» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/02/2018 - දේශය
ජර්මන් දේශපාලනය හොල්ලන තරුණයා

ජර්මනියේ තරුණ දේශපාලනඥයෙකු වශයෙන් කෙවින් කූන්ර්ට් මෑත කාලයේ විශේෂ අවධානයකට ලක් වී ඇත. ජාත්‍යන්තර මාධ්‍ය ඔහුගේ හැසිරීම දෙස මහත් අවධානයෙන් බලා සිටී. 1998 දී ජර්මන් චාන්සලර්වරයා සේ ක‍්‍රියා කළ ග්‍රෙහාර්ඞ් ශෝඩර් ගෙන් පසු දේශපාලනයෙහි දක්ෂතා දක්වමින් ඉස්මතු වන චරිතයක සේ බලවත් ඇගයිමට ලක්ව ඇත. විසි අට හැවිරිදි කෙවින් වත්මන් අගමැතිනි ඇන්ජලා මර්කල් ගේ අනාගතය තීරණය කරනු ඇති බව ද තවදුරටත් ඔහු ගැන කරුණු දක්වන නොයෙක් වාර්තා මතු කර පෙන්වමින් තිබේ. කෙසේ වෙතත් හෙතෙම ආන්දෝලනාත්මක ප‍්‍රවේශයකට පැමිණ තම අවස්ථාව උදාකරගෙන ඇති බව ද සඳහන් කරන්නට අවශ්‍යය.

කෙවින් කූන්ර්ට් එරට සිවිල් සේවාවේ නිරත යුවලක දේ දරුවෙකු වන අතර 2008 දී බර්ලින් හි බීතෝවන් ජිම්නේසියම් උසස් අධ්‍යාපන ආයතනයෙන් ඉගෙනුම ලබා තිබේ. ඉන් පසු හෙතෙම දේශපාලන අවබෝධය සඳහා වූ තරුණ හා ළමා සංවිධාන වල ස්වේච්ඡාවෙන් ක‍්‍රියා කර ඇත. බර්ලින් හි මාධ්‍ය හා සන්නිවේදන විශ්ව විද්‍යාලයට ඇතුලත් වන්නේ ඉන් පසුවය. නමුත් අවසානයේ දී දේශපාලන හා සමාජ විද්‍යා යන විෂයයන් යටතේ හැගන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගෙන තිබේ. අනතුරුව සමාජය නියෝජනය කරන සංවීධාන වල සේවයෙහි නිරත වූ අතර ඉනික්බිතිව පර්මන් පාර්ලිමේන්තුව නියෝජනය කළ මෙලානියි ගේ කාර්යාලයේ සේවයට එකතු විය. 2016 වසරේ දී ජර්මන් ටෙනිස් පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු සේ පත් වූ බව සඳහන්ය.

කෙවින් කූන්ර්ට් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සාමාජිකත්වය ගත්තේ 2005 වසරේ දීය. පක්ෂය ජර්මනියේ විශාල දේශපාලන ප‍්‍රවාහයක් වන අතර කම්කරුවන්ගේ ව්‍යුහයක් වශයෙන් එය ආරම්භ වූයේ 1863 දී තරම් ඉතිහාසයේ බව දැක්වෙයි. ජර්මනියේ ප‍්‍රදේශ දහසයකම නියෝජිතයන් ආණ්ඩුවේ පාලනයට පත්කර දෙන්නට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සමත්ව සිටී. ප‍්‍රදේශ හතක ප‍්‍රධානත්වය උසුලන්නේ එම පක්ෂයේ නියෝජිතයන්ය. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ තරුණ ලීගයේ ප‍්‍රධානියා කෙවින්ය. ජර්මනියේ කණිෂ්ඨ දේශපාලනයේ ප‍්‍රධානියා වශයෙන් එරට බදු ප‍්‍රතිපත්ති, විශ‍්‍රාම ප‍්‍රතිපත්ති දක්ෂිණාංශික අදහස්, සමාජ මාධ්‍ය කටයුතු සහ සංක‍්‍රමණිකත්වය ගැන අවධානය යොමු කරන වගකීම ඔහුට පැවැරී තිබේ.

