» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/09/2017 - දේශය
තීරු ලියුම්කරුවෙකු වූ ශ‍්‍රීමත් ඬේවිඞ් ටැන්ග්

ශ‍්‍රීමත් ඬේවිඞ් ටැන්ග් පසුගිය අගෝස්තු අවසානයේ දී ජීවිතක්ෂයට පත්විය. අක්මාවේ පිලිකාවක් හෙයින් රෝගී වන විට හෙතෙම ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වූ නමුත් ඔහු ලන්ඩන් හි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට ලියන ලද තීරු ලිපිය එක්තරා අන්දමක විශේෂ ජන අවධානයකට ලක්ව තිබිණ. මෙම තීරු ලිපියට යථාර්ථවාදී සිද්ධි වලට අතිශයෝක්තිය තරමක් මුහු කර ලියන්නට හෙතෙම හුරු වී සිටියේය. ලන්ඩන් සමාජයේ සිද්ධි සහ සුප‍්‍රකට චරිත ඒවාට ගොදුරු වූ අතර එයින් විශාල නරකක් සිදු නොවූ නමුත් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පතේ අංශ භාර සංස්කාරකවරයා වරක් ඬේවිඞ්ගෙන් ප‍්‍රශ්න කළේ මෙම සිද්ධි විග‍්‍රහයන් තරමක් සැර වැඩි බව කියමින්ය. ඬේවිඞ් ට උත්තරයක් තිබිණ. ලෝකයේ මනුෂ්‍ය පරිනාමනය හෙමින් සැරේ සාවධානව සිද්ධ නොවූ බව සඳහන් කළ හෙතෙම තරමක් වැඩි ලියැවිල්ල ප‍්‍රශ්නයක් නොවේ යැයි කියා සිටියේය.

ඬේවිඞ් ටැන්ග් හොංකොං හි ප‍්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක දරුවෙකි. ඔහුගේ සීයා එහි කොවුලෝන් බස් සමාගම ආරම්භ කරන්නට මූලික වූ අයෙකි. දානපතියෙකු වශයෙන් ද හොංකොං දුපතෙහි නමක් දිනාගෙන සිටියේය. බාල වියේදීම එනම් දොලොස් හැවිරිදි වයසේ දී දෙමව්පියන් සමග ලන්ඩන් බලා ගිය ටැන්ග් එකල ඉංග‍්‍රීසි වචනයක් හෝ හසුරුවන්නට නොහැකිව සිටියේය. මූලික අධ්‍යාපනයෙන් පසු දර්ශනවාදය ඉගෙනගත් හෙතෙම අනතුරුව කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයෙන් නීතිය හැදෑරීය.

ඔහු තම සීයා ගේ ව්‍යාපාර ඇසුරෙහි වෘත්තීය ජීවිතය අරඹන අතර පසු කාලයක ලෝක ප‍්‍රකට නාවික ප‍්‍රවාහන සේවාවකට එකතු විය. එයින් අත්දැකීම් එකතු කරගත් ඬේවිඞ් ටැන්ග් චයිනා ක්ලබ් නමින් හෝටල් ව්‍යාපෘතියක් හොංකොං හි දී අරඹයි. සම්ප‍්‍රදායික චීන ආහාර සහ ආගන්තුක සත්කාර සම්බන්ධයෙන් එතැනට ඉහළ පිලිගැනීමක් හිමි විය. මෙම ව්‍යාපාරය සාර්ථක වන විට එය බෙයිජිං හා සිංගප්පූරුවේ නගර වෙත ව්‍යාප්ත කරන ලද ඬේවිඞ් ටැන්ග් චීන සම්ප‍්‍රදායික ආහාර පමණක් නොව බටහිර ජනප‍්‍රිය කෑම බීම ද එකතු කර ඒවා එක සමාජයක සමාගමය වෙනුවෙන් සංකේතයක් දක්වා ඉහළට ඔසවා තබන්නට සමත් විය.

