» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/07/2016 - දේශය
කලූ ජාතිකයන්ගේ ජීවිතයත් වැදගත්ය

සමාජ ව්‍යුහය එක්තරා දියුණු තලයකට පැමිණි මෙකල සුදු කලූ බේධයක් නැති බව මතුපිටින් පෙනෙන ස්වභාවයයි. නමුත් එහි ගිණි පුපුරු තවමත් සැඟව පවතී. මෑත කාලය තුළ ඇමරිකාවේ එතැනින් මෙතැනින් වාර්තා වූ සිද්ධි පෙන්වන්නේ එයයි. බලවත් පීඩනයක් බවට හැරෙන එය වෙනුවෙන් සමාජ ව්‍යාපාරයක් ඇරඹී තිබේ. කලූ ජීවිතයත් වැදගත්ය (Black Lives Matter) යනුවෙන්ය. එසේ අරඹා ඇති වෑයම ඇවිලෙන උණුසුම අනාවරණය කරන බලවත් සියුම් කාර්ය භාරයක් බවට පත්ව තිබේ. එය ප‍්‍රබලය. නායකත්වය නැගෙන්නේ ජනතාව අතරින්ය. මෙහෙයෙැවෙන්නේ සමාජ මාධ්‍ය භාවිතාවෙන් බව නිරීක්ෂණය කළ හැකිය. එය ජනතාන්ත‍්‍රිකත්වය ගොඩනැගෙන අන්‍ය රාමුවකි.

කලූ ජීවිත වැදගත්ය යන අදහස ඉදිරියට එන්නේ කලූ සුදු ජාතීන් අතර ගැටුම්වල ප‍්‍රතිපලයක් වශයෙන්ය. ගැටලූ මතුවෙන විට කලූ ජාතිකයෝ විරෝධතා වලට පෙළැඹෙති. පොලිසිය සමග ගැටෙන අතර එහි අවසාන ප‍්‍රතිඵලය මරණයයි. පොලිස් පහරදීම් හා වෙඩි තබා මරණයට ගොදුරුවෙන්නේ කලූ නිසාද? ඇමරිකාවේ ජීවත්වන කල්ලන් අහන ප‍්‍රශ්නයකි. ඇමරිකාවේ පර්යේෂණයක් අනාවරණය කර ඇති අන්දමට පොලිස් වෙඩි ප‍්‍රහාරයකට ගොදුරු වෙන්නට සුදු මිනිසුන්ට වඩා කලූ මිනිසුන්ගේ සමභාවිතාව තුන් ගුණයකින් වැඩිය. මෙවැනි පැත්තක් පෙන්වන්නේ කලූ අය ප‍්‍රචණ්ඩ හෙයින් ද නොඑසේ නම් කලූ අයට සලකන අසමාන පසුබිම ද යන්න ඇමරිකානු ජන සමාජය තුළ විවාදයකට පාත‍්‍රවෙමින් තිබේ. එසේ තිබිය දී කලූ ජාතිකයන්ගේ ජීවිතය ද වැදගත්ය යන සංකල්පය පැන නැගී ඇත. මෙම සමාජ ව්‍යාපාරය අරඹන්නේ කලූ සම්භවයක් සහිත තිදෙනෙකි. මෙයින් වසර තුනකට කලින් එලීසා ගාසා, පැට‍්‍රාස් ක්ලර්ස් සහ ඔපල් ටොමැටි යන අප‍්‍රිකානු ඇමරිකානුවන් තිදෙනා තමන්ගේ කාර්ය භාරය ආරම්භ කරන්නේය. ඔවුන් ප‍්‍රශ්න කරන්නේ කලූ ජීවිතය වැදගත් නැද්ද යන ප‍්‍රශ්නය පමණකි. එය සංවේදීය. හැඟීම් බර එකකි. ප‍්‍රජාතන්ත‍්‍රාදය සහ සමාන අයිතිවාසිකම් ගැන කතා කරන ඇමරිකාවට එය තර්ජනාත්මක හඞක් බවට පත්ව තිබේ.

එක්තරා අඳුරු දිනයක අප‍්‍රිකානු ඇමරිකා තරුණයෙකු පොලිස් වෙඩි පහරකට ලක්වෙයි. ටෙ‍්‍රයොන් මාර්ටින් නම් මෙම තරුණ ජීවිතය උණ්ඩයට ගොදුරුවීම කලූ ඇමරිකානුවන්ගේ හදවත් සසල කරන සිද්ධියක් විය. අධිකරණය තීන්දු කරන්නේ ගැටුමේ දී පොලිසිය වෙඩි තැබීම සාධාරණ බවය. එය යුක්ති සහගත මරා දැමීමක් බවට අර්ථ දක්වන්නේය. එය ඉවසාගත නොහැකි වූ සිද්ධියෙන් කම්පිත කොටස් මෙම අසාධාරණය කලූ නිසාදැයි ප‍්‍රශ්න කරන්නට පටන් ගත් බව අනාවරණය වෙයි.

