» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/12/2017 - දේශය
චීනයේ ‘කිසිංජර් ’

දේශපාලන න්‍යායාචාර්යවරයෙකු සහ චීනයේ කොමියුනිස්ට් පක්ෂ ප‍්‍රධානියෙකු වන වං හුනින්ග් ගේ සමත්කම් පිලිබඳව අවධානය යොමු වී තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්ග්පින් පළමු වතාවට මුණ ගැසී නිල සාකච්ඡා පවත්වන විට පසෙකින් අසුන්ගෙන සිටි හැට දෙහැවිරිදි හුනින්ග් චීනයේ විදේශ ප‍්‍රතිපත්තිය ගැන අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා දැනුවත් කළේය. මෑත කාලය තුළ චීනයේ නායකත්වයට පත් ජනාධිපතිවරුන් තිදෙනෙකු ගේ බුද්ධි මණ්ඩලය සමග සම්බන්ධ වී සිටි හුනින්ග් චීන නායකයන්ගේ ද්‍රෘෂ්ඨිවාදය මුවහත් කරන්නට නොමසුරු බලපෑමක් කරන ලද බව පිලිගැනීමයි.

නව උපදේශකයෙකු වශයෙන් බටහිර කලාපයේ හදුන්වන හුනින්ග් තවදුරටත් අර්ථ දක්වන්නේ ෂී ජින්ග්පින්ගේ ‘මොළය’ වශයෙනි. දුෂණ විරෝධය, ජාතික ඒකාග‍්‍රතාවය හා දේශපාලන ක‍්‍රමය සම්බන්ධයෙන් දර්ශනයක් දෙන හුනින්ග් චීන ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලයේ වගකීම් උසුලන ප‍්‍රධාන නිලධාරියෙකු සේ සැලකෙයි.

වං හුනින්ග් පළ කරන ප‍්‍රතිභාව චීනයට පමණක් සීමා නොවේ. 1988 දී හෙතෙම හය මාසයක ඇමරිකානු ශිෂ්‍යත්වයක් ලැබුවේය. එම කාලය තුළ නගර තිහක සහ විශ්ව විද්‍යාල විස්සක සැරි සරන ලද හෙතෙම පෙරලා චීනයට ගොස් රචනා කරන ලද කෘතිය විශාල අවධානයකට ලක්ව තිබේ. ‘ඇමරිකාවට එරෙහි ඇමරිකාව’ නමැති පිටු හාරසියයකින් සමන්විත එහි ඇමරිකානු ජීවිතය, ආර්ථිකය හා දේශපාලන ආකෘතිය අලලා ඔහුගේ අත්දැකීම් නිර්වචනය කර ඇත. නිර්මාණය කර මවා පෙන්වන ඇමරිකාවට වඩා යථාර්ථය අඟවන පොතක් වශයෙන් දශක දෙකකට වඩා පැරණි එය අදටත් ගැලපෙන බව විචාරක මතයයි.