ඬේවිඞ් ටැන්ග් අරමුණු ගණනාවක් කරා සිත යොමු කළ අයෙකි. ලන්ඩන් නගරයේ ඉහළම සමාජයේ ඔහු ගැවසුණේය. ව්‍යාපාරික පමණක් නොව බි‍්‍රතාන්‍ය රාජකීය සාමාජිකයන් ද ඔහු ඇසුරු කළේය. 1994 දී හොංකොං නගරයට අලූත් ඇදුම් නිර්මාණ වෙළඳ සැලක් හදුන්වා දුන්නේය. ෂැංහයි ටෑන්ග් ස්ටෝර්ස් යනුවෙන් නම් කළ එහි අනර්ඝ ඇඟළුම් අළෙවි කළේය. වසර පනහකට හැටකට කලින් චීන ජන සමාජයේ තිබුණ විලාසිතා සහ මෝස්තර නැවතත් නවෝත්පාදනය කරන ලද අතර ඒවායෙහි තද දීප්තිමත් වර්ණ සහ විසි එක් වැනි සියවසට ගැලපෙන පරිදි කරන ලද මෝස්තර නිර්මාණ ගැනුම්කරුවන්ගේ අවධානය දිනා ගත්තේය. දශකයක් දෙකක් යන විට ලෝකයේ රටවල් සෑහෙන ප‍්‍රමාණයක ශාඛා විසි හතරක් දක්වා මෙම ඇඟළුම් ව්‍යාපාරය ව්‍යාප්ත කරන්නට ඬේවිඞ් සමත්කම් දැක්වීය. මෙයින් වසර තුනකට කලින් විසි වසරක සාර්ථක ව්‍යාප්තිය සමරන ලද අතර නොබෝදා ඬේඩිඞ් ටෑන්ග් අභාවයට පත්වන්නට කලින් ස්විට්සරලන්තයේ සුපිරි ඇගළුම් ව්‍යාපාරයක් තම දේපොල ෂැන්ග් ටෑන්ග් සමූහ ව්‍යාපාරයට විකුණා දමන ලද බව නිවේදනය කළේය. එය විශාල සාර්ථකත්වයක් වන අතර චීනයේ සම්ප‍්‍රදායික ලක්ෂණ මුසුකර ව්‍යාප්ත වූූ ව්‍යාපාරයට බටහිර ආධිපත්‍ය හිමිවීමක් වශයෙන් විචාරකයෝ දැක්වූහ.

ඬේවිඞ් ටෑන්ග් නොනවතින නොඑසේනම් නතර කළ නොහැකි ධෛර්යයකින් යුතු චරිතයක් විය. අනර්ඝ ආහාර පාන, විශිෂ්ඨ ඇගළුම් වෙනුවෙන් ව්‍යාපාර බිහිකරන ලද හෙතෙම ලෝකයේ අගනා නිෂ්පාදනයක් සේ පිළිගෙන තිබුණ හවානා දුම්වැටි වෙනුවෙන් පැසිපික් සිගරට් සමාගම පිහිටුවීය. එය විසිවැනි සංවත්සරය සමරන විට ආසියා පැසිපික් කලාපයට කියුබාවේ අගනා සිගරට් බෙදාහැරීමේ කාර්යය සාර්ථකව කරගෙන යමින් සිටියේය.