කලූ ජීවිතයත් වැදගත්ය යන ව්‍යාපාරය තුළ නියකයන් නැත. ඔවුහු සංවිධානාත්මකව රාමුවක් අනුව ක‍්‍රියා කරන්නෝ නොවෙති. නමුත් එහි ප‍්‍රබල මතයක් තිබේ. සමාජ මාධ්‍යයෙන් පණිවුඩයක් යවන කලූ ජාතිකයන් සංවිධාන ගත වෙති. තමන්ට සිදුවන අතවර ගැන විරෝධතාවය පළ කරති. එය ඉහළින් පහලට නියෝග එන ක‍්‍රමයක් නොවේ. පහලින් සමාජ තලය තුළින් නැගෙන ක‍්‍රියාදාමයකි. ආරම්භ කරන ලද බවට තුන් දෙනෙකු ගැන සඳහන් වෙතත් ඔවුන් මෙම ව්‍යාපාරය මෙහෙයවන්නේ නැත. සිද්ධියක් පැන නැගෙන විට එය අවටින් නායකයෙකු මතුවෙයි. විරෝධතාවය පළවන අතර අවසානය පොලිසිය සමග ගැටී ඛේදවාචකයකින් අවසන් වන එකකි.

කලූ ජාතිකයන් සාමාන්‍යයෙන් නොඉවසිලිවන්තය. ගැටුමට බරය. නොබෝදා සිද්ධියක් වාර්තා වෙන්නේ ඩලස් නගරයෙන්ය. එහි දී අට සියයක් පමණ අප‍්‍රිකානු ඇමරිකන් පිරිසක් පොලිසිය කරන කලු ජාතික ඝාතන වලට විරුද්ධව සාමකාමී උද්ඝෝෂණයක නිරත විය. එය සංවිධානය කළේ කලූ ජීවිතයත් වැදගත්ය යන ව්‍යාපාරයයි. සුදු පොලිස් නිලධාරීන්ගෙන් පලිගන්නට මාන බලමින් සිටි පිරිසක් මෙම උද්ඝෝෂණය පාලනය කරන්නට පැමිණ සිටි පොලිස් නිලධාරීන් වෙත වෙඩි තබා ඇති අතර එයින් පස් දෙනෙකු මියගොස් තිබේ. පොලිසිය කරන ලද ප‍්‍රතිප‍්‍රහාර වලින් කලූ ජාතික පෙලපාලිකරුවන් දෙදෙනෙකුද මරුමුවට පත්ව ඇත. විශේෂත්වය වෙන්නේ මෙම ඩලස් සිද්ධියේ පොලිස් බල ඇණිය මෙහෙයවූ නිලධාරීයා ද අප‍්‍රිකානු ඇමරිකානුවෙකු වීමය.

ඬේවිඞ් බ‍්‍රවුන් නමැති ඔහු ද හිංසනයට පත් ශෝකාන්තයයක ගොදුරක් වී ම ද ඇමරිකානු සමාජයෙඅ වධානයට ලක්ව ඇති කාරණයකි. පසුව කරන ලද පොලිස් ප‍්‍රකාශවල සඳහන් වන්නේ මෙම පෙලපාලියට පැමිණි විස්සක් තිහක් පමණ පිරිසක් නිදහස් තුවක්කු අයිතිය යටතේ ආ්‍යුද සහිතව සහභාගී වී ඇති අතර ජීවිතාරක්ෂක කබා ඇඳගෙන ගෑස් මුුහණු ආවරණ සහිතව සිටි බවය. බලවත් කම්පාවකට පත්ව ඇති සමාජය කලූ සුදු ජාතීන් අතර මෙවැනි ඝට්ටන තව දුරටත් පැතිරුණහොත් බලවත් විනාශයක් ඇති කරනු ඇති බවට භීතියක් මතු කර තිබේ. කලූ ජාතික ඇමරිකානුවන් තමන්ට සාමකාමී ලෙස ජීවත් වෙන්නට ඉඩ දෙන්නැයි ඉල්ලා සිටී. ඔවුන් එයට බල කරන පෙලපාලි උද්ඝෝෂණ නිතර පවත්වන්නට පටන්ගෙන තිබේ. එය නිදහස සහ සාමකාමී තත්ත්ව අපේක්ෂා කරන සමාජයක කැළඹිලි ඇති කරන්නකි.

