» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/06/2018 - දේශය
කෑම දිහා අලුතින් බැලූ ඇන්තනී බෝඩෙයින්

ප‍්‍රකට සූපවේදියෙකු වූ ඇන්තනී මයිකල් බෝඩෙයින් අදට දින දහයකට කලින් සිය දිවි හානි කරගත්තේය. ලෝක ප‍්‍රකට චරිතයක් වූ ඔහු ගේ අභාවය ගැන සංවේගයට පත් එක රසියෙකු ඔහුගේ කෑම ගැන ප‍්‍රසාදය පළ කර නොතිබුණ අතර ඕනෑම නීරස තත්ත්වයක් රසවත් සේ ඉදිරිපත් කරන්නට සමත් වූ බව කියා තිබුණි. ඇන්තනී බෝඩෙයින් දක්ෂ රූපවාහිනි වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙකු වූ අතර ලොව පුරා නාලිකා ගණනාවක ඔහු ආහාර ගැන වැඩ සටහන් ඉදිරිපත් කළේය. පුවත් පත් තීරු ලිපි රචකයෙකු වන අතර කෘති ගණනාවක් ලියා ප‍්‍රකාශයට පත් කළ ලේඛකයෙකි. විශ්වාස කරන්නට පවා අපහසු සත්ව හා ශාඛ කොටස් උපයෝගී කරගෙන අලූත් ආහාර සකස් කර ඔහුම අනුභව කර අමුත්තන්ට පිලිගැන්වීය. සමාජයට වඩා බලපෑමක් කළ හැකි සූපවේදියෙකු වශයෙන් ඉතිහාසයට එකතු වී තිබේ. දිවි නසා ගැනීම අනුමත කළ නොහැකිය. ආහාර සංස්කෘතියේ නොයෙක් අත්හදා බැලීම් ඔහු ජීවිතයෙන් සමුගත් පසු අතිශය අගය කරන තත්ත්වයට පත්ව ඇත.

ඇන්තනී බෝඩෙයින් ඇමරිකානුවෙකි. උපාධිධාරියෙකි. වෘත්තීය සූපවේදියෙකු සේ ජීවිතය ඇරඹීය. අත්දැකීම් තුළින් පෝෂණය වූ හෙතෙම ප‍්‍රකට අවන්හල් වල සේවය කළේය. ආහාර රසවත් කරන්නට අත්හදා බැලීම් වල නිරත විය. තමන්ගේම වෘත්තීය රටාවක් නිර්මාණය කරගත්තේය.

නිව්යෝක් හි නිව් ජර්සි ප‍්‍රාන්තයේ උපන් ඇන්තනී බෝඩෙයින් මිතුරන් අතර ප‍්‍රකටව සිටියේ ටෝනි යන ආදරණීය ඇමතුමෙන්ය. පාසල් වියේ දී බාලදක්ෂ සේවයෙහි ද නිරත වූ ඇන්තනී ගේ පවුල මිශ‍්‍ර ජාතීන් හා මිශ‍්‍ර ආගමික පසුබිමකින් යුක්තය. පසු කාලයක ඇන්තනී තමන් උපතින් කිසිම ආගමකට නතු නොවූ නිදහස් මතධාරියෙකු බව කියා සිටියේය. පවුල් පසුබිම අනුව පාසල් නිවාඩු කාලයේ දී ප‍්‍රංශ සංචාරවලට අවස්ථාව ලැබුණ අතර රසවත් ආහාර වලට මහත් ලොල් බවක් දැක්වීය. පවුලේ සංචාර වල දී ඉවුම් පිහුම් වලින් සම්බන්ධවීම ඔහුගේ සමත්කමක් වශයෙන් කැපී පෙණුනි. එය ජීවිතය කරගන්නට ඇන්තනීට සිදුවූ අතර සුළු හෝටල් වල මුලූතැන්ගෙයි කටයුතු වලට සම්බන්ධවීමෙන් අත හුරුකරගත් හෙතෙම උපාධිය ලැබීමෙන් පසු ආහාර පිලියෙල කිරීම තමන්ට වෘත්තියක් සේ ගැලපෙන බව විශ්වාස කර එය කෙරෙහි නැඹුරු වූ බව ජීවිත කතාවේ සඳහන්ය.