ජර්මනියේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ තරුණ ප‍්‍රවාහයේ ප‍්‍රධානියා වශයෙන් හෙතෙම අනුගමනය කරන පිලිවෙත ගැන එරට වැසියන් විශාල උනන්දුවකින් සිටින අතර මෑත කාලය තුළ එරට දේශපාලන යේ අලූත් අදහස් මතු කරමින් ප‍්‍රවාහය නව මගකට යොමු කරන්නට හෙතෙම උත්සාහ කරමින් සිටී. එය සාර්ථක වන ලකුණු දැනටත් පෙනී යමින් තිබෙන අතර ඉලක්ක කරන අන්දමට සියල්ල සිදුවුවහොත් ජර්මන් දේශපාලනය උඩු යටිකුරු කරන්නට සමත්වනු ඇතැයි සැලකේ. තරුණ ක‍්‍රියාකාරකයෙකු වශයෙන් ඔහු ගැන මතු වී තිබෙන විශ්වාසය හා පිලිගැනීම සෑහෙන තරම් බව විචාරක අදහසයි. ජර්මනිය නැවත වතාවක් පක්ෂ එකතු වී පාලනයකට සූදානම් වන අතර මෙම සාකච්ඡා කරමින් සිටින හවුල්ව වැඩ කිරීමේ ව්‍යාපාරය සාර්ථක වුවහොත් හතරවැනි වතාවට ද ඇන්ජලා මර්කල් නායකත්වයට පත් වනු ඇතැයි සිතයි. එය අවුරුදු දොලහක් ඇතුලත අට වතාවක් සභා ආණ්ඩු සහිතව ගෙන යන එකක් වන අතර යුරෝපයේ දීර්ඝතම පාලිකාව වශයෙන් ද අවධානයට ගැනේ. ඇන්ජලා ගේ අවසාන දේශපාලන කාල පරිච්ෙඡ්දය මෙය වෙන්නට ඉඩ ඇති බව සැලකේ. එරට දේශපාලන විචාරකයන් සෑහෙන පිරිසක් එම අදහස ඉදිරියට ගෙන ඇති අතර තනිව ඡන්දයකට මුහුණ දුන්න ද ඇයගේ ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදය එකතු වී ආණ්ඩුව ගෙන යන අදහසකට පැමිණිය ද එය චාන්සලර්වරියගේ ගමන සීමා කරන තැතක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

මාසයකට පමණ කලින් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ විශේෂ පක්ෂ සැසිවාරයක් බොන් නගරයේ දී පැවැති අතර එම අවස්ථාවේ දී පක්ෂ ක‍්‍රියාකාරකයන් සෑහෙන පිරිසක් දේශපාලන පක්ෂ එකතු වී වැඩ කිරීමේ අරමුණට පක්ෂව අදහස් දක්වා ඇත. නමුත් මෙහි දී කෙවින් කෙලින්ම එකතුවීමට විරුද්ධව අදහස් දක්වා ඇත. පක්ෂ නායකයා පවා එය දෙස බලා සිටියේය. බොන් නගරයේ සැසිවාරයට පසු විසි පන්දහසකට වැඩි පිරිසක් පක්ෂයට අලූත් සාමාජිකයන් සේ එකතු වී ඇති අතර එම සියළුම දෙනා කෙවින්ගේ ප‍්‍රවේශය වෙත තදබල ප‍්‍රසාදය පල කරන අය බව දැක්විය යුතුය. නමුත් කෙවින් තරුණයෙකු වශයෙන් ජනබලය ගොඩනගා ගන්නවා විනා ඔහුගේ තර්කයට ජර්මන් දේශපාලනයේ එපමණ ඉඩක් විවර විය නොහැකි යැයි ද දැක්වෙයි.

