» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/04/2016 - දේශය
දුප්පතුන් වෙනුවෙන් ගී ගයන පෝල් ඬේවිඞ් - බොනො

අයර්ලන්ත ජාතිකයෙකු වන පෝල් ඬේවිඞ් අංශ කිහිපයක දක්ෂතා දක්වන තරුණයෙකි. ගායකයෙකි. ගීත රචකයෙකු වන අතර ආයෝජකයෙකු වන අතර දාර්ශණිකයෙකි. දේශසීමා රහිතව ජනතාවගේ සිත් පැහැරගත් අපූරු නිර්මාණශීලියෙකි. බොනො යන හුරුබුහුටි නමින් හඳුනන හෙතෙම දුප්පතුන් පෙළන දරිද්‍රතාවයෙන් ඔවුන් මුදවා ගන්නට ඩොලර් මිලියන ගණනින් වෙන් කරන අතර ඒඞ්ස් වැනි රෝග වලින් ජනතාව ගලවා ගන්නට අති විශාල ධනයක් වෙන්කරන ජන හදවත් පැහැරගත් අයෙකි. මෙම සියලූ දේ හරහා ඔහු ජනතාව, ජනතා සංවිධාන පමණක් නොව බලවත් ආණ්ඩුවලට පවා බලපෑම් කළ හැකි සුවිශේෂී පුද්ගලයෙකි.

දුප්පත්කමට හා ඒඞ්ස් වසංගතයට එරෙහිව ඔහු ගෙන යන සංවිධානාත්මක අරගලය හෙයින් ටයිම් සගරාව හෙතෙම 2005 අවුරුද්දේ දී වසරේ පුද්ගලයා වශයෙන් නම්කරන ලද අතර එයින් අවුරුදු දෙකකට පසු බි‍්‍රතාන්‍ය එලිසෙබත් රැජින ඔහු වෙත් නයිට් පදවියක් පිරිනැමීය.විනෝදයට ගී ගයන්නට ඉදිරිපත් වූ පෝල් ඬේවිඞ් පසුව එය වෘත්තියක් කරගත්තේය. ඔහු සාර්ථකත්වයට පත්වන විට අති විශාල ධනස්කන්ධයක් හිමි පුද්ගලයෙකු බවට පත්විය. උපයන ධනය පමණක් නොව එයින් උත්පාදනය කරන බලය ඔහු යොදවන්නේ මනුෂ්‍ය සංහතියේ යහපත වෙනුවෙන්ය. දුප්පත් රටවල් ණය බරින් මුදවා ගගන්නට ඔහු ලෝක නායකයන් මුණ ගැසී සාකච්ඡා කරයි.

ඒ වෙනුවෙන් ජන මතතයක් ඇති කරන්නට සමත් වෙයි. තවත් අවස්ථාවක ඔහු කියන්නේ දුප්පත්කම ඉතිහාසයට අයිති වචනයක් බවට පත් කරමු යන ව්‍යාපාරයයි. සංගීතය රස විඳින්නට අති විශාළ ධනයක් වෙන් කරන ධනවත් සමාජයක් තුළ බීමට පිරිසිදු වතුර නැති අතිශය දුඛිත ජීවිත ගත කරන ජන කොටසක් අප‍්‍රිකානු රටවල වෙසෙන අතර ඔවුන් වෙනුවෙන් යමක් කල යුතු බව බොනො නොඑසේනම් පෝල් ඬේවිඞ් ගේ අවධාරණය විය. එය සාර්ථක වූ අතර ලොව පුරා ප‍්‍රබල ලාබ නොලබන ස්වේච්ඡා සංවිධාන සියයක් එම අරමුණ සාක්ෂාත් කර ගන්නට ඔහු සමග අත්වැලි බැඳ ගනී. එපමණක් නොව පුද්ගලයන් වශයෙන් මිලියන සංඛ්‍යාත පිරිසක් ඔහු දිරිගන්වමින් අතට ධනය පරිත්‍යාග කරමින් එයට හවුල් වෙන්නට කැමැත්ත පළ කරයි.

ජීවත්වන සමාජය යහපත් තැනක් කරන්නට හෙතෙම උනන්දු වෙන්නේ අත් පත් කරගත් ජනප‍්‍රසාදය සමගය. තමන් සතු පුද්ගල හැකියාව ඔහු ආයෝජනය කරන්නේ ලෝකයේ තැනින් තැන ඇති නොවිසඳුණු ගැටලූ කෙරෙහි අවධානය යොමු කරන්නටය. අප‍්‍රිකානු රටවල දරිද්‍රතාවය ජන නායකයන් නොදැන සිටියා නොවේ. ස්වේච්ඡා සංවිධාන හෝ දානපතියන් අප‍්‍රිකාවේ ඇතැම් ප‍්‍රදේශ පෙළන කුසගින්න සහ ජීවත්වීමට දරන ප‍්‍රයත්නය දැනගෙන සිටියහ. එම රටවල් වල පාලයකන් කරගන්නට හැකියාවක් නැති හෝ යමක් කරන්නට ප‍්‍රමාණාත්මක උත්සාහයක් නොකරන කණ්ඩායමක් වශයෙන් සිටිය දී ලෝක ජනමතය අවුලූවන්නට හෙතෙම ගී ගයයි. ගීත ගායනයෙන් උපයන ධනය ලෝකය වෙනස් කරන්නට කරන දේ වෙනුවෙන් කැප කරයි. දුප්පත්කම ගැන මතය තහවුරු වන විට ඒඞ්ස් වසංගතය ගැන අවධානයක් ඇති කරන්නට පෙරමුණ ගනියි. ඔහු සමග සිටින රසිකයන් සමග, ඔහුගේ ගායන විලාසය රැල්ලක් බවට පත්කරගෙන ඇති උන්මාදනීය අය ඔහු හරවන්නේ අතිශය වැදගත් සමාජ උවමනාවන් වෙනුවෙන්ය.