ෂැංහයි නගරයේ උපත ලැබූ හුනින්ග් බාල වියේ මූලික අධ්‍යාපනයෙන් පසු නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයට ඇතුලත් වූයේ ප‍්‍රංශ භාෂා අධ්‍යයනයටය. අනතුරුව ෂැංහයි ෆුඩන් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර දේශපාලනය පීඨයේ ඉගෙනුම ලබන හෙතෙම ඉනික්බිතිව සමාජ විද්‍යාව පිලිබඳ ෂැංහයි ඇකඩමියෙන් පශ්චාත් උපාධිය සමත්ව තිබේ. ඉගෙනගැනීම නතර නොකළ හුනින්ග් අවුරුදු තිහක් සම්පූර්ණ වන විට නීතිය සම්බන්ධ මහාචාර්ය ධුරයකට පත්වූයේ ෆුඩන් විශ්ව විද්‍යාලයේ ලාබාලතම නීති මහාචාර්යවරයා වශයෙනි. චීනයේ පුවත් පත් වලට තීරු ලිපි සහ විශේෂාංග ලියන ලද හෙතෙම එයින් කොමියුනිස්ට් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ අවධානයට ලක් විය. 1995 දී ෂැංහයි හි පක්ෂ නායකයන් ගේ මධ්‍යම කාර්යංශයට වැඩ කරන්නට එකතු වූ ඔහු පක්ෂයේ පර්යේෂණ අංශය භාර ගත්තේය. පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන ලද හෙතෙම 2002 දී අංශ භාර අධ්‍යක්ෂකවරයා විය. එවකට පක්ෂයේ මහ ලේකම්වරයා සමග එකතු වී කොමියුනිස්ට් පක්ෂයේ දර්ශනය හා මතවාදය ගොඩනගන්නට කැපවූ හුනින්ග් තවත් වසර පහක් අවසන් වන විට කොමියුනිස්ට් පක්ෂ ලේකම් කාර්යාලයේ වගකීම් භාරගත්තේය. එවකට ජනාධිපතිව සිටි හු ජින්ටාවෝ ගේ විදේශ සම්බන්ධතා වලට උපදෙස් දෙන කාර්යය ඔහු වෙත පැවරිණි. දහ අට වැනි පක්ෂ සම්මේලනයේ දී එනම් වත්මන් ජනාධිපති ෂි ජින්ග්පින් බලයට පත්වන අවස්ථාවේ දී පක්ෂයේ දේශපාලන බල මණ්ඩලයට පත් වූ වං හුනින්ග් චීන ජනාධිපතිවරයාගේ සමීප ඇසුරට පත් වූ අතර විදේශ ප‍්‍රතිපත්ති කෙරෙහි උපදෙස් දෙමින් සිටී. හෙතෙම ජනාධිපතිවරුන් තිදෙනෙකු සමග විවිධ මට්ටම් වලින් ක‍්‍රියා කර ඇති අතර වසර හතරකට වතාවක් පවත්වන කොමියුනිස්ට් පක්ෂ සම්මේලන හතරක සාමාජිකයෙකු වී හසල අත්දැකීම් සහිතය. නොබෝදා පවත්වන ලද දහ නමවැනි සම්මේලනයේ දී දේශපාලන මණ්ඩලයේ ඉහළ තැනකට එනම් කොමියුනියුස්ට් පක්ෂයේ ප‍්‍රධානම හත්දෙනා අතරට පත්ව ඇත.

මහජන චීන සමූහාණ්ඩුව ලෝකයේ බලවත් තැනකට පත්කරන වැදගත් තීරණ ගන්නා දේශපාලන බලවතුන් කිහිප දෙනා අතර සිටින වං හුනින්ග් චීන දේශපාලන සාහිත්‍යයට පොත පත ගණනාවක් ලියා තබා අලූත් පරපුරට දර්ශනය අධ්‍යයනය කරන්නට අවස්ථාව සකස් කර තිබේ.

1988 ඇමරිකානු ජනාධිපතිවරණය පවත්වන විට එරට අධ්‍යයන සංචාරයක නිතරව සිටි වං හුනින්ග් ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු අතර පවත්වන ඡන්දය ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැයි ප‍්‍රශ්න කළේය. ඩිමොක‍්‍රටික් නැත්නම් රිපබ්ලික් යන පක්ෂ දෙකෙන් එක් අයෙකුට ඡන්දය පාවිච්චි කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවන අතර පක්ෂය ඇතුලත පවත්වන අපේක්ෂකයන් හදුනාගැනීමේ ඡන්ද ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිටුවහලක් නොවන බවට විචාරයක් කරයි. එය බලවත් අවධානයට ලක් වූ අදහසක් නමුත් මෙවැනි අදහස් මතු කරන්නේ චීන ක‍්‍රමයට සාපේක්ෂව බව ඇතැම් ප‍්‍රති මතධාරීන්ගේ අදහස වී තිබේ. ඇමරිකානු ආර්ථිකය හා සමාජ ව්‍යුහය ගැන මහාචාර්ය වං හුනින්ග් දක්වන ලද ප‍්‍රායෝගික අදහස් චීන කොමියුනිස්ට් ප‍්‍රධානීන්ගේ පුලූල් අවධානයට ලක් වූ බව සඳහන් වෙයි. අද පවතින චීන ඇමරිකා සම්බ්ධතා හමුවේ වං හුනින්ග් ගේ මතය ඉතාම වැදගත් තැනකට පත්ව ඇති අතර එය ඇමරිකානුවන් ද සලකා බලන විශේෂ තත්ත්වයක් බව දැක්වීම අවශ්‍යය.

