ ගුවන් ගමනට ගතවන කාලය පැයකුත් විනාඩි පහලොවකි. රජ්ජුරුවන් පදවාගෙන පැමිණි යානයෙන් ගොඩබැස්සා යැයි මගියෙකු දැන ගන්නේ කලාතුරකින්ය. මෙපමණක් නොව නම නිවේදනය නොකරන සහ මගීන්ට පෙනෙන්නට නොඑන නමුත් අවුරුදු විසි ගණනක් හෙතෙම අඛණ්ඩව මගී ගුවන් යානා සහය නියමුවෙකු සේ යානා පදවා තිබේ. එය සතුටක් මෙන්ම සමහර දෙනෙකු බිය කරන සිද්ධියක් වනු නිසැකය. නම නොදක්වා, නියමු ඇඳුමෙන් සැරසී මගීන්ට නොදැනෙන සේ ගුවන් යානා මෙහෙයවා ඇතිබව හෙළිදරව් වෙන්නේ නෙදර්ලන්ත රජු මාධ්‍ය අමතා කරන ලද ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයකින් පසුවය.

ඇලෙක්සැන්ඩ‍්‍රා රජු ගුවන, සාගරය පමණක් නොව ගොඩබිම හමුදා පුහුණුව ලැබූ ති‍්‍රවිධ අංශයෙන්ම සම්මාන දිනාගත් සෙබලෙකි. 1985 අවුරුද්දේ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු හෙතෙම නාවික හමුදාවට බැඳෙන්නේ ලූතිනන්වරයෙකු වශයෙන්ය. කමාන්ඩර්, කැප්ටන් හා පසුව 2015 වසරේ දී නාවික කොමදෝරු ධුරයට ඔසවන්නේ සේවා හැකියාව අනුවය. 1995 වසරේ දී ඔහු හමුදාවට බැඳෙන්නේ එවකට තිබුණ සුදුසුකම් අනුව මේජර්වරයෙකු වශයෙනි. විශේෂ අවස්ථා හමුදා සේනාංකයේ බි‍්‍රගේඩියර් ජෙනරාල් ධුරය දක්වා උසස්වීම් ලබයි. ස්කොට්ලන්ඞ් ලීඩර්වරයෙකු සේ ගුවන් හමුදාවට බැඳෙන ඇලෙක්සැන්ඩර් කුමාරයා 2015 දි ගුවන් කොමදෝරු තත්ත්වය දක්වා උසස් වන අතර ප‍්‍රහාරක ගුවන් යානා ඇතුළු මගී පන්තියේ යානා පදවන්නට ද බලපත‍්‍ර ලබා ගනී.

විලියම් ඇලෙක්සැන්ඩ‍්‍රා නෙදර්ලන්කයේ රජකමට පත්වන්නේ 2013 වසරේදී ය. හැඟීම්බර වගකීම් උසුලන නායකයෙකු වශයෙන් හෙතෙම කී‍්‍රඩාවට කැමැතිය. ජල සංරක්ෂණය ඔහුගේ පි‍්‍රයතම විෂයයන් අතර තිබේ. 2004 වසරේ සිට 2013 දක්වා හෙතෙම නෙදර්ලන්තයේ යටිතල පහසුකම් පරිසර උපදේශක සභාවේ සභාපති විය. 2006 සිට වසර හයක කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජල හා සනීපාරක්ෂක උපදේශක මණ්ඩලයේ සභාපති ධුරය ඉසිලීය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජිකයෙකු වශයෙන් සේවය කරන ලද හෙතෙම අද වන විට ලෝකයේ දෙවැනි ලාබාලතම රජු වශයෙන් ජගත් අවධානයට ලක්ව ඇත.

නෙදර්ලන්තය පාපැදිය බහුලව ගමන් බිමන් වෙනුවෙන් භාවිතා කරන රටකි. ඇලෙක්සැන්ඩ‍්‍රා පමණක් නොව ඔහුගේ මව ද පාපැදියෙන් ගමන් බිමන් යන්නට කැමැතිය. කෙටි දුරක් දිනපතා පාපැදියෙන් යන රජ පවුලේ සාමාජිකයන් නගරවැසියන්ට සුලබ දසුනකි. මව් රුජන කලින් විශ‍්‍රාම යන අතර වාරයේ විලියම් ඇලෙක්සැන්ඩ‍්‍රා කුමාරයා රජකමට නිර්දේශ කරන අවස්ථාවේ පවා ප‍්‍රකට වූයේ පාපැදියෙන් යන ඔටුන්න හිමි කුමාරයා වශයෙන්ය. ඒ අනුව ගුවනට ලොබ බඳින පමණක් නොව පාපැදියෙන් කෙටි දුරක් යන්නට කැමැති රජු වශයෙන් අදත් හැඳින්වීම නරක නැත.