බොනො සහ ඔහුගේ බිරිඳ අලි එකතු වී ඇඟලූම් මෝස්තර නිෂ්පාදනයට ප‍්‍රවේශ වෙයි. 2005 අවුරුද්දේ දී මෙම ව්‍යාපාරය අරඹන්ගේ ලාභ උපයන ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යන්නටය. එහි ද අර්ථයක් තිබේ. ඔවුන් උත්සාහ කරන්නේ අප‍්‍රිකානු දේ වෙනුවෙන් සාධාරණ වෙළඳ පොලක් නිර්මාණය කරන්නටය. අප‍්‍රිකානු නිර්මාණශීලීන්, ගොවියන්, නිෂාපදකයන් වෙනුවෙන් මෙමවයාපාරය ජාත්‍යන්තර සන්නාමයක් නිර්මාණය කරයි. බොනො ගේ අදහස් වලට ගැලපෙන පරිදි මෙම සංකල්පය ඉදිරියට ගෙන යන අලි වතාවක් ප‍්‍රකාශ කළේ ව්‍යාපාරයට කපු සපයන ගොවියන් 8,500 ක් උතුරු උගන්ඩාවේ ඉන්නා බවයි. ඉක්මනින්ම එය දස දහසක් දක්වා වැඩි කරගන්නා බව ඇය කියා සිටියාය. කෙන්යාව, ටැන්සානියාව, මොරොක්කෝව, උගන්ඩාව සහ මැඩගස්කරය වැනි රටවලින් උපයා ගත් දේ ජාත්‍යන්තර ඇඳුම් මෝස්තර අතරට ගෙනැවිත් අප‍්‍රිකානු සමාජයට අලූත් උන්නදුවක් ඇතිකරන්නට බොනො මහත් කැපවිමක් කරන ලද බව සඳහන් කළ යුතුය.

පෝල් ඬේවිඞ් 1960 මැයි මාසයේ දහවැනිදා අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේ දී උපත ලබන්නේ සාමාන්‍ය පවුලකය. ඔහුගේ පියා තැපැල් සේවකයෙකි. බාල වියේ දී ම මව අහිමි දරුවෙකු බවට පත්වන හෙතෙම ගායනයට හුරුවෙන්නේ පාසල් වියේදීය. උසස් අධ්‍යාපනය ලබන කාලයේ දී යූ2 (U2) නමැති සංගීත කණ්ඩායම සමග එකතුවන හෙතෙම රොක් ගායකයෙකු වශයෙන් නැගී එන්නට අනාගතයක් ඇති හඞක් බවට පත්වන්නට උරුමය ලබයි. තමන්ගේ ම ගීත සමුච්ඡයක් ඉදිරිපත් කර එය කෙරෙහි සංගීත ලෝලීනගේ අවධානය ඇති කරගන්නා පෝල් ඬේවඞ් ක‍්‍රමයෙන් ජනප‍්‍රියත්වයේ හිනි පෙත්ත කරා ළඟා වෙයි. ඔහුගේ ගීත වලින් වැඩි කොටසක් රචනා කරන්නේ ඔහුමය. ඒවා වෙනස් ඒවාය. දේශපාලනය සහ ජාතීන් ගැන එහි නිර්මාණශීලී අදහස් ඉදිරිපත් කරයි. රසිකයන් වැළඳ ගන්නේ එහෙයින්ය.