ඩලස් සිද්ධිය පමණක් නොව අප‍්‍රිකානු ඇමරිකානුවන් සහ පොලිසිය අතර නිතර ඇතිවන ගැටුම් ගැන සදහන් කරන එරට ජනාධිපති බැරක් ඔබාමා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය තුළ වෙනස් මත වලට ඉඩ ඇති බවපෙන්වා දෙයි. ඇමරිකාවේ අයිතීන් දිනාගත්තේ පෙලපාලි හා උද්ඝෝෂණ වලින් බව ඔහු පෙන්වා දෙයි. එම පසුබිම අමතක කළ නොහැකි නමුත් සියලූ විරෝධතා වල කිසියම් සීමාවක් තිබිය යුතු බව අවධාරණය කර ඇත. නමුත් එය පියවි තත්ත්වය ඇති කරන්නට හේතුවී නැත.

කලූ ජීවිත වැදගත්ය යන ව්‍යාපාරය සූක්ෂම ලෙස තම මතය ඉදිරිපත් කරන්නට සමත්ව තිබේ. ඔවුහු ඒ වෙනුවෙන් ගීත ඉදිරිපත් කරති. විරෝධතා මැද ගැටුම් අවුලවයි. ප‍්‍රචාරක කටයුතු වලදී චිත‍්‍රපට වැනි දේ ඇතුළට ඔවුන්ගේ පෝස්ටර් සහ වැකි ඇතුල් කරන්නට සමත්ව තිබේ. එය ගින්නක් මෙන් පැතිර යමින් තිබෙන ව්‍යාපාරයක් වී තිබේ. ස්වේච්ඡාවෙන් තමන්ගේ අයිතීන් වෙනුවෙන් කරන සටනක් බවට පත්ව ඇති මෙම මෙහෙවර මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන් තෝරා ගැනිමේ සටනට ද අභියෝගයක් වී තිබේ. කලූ ජාතිකයන්ගේ ජිවිත ද වැදගත්ය යන්න අවධාරණය කර ප‍්‍රකාශයක් කරන්නැයි මෙම සංවිධානය සියලූම අපේක්ෂකයන්ට පණිවුඩයක් යවන්නට සමත්ව තිබේ. එය සුළු කොට තැකිය හැකි තත්ත්වයක් නොවේ. දුබලයැයි උපකල්පනය කර සමාජයේ වෙන් කර තැබූ කොටසක් නැගී බලවත්වී තමන්ට ද සමාජ ව්‍යුහය තුළ අයිතියක් ඇති බව අවධාරණය කරන්නට සූදානම් වන ප‍්‍රයත්නයකි.

කලූ ජාතිකයන් ගේ විප්ලවීය පෙරැලියක නව මුහුණුවරක් වහයෙන් මෙම ප‍්‍රවනතාවය නිරීක්ෂණය කරන්නට හැකිය. සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන මතුකරන්නේ ඔවුන් තුළ බලපවත්නා පීඩනයයි. කුලූ අය හැමවිටම අවතක්සේරුවකට ලක්වන අතර ඇමරිකාවේ ජීවත්වන කලූ ජාතිකයන් මිලියන එකහමාරක් සිරගතව ඇති බව ඔවුහු අවධාරණය කරති. කල්ලන් දුප්පත්කමට තල්ලූ කරන ආණ්ඩුවේ තෙරපුමක්ගැන ද ඔවුහු සාකච්ඡා කරන බව සමාජ මාධ්‍යවල පළවන තොරතුරු දක්වයි. ලක්ෂ ගණනක් වන අප‍්‍රිකානු ඇමරිකානුවන් නීත්‍යානුකූල ලියැකියැවිලි නැතිව ඇමරිකානු සමාජයේ පයට පැගෙන පිරිසක් බවට පත්ව ඇති බව තර්ක කරන මෙම ව්‍යාපාරය කියන්නේ මව්වරු තමන්ගේ පවුල් සහ දරුවන් ගැන ශෝකාකූල බවය. යුක්තිය පතා පාරට බහින අප්‍රිකානු ඇමරිකානුවන්ට පොලිසිය වෙඩිතැබීම හමුවේ කලූ ජීවිත වැදගත්ය යන ව්‍යාපාරයක් අරඹන්නේ ඇමරිකානු සමාජය එසේ නොසලකන බව තද ස්වරයකින් ජාත්‍යන්තරයට අඟවමින්ය.

ජනතාව නැගෙනවිට එයට ලැබෙන උත්තරය කුමක්ද? ඇමරිකානු ජනාධිපතිවරයා පවා කියන්නේ පාරට බහින අරගල වලින් තොරව විමුක්තියක් නැති බවය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඉහළම ගුණාංග ආරක්ෂා කරන බව දක්වන ඇමරිකානු සමාජයේ සිදුවන්නේ කුමක්ද? සැලකිල්ලෙන් විමසා බැලීම වැදගත්ය.