ලෝකයේ ප‍්‍රකට ගුවන් නියමුවෝ විලියම් ඇලෙක්සැන්ඩ‍්‍රා ගේ හැකියාව ගැන මවිතය පළ කරති. ‘‘සාමාන්‍යයෙන් මහ පොලවේ දී අපිට ඇති ප‍්‍රශ්න අරගෙන අපි ගුවන් ගත වෙන්නේ නැහැ. නමුත් රටක් පාලනය කරන රජ්ජුරුවෝ ජනතාවගේ සියළු පරිපාලන වගකීම් හිස දරාගෙන අහසට නගින්නේ පුදුම ආත්ම ශක්තියක් ඇතිව’’ විය හැකි යැයි ජාත්‍යන්තර ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට එක ගුවන් නියමුවෙක් ප‍්‍රකාශයක් කර තිබිණ. ‘‘ගුවන් නියමු කුටිය ඇතුලට ගිය විට දැනෙන තනිකම පුදුමාකාර එකක් වන අතර සමහර විට එය දැනෙන්නේ මහා මාර්ගයක අනාථවූවෙකු හැටියට’’ බව ද එහි සඳහන් කරන මෙම නියමුවා අවසානයේ දී ශේක්ෂ්පියර් රචනා කරන ලද නාට්‍යයක රජ චරිතයක් කියන පරිදි ‘‘ රජ වුනත් මමත් මිනිහෙක් නෙව’’ කියන අදහස උපුටා දක්වයි.

1967 අප‍්‍රියෙල් 27 වැනිදා ජන්ම ලාභය ලැබූ විලියම් ඇලෙක්සැන්ඩ‍්‍රා අද වන විට තිදරු පියෙකි. උපන් දවසේ සිටම රජ පදවියට උරුමක්කාරයා වූ ඔහු මූලික අධ්‍යාපනයෙන් පසු වේල්සය බලාගොස් වැඩිදුර අධ්‍යාපනය ලැබීය. නැවතත් මවු රටට පැමිණ හමුදා සේවා පුහුණුව ලැබූ අතර නෙදර්ලන්තයේ පැරණිම විශ්ව විද්‍යාලය සේ සැලකෙන ලෙයිඞ්න් හි දී මාස්ටර් උපාධිය සමත්වෙයි. එහි දී ඔහු නිබන්ධනය වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ ප‍්‍රංශ තීරණයක් සම්බන්ධයෙන් නෙදර්ලන්තය දක්වන ලද ප‍්‍රතිචාරය විග‍්‍රහ කිරීමයි. ඉංග‍්‍රීසි, ස්පාඤ්ඤ, ජර්මන් සහ මවුබස වන ලන්දේසි භාෂාව ද කතාකරන්නට හැකියාව ඇලෙක්සැන්ඩ‍්‍රා රජ්ජුරුවන්ට තිබේ. රජ පදවිය ට පත්වන අවස්ථාවේ දී සම්ප‍්‍රදාය අනුව ති‍්‍රවිධ හමුදා සේනාංක වල සේවාවන් වලින් ඇලෙක්සැන්ඩ‍්‍රා මුදාහරින්නේ ගෞරවානුකූලවය. සේවාවෙන් නිදහස් කරන නමුත් හෙතෙම නෛතිකව නෙදර්ලන්තයේ සියළු හමුදාවන්හි උත්තරීතර අණ දෙන බලධාරීයාය.

නෙදර්ලන්තයේ රජු වශයෙන් විලියම් ඇලෙක්සැන්ඩ‍්‍රා සතිපතා අගමැති, අමාත්‍ය මණ්ඩලය සහ අමාත්‍යංශ ලේකම්වරු සමග සාකච්ඡාවක නිරත වෙති. රට නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළු වලට සහභාගී වන අවස්ථාව ද හිමිය. අලූතින් පනවන සියළු පණත් බලපවත්වන්නේ රජු අත්සන් කර නිල මුද්‍රාව තැබීමෙන් පසු පමණකි. පාර්ලිමේන්තුව ඇමතීමේ බලය ඔහුට ඇති අතර ව්‍යවස්ථාව අනුව රාජ්‍යයේ ලේකම්වරු හා මැති ඇමැතිවරු රජු ඉදිරියේ ප‍්‍රතිඥා දී රාජකාරි භාරගත යුතුය. නෙදර්ලන්තයේ ප‍්‍රතිපත්ති අනුව සියළු රාජ්‍ය කවුන්සල හා උපදේශන සභාවල නිල සභාපතිවරයාය.

ගුවන් යානා පදවන බව ඇලෙක්සැන්ඩ‍්‍රා රජු නිල වශයෙන් ප‍්‍රකාශ කළේ එරට මාධ්‍ය නියම අනුගමනය කරමින් හෙයින් එය සත්‍යයකි. 2005 දී එරට පනවන ලද නව නීති අනුව රජ මාලිගාවේ නිල කාර්යයන් හැරුණ විට පුද්ගලික දේ පළ කරන්නට මාධ්‍ය වලට අවසර නැත. වතාවක් ඇසෝසියේටඞ් ප්‍රෙස් මාධ්‍ය ආයතනය පළ කරන ලද අනවසර පින්තූර හෙයින් අධිකරණයට ගිය බව ද මෙහිලා සිහිපත් කිරීම වැදගත්ය.

රජ කුමාරයෙකු වශයෙන් සඳළු තලයට වී නොසිටි ඇලෙක්සැන්ඩ‍්‍රා කුමාරයා ත‍්‍රිවිධ හමුදාවේ එකිනෙකට වෙනස් පුහුණුවීම් ලැබුවා පමණක් නොව විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ජාත්‍යන්තර කටයුතු වලට ද සම්බන්ධ විය. බයිසිකලයෙන් කෙටි ගමනක් යන්නට කැමැති හෙතෙම රජ වූයේ නෙදර්ලන්තය ලෝකයේ ඉහළම තැනකට ගෙන යන්නට පමණක් නොව ඔහුගේ කැමැත්තෙන්ම අහස සිසාරා පියාඹමින් ඉහළින් ඉහළටම යන්නට බව නිරීක්ෂණය කළ හැකිය.