පනස් පස් හැවිරිදි පෝල් ඬේවිඞ් එහු නිකුත්කළ ගීත තැටි වලට සුවිශේෂී සම්මාන දිනාගෙන තිබේ. ඒවායෙන් උපයන ලද ධනය බිලියන සංඛ්‍යාතය. නමුත් ඒ සියල්ලට අමතර වශයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව කතා කරන්නේ ඔහු ඉටු කරන ප‍්‍රජා සේවා ගැනය. නොබෝදා නිව්යෝක් නගරයේ දී පැවැති සංදර්ශනයක් අති උත්කර්ශවත් එකක් වූ අතර එහි අභිමානය වෙනුවට ඔහු ප‍්‍රකාශ කළේ ඒඞ්ස් වසංගතය පාලනය කරගන්නට ලැබුණ ආකාරය ගැනය. එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව රෝගීන් ගණන සියට තිස් පහකින් සහ රෝගයෙන් මියයන ප‍්‍රමාණයසියයට හතලිස් එකකින් අඩුවී ඇති අතර එය ඒඞ්ස් වෙනුවෙන් කළ මෙහෙවරේ සංකේතයක් බව හෙතෙම ආඩම්බරයෙන් අනාවරණය කළේය. මිලියන සංඛ්‍යාත ජීවිත ආරක්ෂා කරගන්නට අපට පුලූවන් වූණා යැයි ඔහු කියන විට ජනප‍්‍රියත්වය වෙනුවෙන් එය බලවත් සංකේතයක් බවට පත්ව ඇති බව පැහැදිලිය.

එක් සංදර්ශනයක් ඔහු නම් කළේ ලෝකයේ ණය ගැති රටවල් වෙනුවෙන්ය. ඇමරිකානු ඩොලර් මිලියන 125 ක ඉලක්කයක් වෙනුවෙන් පරිත්‍යාග එකතු කරන ඔහු කෙලින්ම මාධ්‍යයට කියා සිටියේ මෙම මුදල දුප්පත් ඇමරිකානු රටවල් ලබාගත් ණය වෙනුවෙන් දිනකට ගෙවන පොලියටත් වඩා අඩු එකක් බව කියා සිටියේය. මෙම ණය කපා හැරීමේ යෝජනාව ලෝකය පුරා මතු කරගෙන යන විට අතිශය දුප්පත් රටවල් තිස්පහක ණය වශයෙන් තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 100 ක පමණ මුදලක් කපා හරින්නට සමත් වූ බව ලෝක බැංකුව නිවේදනය කළේය.

ජී අට සමුලූව පැවැත්වෙන අවස්ථාවේ දී පෝල් ඬේවිඞ් ලෝකයේ රටවල් තුනක එකවර සජීවිව දක්වන අති විශාල සංදර්ශණයක් සංවිධානය කළේය. රාජ්‍යපාලකයන්ගේ සමුලූව වෙනුවට මෙම වේදිකාව ජනප‍්‍රිය වූ අතර ලෝක නායකයන් පෝල් ඬේවිඞ් හමුවීමට පැමිණ එහි අවස්ථාව උපයෝගී කර ගත් බව සඳහන්ය. ලෝකයේ සරණක් අවශ්‍ය ජනතාව සහ ලෝක නායකයන් සම්බන්ධ කරන දැවැන්ත පාලමක් වෙන්නට ඔහුට හැකියාව ලැබිණ. එයින් පැන නැගුණ මතවාදය ජාත්‍යන්තරයට අති විශාල බලපෑමක් කළේය.

සාමාන්‍ය තැනක සිට ලෝකයේ ඉහළටම එන්නට රොක් ගායකයෙකු වශයෙන් පෝල් ඬේවිඞ් සමත්විය. ගායකයෙකු සතු පෞර්ෂය ඔහුගේ චරිතය හදාරන විට මැනැවින් අධ්‍යයනය කළ හැකිය. එය පරමාදර්ශී තත්ත්වයකි. ආනන්දයෙන් ප‍්‍රඥාවට බව ගායන ශිල්පීන්ගේ ව්‍යායාමය අගය කරයි. ඔවුන්ගේ ප‍්‍රතිභාව සහ දක්ෂතාවය උත්කර්ශවත්වයට නංවයි. පෙරලා සමාජයට ලැබිය යුතු දේ කුමක් ද යන්න පෝල් ඬේවිඞ් මැනැවින් අනාවරණය කර තිබේ. එහුගේ එකී කැපවීම තුළ පවතින යතාර්ථය හඳුනාගත් ජාත්‍යන්තරය ඔහුගේ වචන උණුසුම් ලෙස පිලිගන්නට සමත්වී ඇත.

ශ‍්‍රී ලංකාවේ නිර්මාණශීලීන්ට මෙයින් ඉගෙනගත හැකි පාඩම කුමක්ද? මතයක් නගන්නට හැකි අති විශාල ජනප‍්‍රසාදයක් ඇති චරිත මෙරට ගායක ගායිකාවන් අතර සිටී. අවාසනාවකට ඔවුහු තමන්ගේ සංදර්ශන වලට ආණ්ඩුවෙන් සහ ආණ්ඩුවට අයත් ආයතන වලින් අනුග‍්‍රහය පතමින් සිටින අතර ඒ සියල්ල ජනතාව වෙත පැටවෙන බරක් බව තේරුම් ගැනීම වැදගත්ය. ජනතාව වෙනුවෙන් මතයක් ඇතිකරන්නට, ජනතාවගේ හඞ බලධාරීන් අතරට ගෙන යන්නට සමත් වෙන දවසක් වෙනුවෙන් අවධානය යොමු කරන්නට අවශ්‍ය බව අපට කියා දෙන්නේ පෝල් ඬේවිඞ් බව සඳහන් කිරීම අවශ්‍යය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.