ජර්මනිය යුරෝපා සංවිධානයේ විශාලම ජනගහනය් ජීවත්වන රටයි. ආර්ථික වශයෙන් ද ශක්තිමත්ම සාමාජිකයා වශයෙන් ගැනෙන්නේ ද ජර්මනියයි. යුරෝපා කොමිසම ඇදගෙනයන දුම්රිය එන්ජිම ජර්මනිය බව විදෙස් විචාරක මතයයි. ජර්මනිය තුළ බිහිවූ හිට්ලර් ගේ නායකත්වය දෙවැනි ලෝක යුද්ධයට මුල් විය. හිට්ලර් යටපත් කරන දෙවන ලෝක යුද්ධය අවසානයේ දී බටහිර හා නැගෙනහිර වශයෙන් දෙකට බෙදී වෙන්විය. බටහිර ප‍්‍රදේශය ඇමරිකා, ප‍්‍රංශ හා බි‍්‍රතාන්‍ය සම්භවයට නතු වූ අතර නැගෙනහිර සෝවියට් පැත්ත වශයෙන් ගැණින. දීර්ඝ කාලයකට පසු එකිනෙකට වෙනස් සංවාද සාකච්ඡා අවසානයේ දී ප‍්‍රකට බර්ලින් තාප්පය බිඳ වැටී රටවල් දෙක එකතු විය. එය 1990 අග භාගයේ වාර්තා වූ විශේෂ සිද්ධියකි.

ජර්මනිය ලෝකයේ ආර්ථික ශක්තිය අතින් හතරවැනි තැන ඇති බලවත් රටක් වශයෙන් ගැනෙන අතර ඒක පුද්ගල ආදායම් වැඩිම රටවල් ලැයිස්තුවේ ඉහළම පස් දෙනා අතර සිටී. එපමණ ආර්ථිකයක් ගොඩනැගෙන්නේ තද පාලනයක් හෙයින්ය. හිට්ලර් ගේ නැගීමට පසුබිම් වූයේ බරපතල ලෙස වර්ධනය වූ උද්ධමනය බව සැලකේ. උද්ධමනය හේතුවෙන් එකල පීඩාවට පත් ජනතාව හිට්ලර් වටා එකතු වූ අතර අවසානයේ දී එය මහත් විනාශයකින් කෙළවර විය. අද පවා ජර්මනිය ආර්ථිකය තද තීන්දු මත පාලනය කරයි. පක්ෂ විපක්ෂ සියළු පාර්ශව ආර්ථිකට සම්බන්ධයෙන් ගන්නා තීරණන වලට එකඟ වන අතර මුදල් විෂය අගමැතිවරයාට යටත් එකකි. අලූතින් කතා කරගෙනයන එකගතා ආණ්ඩුව සම්බන්ධයෙන් පවා මුදල් විෂයය තමන් යටතේ පවත්වාගෙන යන්නට අගමැතිනිය සූදානම්ය.

තරුණයෙකු වශයෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සමුළුව අමතන කෙවින් කූන්ර්ට් තසින් නැවත වතාවක් පක්ෂ එකතුවන වැඩ පිලිවෙලට එරෙහි බව කියා සිටියි. ඔහු බලවත් චරිතවලට අභියෝග කර නම හදා ගන්නට සමත්ව ඇති බව පෙනේ. ජර්මනියේ නැගෙනහිර ප‍්‍රදේශයෙන් පැමිණි පළමු අගමැතිනිය ඇන්ජලා සාර්ථක පාලනයක අවසානයෙහි සිටින අතර තරුණ පරපුර සිය ඉලක්ක සාක්ෂාත් කරගැනීමට උත්සුක වෙමින් සිටී. කෙවින් කූන්ර්ට් ඒ අතරින් ඉහළමතැනෙක සිටින අයෙකි. ඔහුට පක්ෂය තුළ අනාගතයේ දී තැනෙන පදනම ගැන කල් තියා දැක්විය නොහැකි නමුත් තරුණයෙක වශයෙන් ප‍්‍රබල අභියෝගයක් එල්ල කරන ආකර්ශණීය විලාශය ජනතාවගේ හිත ඇද බැඳ ගන්නට සමත්ව තිබේ.