න්‍යායාචාර්යවරයෙකු වශයෙන් චීන ජනාධිපතිවරයා වෙත කොපමණ බලපෑමක් කළ හැකි අයෙකු ද යන්න බටහිර මාධ්‍ය වං හුනින්ග් කෙරෙහි දක්වන අවධානයෙන් නිරීක්ෂණය කළ හැකිය. චීනයේ ජනාධිපතිවරුන් තිදෙනෙකු ගේ විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් උපදෙස් දුන් පරිනත විද්වතෙකු වශයෙන් දකින ඇතැම් මාධ්‍ය ඔහු චීනයේ සංවර්ධනාත්මක ගමන ගැන විද්‍යාත්මක රාමුවකින් කි‍්‍රියා කරන්නෙකු වශයෙන් දක්වා තිබේ. වත්මන් ජනාධිපති ෂි ජින්ග්පින් චීනය ඉහළටම නැංවීමේ ව්‍යායාමය පිටුපස සිටින විද්වතෙකු සේ හදුන්වන්නට බටහිර මාධ්‍ය සූදානම්ය. දකුණු කොරියාවේ ප‍්‍රකට පුවත් පතක් වං හුනින්ග් චීනයේ කිංසිජනර් සේ නම් කර ඇත. කිංසිජනර් ඇමරිකානු ජනාධිපති රිචඞ් නික්සන්ගේ ජාතික ආරක්ෂක උපදේශකවරයා වූ අතර දේශපාලන බුද්ධිමතෙකු විය. නික්සන් 1972 දී චීනයට යන අවස්ථාවේ දී එයට පසුබිම සකස් කරන ලදී. ඇමරිකාව හා චීනය අතර අලූත් සම්බන්ධතා ගොඩනැගෙන විට හුනින්ග් ගේ ශෛලිය ද එයට සමාන උසස් සේවාවක් සේ ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දෙති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ බලසම්පන්න හත්දෙනාගේ කමිටුවට වං හුනින්ග් ගේ පත්වීම හොංකොං හි මාධ්‍ය දකින්නේ නිහඞ බුද්ධිමත් ප‍්‍රවේශයක් වශයෙනි. හසල අත්දැකීම් ඇති ලෝකයේ සිදුවීම් දෙස ඇස ගසාගෙන සිටි හෙතෙම චීනය සොයාගෙන යන අනන්‍යතාවය ගොඩනගන්නට සේවය කරනු ඇතැයි අපේක්ෂා පළ කර තිබේ. ඩෙන්ග් ෂියා සහ චෞ එන්ලායි යන චීන නායකයන් ගෙන් පසු බටහිරට සම්බන්ධ වූ ප‍්‍රබල චරිතයක් වශයෙන් වං හුනින්ග් සැලකිල්ලට පාත‍්‍ර වී ඇත.

චීන නායක ෂී ජින්ග්පින් ආරම්භ කර ඇති එක තීරයක් එක මාවතක් යන දැක්ම කෙරෙහි නතුව එයින් මතුවන ආර්ථික ශක්තිය උපයෝගී කරගෙන අහිමි වූ ස්ථානය යළි දිනාගැනීම වං හුනින්ග් ගේ අධිෂ්ඨානය බව ප‍්‍රකාශ වෙයි. ලෝකයේ අනෙක් රටවල් වලට සම්බන්ධ විය හැකි විකල්පයක් තැනීම ඔහුගේ සිහිනය වී තිබේ. විද්‍යාර්ථියෙකු වශයෙන් නැගී හොඳීන් අධ්‍යයනය කර ලෝකයේ පැවැත්ම තේරුම් ගන්නට උත්සාහ කරන ඔහුගේ ශක්තිවන්ත භාවය ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ වසර දහසයකටත් වැඩි කාලයක් කොමියුනිස්ට් පක්ෂ සම්මේලන කතිකා වලින් සන්නද්ධ වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.