ලන්ඩන් හා හොංකොං අතර කාලය බෙදාගෙන ජීවත් වූ චරිතයක් සේ සැලකෙන ඬේවිඞ් ලන්ඩන් ජාතික සෞඛ්‍ය සේවාවේ නියමු චරිතයක් ද නියෝජනය කළේය. සැහැල්ලූ ජීවිතය සහ බරපතල ව්‍යවසායකත්ව තීරණ අතර කාලය ගත කළ නමුත් චීන භාෂාවෙන් හොංකොං හි පළවන ඇපල් ඬේලි පුවත් පතට තීරු ලිපියක් ලියන්නට ඔහු එකඟ විය. එහි ප‍්‍රතිචාර අනුව එම තීරු ලිපි පෙලින් තෝරාගත් කොටස් පොතක් වශයෙන් 2006 දී පළ කරන විට ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත ද තිරු ලිපියක් නොකඩවා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය. තමන් දකින අහන දේ ලියන්නට හුරු වූ හෙතෙම එයින් ඉහළ සමාජයට පණිවුඩ නිකුත් කළ අතර සමහර දේ ඉතා සැර බව එහි සංස්කාරකවරයා ඬේවිඞ් ගේ අභාවයෙන් පසු ඔහු ගැන මතන සටහන් ලියන අවස්ථාවේ දී සටහන්ක ර තිබිණ. සමහර ලිපි වෙලාවට ආවේ නැහැ. ඒවාට තිබුණ කදිම උත්තර කිසිසේත් ප‍්‍රායෝගික ඒවා නොවෙන බව එහි සඳහන් වූ අතර එය කොපමණ සාමාන්‍ය එකක් වී ද යත් අක්මාවේ පිලිකාවක් වැළඳී රෝහලේ ඉන්නා බව කියන වෙලාවේ දී ද පිලිගත නොහැකි වූ බව සංස්කාරකවරයා ලියා තිබුණි. කෙසේ නමුත් හවානා සිගරට් සමග තිබුණ සම්බන්ධය හෙයින් කියුබාව ගැන නොයෙක් අදහස් පුවත්පත් වලට ලියන ලද ඬේවිඞ් විටින් විට අවස්ථා කිහිපයක දී කියුබාවේ ගරු තානාපතිධුරය හොංකොං හි නියෝජනය කළේය. බි‍්‍රතාන්‍ය ශ‍්‍රීමත් ගරු සම්මානය පිරිනමන ලද මෙම ව්‍යවසායකයා හා තීරු ලිපි රචකයා ප‍්‍රංශයෙන් ද බුහුමනට ලක්විය. 2014 වසරේ දී කලාව හා නිර්මාණශීලී මෝස්තර වෙනුවෙන් ආසියානු සම්මානය හිමිවීම ද විශේෂ සිද්ධියකි.

සමාජ ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි හෙතෙම ලිබරල් අදහස් වලින් පෝෂණය වී සිටියේය. හොංකොං වල දී විදේශ වාර්තාකරුවන්ගේ සංගමය හමුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දියුණු කරන්නට කළ යුතු දෑ ගැන අදහස් දක්වන්නේය. අන්තර්ජාලය වෙබ් අඩවි මගින් සිදුවන සමාජ පරිවර්තනය දෙස අවධානය යොමු කරමින් සිටි හෙතෙම අයිකරෙක්ට් නමින් වෙබ් අඩවියක් නිර්මාණය කර ලෝකයේ වෙබ් අඩවි වල සිදුවන දෝෂ හා වැරදි පෙන්වන්නට විවෘත අවස්ථාවක් සකස් කළේය. එය අන්තර් ජාලය පරිහරණය කරන්නන්ට යථාර්ථය පිළිබිඹු කරන්නක් විය.

ඬේවිඞ් ගේ ඇඟළුම් මෝස්තර සන්නාම පමණක් නොව තීරු ලිපි වල අදහස් ද ජගත් විචාරකයන්ගේ අවධානයට ලක් විය. ඒවායේ සෘජු අදහස් ලන්ඩන් හි ඉහළ සමාජය කුල්මත් කරන ලද අතර තමන්ගේම මිත‍්‍රයන් ගැන තමන්ට හැර එසේ කතාකරන්නට නොහැකියැයි හෙතෙම උපකල්පනය කරන්නට ඇත.

රෝගාතුරව රෝහලේ ඇඳ මත බලවත් අපහසුතාවයෙන් සිටිය දී ඔහු සහායකයන් අමතා තමන්ගේ සමුගැනීමේ සාදය සංවිධානය කරන්නැයි උපදෙස් දී තිබුණ බව ඒෂියා ටයිම්ස් පුවත් පත වාර්තා කළේ ඔහු ගේ හැට තුන් වැනි උපන් දිනය පසුකර දින විසි හතකට පසු අභාවයට පත් වීමෙන් ඉනික්බිතිවය. ලන්ඩන් හි උසස්ම උත්සව ශාලාව වෙන්කර තිබුණ අතර එහි ආහාර පාන සහ සංගීතය ඬේඩිඞ් ටෑන්ගේ ඇනවුමෙන් උත්සවය සඳහා සූදානම්ව සිටියේය. ජීවිතයෙන් සමුගැනීමේ සාදයට ආරාධනා කළ යුතු අයගේ ලැයිස්තුව උනන්දුවෙන් පිලියෙල කරමින් සිටිය දී හෙතෙම හදිසියේ අභාවයට පත් වූ අතර ජීවත් වූ කෙටි කාලය තුළ පෙර අපර දෙදිග ආන්දෝලනය කළ චරිතයක් බවට පත්ව සිටියේය.