ඇන්තනී බෝඩෙයින් අදට වසර දහ අටකට කලින් මුළුතැන්ගෙයි රහස් මැයෙන් කෘතියක් ලියා පළ කළේය. එය පාඨකයන් හමුවට පැමිණියේ ‘‘මෙම පොත නොකියවා ආහාර ගැනීමෙන් වලකින්න’’ යන උපදේශය සමගය. එය අලෙවි වාර්තා තබමින් විකිණීම විශේෂත්වයකි. ‘ෆුඞ් නෙට්වර්ක්’ රූපවාහිනි නාලිකාවේ සූපවේදියෙකුගේ සංචාර යනුවෙන් වැඩ සටහන් ඉදිරිපත් කිරීමට 2002 වසරේ දී ඇන්තනී බෝඩෙයින් ට අවස්ථාව ලැබුණි. එම නාලිකාවේ වැඩසටහන් තිස් පහ අවසානයේ දී ට‍්‍රැවල් නාලිකාව සහ පසුව සී.එන්.එන් නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කිරීම් දක්වා දුර ගමනක් ආරම්භ කළේය. ඒවායේ කථන හා අභින නරඹන්නන්ගේ සිත් ගත් අතර ආහාර පිලියෙල කරන්නෙකුට වඩා ආහාර පිලියෙල කරමින් ඒවා ආකර්ශණීය සේ නරඹන්නන් වෙත ඉදිරිපත් කිරීමෙන් ලොව පුරා නමක් දිනා ගත්තේය. පළමුවැනි පොත ලියා පළ කිරීමෙන් ලැබූ අත්දැකීම් වලින් සතුටට පත්ව සිටි ඇන්තනී ඔහුගේ රූපවාහිනි වැඩසටහන්, චාරිකා හා අත්හදා බැලූ ආහාර වට්ටෝරු ඇතුලත් කර පොත් ගණනාවක් පසු කාලයේ දී පළ කළේය. ඒවාට හොඳ ප‍්‍රතිචාර ලැබුණ බව ද සඳහන් කළ යුතුය. ඇමරිකාවේ ප‍්‍රසිද්ධ පුවත්පත් සියල්ලකම පාහේ ඇන්තනී ගේ තීරු ලිපි පළ කළේය. ජාත්‍යන්තර සඟරා සහ ප‍්‍රසිද්ධ පුවත් පත් ඔහු ගේ ලිපි පළ කරමින් සූපවේදයේ රහස් අනාවරණය කරන්නට ඉදිරිපත් විය.

මෙම දක්ෂ සූපවේදියාගේ සේවය ලබාගත් සී.එන්.ඒන්. සේවාව එයින් විශාල ජනතා අවධානයක් දිනාගත් බව අනාවරණය වෙයි. එක්තරා අවස්ථාවක එවකට ඇමරිකානු ජනාධිපතිවයා ව සිටි බැරක් ඔබාමා ඇන්තනී සමග සූපවේදී වැඩසටහනකට පෙනී සිටියේය. එය සාමාන්‍ය හෝටලයක දී ඉදිරිපත් කිරීම විශේෂය. එවකට රටින් රට යමින් පවත්වන ලද එම වැඩ සටහන වියට්නාමයේ දී සංවිධානය කර තිබුණි. ලිබියාව, ජපානය, ජැමෙයිකා හා ඉතියෝපියාව වැනි රටවල කරන ලද ඉදිරිපත් කිරීම් විශාල ජන අවධානයක් දිනා ගන්නට සමත් විය. දෙවතාවක් ශ‍්‍රී ලංකාවට ද පැමිණි හෙතෙම සාමාන්‍ය තැන් වල දී ආහාර සකස් කිරීම ගැන රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන ලද බව සඳහන් කළ යුතුය. ආහාර පාන රටා, ඉදිරිපත් කිරීම් හා අලූත් සංකලන මගින් කරන ලද අත්හදා බැලීම් ඇන්තනී ගේ වෘත්තීය මට්ටම තව තවත් තහවුරු කළේය. හෙතෙම සූපවේදී ශාස්ත‍්‍රයේ සීමා ඉක්මවා ගියේය. ආහාරයට ගත නොහැකි යැයි පැත්තකට කර තිබුණු දේ පමණක් නොව සමහර අවස්ථාවල පිලිකුල් කරන අමු ද්‍රව්‍ය පවා විශේෂිත ආහාර වලට භාවිතා කළේය. විවිධ රටවල දී තෝරා ගත් සත්ව කොටස් සමග කරන ලද ආහාර පිලියෙල කිරීම් වල දී රසවතුන් තිගැස්මට ලක් කරන ලද අවස්ථා තිබේ. මෙවැනි සිද්ධි හෙයින් ජාත්‍යන්තර සූපවේදී සැනකෙළි වල දී නැතිව බැරි චරිතයක් වූ හෙතෙම ජාත්‍යන්තර සූපවේදී තරග වල දී විනිසුරුවෙකු ලෙස ක‍්‍රියා කරන බලවත් පිලිගැනීමක් ඇති පුද්ගලයෙකු බවට පත් විය.

ආහාර පිලියෙල කිරීම ගැන ඇන්තනී බෝඩෙයින් සතුව තිබුණ වෘත්තීය දක්ෂතාවය ගැන ලෝකය පුරා ඉහළ ප‍්‍රශංසාවක් හිමිවිය. හැබෑ රසය හා වර්ණය නොනසා ආහාර පිලියෙල කිරීමට හෙතෙම දක්ෂතා දැක්වූ අතර වතාවක් චිත‍්‍රපටියකට රඟපෑමෙන් දායක වන අතර පිලියෙල කරන ලද ආහාර ප‍්‍රයෝජනයට නොගෙන නාස්ති කිරීම නොකළ යුතු බව සමාජයට අඟවන පණිවුඩයක් එයින් සන්නිවේදනය කරයි.

ඇන්තනී බෝඩෙයින් දෙවරක් විවාහ වූ අයෙකි. මුල් වතාවේ දී පාසල් වියේ පෙම්වතිය විවාහ කරගත් හෙතෙමවිසි වසරකට පසු වෙන්වී වෙනත් කාන්තාවක විවාහ කරගත් අතර එම විවාහය අත් හරින්නට සිදුවූයේ වෘත්තීය ස්වභාවය හෙයින් බව ප‍්‍රකාශ වෙයි. වසරකට දින දෙසිය පනහක් පමණ නිවසින් බැහැර රූපවාහිනි වැඩ සටහන් හා පුවත් පත් කන්තෝරු වල කාලය ගත කරන ලද ඇන්තනී ඔහුගේ දියණියට හා භාර්යාවට අසාධාරණයක් කරන ලද බව ප‍්‍රසිද්ධ කරුණකි. අඛණ්ඩ දුම් පානය හා මත්පැන් වලට ලොල්ව සිටි මෙම සූපවේදියාගේ පුද්ගලික ජීවිතයෙන් උකහා ගැනීමට යමක් නැත. නමුත් සමාජයීය වශයෙන් අප‍්‍රමාණ දක්ෂතා දැක්වීය. ආහාර පිලියෙල කිරීම, වැඩසටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඉමහත් පරිචයක් දැක්වූ අතර පොත පත ලියන්නටත් පත්තර වල තීරු ලිපි රචනයටත් සමත්කම් දැක්වීය. ලෝක ප‍්‍රජාවගෙන් පමණක් නොව විවිධ සංවිධාන වලින් සම්මාන පිරිනමා සේවය ඇගයීය.

අවසාන කාලයේ දී පාකින්සන් රෝගය ඔහුට වැලඳී ඇති බව රෝග පරීක්ෂණයක දී තහවුරු වී තිබේ. වයස්ගත වන විට ගොදුරු වන මෙම රෝගය පීඩාකාරී එකක් වන අතර ජීවිතය තව දුරටත් අවශ්‍ය නැති බව ඔහු තීරණය කරන්නට ඇති බව නිසැකය. ‘‘මට දැනෙන්නේ නිකං මිත‍්‍රයෙක් අහිමි වුණා වගෙයි.’’ ඔහු නිතර තමන්ගේ හැඟීම් ගැන සඳහන් කරන විට කියන්නට හුරු වී සිටියේය. එය සිහිපත් කරමින් සම්මානයට පත් ඇන්තනීගේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කර ප‍්‍රචාරය කළ සී.එන්.එන්. සේවාව මෙයට දින කිහිපයකට කලින් ඔහු රසික ප‍්‍රජාවගෙන් සමුගත් බව නිවේදනය කළේය.